Labels

Wednesday, June 22, 2016

යහපතට ඇති අපහසුව


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුකරානි අසාධුනී -
අත්තනො අහිතානිච
යං වෙ හිතංච සාධුංච -
තං වෙ පරම දුක්කරං
පින්වත්නි !
අපි පෙර භවයන්හි පින් කළ ඇත්තෝ වෙමු. පෙර පින් බලය නිසාම අපි අංග විකල නොවී පූර්ණ මිනිසුන් ලෙස වාසනාවන්තව ජීවිත ගත කරමු. පින්වත් දෙමාපියන්ගේ දූ දරුවන් ලෙස, පින්වත් දූ දරුවන්ගේ දෙමාපියන් ලෙස අපි ජීවත් වෙමු. ඔබ අපි වාසය කරන්නේ පින්වත් දේශයකයි. සම්බුදු සසුන පවතින සමයක අපි ජීවත් වෙමු. ඒ සියල්ල ඇසුරේ කල් යවන අපි, අපි ගැනම මොහොතක් මෙනෙහි කරමු.

උදෑසන අවදි වී පුරා පැය විසි හතරක කාලයක් තුළ අප කරන දේ, සිතන දේ, කථාකරන දේ කෙබඳු ඒවාද? ඉන් කීයක් තමාගේ යහපතට, අසල් වැසියන්ගේ යහපතට , ගමේ රටේ යහපතට ඉවහල් වන ඒවා ද? පුද්ගලයා විසින් සිදු කරනු ලබන කාර්යයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සැකවින් කළ දේශනාවක් ධම්ම පදයේ සඳහන් වන්නේ මෙසේය. තමාට අවැඩ පිණිස පවතින දේ කිරීම ඉතා පහසු බවත් තමාට වැඩ පිණිස පවතින දේ කිරීම ඉතා අපහසු බවත් එයින් කියවෙනවා. පාසල් අධ්‍යාපනයේ මනා ලෙස නියැළීය යුතු වයසේදී වෙහෙස වී මහන්සි වී පොතපතේ වැඩ කළ යුතුයි. මැනවින් ඉගෙනීම කළ යුතුයි. එය අපහසු වැඩක්, සෙල්ලමෙන්, කෙළි දෙළෙන් , විනෝද වෙමින් කල් යැවීම පහසුයි. එය පවතින්නේ තමාගේ අවැඩ පිණිසයි. ඒක ඒ වයසට තේරෙන්නේ නෑ. කර්මාන්තයක් ගොවිතැනක් හේනක් කුඹුරක් හරියාකාරව කරගෙන යාමට නම් දියුණු කරගෙන යාමට නම් වෙහෙස මහන්සි විය යුතුයි. උත්සාහ විය යුතුයි. ඊට අදාළ එළි පෙහෙළි කිරීම්, බීජ රෝපණය කිරිම් පොහොර යෙදීම් රැකබලා ගැනීම් වෙහෙසකරයි. වෙහෙස නොබලා ඒ කටයුතු කළොත් තමයි දියුණු වන්න පුළුවන්. කම්මැලිකමට නිදා ගත්තොත් උදාසීනව සිටියොත් ගොවිතැන් පාළු වෙනව. අව්ව, වැස්ස, පින්න නොබලා වැඩ කළොත් තමයි දියුණුවක් ලබා ගන්න පුළුවන්.

සුව පහසුව ගැන සිතා විනෝදයෙන් පමණක් කල් යැවුවොත් ව්‍යාපාර බිඳ වැටෙනවා. මරණින් පසු ලැබෙන ආත්ම භාව සුගතිගාමි කර ගැනීමත්, සුවපත් කර ගැනීමත් එසේමයි. කුසල් අකුසල් ගැන නොසිතා ඇස, කන, නාසය, දිව , ශරීරය යන ඉඳුරන් පහ පිනවමින් කල් යැවීම හරිම පහසුයි. නමුත් එය පවතින්නේ පුද්ගලයාගේ අහිත පිණිසයි. නොමනා දේ කිරීම හරිම පහසුයි. හරියට පහත් තැනකට වතුර ගෙනයන්නා වගේ, දුසිරිතේ යෙදීමේ පහසුව හිතනකොටත් සතුටක්. එහෙත් ඒ නිසා සිදුවන ප්‍රතිඵල ඒ ඒ වෙලාවල් වලදී පෙනෙන්නෙත් නෑ හිතෙන්නෙත් නෑ. කායික අපහසුතා මානසික අපහසුතා ගැන නොසිතා උනන්දුවෙන් කැපවීමෙන් ක්‍රියා කළොත් ලැබෙන්නෙ උසස් ප්‍රතිඵල . මෙලොව පරලොව සැප පිණිස පවතින යහපත් දේ කිරිමට බැලූ බැල්මට ටිකක් අමාරුයි වගේ. උපමාවක් හැටියට බැලුවොත් පහළට ගලා බසින ගඟක් උඩහට ගෙනයාම අපහසු වෙනව වගේයි. අමාරුවෙන් නමුත් හොඳ දේ කළොත් ලැබෙන ප්‍රතිඵල විශාලයි. මේ කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ වැඩ හිටපු ආරාමයේම වාසය කළ දෙව්දත් භික්‍ෂුව මුල් කරගෙන, බෞද්ධ ඉතිහාසයේ සඳහන් චරිත කථා අතරින් දේවදත්ත භික්‍ෂුව දැනගත යුතු චරිතයක්. සේරිවාණිජ ජාතක කතාවේ එන පරිදි බෝසත් අවධියේ සිටම වෛර බැඳගත් මේ තැනැත්තා බෝසතුන් බුදු වූ ආත්ම භාවය දක්වාම වෛර කරමින් පැමිණියා.

තමන්ටත් අනුන්ටත් අවැඩම සිදු කර ගනිමින් එහෙත් බුදු සව්වකු ලෙස කල් යැවූ දෙව්දත් තෙරුන් වහන්සේ හැම මොහොතකම කල්පනා කළේ වැරදි දේ ගැනමයි. ආනන්තරීය පාප කර්ම සිදු කළ හෙතෙම බුදුරජාණන් වහන්සේට එරෙහිව අපමණ වැරැදි ක්‍රියා කළා.
මේ ගැන අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ දෙව්දත් චරිතයේ කැපී පෙනුන දුබලතා ඇසුරෙන් අන් අයට ඉතා වැදගත් කරුණක් පැහැදිළි කළා. පුද්ගලයාගේ ක්‍රියා ඔහුගේ අනාගතයට බලපාන ආකාරයත් ඒවා සිදු කිරීමේ ස්වභාවය ගැනත් පෙන්වා දුන්නා. පුද්ගලයා විසින් සිදු කරනු ලබන හැම ක්‍රියාවකම ස්වභාවය විමසීමේදී පැහැදිලි වන්නේ තමාගේ යහපත, ප්‍රයෝජනය පිණිස කටයුතු කිරීම අපහසු බවයි. එහෙත් ප්‍රයෝජනයට නැති අයහපත පිණිස පවතින දේ කිරීම පහසු බවයි. අපේ සිතේ ස්වභාවයත් එහෙමයි. ප්‍රයෝජනවත් හොඳ සිතිවිලි හොඳ ක්‍රියා ආයාසයෙන් අමාරුවෙන් කළ යුතු වෙනවා.

උපත ලබන විට අපි ඇහැට පෙනෙන, අතට පයට ස්පර්ශය වෙන කිසිදු වස්තුවක් උපකරණයක් රැගෙන ආවේ නැහැ. අපේ දෙමාපියෝ යමක් හම්බ කර තිබුණා. අපි අද වෙහෙස වෙනවා යමක් උපයා ගන්න. අපි යමක් උපයා ගන්නේ දැහැමි ක්‍රියා මාර්ග වලින් ද ? වස විස විකුණා , මස් මාංශ විකුණා මසට සතුන් ඇතිකර , ගිණි අවි විකුණා, මත් වතුර විකුණා, මත් ද්‍රව්‍ය දුම්වැටි අළෙවි කර ලබන මුදලින්ද අපි ජීවත් වන්නේ, එසේ වැරදි ආදායම් මාර්ග වලින් ද අපි ධනය රැස්කරන්නේ, යැයි මෙනෙහි කර බලන්න. දහදිය මහන්සියෙන් කය වෙහෙසා, බුද්ධිය මෙහෙයවා අපි සාධාරණ ලෙස මුදල් උපයන අයද? බුදුහාමුදුරුවෝ දේශනා කල විධියට යමක් කමක් මා සතුව ඇත යන සතුට පුද්ගලයකුට දැනෙනවා ඒ ධනය උපයා ගන්න ක්‍රමය දැහැමි නම්, එය ලොකු සතුටට කරුණක්, අන් අය සතුව තිබෙන, වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගන්නා දේ මංකොල්ල කාලා, වංචා කරලා තමා සතු කර ගත්ත ද යන්න කල්පනාවෙන් බලන්න. අසාධාරණ ක්‍රම වලට එකතු කරගත් ධනය යහපත පිණිස හේතු නොවන බව හොඳට තේරුම් ගන්න ඕනෙ, දැහැමෙන් සෙමෙන් සාධාරණ විධියට උපයා ගත් දේ වලින් යැපෙන, දූ දරුවන්ට කන්න අඳින්න දෙන යහපත් මිනිසුන්ට දෙවියන්ට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා පවා ගරු බුහුමන් කරන බව ධර්මයේ කියවෙනවා. අපි ජීවත්වන අද සමාජය පුරා පැතිරී තියෙන බොහෝ දෙනාගේ විපත්තියට, විනාශයට බලපා තියෙන මද්‍යසාර භාවිතය ගැන මොහොතක් කල්පනා කරන්න, තමන්ගේ ධනය බලා සිටියදීම විනාශ වෙනවා. ලෙඩරෝග වැලඳෙනවා. අපකීර්තිය ඇතිවෙනවා.අකාලයේ මිය යනවා. රිය අනතුරු කලකෝලාහාල බොහොමයකටම හේතු වෙලා තියෙන්නේ සුරා පානයයි. අපේ පවුල් වල දුගී දුප්පත් කමට බලපාල තියෙන ප්‍රධාන සාධකය මද්‍යසාර භාවිතයයි. දුම්වැටි භාවිතයත් එහෙමයි. කෝටි ගණනක් මුදල් නිකරුනේ පුළුස්සා දමනවා. ඒ විතරක් නොවෙයි. පිළිකා වැනි රෝගාබාධ ඇති කර ගන්නවා. මත්වන දේ වලට ඇබ්බැහි වූ අයගේ දෑස් අන්ධ වෙනවා වගේ හරි වැරැද්ද පේන්නේ නැතිව යනවා.

දිළිඳුකම වැඩි වෙනවා. තමන් දුකට පත්වෙනවා වගේම රටත් දුප්පත් කරනවා. කෝටි ගණන් ධනය දවසකදී විනාශ කරනවා. මේවා භාවිතය හරි ලේසියි. දුම්වැටියට මත් වතුර වීදුරුවට අපිව ලං කරන්න කොපමණ පිරිසක් බලා ගෙන ඉන්නවාද? කය , වචන යන තිදොරින්ම දුෂ්චරිත කරන තත්ත්වයට පුද්ගලයා යොමුවීමට මද්‍යසාර භාවිතය හේතුවෙනවා. මේ ගැන ටිකක් හිතල බලමු. රටේ ජාතියේ ආගමේ අනාගතය බාර ගන්න තරුණ පිරිස වගේම ළමා පරපුර මත් උවදුරෙන් වළක්වා ගැනීමේ වගකීම අප කාටත් තියෙනවා. ඒ කාර්යය රජය විසින් පොලීසිය විසින් කරල දෙනකම් සමහරු බලාගෙන සිටිනවා. ඒක වැරදියි. මත් උවදුර වළක්වාලීම සඳහා අප හැමෝම මහන්සි වෙන්න ඕන . අපි ජීවත් වන සමාජය යහමගට යොමු කිරීම අප කාටත් අයිති වැඩක්.
ඔබ සැමට තෙරුවන් සරණයි






ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ අප්‍රේල් මස 05 වැනි සෙනසුරාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment