Labels

Friday, June 24, 2016

නිවහල් වෙමු නිදහස්‌ වෙමු


'අත්ථදීපා විහරථ - අත්ථ සරණා - අනඤ්ඤ සරණා'

'තමන්ට තමන් පහනක්‌ වන්න, තමන්ගේ ආලෝකය තමන්ම වේ. තමන්ට පිහිට තමන් පමණයි. අනිකෙකුගේ පිහිටක්‌ නැත.'

ලොව වෙසෙන සෑම මිනිසකුගේම ප්‍රාර්ථනයකි නොවහල් බව, නිදහස්‌ බව. මිනිසාට නොවහල් බව හා නිදහස ලබා දෙන ලොව යම් දර්ශනයක්‌ දහමක්‌ වේ නම් එය බුදු දහමයි. අනෙක්‌ සියලු ආගමික හෝ වෙනත් දර්ශනවාද තුළින් සිදුකරනුයේ මිනිසා වහලකු කිරීමයි. තවකෙකුගේ දාසයකු කිරීමයි.

වහල්බව යනු තවකෙකුගේ අණට කීකරුව, තවකෙකු යටතේ යෑපීමයි. ලොව බොහෝ දර්ශන හා ආගම් පවතිනුයේ මේ වහල්බව රැකීමටයි. සර්වව්‍යාපී, සර්ව බලධාරී, සර්වත්‍ර වූ දෙවියකු පිළිබඳව කතා කරන දේව ආගම් දේව ධර්ම මිනිසා දෙවියන්ගේ වහලකු කරයි. මානසික වහල් භාවයෙන් යුක්‌ත වන මිනිසා ඒ දෙවියන් නොඉක්‌මවයි. සියල්ල ලබන්නට දෙවියන්ට යාඥ කරයි. කන්නලව් කරයි. යමක්‌ වැරැදුන විට දෙවියන්ගේ දඬුවමක්‌ යෑයි පවසයි. මීට වෙනස්‌ නුවූවද භෞතිකවාදී වූ දර්ශනද ඒ ඒ දාර්ශනිකයාගේ දර්ශනයෙන් තොරව යමක්‌ නිර්මාණය නොකරයි. විද්‍යාත්මක යෑයි කීවද අවිද්‍යාත්මකව කෙනකුගේ දර්ශනයේ වහලෙක්‌ව මිනිසා ඒ ගැන සිතයි. ඒ ගැන කතාබහ කරයි. ඊට අවනතව කටයුතු කරයි. එය නොඉක්‌මවයි. මෙයද වහල්භාවයකි. මානසික වහල්භාවයකි. බුදුදහම තුළ වුවද බෝධි පූජා, බුද්ධ පූජා, පහන් පූජා, අබතෙල් පූජා ආදී වූ විවිධ වූ ක්‍රියාදාමයන් තුළින් ලෙඩ සුවවන්නට, විභාග සමත්වන්නට, දියුණුව ලබන්නට ප්‍රාර්ථනා කරයි නම් එය ද මෙම මානසික වහල්භාවයෙහිම තවත් පැතිකඩකි.

මිනිසාට තමා පිsළිබඳව නිවැරැදි තීරණය ගත නොහැකි නම්, තමා කැමති නිවැරැදි දේ ඉගෙනුමට නොහැකි නම්, තමා කැමැති වෘත්තියක නිරතවීමට නොහැකි නම් එයද වහල් භාවයකි. රටක්‌ වශයෙන් පුද්ගලයකු වශයෙන් වෙනත් අය බලෙන් පටවන ලද තමා උපන් භූමියට නොගැළපෙන දේශපාලනයක්‌, ආර්ථිකයක්‌, අධ්‍යාපනයක්‌, සමාජ සංස්‌කෘතියක්‌ පිළිපදින්නට වේ නම් එය සමාජමය වහල්භාවයකි.

සිතන්නට ඉඩක්‌ නැති, නිර්මාණයට අවස්‌ථාවක්‌ නැති, ගුරුන් කියන දේ එසේම උගෙන එය වමාරන අධ්‍යාපනය වහල් අධ්‍යාපනයකි. අපේ රට ගැන වෙනත් රටක්‌ යම් යම් දේ යෝජනා කරයි නම් එය වහල් භාවයකි. අපේ ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගන්නේ අපේ නොවන, අප නොවන වෙනත් ආයතනයක්‌ නම් එය වහල්භාවයකි. අප කළ යුතු වෘත්තිය, අප කෑ යුතු ආහාර, අප කළ යුතු දේ, අපේ ගොවියා ඉන්දවිය යුතු බීජ දැමිය යුතු බෙහෙත් පොහොර තීරණය කරන්නේ වෙනත් රටක්‌ නම් එය වහල්භාවයකි. අපේ ව්‍යවස්‌ථා අණපනත් සකස්‌ කරන්නේ වෙනත් රටක්‌ හෝ රටක පුද්ගලයකු නම් එය වහල් භාවයකි. සමස්‌තය ගත්විට වහලා හා වහල් දේශය පිළිබඳව තීන්දු තිරණ ගන්නේ පරපුද්ගලයෙකි. පර දේශයකි. එපමණකුත් නොව වහලාට තමන් වහලකු යෑයි නොසිතේ. අන් අයගේ සැලකිල්ල, කතාබහ, අතට අත දීම, සිප වැළඳ ගැනීම ඔහු අභිමානයෙන් සලකයි.

පුද්ගලයකු නම් තමා පිළිබඳව ස්‌වයං තීරණ ගෙන, ස්‌වයං සංවර්ධනයක්‌ ගොඩනගා ගත යුතුය. තමාට තමා ආලෝකය තනා ගැනීම යනු එයයි. ඒ ආලෝකයෙන් අන් අයටද එළිය සැපයිය යුතුය.

'අත්තහිතාය පටිපඡ්ජති, පරහිතාය පටිපඡ්ජති' - තමන්ගේ දියුණුව ඇති කරගන්නා සේම අනුන්ගේ දියුණුවත් ඇතිකර ගැනීම උදාර මනුෂ්‍ය ගුණයකි. තමන්ගේ දියුණුවත් අනුන්ගේ දියුණුවත් නොබලන්නා නීචයෙකි. තමන්ගේ දියුණුව ගැන නොසිතින අනුන්ගේ දියුණුව හිතන්නා පඹයෙකි. තමන්ගේ දියුණුව පමණක්‌ සිතන අනුන්ගේ දියුණුව නොසිතන්නා ආත්මාර්ථකාමියෙකි. නොවහල්වීමට නම් තමන්ගේ දියුණුව හිතන සමාජ දියුණුව හිතන උදාර මිනිසකු විය යුතුය. පුද්ගල බද්ධ වූ මේ සංකල්පය රටකටද උචිතය. පර රට ණය ගැන නොසිතා තම ආර්ථිකය දියුණු කරගත යුතුයි. පරයන්ගේ දැනුම නොතකා තම දැනුම, බුද්ධිය දියුණු කරගත යුතුයි. කුස පුරවන්නට පරයන්ගේ බත ගැන නොසිතා තම බත සකසා ගත යුතුයි. රටක්‌ වශයෙන් ගත් කල පරයන්ගෙන් යෑපීම ඉවතලන්නේ නම් එය නොවහල් භාවයකි.

වහල් භාවය තුළ ඇත්තේ මුළාවකි. විමසීම නැත. තර්කනය නැත. චින්තනය නැත. ආවේණිකව හැසිරෙයි. මේ මුළාව කරණකොට ගෙන යථාර්ථය නොදකියි. මායාවක නියෑලෙයි. ලිංගික කාමය බලකාමය ආදී විෂම රාගයන් මතුවෙයි. වෛරය, ක්‍රෝධය, බද්ධ වෛරය, මසුරුකම, ඊර්ෂ්‍යාව, මානය, මදය ආදී කෙලෙස්‌ පැතිරෙයි. මේ නිසා පුද්ගලයා අශුද්ධ වෙයි. සමාජය අශුද්ධ වෙයි. සමාජය තුළ ප්‍රාණඝාතය, සොරකම, වැරැදි කාමය, බොරුව, කේළම, පරුෂ වචන, හිස්‌වචන, සුරාව, සූදුව, දැඩි ලෝභය, අන්අය මැරීමේ පෙළීමේ ෙච්තනා, වැරැදි දේ නිවැරැදි ලෙස දැක්‌ම, නිවැරදි දේ වැරදි ලෙස දැක්‌ම ආදී වූ විවිධ සමාජ අපරාධයන් බිහිවීම තුළ පුද්ගල හා සමාජ විනාශයක්‌ එයින් මතුව මිනිසාගේ සතුට, සාමය, නිදහස නැති කරයි. අතෘප්තිකර අසහනය, දුක සමාජය තුළ වෙයි. සැමවිටම ගැටලු සහිත සමාජයක්‌ දක්‌නට ලැබෙයි. ආත්මාර්ථය, සැකය, විවිධ විශ්වාස, රාගය, මානය, නොසන්සුන්කම, නොදැනීම, තරහ ආදී චෛතසික පදනම් කරගෙන පුද්ගලයාගේ නිදහස බැහැරවෙයි.

''තමන්ට තමන් ආලෝකයක්‌ වන්න, තමන්ට පිහිට තමා පමණයි. අනුන්ගෙන් පිහිටක්‌ නැත' මේ බුදුවදන තුළ ඇත්තේ ඒ නොවහල් භාවයට ආලෝකයයි. නිදහස උදෙසා ආලෝකයයි. පුද්ගල හා සමාජ සංවර්ධනය උදෙසා බුදුදහම දැකඑය පිළිපැදිය යුතුයි. බුදුදහම වනාහි සංවර්ධනයෙහි ලා ලොව සැමදා, සැමකල් සැම තැන පවතින පරම සත්‍යයයි. ලොව හෙළි නොකර ගත් සත්‍යය අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ හෙළිකරගත් සේක. එය ලොවට දෙසූ සේක. උන්වහන්සේට තව කෙනකුගේ ලෞකික, පාර ලෞකික හා ලෝකෝත්තර දියුණුව ලබාදිය නොහැකි මුත් උන්වහන්සේගේ ධර්මය පිළිපැදීම තුළින් එය ලබාගත හැකිය. බුදුරජාණන් වහන්සේගේ 'ගළවා ගැනීමේ ශාස්‌තෘවරයකු නොව මග පෙන්වන ශාස්‌තෘවරයෙකි'. ''අක්‌ඛාතාරො තථාගතා' ගැලවීමේ අයිතිය ඇත්තේ අප වෙතයි. ඒ සඳහා අප ධර්ම මාර්ගය අනුගමනය කළ යුතුයි.

බුදුදහම වැළඳ ගැනීම බුදුරජාණන් වහන්සේගේ වහලකු වීම නොවේ. උන්වහන්සේ මැනවින් ධර්මය දේශනා කර ඇත. එය මුල යහපත්ය. මැද යහපත්ය. අග යහපත්ය. සියලුම ජනයාට ගැළපෙන සේ සීලයෙන් යුක්‌ත විපරීත බවින් තොර ශ්‍රද්ධාව ඇතිකරවන පණ්‌ඩිතයන් විසින් අවබෝධකොට යුතු සත්‍ය සදාකාලික ආර්ය ධර්මයකි. (ස්‌වාක්‌ඛාතය) එය විශ්වාසයක්‌ නොව, කිව්වයි කිව්වට පිළිගැනීමක්‌ නොව, මෙලොවදීම දැකිය හැක්‌කකි. ඒ ධර්මය අවබෝධ කරගත් විට රාගාදී කෙළෙස්‌ දුරුකරයි. ඒ ධර්මය කෙළෙස්‌ දුරුකරන මාර්ගය දක්‌වන බව දැකිය හැකිය. (සන්දිට්‌ඨිකො) කල් නොයවා විපාක දෙයි. කුසලයක්‌ කළේ නම් දිට්‌ඨ ධම්මවේදනීය, උපපඡ්ජවේදනීය, අපරාපරිය වේදනීය විපාක දෙයි. ලෝකෝත්තර ධර්මයද පසක්‌ වන්නේය. (අකාලිකෝ) එන්න පිළිපදින්න යෑයි සැකයකින් තොරව විතර්කීව ආරාධනා කළ හැක. (ඒහිපස්‌සිකෝ) සිත තුළ උපදවා ගත යුතු ධර්මයකි. මග පල ලබාදෙයි. නිවන කරා පමණයි. (ඕපනයිකො) බුද්ධිමතුන් විසින් ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතුයි. දෙවියකු විසින් ලබාගත්තක්‌ නොවේ. (පච්චත්තං වේදිතබ්බො විඤ්­හීති).

ඒ ධර්මය පිළිගත යුත්තේ කිසිවකුවත් කියන නිසා නොවේ. විමංසන සූත්‍රයේ හා කලාම සූත්‍රයේදී ඒ බව මනාව පහදා ඇත. ශාස්‌තෘ ගෞරවය නිසා හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ උගතුන් වියතුන් කී නිසා හෝ පූජනීය ග්‍රන්ථයක තිබූ නිසා හෝ තර්කානුකූල නිසා හෝ ක්‍රමානුකූල නිසා හෝ තම දෘෂ්ටියට ගැළපෙන නිසා හෝ ඒ ධර්මය පිළිගත යුතු නැත. එය යහපත අයහපත දක්‌වන්නේද , කුසල, අකුසල දක්‌වන්නේද එය තමන්ගේ විමසුම් නුවණින් දැකිය හැකිද එය පිළිගන්න යෑයි එහි දක්‌වයි.

ඒ ධර්මය ප්‍රතිඥවකි. තමා විසින්ම පිළිපැදිය යුතුයි. එය ආර්ය මාර්ගයකි. පියවර කිහිපයකින් ඇති කරගන්නා සන්තානගත සංවර්ධනයකි. ඒ තුළින් ගොඩනැගෙන සමාජ ගත සංවර්ධනයකි. පුද්ගලයා හා කය ශික්‌ෂිත කර ගැනීම, වචනය ශික්‌ෂිතකර ගැනීම එක්‌ පියවරකි. එය ශීලය නම් වේ. ඔහු සතුන් නොමරයි. හිංසා පීඩාවට ලක්‌ නොකරයි. ජීව හිතවාදී වෙයි. අන් සතු දේපළ සොර සිතින්, මංකොල්ලයෙන්, බලහත්කාරයෙන්, ප්‍රචණ්‌ඩත්වයෙන්, රැවටීමෙන් තමාට අයත් නොකර ගනියි. අනුන්ගේ දේපළත් සුරකියි. වැරැදි ලෙස පසිඳුරන් නොපිනවයි. ඇස තුළින් සමාජ සම්මත දේ බලයි. කන තුළින් ඇසිය යුතු වූ දේ අසයි. ආග්‍රාණයකළ යුතු දේ නාසයෙක්‌ කරයි. මත්වන ආග්‍රාණයන් ආග්‍රණය නොකරයි. දිව තුළින් සමාජ සම්මත රස විඳියි. මිනිසා මත් කරවන පමා කරවන මත්පැන් ආදියෙහි රස නොබලයි. කය ශික්‌ෂිත කර ගනියි. වැරැදි ලිංගික පහස නොලබයි. (සම්මා කම්මන්ත).

බොරු නොකියයි. බොරු නොඅසයි. සත්‍ය කියයි. සත්‍යය අසයි. කෙළාම් නොකියයි. කේළාම් නොඅසයි. සමගිය ඇතිවන කතා කරයි. පරුෂ වචන නොකියයි. පරුෂ වචන අසයි. ප්‍රිය වචන කතා කරයි. ප්‍රිය වචන නොඅසයි. අරුත් සුන් වචන නොව අරුත් බර වචන කතා කරයි. වාචසික ශික්‌ෂණය ගොඩනගයි. (සම්මා වාචා).

තමාටත් (අත්තාධිපත්‍ය) සමාජයටත් (ලෝකාධිපත්‍ය), ධර්මයටත් (ධම්මාධිපතයH හිතකර වන ලෙස තම ඉපයීම් කරයි. වංචාවෙන්, රැවටිල්ලෙන් යමක්‌ නොලබයි. තවකෙකුට හිංසා කොට යමක්‌ නොලබයි. යහපත්ව ජීවත් වෙයි. (සම්මා ආජීව).

කළ වරද අත් හරියි. නොකළ වරද ඇතිවීමට අවස්‌ථා නොදෙයි. කළ යහපත වැඩිදියුණු කරයි. නොකළ යහපත ඇතිකර ගනියි. (සම්මා වායාම).

මේ අයුරින් සංසථාගතව ලබන ශික්‌ෂණය සීලයයි. සීල ශික්‌ෂණය ලබන පුද්ගලයා සන්ථාන ගත ශික්‌ෂණයද ලබන්නට වෙර ගනියි. මනා සිහිය ඇතිකර ගනියි (සම්මා සති), කයෙන් කරන දේ දකියි. කය දකියි. කයේ ස්‌වභාවය දකියි (කායානුපස්‌සනා). විඳින දේ දකියි. (වේදනානුපස්‌සනා), සිත හා සිතින් කරන දේ දකියි (චිත්තානුපස්‌සනා). ධර්මය දකියි (ධම්මානුපස්‌සනා). දකිනදේ මෙනෙහි කරයි. ඒ ඒ තත්ත්වයන් තුළ වූ සිහින, රැවටිලි, මායාකාරී බව ඉවත දමයි. එසේ වූ විට සිත එකඟ වෙයි. (සම්මා සමාධි) සමාධි ශික්‌ෂණයයි.

කායික, වාචසික, මානසික සංවර්ධනය ලබන්නා ලොව යථාර්ථය දකියි. (සම්මා දිට්‌ඨි). අහේතු අපච්චවාදී සියල්ල බැහැර කරයි. මිත්‍යාව පිටුදකියි. මිත්‍යාවේ වහලකු නොවෙයි. යහපත්වූ සංකල්පනා ගොඩනගයි (සම්මා සංකප්ප). වහල්බව ඇති කරන දේ බැහැර කරයි (නෙක්‌කම්ම සංකප්ප), ජීව හිතවාදී වෙයි (අව්‍යපාද සංකප්ප), කරුණාව ඇතිකර ගනියි (අවිහිංසා සංකප්ප), ස්‌වයං දියුණුවක්‌ ඇති කර ගනියි. වහල් භාවයෙන් මිදෙයි. නිවහල් වෙයි. පුද්ගල, දර්ශන, විශ්වාස තුළ අතිකරගෙන තිබූ දාසභාවය අතහරියි. නිදහස්‌ වෙයි. ලෞකික නිදහස සංවර්ධනය ලබයි. පාර ලෞකික නිදහස සංවර්ධනය ලබයි. ලෝකෝත්තර නිදහස සංවර්ධනය, විමුක්‌තයවූ නිවන ලබයි. (ප්‍රඥ ශික්‌ෂණය).

බුදුමඟ දකිමු. ඒ මඟ අපගේ මඟ කර ගනිමු. වහල් බව දුරලමු. නිවහල් වෙමු. දාස බව දුරලමු. නිදහස ලබමු. දිවි මඟ සරු කරමු. උතුම් නිවන ලැබ ගනිමු.



විල්ඔය පඤ්ඤාතිලක හිමි
පාලුගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය, කැප්පෙටිපොල


2016 ජුනි මස 19 වැනිදා ඉරිදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment