අප දැනුවත්ව කරන වැරැදි ක්‍රියා හෙවත් අයහපත් ක්‍රියා තුළින් අකුසල් රැස්වෙන අතර නොදැනුවත්ව කරන ක්‍රියාවලට අකුසල් රැස් නොවෙයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේත යිත්වා කම්මං කරෝති. මහණෙනි, මම චේතනාවම කර්මය යැයි දේශනා කරමි. සිතින් සිතා කර්මයන් රැස්කිරීම සිදුකරයි. යනුවෙන් බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. කර්මයක් සම්පූර්ණ වීම සඳහා බලපානු ලබන ප්‍රධානම කාරණාව නම්, එම පුද්ගලයා එම අවස්ථාව තුළ රාගය ද්වේෂය, මෝහය වැනි චෛතසික ධර්මයකින් යුක්තව දැනුවත්ව , කටයුතු කිරීම හෙවත් සවිඤ්ඤාණිකව සිටීමයි.
උමතු භාවයෙන් පෙළෙන පුද්ගලයකු විසින් වෙනත් පුද්ගලයකු ඝාතනය කළාට ඔහුට එම ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වන්නේ නැහැ. ඔහු ඉතාම හොඳ මානසික මටිටමකින් නොසිටීම එයට හේතුව වෙයි. ඔහු දැනුවත්ව වරදකාරී චෛතසිකයක් ඔහු තුළ ක්‍රියාත්මක වුයේ නැත. ඔහු හෝ ඇය යමි ක්‍රියාවක් කරනු ලබනුයේ දැනුවත්වද? නොදැනුවත්වද? යනුවෙන් බුදු දහම සළකා බැලීමක් කරනු ලබයි. තමාගේ නොදැනුවත් කමින් කරන ක්‍රියාකාරකම් යනුවෙන් මෙහිදී අදහස් කරනු ලබනුයේ, අප පාරේ ගමන් කරන විට අප අතින් නොදැනුවත්වම අප ගමන් කරනු ලබන්නාවූ වාහනයට යටවීමෙන් කූඹි වැනි කුඩා සතුන් මරණයට පත්වෙයි. ඒ පිළිබදව ඔබ අප දැනුවත් වී නැහැ. සතා මැරිය යුතු බවට චේතනාත්මක වශයෙන් අප තුළ සම්බන්ධතාවයක් නැහැ.
බුදු දහමට අනුව එම අර්ථයෙන් එවැනි ක්‍රියා නොදැනුවත්ව කරනු ලබන දේවල් වෙයි. සාමාන්‍යයෙන් අප අකුසල් නොවන බව සිතාගෙන අප කරගෙන යනු ලබන අකුසල් කර්ම තියෙනවා. ඒවා පිළිබදව අප යමිකිසි වටහා ගැනීමක් කළ යතුයි. උදාහරණයක් වශයෙන් මම නම්, කාටවත්ම වෛර කරන්නේ නැති බවට යම් පුද්ගලයකු ප්‍රකාශ කළ හැකියි. මම නම්, කිසිම කෙනකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ යනුවෙන් ප්‍රකාශ කරන පුද්ගලයන්ද සිටියි. එවැනි වාක්‍ය කියූ පමණින් සත්‍ය වශයෙන්ම ඔවුන් කරනු ලබන්නාවූ ක්‍රියා කාරකම්, තුළ වෛරය සහ ඊර්ෂ්‍යාව තියෙන බව පැහැදිළිව දක්නට ලැබෙයි. ඔවුන් එවැනි ක්‍රියාවන් කරනු ලබන්නේ ඊර්ෂ්‍යාව නිසාම බව ඔවුන් නොදනියි. මෙය වෛරයක් පලිගැනීමක් බව දැනගත්තත් නොදන්වා වගේ සිටියි.
යම්කිසි බිරිඳක් තම ස්වාමිපුරුෂයා විසින් ප්‍රමාණවත් ධනයක් ගෙදරට ගෙනවිත් නොදීම පිළිබඳව තරහවක් පැමිණුන හොත් ඇය එම තරහව වචනවලට පෙරළමින් එය ඉවතට දැමිය හැකියි. එසේ වචනයෙන් ප්‍රකාශ නොකරන පිරිස්ද සිටිය හැකියි. මහත්මයා කෑමට අකැමැති කෑම පරිප්පු නම්, උදේට, දවල්ට ,රාත්‍රියට තුන්වේලටම පරිප්පු උයා පිහා දුන්නත් තමා පලිගන්නා බවක් බිරිඳ ප්‍රකාශ නොකරයි. එසේ ප්‍රකාශ නොකළත් ස්වාමිපුරුෂයා කෑමට අකැමැතිම දෙය පරිප්පු බව ඇය දනී. ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් ගෙදරට ලබානොදෙන නිසා තුන්වේලටම පරිප්පු උයා දෙන බව ප්‍රකාශ නොකළත් කෑමට අකැමැතිම ව්‍යංජනය පිස දීම වැනි ක්‍රියාවන් කරනු ලබයි.
මම නම් වෛර කරන්නේ නැති බව ප්‍රකාශ කරමින්ම වෛරී සහගත ආකාරයෙන් හැසිරෙයි. එය බැලූ බැල්මට කාටවත් පෙනෙන දේවල් නොවන අතර තුන් වෙලටම උයා පිහා කන්න දෙන බවත් හොඳින් සළකන බවත් දක්නට ලැබෙයි. සත පහක්වත් ගෙදරට ගෙනෙන්නේ නැති මිනිසාටත් කෑම ටික උයල පිහල මේසයටම තියනවනේ. කොච්චර නම්, හොඳද?
මෙසේ දිගටම ක්‍රියා කරගෙන යද්දී මෙවැනි දේවල් පුරුද්දක් වශයෙන් කරගෙන යනු ලබයි. එම පුරුද්ද ඇති කරගනු ලැබුවේ ඔහුගේ හෝ ඇයගේ මනස තුළ රැඳී තිබෙන වෛරය විසින් මෙම තත්වය නිර්මාණය කරනු ලබයි. එවැනි වෛර තුළින් කවදාකවත් එවැනි පුද්ගලයන්ට ගැලවීමක් නැහැ. තමන් නොදැන පවත්වාගෙන යනු ලබන ද්වේෂ සහගත චෛතසික තුළින් මිනිසුන්ට ගැලවීමට ක්‍රමයක් නොමැති වන්නේ මිනිසුන් එය ද්වේෂය ලෙසවත් නොදන්නා නිසයි.
එසේ ක්‍රියාත්මක වනු ලබන්නේ ද්වේශය, ක්‍රෝධය, වෛරය බව දන්නේ නැත්නම්, ඇය හෝ ඔහු වෙනත් ආකාරයකට සිතාගනු ලැබුවහොත් ඔහුට හෝ ඇයට කවදාවත් එම චෛතසික ධර්මයන් තුළින් නිදහස් වීමක් පිළිබඳව සිතාගැනීම අපහසුයි. යම් පුද්ගලයකු යමි ක්‍රියාවකින් ඉවත්වනවා නම්, එම ක්‍රියාව අයහපත් දෙයක් බව තේරුම් ගත යුතුයි. එම අයහපත් ක්‍රියාව තමන් කිරීම පිළිබඳව යමිකිසි ආකාරයකට වදවීමට, හෙවත් වරදකාරී හැඟීම් ඔහුගේ හෝ ඇයගේ මනස තුළ වද දීමට පටන් ගැනීමත් සමඟ තමන් කරන වැරැද්ද පිළිබඳව තැවීමට පටන්ගත් අවස්ථාවේ ඔහු කලකිරීමට පටන් ගනී. එවැනි අවස්ථාවකදී ඔහු හෝ ඇය තුළ සම්පූර්ණයෙන්ම බලපානු ලබන්නේ වෛරය , ක්‍රෝධය ඒ තුළ තිබෙන බව දැනුවත් නිසයි. නිවැරැදිව සිටින පුද්ගලයකු හමුවූ විටත් ඔහු හෝ ඇය නිවැරැදි වූවකු බව පිළිගන්නේ නැහැ. දරුවන් පිරිසක් වතුරේ ගිලී මරණයට පත්වූ ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඊළඟට දිස්වන්නේ ළතෝනි දෙම්න් මරහඩ නගමින් අඬන අම්මා කෙනකු පෙන්වනු ලබයි. එය ස්වභාවයක් ලෙස අප පිළිගනු ලබනවා. ඇති වන දේවල් නැතිවෙන බවත්, පටාචාරාට , කිසා ගෝතමියට වුණා නම්, මට එවැනි දෙයක් වෙන්න බැරිද? මල් පිපිලා පරවෙනවා නම්, මගේ ළමයා මැරෙන්න බැරිද? ආදී වශයෙන් එවැනි අත්දැකීමක් ලබපු අම්මා කෙනකු ප්‍රකාශ කරනු ලැබුවහොත් එය අසාසිටින අනෙකුත් පිරිස ඇය හොඳ අම්මා කෙනකු ලෙස පිළිගනීවිද?එම කතාව අසා සිටින තවත් අයෙකු එම අම්මාට සිතක් පපුවක් නැති බවට ප්‍රකාශ කරනු ලබයි. එම මරණය පිළිබදව වටහාගෙන සිටින තැනැත්තා හෝ තැනැත්තිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙලා යයි. ළතෝනි දෙමින් වැළපෙන අම්මා පටාචාරාවගේ කතාවත්, කිසාගෝතමි කතාවත් තම දරුවා කුඩා කල දරුවාටද කියාදී ඇති අතර ඇයද එම සිදූවීම හොඳින් දැන සිටී. ඇය අම්මා කෙනකු වන්නේ ළතෝනි දෙමින් ඇඬුවොත් පමණක් බවට සිතනවා නම්, සමහර කාරණා පිළිබඳව මිනිසුන් කෙතරම් දැනුවත් වුවත් , ඔවුන් ඒ තුළින් ඉවත් වන්නේ නැහැ. සම්මුති සත්‍ය තුළ ඇතැම් කාරණා එසේ පවතී.
පුත්තා වත්තු මනුස්සානං යනුවෙන් මිනිසුන්ට තිබෙන ලොකුම වස්තුව දරුවෝය. බිරිඳ ස්වාමිපුරුෂයාගේ හොඳම මිතුරියයි යනුවෙන් බුදුපියාණන් වහන්සේ සංයුක්ත නිකායේ වත්තු සූතුය තුළ දේශනා කර ඇත. බුදු දහමේ පරමාර්ථය එසේ බවට ඇතැම් දෙනා සිතනවා. දරුවා ලොකුම වස්තුව ලෙසට බුදුපියාණන් වහන්සේත් පිළිගෙන තිබෙන කාරණාවක් බවත්, බිරිඳ හොඳම කල්‍යාණ මිතුරිය බවට බුදුපියාණන් වහන්සේද පිළිගෙන තිබෙන කාරණාවක් බවත් සූත්‍රය තුළ අන්තර්ගත කොටස දෙස පමණක් බලමින් සිතයි.බුදුපියාණන් වහන්සේ වදාරා අත්තේ සම්මුති ලෝකය තුළ කතාවක් බව අප වටහාගන්නේ නැහැ. පරමාර්ථමය වශයෙන් ගත්විට බිරිඳ කල්‍යාණ මිත්‍රයෙක් හෝ මිතුරියක් විය හැකිද?
සමහර වෙලාවට සැමියාගේ කල්‍යාණ මිතුරිය බිරිිඳ විය හැකියි. සමහර වෙලාවට එසේ නොවිය ද හැකිය. සම්මුති ලෝකය තුළ අප කරනු ලබන ගනුදෙනු වලට එකම යහළුවා වශයෙන් කටයුතු කරනවා නමි, ඉතාම යහපත් තත්වයක් . නීතිමය ලියවිල්ලකුත් තිබෙන බැවින්, අනෙකුත් අයට වඩා විශ්වාසයකුත් පවතියී. සැම විටම බිරිඳ හෝ සැමියා කල්‍යාණ මිතුරා හෝ මිතුරිය වෙයි කියන කාරණාව සිතිය නොහැකියි. කල්‍යාණ මිතුරියක් හෝ මිත්‍රයෙක් සිටිනවා නමී , එම දෙදෙනා නකුල මාතා සහ නකුල පිතා වශයෙන් එකටම නිවන් දැකීමේ හැකියාව තියෙනවා. එසේ සිටිනවා නමි, යහපත් බව ප්‍රකාශ කළ හැකියි.
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 04 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment