Labels

Friday, June 26, 2015

තාක්ෂණික ලෝකයේ භික්ෂු ප්‍රතිපදාව


සරල ජීවන පැවැත්ම භික්ෂු ජීවිතයට ආභරණයකි. තාක්ෂණික මෙවලම් හා භාණ්ඩ පරිහරණයේදී ද මෙම සරල බව භික්ෂු ජීවිතය තුළ රැඳී තිබිය යුතුය. විනය පිටකයේ දැක්වෙන සතර වැදෑරුම් ‘නිස්සය’ පිළිබඳ ඉගැන්වීම භාණ්ඩ පරිභෝගය පිළිබඳ මනා මගපෙන්වීමක් ලබාදෙයි. තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ අදහසක් ද එයින් ඉස්මතු කරගත හැක
 නව විද්‍යාත්මක සොයාගැනීම හා තාක්ෂණික විප්ලවයන් රැසක් සිදුවන යුගයක අපි ජීවත් වෙමු. දැන් අප ප්‍රවේශ වී සිටින්නේ මෙම විද්‍යාත්මක හා තාක්ෂණික යුගයේ නව අවධියකටයි. මුලින් විද්‍යාත්මක සොයාගැනීම් සිදු කෙරුණේ මිනිසුන්ගේ කායික හා පාරිසරික අභියෝග ජයගැනීමට හා විවිධ අපහසුතා මගහරවා ගැනීමටය. නමුත් වර්තමානයේ බොහෝමයක් විද්‍යාත්මක පර්යේෂණයන් හා තාක්ෂණික නිපදවීම් සිදුවන්නේ මිනිසුන්ට නැති අවශ්‍යතා අලුතෙන් නිර්මාණය කරමින් ය.

බොහෝවිට වාණිජ අරමුණු පෙරදැරි කරගෙන නව තාක්ෂණික උපකරණ හා නව පාරිභෝගික භාණ්ඩ ලෙස හඳුන්වාදීමත් ඒවා පිළිබඳ අවශ්‍යතාව මාධ්‍ය මඟින් හා වෙනත් උපක්‍රම මගින් අලුතෙන් ඇති කිරීමත් අද බහුලව දක්නට ලැබේ.
මේ තත්ත්වය යටතේ ලෝකයේ බොහෝ ජනයා අධි පරිභෝජනවාදී ජීවන රටාවකට යොමු වී ඇති අතර විශේෂයෙන් ආසියාතික ජනයා ද ඒ වෙත සීඝ්‍රයෙන් යොමුවෙන බව පෙනේ. දිනෙන් දින වෙළෙඳපොළට නිකුත්වන නව පාරිභෝගික භාණ්ඩ අලුත්ම මාදිලියෙන් ලබා ගැනීමට බොහෝ දෙනෙක් මහත් වෙහෙසක් දරන ආකාරය අද දැක ගත හැක. මෙම අධි පරිභෝජනවාදී ජීවන රටාව පුද්ගල ජීවිතයට හා පරිසරයට ඔරොත්තු නොදෙන මට්ටමට වර්ධනය වීම නිසා විවිධ මානසික ගැටලු ආර්ථික ගැටලු, සමාජීය ගැටලු හා පාරිසරික ගැටලු රාශියක් නිර්මාණය වෙමින් පවතී. මේ තත්ත්වයෙන් ජන සමාජය මුදවා ගැනීමට අධි පරිභෝජනවාදී ජීවන රටාවෙන් මිදුණු කණ්ඩායමකගේ මග පෙන්වීම හා ආදර්ශ නූතන ලෝකයේ අවශ්‍යතාවයක් වී ඇත.

බුදුරජාණන්වහන්සේ උන්වහන්සේ සොයාගත් ධර්ම විනය පදනම් කරගෙන ගොඩනැගූ භික්ෂු සංස්ථාව අත්තකිලමථානු යෝගයත්, කාමසුඛල්ලිකානු යෝගයත් බැහැර කළ නිවැරදි පාරිභෝගික දර්ශනයකින් යුතු මානව සංවිධානයකි. මූලික මිනිස් අවශ්‍යතා හා තෘෂ්ණා හරිත නෙතින් ආශා මැනවින් වෙන්කර හඳුනාගත හැකි දර්ශනයන් මත පදනම් වූ චරණයක් මෙම භික්ෂු සංස්ථාව උදෙසා බුදුරදුන් අනුදැන වදාළ සේක. නූතන අධි පරිභෝජනවාදී සමාජයට නිවැරදි හා සාර්ථක මග පෙන්වීමක් සැපයීමට මෙම භික්ෂු ප්‍රතිපදාවට හැකියාවක් ඇත.

එහෙත් නූතන ශ්‍රී ලාංකික භික්ෂු සමාජය ක්‍රියාකරන්නේ, අප රටට ගලා එන අධි පරිභෝජනවා දී ජීවන රටාවන් හමුවේ. ඉහත දැක්වූ ආකාරයේ දර්ශනයක් හෝ චරණයක් අනුගමනය කරමින් බව පෙනෙන්නට නැත. තාක්ෂණික මෙවලම් උපකරණ භාවිතයේ දී ඒවායෙන් වසඟයට පත්ව ක්‍රියාකරන ගිහි සමාජයට වඩා වැඩි වෙනසක් භික්ෂු සමාජය තුළ දක්නට නැත. නූතන තාක්ෂණික මෙවලම් පිළිබඳ තිබිය යුතු නිවැරදි ආකල්පය පමණක් නොව ඒවා ශ්‍රමණ ස්වරූපයට අනුව භාවිත කළ යුතු නිවැරදි පිළිවෙත පිළිබඳ අවබෝධය ද නූතන භික්ෂු සමාජයෙන් ගිලිහී යන අයුරු අද දැක ගත හැක. ජංගම දුරකතන භාවිතය පණිවිඩ හුවමාරුව ඉතා පහසුකර ඇති වුවත් එයින් භික්ෂූුන්වහන්සේගේ චර්යාවට නොගැලපීම් රැසක් නිර්මාණය වී ඇත. බොහෝ දන්පළවල්වල දන් වළඳන බණ දෙසන අතරතුර හා පිරිත් මණ්ඩපවල පිරිත් දේශනා කරන අතරතුර භික්ෂූන් වහන්සේගේ ජංගම දුරකතන නාද වේ. එවැනි තැන්වල ඇති ගෞරවනීය සාමකාමී ආගමික පරිසරයට එය කිසිසේත්ම නොගැලපේ. එසේම සමහරවිට එම දුරකතන වෙතින් නාද වෙන්නේ බොළඳ ගීත කාණ්ඩයන් ය. එමගින් පොදුජන හදවත් වල ඇති භික්ෂු ගෞරවය හෑල්ලු වී යයි. කැමරා භාවිතය ද එබඳුම ගැටලු භික්ෂු සමාජය තුළ නිර්මාණය කර ඇත. උත්සව සභාවන් වල පෙරහරවල හා වෙනත් විශේෂ අවස්ථාවන්වල භික්ෂූුන් වහන්සේ වැදගත් ආරාධිත පුද්ගලයෙකි. සහභාගි වන අන්සියලු දෙනාගේ් අවධානය හා ගෞරවය භික්ෂූන් වහන්සේ වෙත යොමු වේ. 

එවැනි අවස්ථාවක භික්ෂූන් වහන්සේ කැමරා ශිල්පියෙකුගේ තත්ත්වයට වැටී ඡායාරූප ගැනීමේ යෙදෙන විට උත්සව සභාවන් අවලස්සන වන අතරම භික්ෂූ ගෞරවය ද හෑල්ලුවට ලක්වේ.
ගුවන් විදුලිය, රූපවාහිනිය, පරිගණකය, යානවාහන යන තාක්ෂණික මෙවලම් නූතනයේ භාවිතා කරන පරිමාව හා භාවිතා කිරීමේ ස්වරූපය නිසාද ඉහත ආකාරයේ නොගැලපීම් රැසක් නිර්මාණය වී ඇත.
සමාජය වෙනස්වීමත් සමග බිහිවන මෙවැනි නව තාක්ෂණික මෙවලම් භික්ෂු සමාජය වෙත ප්‍රවේශවීමේදී ඒවා නිවැරදි පරිදි අනුගත කර ගැනීමේ ක්‍රමවේදයන් ගැන අවබෝධය අඩුවීම මෙවැනි නොගැලපීම් හා ගැටලු නිර්මාණය වීමට හේතු වී ඇත.
මෙම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම බැහැරවීම මේ සඳහා ඇති විසඳුම නොවන අතර භික්ෂූ ජීවිතයේ අරමුණට ඒවායේ ඇති අදාළත්වය හා ප්‍රයෝජනය මැනවින් තේරුම් ගෙන ඒවා භාවිතා කරන පරිමාව හා භාවිතා කරන ස්වරූපය භික්ෂු ජීවිතයට ගැලෙපන පරිදි සකස්කර ගැනීම නූතනයේ සිදුකළ යුතුව ඇත. ‘අඤ්ඤෙ මෙ ආකප්පො කරණීයෝ’ යන්න මෙහිලා භාවිත කළ යුතුය. සිහිගන්වා කටයුතු කළ යුතුය.


උපකරණ හා මෙවලම් භාවිතයේ මූලධර්ම

යුගයෙන් යුගයට සමාජය වෙනස් වනවිට නව තත්ත්වයන්ට මුහුණ පාන්නට භික්ෂු සමාජයට සිදුවන අතර භික්ෂු විනය ප්‍රතිපදා පැණවීමේදී බුදුරජාණන් වහන්සේ හා විනය ධර මහ තෙරුවන් ඒ පිළිබඳ අවබෝධයකින් ක්‍රියාකර ඇත. ඒ අනුව විනය ශික්ෂාවන්ට අන්තර්ගත නොවූ තත්ත්වයන් හා කරුණු ඉස්මතු වූ විට ඒවා නිශ්චය කර ගැනීමට විනය ‘මහාපදේස’ හතරක් දේශනා කර ඇත. බුද්ධ භාවිත ධර්මය කුමක්දැයි නිශ්චය කර ගැනීමට සූත්‍ර පිටකයේ මහාපදෙස දක්වා ඇති පරිදිම විනය ශික්ෂාවන්ට අනුකූ®ල වන නොවන දේ නිශ්චය කර ගැනීමට මෙම විනය ‘මහාපදේස’ දේශනා කර ඇත. ඒවානම්,

01. බුදුරජාණන් වහන්සේ අකැප යැයි ප්‍රතික්ෂේප නොකළ දෙයක් කැප යැයි වදාළ දෙයකට සමාන වේ නම් කැපයැයි වදාළ දෙයකට අසමාන වේ නම් එය අකැප ලෙස සැලකිය යුතුය.

02. බුදුරජාණන් වහන්සේ අකැප යැයි ප්‍රතික්ෂේප නොකළ දෙයක් කැප යැයි වදාළ දෙයකට සමාන වේ නම් අකැප යැයි වදාළ දෙයකට අසමාන වේ නම් එය කැප ලෙස සැලකිය යුතුය.

03. බුදුරජාණන් වහන්සේ කැප යැයි නො අනුදක්නා ලද දෙයක් අකැප යැයි අනුදක්නා ලද දෙයකට සමාන නම් කැපයැයි අනුදක්නා ලද දෙයකට අසමාන වේනම් එය අකැප ලෙස සැලකිය යුතුය.

04. බුදුරජාණන් වහන්සේ කැප යැයි නොඅනුදක්නා ලද දෙයක් කැප යැයි අනුදක්නා ලද දෙයකට සමාන වේ නම් අකැප යැයි අනුදක්නා ලද දෙයකට අසමාන වේ නම් එය කැප යැයි සැලකිය යුතුයි.

මේ අනුව පවතින ශික්ෂා පද ඇසුරෙන් නව තත්ත්වයකට මුහුණ දීමට මගපෙන්වීමක් සපයාගත යුතු බව මෙයින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ දුර දක්නා නුවණින් හා ප්‍රායෝගික පදනමකින් යුතුව භික්ෂූ සංස්ථාවේ යහ පැවැත්ම වෙනුවෙන් පණවා වදාළ දැනට විනය පිටකයේ සඳහන් ශික්ෂණයන් ඇසුරෙන් උපකරණ හා මෙවලම් භාවිතය පිළිබඳ මූලධර්ම කිහිපයක් හඳුනාගත හැකිය.

01. භික්ෂු ජීවිතයේ මූලික පරමාර්ථයට අදාළ බව

02. අවමය උපරිමයක් කොට සලකන සරල බව

03. පරිසර හිතකාමී බව

04. පොදුජන සමාජ රටාවෙන් වෙන් වූ ස්වභාවය

බුදුරදුන් වදාළ ධර්ම විනය අනුව ජීවිතය ගෙවීමට කැප වූ භික්ෂු ජීවිතයේ පරමාර්ථය වන්නේ තමන්ගේ අධ්‍යාත්මික සුවය සලසාගෙන අන් අයගේද අධ්‍යාත්මික සුවය පිණිස ක්‍රියාකිරීමය. නව උපකරණ හා මෙවලම් භික්ෂු ජීවිතයට සම්බන්ධ කර ගැනීමේදී ඉහත දැක් වූ ආත්මාර්ථයට හා පරාර්ථයට පහසුවන පරිදි ක්‍රියාකිරීම මෙම මූලධර්මයයි. බොහෝ උපකරණ හා මෙවලම් තමන්ගේ අධ්‍යාත්මික සුවයට බාධාකාරී විය හැක. ඒවා කෙලෙස් වඩවන තමන්ගේ විවේකය නසන අනවශ්‍ය වෙහෙසක් තමන්ට ඇතිකරන දේ විය හැක. එසේත් නැතිනම් පරාර්ථය පිණිස තමන්ට හැසිරෙන්නට තිබෙන කාලය හා විවේකය සීමා කරවන දේ විය හැක. එසේ තම පරමාර්ථයට බාධා කරන දේ ඉවතලා එය පහසු කරන දේ සුදුසු ප්‍රමාණයෙන් තම ජීවිතයට සම්බන්ධ කර ගැනීමට භික්ෂුව නුවණැති විය යුතුය.
සරල ජීවන පැවැත්ම භික්ෂු ජීවිතයට ආභරණයකි. තාක්ෂණික මෙවලම් හා භාණ්ඩ පරිහරණයේදී ද මෙම සරල බව භික්ෂු ජීවිතය තුළ රැඳී තිබිය යුතුය. විනය පිටකයේ දැක්වෙන සතර වැදෑරුම් ‘නිස්සය’ පිළිබඳ ඉගැන්වීම භාණ්ඩ පරිභෝගය පිළිබඳ මනා මගපෙන්වීමක් ලබාදෙයි. තාක්ෂණික උපකරණ භාවිතය පිළිබඳ අදහසක් ද එයින් ඉස්මතු කරගත හැක. පාරිශුද්ධ උපසම්පදා ශීලයට පත්වන නවක භික්ෂුවක් උපසපන් වූ වහාම මෙම නිස්සය කියවා ඒ පිළිබඳ ප්‍රතිඥාවක් දෙයි. මෙම නිස්සය ධර්මයත් උපසම්පත්තියට පත් වූ වහාම අනිවාර්යයෙන් කියවිය යුතු හා කියාදිය යුතු (ආචික්ඛිතබ්බ) කරුණු ලෙස මහා වග්ගපාලියේ දැක්වේ. එහි කියවෙන්නේ තම පැවිදි ජීවිතයේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමේදී තමන් සෑහීමකට පත්වන සීමාව තීරණය කර ගන්නා ආකාරය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍යය යන සිව් පසය පරිභෝජනයේදී තමන් සෑහීමකට පත්වන්නේ කුමන සීමාවේද යන්න මෙහිදී පැහැදිලිව තීරණය කරයි.

ආහාර - මාගේ පැවිද්ද පිණ්ඩපාතයෙන් යැපෙන ආකාරය පිහිට කොටගෙන ඇත. ජීවිතාන්තය දක්වා එලෙස පවතින්නට උත්සාහ ගතිමි. එයින් බැහැරව සංඝදාන ආරාධනා කරගෙන දාන, සලාක දාන, ආදි ක්‍රම වලින් ලැබෙන ආහාර අතිරේක ලාභ ලෙස සලකමි.

චීවර - මාගේ පැවිද්ද පාංශකූ®ල චීවරය පිහිටකොට ගෙන ඇත. ජීවිතාන්තය දක්වා එලෙස පවතින්නට උත්සාහ ගතිමි. එයින් පැහැරව ලැබෙන කපු, කොහු, හණ ආදි සිවුරු ‘අතිරේඛ ලාභ’ ලෙස සලකමි.

සේනාසන- මාගේ පැවිද්ද රුක්මුල් පිහිට කොටගෙන ඇත. එලෙස පැවිදි ජීවිතය ජීවිතාන්තය දක්වා පවත්වා ගන්නට උත්සාහ ගතිමි. එයින් බැහැරව ලැබෙන විහාරාරාම, ප්‍රාසාද, ගුහා ආදී වාසස්ථාන ‘අතිරේඛ ලාභ’ ලෙස සලකමි.

ගිලන්පස - මාගේ පැවිද්ද පුතිමුත්ත භේසජ්ජය පිහිට කොටගෙන ඇත. එසේ පැවතීමට ජීවිතාන්තය දක්වා උත්සාහ ගතිමි. එයින් බැහැරව ලැබෙන ගීතෙල්, මීපැණි, ආදිය වෙනත් ඖෂධ ‘අතිරේක ලාභ’ ලෙස සලකමි.

මෙම සතර නිස්සය කියවීමේදී ආහාරය පිළිබඳ තමන්ගේ සැහීමේ සීමාව පිණ්ඩපාතය බවත් ගිලන්පස පිළිබඳ සෑහීමේ සීමාව ස්වාභාවික ප්‍රතිමුත්ත භේසජ්ජය බවත් තීරණය කරයි. එයින් බැහැරව ලැබෙන දේ සතුටින් භාර ගන්නා නමුත් ඒවා සලකන්නේ අමතර ලැබීම් ලෙස බව මෙහිදී අවධාරණය කරයි. සතර නිස්සය මගින් ඉස්මතු වන මූලධර්ම වන්නේ භික්ෂු ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේදී අවමය උපරිමය ලෙස සැලකීමයි. කොතරම් සිව්පසය ලැබුණත් ඒවා බාරගන්නා නමුත් තමන්ගේ සෑහීමේ සීමාව අවමය බව සිහිතබාගෙන ක්‍රියාකිරීම මෙහිදී සිදු වේ. නූතන තාක්ෂණික මෙවලම් භාවිතයේදී ද මේ මූලධර්මය අනුගමනය කරන්නේ නම් එය මෙවලම් වලින් සැබැවින්ම අපට ප්‍රයෝජනයක් සැලසේ නම් පමණක් ඒවා භාවිතා කිරීමට අප යොමු වේ. දුරකථන කැමරා රූපවාහිනි, ගුවන්විදුලි, යාන වාහන වැනි දෑ තම ජීවිතයේ අනිවාර්ය අංගයන් නොව අවශ්‍යතාවය මතුවන පරිදි අවශ්‍ය මට්ටමට භාවිතයට ගත යුතු දේ ලෙස තේරුම් යයි. අවශ්‍යතාවය තදින් මතුව තිබෙන විටෙක නව තාක්ෂණික මෙවලම් අවබෝධයෙන් යුතුව භාවිතා කිරීමටත්, එවැනි අවශ්‍යතාවයක් නැති විටෙක හෝ තාක්ෂණික මෙවලම් සොයාගැනීමට නොහැකි වූ විට ඒ පිළිබඳ වෙහෙස නොවී සිටීමටත්, ඒ පසුපස හඹා නොයාමටත් භික්ෂුවට හැකියාව තිබිය යුතුය.

බුදුරජාණන් වහන්සේ භික්ෂු ප්‍රතිපදාව අනුදැන වදාළේ සබ්බපාණ භූත හිතානුකම්පි ප්‍රතිපදාවක් ලෙසය. උන්වහන්සේ අපේක්ෂා කළේ පරිසරයටවත් හානියක් නොවන ප්‍රතිපදාවකින් භික්ෂු ජීවිතය සැරසීමටය. විනය පිටකය පුරා ගස් කොළන් වලට හානි පැමිණවීම, තණ හා ජලය අපිරිසිදු කිරීම, පොළොව කැනීම වැනි පරිසරයට හානි කර ක්‍රියා වළක්වන ශික්ෂාපද අනුදැන වදාරා ඇත. විශේෂයෙන් භෞතික සම්පත් අපතේ නොයවා උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් පරිසර හිතකාමීන් හැසිරෙන්නට මග පෙන්වන ශික්ෂාපද හා ප්‍රතිපදා රාශියක් ප්‍රාතිමෝක්ෂයේ හා බන්ධක විනයේ ඇතුළත් ය. මහා වග්ගපාලියේ චම්මක්ඛන්ධකයේ තල්ගස් සිඳ තල්පත් වලින් කළ පාවහන් භික්ෂුව භාවිත කළ බවක් සඳහන් ය.
එහිදී ඒ හේතුවන් තරුණ තල්ගස් මැලවෙන ආකාරය දැනගෙන එහෙයින් තල්පත් වලින් තද පාවාහන් නොදැරිය යතු යැයි භික්ෂා පදයක් පනවා ඇත. නූතන තාක්ෂණික මෙවලම් භාවිතයේදී පරිසර හිතකාමී බව භික්ෂුවක් විසින් පවත්වා ගත යුතුය. ස්වාභාවික සම්පත් අපතේ යන අයුරින් අනවශ්‍ය ලෙස මෙවලම් භාවිතයට නොගෙන අවම ලවණයන්ගෙන් භාවිතා කිරීම මෙන්ම වායුගෝලය, ශබ්දය, ජලය දූෂණයට ලක් නොවන පරිදි ඒවා භාවිතා කිරීම ද භික්ෂු ප්‍රතිපදාවට ඇතුළත්විය යුතුය. බුදුරජාණන් වහන්සේ සිය සංස්ථාව පිහිට වූයේ කෙලෙස් සැඩ පහරට ගහගෙන යන ජන සමාජයට නිවැරදි මාර්ගය පෙන්වීමට සමත් ශක්ති සම්පන්න ආදර්ශමත් පිරිසක් වශයෙනි. එබැවින් භික්ෂු සංස්ථාවේ ගමන් මග පොදුජන සමාජයේ ගමන් මග නොවේ. පොදුජන සමාජයේ ප්‍රවණතාවලට වෙනස් වූ ප්‍රතිපදාවක් භික්ෂු සංස්ථාවට තිබිය යුතුය. භික්ෂු සංස්ථාවේ ගමන් මගේ දිශාව පොදුජන සමාජයේ දිශාවට වෙනස්විය යුතුය. බුදුරජාණන් වහන්සේගේ ‘පටිසෝත ගාමී’ ලෙස හැඳින්වූයේ මෙම වෙනසයි. භික්ෂු ජීවිත ප්‍රතිපදාවේ මූලික ලක්ෂණ මැනවින් පැහැදිලි කරන දසධම්ම සූත්‍රයේ ‘අඤ්ඤෝ මෙ ආකප්පො කරණියෝ’ ලෙස දක්වා ඇත්තේ භික්ෂු සංස්ථාව තුළ තිබිය යුතු මෙම මූලික ආකල්පමය වෙනසයි. විවිධ උපකරණ හා මෙවලම් භාවිතයේ ප්‍රධාන මූලධර්මයන් වන්නේ පොදුජන සමාජයෙන් වෙනස් වූ මෙම ‘අන්‍යභාවයයි’ පොදුජන සමාජය නව තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිතා කරන ආකාරයෙන් වෙනස් වූ ක්‍රමයක් භික්ෂු සංස්ථාවට තිබිය යුතුය. මෙම අන්‍යභාවය තාක්ෂණික මෙවලම් භාවිතා කරන පරිමාව හා ස්වරූපය යන අංශ දෙකෙහිම පවත්වාගත යුතුය.

සාමාන්‍ය ජනතාව මෙම තාක්ෂණික මෙවලම් වල ඇලී ගැලී ඒ මතම යැපෙමින් ක්‍රියාකරන විට භික්ෂූන් වහනසේ එම ආභරණ නොව උපකරණ වශයෙන් සලකා පමණ දැන භාවිත කළ යුතුය.
සමාජයේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් ලෙස දුරකථන, කැමරා, පරිගණක වැනි තාක්ෂණික මෙවලම් භාවිතයේදී ගිහි සමාජයට වඩා විනයක් සංවරයක් ශික්ෂණ බවක් භික්ෂූන් වහන්සේ සතුවිය යුතුය. ගිහි පුද්ගලයන් සිදුකරන අනෙකුත් සාමාන්‍ය ක්‍රියාද භික්ෂූන් වහන්සේ කරන්නේ සංවර භාවයකිනි. ගමන්කිරීම, ආහාර ගැනීම, වැනි ක්‍රියා භික්ෂූන් වහන්සේ කරන විට වඩිනවා, වළදනවා වැනි විශේෂ යෙදුම් අපේ භාෂාවේ දැක්වෙන්නේ භික්ෂු හැසිරීමේ ඇති ඒ සංවරශීලි ශිෂ්ට සම්පන්නකම නිසාය. නූතන තාක්ෂණික මෙවලම් භාවිතයේදී ද එපරිද්දෙන්ම භික්ෂූන් වහන්සේ තුළ සංවරශීලි ශිෂ්ට සම්පන්නකමක් දිස්විය යුතුය.


යෝජනා

නව තාක්ෂණික උපකරණ හා මෙවලම් භික්ෂු ජීවිතයට අනුගත කරගත හැකි ආකාරය ගැන යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ හැක. කැමරාවක් භාවිතා කර උත්සව සභාවක, රැස්වීමක, පෙරහරක ඡායාරූප ගැනීම අත්‍යවශ්‍ය වූ විට භික්ෂූන් වහන්සේ ලෙස තමන් ඡායාරූප ගැනීම සිදුනොකර ඒ සඳහා පුහුණු කළ තරුණයෙක් ලවා හෝ එතැන සිටින සුදුසු ගිහි පුද්ගලයෙකු ලවා අවශ්‍ය උපදෙස් ලබාදී එය කරගැනීම උචිතය. ජංගම දුරකථන භාවිතයේදී මගතොට ගමන් කරන විට පොදු ස්ථානවල ගැවසෙන විට හැකි තරම් එයින් වැළකී සිටීම වඩාත් සුදුසු ය. අත්‍යවශ්‍ය නම් ආවරණය වූ තැනකට ගොස් ඉක්මණින් සංවාදය අවසන් කිරීම සුදුසුය. බස්රථවල ගමන් කරන විට දුරකථන සංවාද වලින් හැකි තරම් වැලකීම, අත්‍යවශ්‍ය සංවාද කෙටි කිරීම, දුරකථන නාද වීම නිහඬ කර තැබීම, වඩා ගැලපෙන ක්‍රියාදාමයන් ය. වෙළෙඳපොළේ ඇති අලුත්ම මාදිලියේ ජංගම දුරකතන මිලදී ගෙන ඒවා ප්‍රදර්ශනය වන සේ හැසිරීම තමන්ට තත්ත්වයක් ලබා ගැනීමට බොහෝ ගිහි පුද්ගලයන් උත්සාහ දැරුවත් භික්ෂුවකට එසේ කිරීම කිසිසේත්ම නොගැලපේ. ඊට වඩා ගෞරවණීය තත්ත්වයක් භික්ෂුවකට නිතැතින්ම සමාජය තුළ හිමි වේ. ජංගම දුරකතන ප්‍රදර්ශනය කරන තත්ත්වයක් ලබා ගැනීමට යෑමේදී සිදුවන්නේ තිබෙන තත්ත්වයද නැතිවීමයි. ගුවන් විදුලි හා රූපවාහිනීය යන තොරතුරු තාක්ෂණික උපකරණ භාවිතයද අධ්‍යාපනික හා ආගමික වටිනාකමක් ඇති වැඩසටහන්වලට හැකි තරම් සීමා කිරීම භික්ෂු ප්‍රතිපදාවට වඩාත් යෝග්‍ය වේ. එසේම විහාරස්ථානයේ සිදු කරන දෛනික හා විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන වේලාවල් වල රූපවාහිනී වැඩසටහන් නැරඹීම හා ගුවන් විදුලි වැඩසටහන් ඇසීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ. යාන වාහන භාවිතයේදී ද ඒවා භාවිතා කිරීමේ මූලික අරමුණ සිහියේ තබාගෙන ක්‍රියාකිරීම වැදගත් ය. එසේම වාහනයක ගමන් කරන විටද සිව්රේ කොන් එළියට පෙනෙන සේ ගමන් නොකර මැනවින් සිවුරු හැඳ පොරවා සංවරභාවයෙන් උපලක්ෂිතව හිඳීම භික්ෂුත්වයට ගැලපේ. තමන් ගමන් කරන වාහනය පාරේ ගමන් කරන අනෙකුත් වාහන වලට හා පුද්ගලයන්ට කරදරයක් නොවන සේ පැදවීමට මෙන්ම මාර්ග නීතිරීති වලට ගරු කරමින් වාහනය පැදවීමට රියදුරු යොමුකර ගැනීමට භික්ෂූන් වහන්සේ වගබල ගත යුතුය.
නූතනයේ බහුලව භාවිතා කරන තවත් තාක්ෂණික උපකරණයක් නම් පරිගණකය යි. පරිගණකයේ භික්ෂූත්වයට අදාළ උපකරණයක් බවට පත්කර ගැනීමට භික්ෂූන් වහන්සේට හැකියාවක් ඇත. පරිගණකය හුදු විනෝදාස්වාදය සපයන උපකරණයක් නොව ප්‍රායෝගික ප්‍රයෝජන රැසක් ඇති උපකරණයක් ලෙස වටහා ගැනීම මෙහිදී වැදගත් ය. විහාරස්ථානයේ දායක පින්වතුන්ගේ නාම ලේඛන හා විස්තර ලිපිගොනු පවත්වාගැනීම දහම් පාසල් විස්තර රැස්කර ගැනීම විහාරස්ථානයෙන් නිකුත්කරන ලිපි, විහාරස්ථානයේ උත්සව සඳහා යවන ආරාධනා පත්‍ර දැන්වීම් පත්‍රිකා සැලසුම් කිරීම හා මුද්‍රණය කිරීම පරිගණකයෙන් සිදුකරගත හැකි දේ ය. පරිගණක භාවිතය මඟින් අන්තර්ජාලයට පිවිසීමට ද ලොව පුරා ඇති විවිධ තොරතුරුවලට ප්‍රවණතාවලට හා සංස්කෘතීන්ට විවරවීමට ද හැකිය. මෙම නිමාවක් නැති තොරතුරු වලින් තම භික්ෂු ජීවිතයේ දියුණුව වෙනුවෙන් යොදාගත හැකි දේ තෝරාබේරා ගැනීමට භික්ෂුන් වහන්සේ සමත් නොවුණහොත් අන්තර්ජාලය භික්ෂු ජීවිතයට තවත් බාධකයක් විය හැක. බුදුදහම පිළිබඳ හා ලෝකයේ බෞද්ධ ආයතන පිළිබඳ තොරතුරු අඩංගු වන වෙබ් අඩවි අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ ඇත. අන්තර්ජාලය ඔස්සේ ඉංගී‍්‍රසි භාෂාවෙන් ත්‍රිපිටක ග්‍රන්ථ සහ වෙනත් බෞද්ධ පොත් කියවිය හැකි අතරම බුදුදහම පිළිබඳ නූතනයේ කෙරෙන විවිධ පර්යේෂණ හා ලෝකයේ විවිධ බෞද්ධ ආයතන වල සිදු කෙරෙන වැඩසටහන් පිළිබඳ තොරතුරු ද දැනගත හැක. ඒ තොරතුරු ඇසුරෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු හා විහාරස්ථානයේ ආගමික කටයුතු වලට නව ආදර්ශයන් ලබාගැනීමට භික්ෂූන් වහන්සේට හැකිවනු ඇත. තම විහාරස්ථානය හෝ පිරිවෙන් ආයතනය පිළිබඳවද එහි ඉතිහාසය හා සේවා ව ඇතුළත් කොට වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට ද හැකියාව ඇත. මේ අයුරින් ශාසනික හා අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් අන්තර්ජාලය යොදා ගැනීම හා එය විනයකින් යුක්තව පරිහරණය කිරීම භික්ෂු ජීවිතයට ගැලපෙන පිළිවෙතයි. අන්තර්ජාලය ඔස්සේ ඊමේල්, ස්කයිප්, ෆේස්බුක්, වැනි ක්‍රම මඟින් ලෝකයේ බොහෝ අය සමග සම්බන්ධතා ඇතිකර ගත හැකි අතර එහිදී වඩාත් ප්‍රවේශම්කාරි විය යුතුය. මෙම ක්‍රම මගින් ලෝකයේ විවිධ රටවල අයව සම්බන්ධ කර ගැනීමට අවස්ථාව ඇත. එසේ සම්බන්ධ වන අය බුදුදහම පිළිබඳව භික්ෂූන් වහන්සේ පිළිබඳ දැනගන්නා මුල්ම අවස්ථාව සමහරවිට මෙය විය හැක. එහිදී අප ඔවුන් සමග සම්බන්ධවන ආකාරයෙන් ඔව්හු භික්ෂූන් වහන්සේ ගැන කරුණු මැන ගනිති. ඒ සම්බන්ධය හරහා බුදුදහම පිළිබඳ ආකල්ප ඇතිකර ගනිති. එබැවින් භික්ෂූත්වයේ සීමා තේරුම් ගෙන බුදුදුහම පිළිබඳ හෝ භික්ෂූන් වහන්සේ පිළිබඳව සෘණාත්මක ආකල්පයන් ඇති නොවන සේ විදේශිකයන් සමග ඉහත ක්‍රම මගින් ගනුදෙනු කිරීම භික්ෂුවකගේ වගකීමයි. ඒ සම්බන්ධතා මගින් බුදුදහම පිළිබඳ කරුණු කියාදීම භික්ෂුවකගේ යුතුකමයි.

මේ අයුරින් නව තාක්ෂණික මෙවලම් නිවැරදි පරිමාවෙන් හා නිවැරදි ස්වරූපයෙන් භික්ෂුත්වයේ පරමාර්ථයට අනුකූලව භාවිතා කිරීමෙන් නූතනයේ ශ්‍රී ලාංකික භික්ෂු සංස්ථාව මුහුණ පා ඇති නව තාක්ෂණයේ අභියෝගය ජය ගත හැකි වනු ඇත. සහස්‍ර දෙක හමාරකට වඩා දීර්ඝ වූ ඉතිහාසය ගමන් මගක් හිමි භික්ෂු සංස්ථාව මීට පෙර යුගවලදීද මෙවැනි තත්ත්වයන්ට හා අභියෝගයන්ට මුහුණ දී ඇති අතර එම අවස්ථාවල දී මූලික භික්ෂු අරමුණු වලට හා ශ්‍රමණ ස්වරූපයට අදාල වන පරිදි එම නව තත්ත්වයන් අනුගත කර ගැනීමට භික්ෂු සංස්ථාවට හැකි වූ නිසා මේ දක්වා නොනැසී පවතින්නට හා සමාජ ගෞරවය හිමි සමාජයට මග පෙන්වන මානව කණ්ඩායමක් ලෙස පෙනී සිටින්නට භික්ෂු සංස්ථාවට හැකි වී ඇත. අනාගතයටත් එසේ පවතින්නට නම් තාක්ෂණික දියුණුව මගින් නිර්මාණය කර ඇති නව තාක්ෂණික මෙවලම් භාවිතය නිවැරදිව භික්ෂු ජීවිතයට අනුගත කරගත යුතුය. පොදුජන සමාජයටත් ආදර්ශයක් සපයන ආකාරයට ඒවා භික්ෂු ජීවිතයට ද අනුගත කර ගැනීමට භික්ෂූන් වහන්සේ වගබලා ගත යුතුය. ඉහත දැත්වූ පරිදි නව තාක්ෂණික මෙවලම් භාවිතයේ නිවැරදි ආකල්පයන් නිවැරදි පරිමාවන් හා නිවැරදි ස්වරූපයන් මැනවින් තේරුම් ගතහොත් එමගින් භික්ෂුත්වය සරසා ගැනීමටත්, පොදුජන සමාජයට නිවැරදි මගපෙන්වීමක් ලබාදීමටත් භික්ෂූන් වහන්සේට හැකිවනු ඇත. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ බුද්ධ ශ්‍රාවකයා කසල ගොඩක පිපෙන පියුමක් සේ සමාජ ව්‍යාධින්ගෙන් මිදී සමාජය බබළවනු ඇත කියාය. භික්ෂූන් වහන්සේ නව තාක්ෂණික උපකරණ භාවිතය සම්බන්ධයෙන් ද මේ ලක්ෂණ ප්‍රකට කළ යුතුය.
පාදක සටහන්

01. මහා වග්ගපාලි ධ් බු. ජ. මු. 624 පිට
02. මහා වග්ගපාලි , මහා බන්ධක, බු.ජ.මු 236 පිට
03. මහා වග්ගපාලි , මහා බන්ධක, බු.ජ.මු 238 පිට
04. මහා වග්ගපාලි, මහා බන්ධක බු.ජ.මු 497 පිට
05. ධම්මපද පුප්ඵවග්ග 58 - 59 ගාථා



මේ ලිපිය සැකසීමේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංඝාරාම උපශාලාධිපති ශාස්ත්‍රපති කහගල සාරානන්ද හිමියන්ගෙන් ලද මඟපෙන්වීම අගය කොට සලකමි.


 ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
සුරක්කුලමේ පේමරතන හිමි
ආචාර්ය උපාධි පර්යේෂක - පෙන්සිල්වේනියා
පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලය






 ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන  බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment