පුහුදුන් සිතෙහි ඇතිවන ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවුද, මෝහ සහගතවූද, ළාමකවූ අකුසල සිතිවිලි දුරුකර, සමාධිය ඇති කිරීම සඳහා ඉවහල්වන ක්‍රම පහක් දේශනා කළහ. උපමානුසාරයෙන් දේශිත මෙම ක්‍රමවේදයන් ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කිරීම සඳහා ඉතා වැදගත් වෙයි.
විතක්කසණ්ඨාන සූත්‍රය
– මජ්ඣිම නිකාය
එක්කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඩු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වාසය කරති. එහිදී භික්ෂූන් ඇමැතු බුදුරජාණන් වහන්සේ, පුහුදුන් සිතෙහි ඇතිවන ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවුද, මෝහ සහගතවූද, ළාමකවූ අකුසල සිතිවිලි දුරුකර, සමාධිය ඇති කිරීම සඳහා ඉවහල්වන ක්‍රම පහක් දේශනා කළහ.
උපමානුසාරයෙන් දේශිත මෙම ක්‍රමවේදයන් ක්ලේශ ධර්මයන්ගෙන් සිත නිදහස් කිරීම සඳහා ඉතා වැදගත්වෙයි. මෙම දෙම් දෙසුම පෙළ දහමට අනුව විස්තරාත්මකව විමසා බලමු.
කුසල් අරමුණක් මෙනෙහි කිරීම
මහණෙනි, විදර්ශනාවට පාදකවූ සමාධිය වඩන්නාවූ භික්‍ෂුව විසින් කලින් කල කරුණු පහක් මෙනෙහි කළ යුත්තාහුය. ඒවා නම් මෙසේය, මහණනි, මේ ශාසනයෙහි භික්‍ෂුවට යම් අරමුණක් නිසා, යම් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොටගෙන, ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනා උපදිත්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කළ යුතුය. ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිතවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූ ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ යම් අකුසල කල්පනාවෝ වෙද්ද, ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශවෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.මහණනි, යම්සේ දක්‍ෂ වඩුවෙක් හෝ වඩු ගෝලයෙක් හෝ කුඩා ඇණයකින් ලොකු ඇණයක් පිටකරන්නේද, නිකුත් කරන්නේද, ගලවා දමන්නේද, මහණනි, එසේම භික්‍ෂුවනට යම් අරමුණක් නිසා, යම් අරමුණක් මෙනෙහි කිරීම නිසා, ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනාවෝ උපදිද්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් අකුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කළ යුතුය. අකුසල සහිතවූ ඒ අරමුණෙන් අන් අරමුණක් මෙනෙහි කිරීම හේතුකොටගෙන ඒ භික්‍ෂුවගේ ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, ළාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත් වෙයි.එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි
ආදීනව මෙනෙහි කිරීම
මහණනි, ඒ අරමුණෙන් අන්‍යවූ කුසල සහිත අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූ ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුශල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද මහණනි, එසේ නම් ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහිකළ යුතුය. මෙසේද මේ කල්පනාවෝ අකුසල්ය. මෙසේද මේ කල්පනාවෝ වරද සහිතය. මෙසේද මේ කල්පනාවෝ දුක්වූ විපාක ඇත්තෝය කියායි. ඒ කල්පනාවන්ගේ ආදීනව මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවගේ ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙනෙක් වෙද්ද, ඒ ලාමක අකුසල කල්පනාවෝ වෙද්ද ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.මහණනි, යමසේ තරුණවූ අලංකාරයට කැමැතිවූ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ සර්ප කුණක් හෝ බලු කුණක් හෝ මිනී කුණක් හෝ බෙල්ලෙහි එල්ලීමෙන් හැකිලෙන්නේද, පිළිකුල් කරන්නේද, මහණනි, එපරිද්දෙන්ම ඒ අරමුණෙන් අන්‍ය කුසලයෙන් යුක්තවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණනි, ඒ භික්‍ෂුව විසින් මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ අකුසල්ය, මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ වරද සහිතය. මේ ආකාරයෙන්ද මේ කල්පනාවෝ දුක් විපාක ඇත්තාහුයැයි ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඔහුට ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ළාමකවූ අකුසල කල්පනාවන් ඇද්ද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශයට පැමිණෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
අකුසල කල්පනා මෙනෙහි නොකිරීම
මහණනි, ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ ඒ කල්පනාවන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවහට උපදින්නාහුම වෙත්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ අකුසල කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවද ළාමකවූ අකුසල කල්පනා කෙතෙක් වෙද්ද, ඒ අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.මහණනි, යම්සේ ඇස් ඇත්තාවු පුරුෂයෙක් ඇස් හමුවට පැමිණියාවූ රූපයන් නොදකිනු කැමැත්තේ නම් හෙතෙම ඇස් පියාගන්නේ හෝ වේද අන් දිසාවක් බලන්නේ හෝ වේද, මහණනි, එමෙන් ඒ ළාමක අකුසල ධර්මයන්ගේ දෝෂ මෙනෙහි කරන්නාවූ ඒ භික්‍ෂුවට ඒ ලෝභ සහගතවූද ද්වේෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ළාමක අකුශල ධර්මයෝ උපදින්නාහුම වෙත්ද, මහණනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනා මෙනෙහි නොකිරීමට, අමතක කිරීමට පැමිණිය යුතුයි. ඒ කල්පනා මෙනෙහි නොකිරීමට අමතක කිරීමට පැමිණියාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද යම් ළාමක අකුසල කල්පනා කෙනෙක් වෙත්ද, ඒ ළාමක අකුසල කල්පනාවෝ ප්‍රහීණවෙත්. අභාවයට යත්. ඔවුන්ගේ ප්‍රහාණය හේතුකොටගෙන සිත අභ්‍යන්තරයෙහිම පවතියි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
මූල හේතුව සෙවීම
මහණනි, ඒ කල්පනා මෙනෙහි නොකරන්නාවූ අමතක කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත්ද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කටයුතුයි. මහණනි, ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද යම් ළාමක අකුසල කල්පනා කෙතෙක් ඇද්ද, ඒ අකුසල කල්පනාවෝ පහ වෙත්. අභාවට යත්.ඔවුනගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.මහණනි යම්සේ පුරුෂයෙක් ඉක්මනින් යන්නේද, ඔහුට මම කුමක් නිසා වහා යන්නෙම්ද? සෙමින් යන්නෙමි’ යි අදහස් වන්නේය. හෙතෙම හෙමින් යන්නේය. ඔහු නැවත කුමක් නිසා මම සෙමින් යන්නෙම්ද? නැවතී සිටින්නෙම් නම් යහපතැයි සිතා නවතින්නේය. නැවත ඔහු කුමක් නිසා මම නැවතී සිටින්නෙම්ද? මම හිඳගන්නෙමි’ යි සිතා හිඳගන්නේය. නැවත ඔහු කුමක් නිසා මම හිඳගන්නෙම්ද? නිදාගන්නෙමි’ යි සිතා නිදාගන්නේය. මහණනි මෙසේ ඒ පුරුෂතෙම ඕළාරික ඉරියව් නවත්වා සියුම් ඉරියවු පවත්වන්නේය. මහණෙනි, එසේම ඒ කල්පනා නොකරන්නාවූ අමතක කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද දෝෂ සහගතවූද මෝහ සහගතවූද ඒ ලාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුමද, මහණෙනි, ඒ භික්‍ෂුව විසින් ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කළ යුතුයි. ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහවෙත්. අභාවයට යෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත් වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
දත්මිටි කෑම
මහණනි, ඒ කල්පනාවන්ගේ මූල හේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවටද, ඉදින් ඒ ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, ඒ ළාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම් මහණනි, ඒ භික්‍ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටි කාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. නැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙතෙක් වෙද්ද, ඒ ළාමකවූ අකුසල කල්පනාවෝ පහවෙත්. අභාවට යත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
මහණනි, යම්සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු හිසෙන් හෝ අල්වා, කරෙන් හෝ අල්වා, නිග්‍රහ කරන්නේද, පෙළන්නේද, තවන්නේද, මහණනි, එසේම ඒ කල්පනාවන්ගේ මුල් හේතුව මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, දෝෂ සහගතවූද, මෝහ සහගතවූද, ඒ ළාමක අකුසල කල්පනාවෝ උපදින්නාහුම වෙත් නම්, මහණනි, ඒ භික්‍ෂුව විසින් දත්වලින් දත් තදකොට දිවෙන් තලු තදකොටගෙන (දත්මිටිකාගෙන) සිතින් සිත නිග්‍රහ කළ යුතුයි. පෙළිය යුතුයි. නැවිය යුතුයි. දත්වලින් දත් තද කොටගෙන දිවෙන් තලු තදකොටගෙන සිතින් සිත නිග්‍රහ කරන්නාවූ පෙළන්නාවූ තවන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ලාමක අකුසල කල්පනා කෙතෙක් වෙත්ද, ඒ ළාමකවූ අකුසල කල්පනාවෝ පහවෙත්. අභාවට යත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි. මහණනි, යම් හෙයකින් යම් අරමුණක් නිසා යම් අරමුණක් මෙනෙහි කරන්නාවූ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, ළාමක අකුසල කල්පනාවෝ උපදිත්ද, එම අරමුණෙන් අන්‍යවූ කුසල් පිණිස පවත්නාවූ අරමුණක් මෙනෙහි කරන්නාවූ ඒ භික්ෂුවට ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශවෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
ඒ කල්පනාවන්ගේ දෝෂ පරීක්‍ෂා කර බලන්නාහටද ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා සහිත කෙතෙක් ඇද්ද, ඔවුහු පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන අභ්‍යන්තරයෙහිම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
ඒ කල්පනාවන්ගේ මුල් හේතුව බලන්නාවූ භික්‍ෂුවහටද ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙනක් ඇද්ද, ඒ ළාමක අකුසල කල්පනාවෝ පහවෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන ඇතුළතම සිත පිහිටයි. මනාව තැන්පත්වෙයි. එකඟ වෙයි. සමාධිය ඇතිවෙයි.
දත්වලින් දත් තදකොට, දිවෙන් තලු තදකොට, සිතින් සිත නිග්‍රහ කරන්නාවූද, පෙළන්නාවූද, තවන්නාවූද, භික්ෂුවටද ලෝභ සහගතවූද, ද්වේෂ සහගතවූද, මෝහ සහගතවූද, යම් ළාමක අකුසල කල්පනා කෙනෙක් ඇද්ද ඒ ළාමක අකුසල කල්පනාවෝ පහ වෙත්. විනාශ වෙත්. ඔවුන්ගේ පහවීම හේතුකොටගෙන සිත ඇතුළතම පිහිටයි. නවතියි. එකඟවෙයි. සමාධියට පැමිණෙයි.මහණනි, මේ භික්‍ෂු තෙමේ යම් කල්පනාවක් කැමැති නම් එය කල්පනා කරන්නාවූද, යම් කල්පනාවක් නොකැමැති නම් එය කල්පනා නොකරන්නාවූද කල්පනා විෂයෙහි පුරුදු කරන ලද වශීභාව ඇත්තේයැයි කියනු ලැබේ. හෙතෙම තෘෂ්ණාව සින්දේය. සංයෝජන පෙරළා දැම්මේය. මනාකොට අර්හත් මාර්ග ඥානයෙන් මානය ප්‍රහීණ කොට දුක් කෙළවර කෙළේය. (අර්හත් තත්ත්වයට පත්වූහ)
භාග්‍යවතුන් වහන්සේ මේ දම් දෙසුම හමාර කළසේක. සතුටු සිත් ඇත්තාවූ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
මහනුවර, මාරතුගොඩ, විදුමිණ විද්‍යායතන පිරිවෙනෙහි ආචාර්ය
ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
මහරැඹෑවේ පාලිත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ
සැප්තැම්බර් මස 22 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment