නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
අසේවනා ච බාලානං
පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජ නීයානං
ඒතං මංගල මුත්තමං
(මංගල සූත්‍රය)
පණ්ඩිතානං ච සේවනා
පූජාච පූජ නීයානං
ඒතං මංගල මුත්තමං
(මංගල සූත්‍රය)
තථාගත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පහළවීම සසර දුකින් වෙලී සිටින මිනිසාට ආලෝකයකි. තථාගත බුදුපියාණන් වහන්සේගේ දහම් පද, කල්‍යාණ මිත්‍රයෙකි. අඳුරේ අතපත ගාමින් සංසාර ජීවිතයේ විවිධ දුක් කම්කටොලු අත්විඳිමින් මේ යන භායනක ගමනේ දී තථාගත දේශනාව මහා පහන් ටැඹක් සේ හිඳිමින් අපට ධර්ම ඤාණය ධර්මාලෝකය සපයයි. එහි දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු ත්‍රිපිටක සූත්‍ර වශයෙන් ගත් කල්හි විශාල ප්‍රමාණයකි. එයින් මහා මංගල සූත්‍රය අපගේ පරලොව ජීවිතයට වඩා මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට දේශනා කළ වැදගත් සූත්‍ර දේශනාවකි. එහි මංගල කරුණු 38 ක් දේශනා කර තිබේ.
අපට සමාජයෙන් ඈත් වී තනිවම ජීවත්වීමට හැකියාවක් නැත. හුදකලාව කටයුතු කිරීම ඉතා අසීරුය. ඇසුරු කළ යුත්තන් හා ඇසුරු නොකළ යුත්තන් තෝරා බේරා ගැනීම ඉතා අපහසු කාර්යයකි.
බාලයන් ඇසුරු නොකිරීම, නුවණැත්තන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම ද උතුම් මංගල කරුණුයි.
අද අප ජීවත්වන සමාජය ඉතා සංකීර්ණ සමාජයකි. සුසිරිතට වඩා දුසිරිතට තෝතැන්නකි. එබඳු වටා පිටාවක බාලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ඈත් වී ක්‍රියා කිරීම මෙලොව මෙන්ම පරලොවට ද හිත සුව පිණිස පවතී. මෙහි බාලයන් ලෙස හැඳින්වෙන්නේ නිතර පව් කිරීමෙහි නිරත අනුවණයන්ය. යමෙකු විළිබියෙන් තොරව පස් පව්, දස අකුසල්හි යෙදෙයි නම් ඔහු පව්කාරයකු ලෙස හඳුන්වයි. එබඳු අය නිතර ඇසුරු කරන්නන් ද පව් කිරීමට පෙළඹෙයි. පාප මිත්‍ර සේවනය දුරින්ම දුරු කළ යුතුය. පාප මිත්‍රයන්ගේ ස්වභාවය ඔවුන් ඇසුරු කරන අය කුමන හෝ උපක්‍රමයකින් තමන්ගේ පැත්තට නැඹුරු කර ගැනීමයි. පාප මිත්‍ර සේවනය නිසා අකාලයේ ජීවිත විනාශ කර ගත් අය ද නොයෙක් දඬුවම් විඳින අය ද දුක් කරදරවලට පැටලී සිටින අය ද බොහෝය. මිල, මුදල්, යාන, වාහන, සුව පහසු මන්දිර හිමිවී තිබුණු ඇතමුන් මේ පාප මිත්‍ර සේවනය නිසා හිඟමනයට පත් වූ බව පොත් පත්වල සදහන් වේ. අද සමාජයේ උවදුරක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතයට පෙළඹීම, බෙදා හැරීම පිටුපස ඇත්තේ පාප මිත්‍ර සේවනයයි. දරුවන්ට කුඩා අවදියේ දී නරක මිතුරන් ඇසුරු කිරීමට ඉඩ නොතැබිය යුතුය. විශේෂයෙන් දෙමාපියන් තම දූ දරුවන් යහමඟට යොමු කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඒ අය ඇසුරු කරන උදවිය පිළිබඳ සෙවිල්ලෙන් සිටිය යුතුය. පාප මිත්‍ර සේවනයේ ආදීනව ඔවුන්ට පැහැදිලි කර දිය යුතුය.
මේ සඳහා කොතෙකුත් නිදසුන් අප සමාජයෙන් පෙන්වා දිය හැකිය. අපරිමිත දයාවෙන් සෙනෙහසින් කවා පොවා ඇති දැඩි කළ සුන්දර මල් වැනි දරුවන් නරක ආශ්‍රය නිසා විපතට පත් වුන ප්‍රවෘත්ති ජන මාධ්‍යයෙන් නිතර නිතර ඇසේ. කෙනෙකු නරකයට පෙළඹීමට ප්‍රධාන කරුණක් නම් ඔහු ඇසුරු කරන නරක පුද්ගලයන්ගේ ගති සිරිත්ය. මුදල් සෙවීමේ තෘෂ්ණාවෙන් වටිනා ජීවිත මොන තරම් විනාශ කරනවාද?
දරුවන් ඇති දැඩි කරන දෙමාපියන් තම දරුවන් ආශ්‍රය නීශ්‍රය කරන්නේ කවුද යන්න සොයා බැලිය යුතුය. ඔවුන් යන එන ගමන් බිමන් ගැන විමසිලිමත් විය යුතුයි.
පාප මිත්‍රයන් ආශ්‍රය නොකළ යුතුය. අසත්පුරුෂයන් ආශ්‍රය නොකළ යුතුය. කල්‍යාණ මිත්‍රයන්, උතුම් පුරුෂයන් ආශ්‍රය කළ යුතුය.
මේ හැම තැනකදීම පාප මිත්‍ර සේවනයේ භයානක කම විස්තර කරයි. යම් පාරක සොර සතුරු භය පවතී ද, අනතුරු බහුල යැයි ද, දැනගත් විට ඒ මඟ අතහැර වෙනත් සුදුසු මගකින් යා යුතු බවත්, එසේම පාප මිත්‍රයන් ද බැහැර කොට කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම යහපත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අනුවණ තැනැත්තා තමන් ඇසුරු කරන අය ද නුසුදුසු තැන්වලට පත් කරයි. යම් යම් අකටයුතු දේවල ද යොදවයි. දෙමාපියන් වැඩිහිටියන් ආදියන්ගේ අවවාද අනුශාසනා නුරුස්සයි. කෝපයෙන් හා ද්වේෂයෙන් ක්‍රියා කරයි. අනුවණයන් (බාලයන්) ඇසුරු කරනවා නම් ඇසුරු කළ යුත්තේ ඔවුන් යහපත් මාර්ගයට ගෙන්වන අදහසින් පමණි. එසේ කළ හැකි නම් එය ද මෙලොව පරලොව දෙකටම යහපතකි.
පින්වතුනි,
අසේවනා ච බාලානං - පණ්ඩිතානං ච සේවනා, යනුවෙන් බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ බාලයා හෙවත් දැනුමෙන් බුද්ධියෙන් ගුණ යහපත්කමින් අඩු ධර්මයෙන් දුප්පත් පුද්ගලයන් ඇසුරු නොකරන ලෙසටය. ඒ වෙනුවට ගුණ යහපත්කමින් වැඩි ධර්මයට ලැදි සත්පුරුෂයන් ආශ්‍රය කරන ලෙසය. වයසින් කෙනෙකු හැටපස් වන විය සම්පූර්ණ කළ ද ඔහු ධර්මයෙන් බිංදුව නිසා ඔහු බාලයකු සේ සමාන වේ. මෙහි බාල යනුවෙන් අර්ථ විවරණය කර ඇත්තේ වයසින් වැඩි තැනැත්තා යන අර්ථයෙන් නොවේ. වයසින් අඩු වුව ද බුද්ධිමත් නම් නුවණැත්තෙක් නම් ධර්මයට ලැදි නම් ඔහු පණ්ඩිතයෙකි. බාල පුද්ගලයන් හෙවත් අනුවණයෝ විවිධ පස්පව් ආදී අකුසල්වල නිරන්තරයෙන් යෙදෙති. පණ්ඩිතයන් ඇසුරු කිරීම දෙවන මංගල කාරණයයි. අප බොහෝ විට පණ්ඩිතයන් ලෙස හඳුන්වන්නේ උසස් අධ්‍යාපනයක් ලැබූ උගත් අයටයි. එහෙත් මෙතැන පණ්ඩිතයන් යැයි කියන්නේ ඊට වඩා පුළුල් අරුතකිනි. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් පණ්ඩිතයා කවරෙකු දැයි හඳුන්වා දී ඇති අයුරු විමසා බැලීම වඩාත් උචිතය.
දිට්ඨෙ ච ධම්මේ යො අත්ථො
යොචත්ථො සම්පරායිකො
අත්ථාභිසමයා ධීරො
පණ්ඩිතොති පවුච්චති
යොචත්ථො සම්පරායිකො
අත්ථාභිසමයා ධීරො
පණ්ඩිතොති පවුච්චති
තමන් කරනා යහපත් කාර්යයන්හි දී ඇතිවන බාධා හිරිහැර ඉවසා දරාගෙන කළකිරීමට පත් නොවී සිය අරමුණ මුදුන් පමුණුවා ගැනීමට නොපසුබසිනා වීර්යයෙන් ක්‍රියා කිරීම එසේ දුක් මහන්සියෙන් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුව සොර සතුරන්ගෙන් රැක ගැනීම, ඒ වස්තුව සුරා සූදු ආදී දුසිරිත්වලට වැය නොකිරීම, පාප මිත්‍ර සේවනයෙන් තොරවීම, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් යුක්තවීම, අය වැය සමසේ පවත්වාගෙන යාම, ශ්‍රද්ධා, සීල, චාග, ප්‍රඥා නම් වූ චතුර්විධ සම්පදාවෙන් යුතුව මෙලොව පරලොව දියුණුව ඇති කර ගැනීම පණ්ඩිත ලක්ෂණයක් වේ. ඕනෑම සමාජයක යට කී ලක්ෂණ ඇති සත්පුරුෂයන් දුර්ලභය. එබැවින් විවිධ අදහස් උදහස් ඇවතුම් පැවතුම් ඇති මිනිසුන් සමග ජීවත්වීම ඉතා පරීක්ෂාවෙන් හා පරිස්සමින් කළ යුතුය. මෙලොව හා පරලොව ජය ගත හැක්කේ එලෙසින් කටයුතු කිරීමෙනි.
සත්පුරුෂයෝ තමන් හා ආශ්‍රය කරන්නන් ගැන ඉතා අනුකම්පා සහගතව ක්‍රියා කරති.ඒ අය දුකින් මුදවන පවින් වළකන චේතනා ඇතිව අවවාද අනුශාසනා කරති. හොඳ මාර්ගය පෙන්වා දෙති. මෙලොව පරලොව දියුණුවට අත හිත දෙති. දියුණුව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් යම් කිසිවකු තමාගේ වැරදි පෙන්වා දෙන්නේ නම් ඒ වැරදි පෙන්වා දෙන අය ගැන සිතිය යුත්තේ දුගියෙකුට ධන නිධානයක් පෙන්වා දෙන කෙනෙකුට ලෙස ගෞරවයෙනි. දයාවෙනි. නැණවතුන් ඇසුරු කොට තමා ද ශ්‍රේෂ්ඨත්වයට පත්විය යුතුය.
අසිරිමත් බණ කතා වලින් අපට තහවුරු වන්නේ පාප මිත්‍රයන් ඇසුර මෙලොව වශයෙන් ද පිරිහී අපායගාමී වීමට මඟ සලසන බවය. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර මෙලොව ගත කිරිමටත් අවසානයේ නිවන් මඟ යොමු කිරිමටත් උපකාරී වන බවය.
පින්වත්නි,
පිදිය යුත්තන් පිදීම ද උතුම් මංගල කරුණකි. පිදිය යුත්තා නම් බුදු, පසේබුදු, මහ රහත් යන උතුමන් වහන්සේලා ද, මාපිය ගුරුවරු ද, කුල ප්‍රධානියෝ ද,ගුණ නුවණින් වැඩි අය ද, වයසින් වැඩිහිටියෝ ද යන සමූහයයි. බුද්ධාදී උතුමන් වහන්සේලා පිදිය යුතු ක්‍රම දෙකකි. ඒ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා වශයෙනි. තෙල් මල් ආදියෙන් ද, චීවර පිණ්ඩපාත ආදී සිව්පසයෙන් ද පිදීම ආමිස පූජාවයි. ධර්මානුකූලව ජිවත්වීම, පන්සිල්, අටසිල් ආරක්ෂා කිරිම, භාවනා කිරිම ආදිය ප්‍රතිපත්ති පූජාවයි. පැරණි රජ දරුවෝ පවා සිය රජකම දෙවෙනි කොට සලකා මේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන්හ. සුදුස්සාට සුදුසු තැනට ගරු බුහුමන් කළ යුතුය. දෙවියන්ට මළගිය ඥාතීන්ට පිංපෙත් අනුමෝදන් කිරිමත් පිදිය යුත්තන් පිදීමකි. පිදිය යුත්තන් පිදීම මෙලොව වශයෙන් නැණවතුන්ගේ ප්‍රශංසාවට හා ගෞරවයට ද පරලොව සුගතිගාමීවීමට ද හේතු වෙයි. එනිසාම එය මංගල කරුණකි.
එබැවින් බාලයන් ඇසුරු නොකිරීමට ද පණ්ඩිතයන් ඇසුරු කිරීමට ද, පිදිය යුත්තන් පිදීමට ද උත්සාහ ගන්න. ඒ දෙලොවටම උපකාරී වෙයි. එය නිර්වාණයට ද මාර්ගයයි.
සැමට තෙරුවන් සරණයි.
පල්ලේගම හේමරතන නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2007 ක් වූ
දෙසැම්බර් මස 23 වැනි ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment