Labels

Sunday, June 7, 2015

නිවැරැදි දිවියට අධිපතිධර්ම තුනක්



බුදුසමය ප්‍රඥාවන්තයින් සඳහා දේශිත ධර්මයකි. බුදුරජාණන් වහන්සේ සර්වබලධාරි දෙවියෙක් හෝ ගැලවුම් කරුවෙක් නොවේ. බුදුරජාණන් වහන්සේම දේශනා කළ පරිදි උන්වහන්සේ මගපෙන්වන මාර්ගෝපදේශකයෙකි. මග කැඳවාගෙන යන්නෙක් නොවේ.
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මග ගමන් කිරීම ශ්‍රාවකයා සතු වගකීමකි. මෙම පසුබිම යටතේ පුද්ගලයාට පවින් වැළකී යහපතෙහි යෙදීම පිණිස හේතුවන අධිපති ධර්ම තුනක් දර්ශනය යටතේ ඉදිරිපත් කෙරේ. අංගුත්තර නිකායේ තික නිපාත දේවදූත වග්ගයේ දහවන සූත්‍රයෙහි මෙම අධිපති ධර්ම තුන දැක්වේ. මෙම අධිපති ධර්ම භික්‍ෂූන් වහන්සේ මූලික කරගෙන ඉදිරිපත් කළද එහි අන්තර්ගතය ගිහි ජීවිතයටද අදාළ කරගත හැකිවේ. බෞද්ධ සදාචාර බෞද්ධ සදාචාර දර්ශනය යටතේ පවින් හා අකුශලයෙන් වැළකී පින හා කුශලය වැඩීමටත් සදාචාර සම්පන්න ජීවිතයක් ගොඩ නගා ගැනීමටත් උපකාරිවෙන නිර්දේශ ගණනාවක් ඉදිරිපත්කර තිබෙන අතර ඒ සියල්ල පුද්ගලයා විසින් තමන්ම අවබෝධකරගෙන ක්‍රියාත්මක විය යුතුවේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තිබෙන වටිනාකම කැපී පෙනෙන්නේ මෙහිදීය. පුද්ගලයා විසින්ම තමන් කරනු ලබන හොඳ සහ නරක ක්‍රියා විනිශ්චය කළ යුතු අතර ඒ සඳහා වෙනත් බාහිර පුද්ගලයෙකු හෝ දෙවියෙක් හෝ වෙනත් බලවේගයක් පත්කර නොමැත. බාහිර ආධාරයකින් තොරව තමා කරන ක්‍රියා විනිශ්චය කිරීමේ හැකියාව පිහිටා තිබෙන්නේ ප්‍රඥාවන්තයෙකුට පමණි. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම සැබැවින්ම එවැනි ප්‍රඥාවන්තයින් සඳහාම පමණි.


අත්තාධිපතෙය්‍ය

ඉහතින් සඳහන් කළ සූත්‍රයේ අත්තාධිපතෙය්‍ය, ලෝකාධිපතෙය්‍ය, ධම්මාධිපතෙය්‍ය, යනුවෙන් අධිපති ධර්ම තුනක් දැක්වේ. සරලව විග්‍රහ කළොත් මෙම කරුණු තුනෙන් අදහස් කරෙන්නේ හෘදය සාක්‍ෂිය, සමාජය, හා ධර්මය නීතිය, යුක්තිය කරුණු අධිපතිකරගෙන තම ක්‍රියාව දෙස බලා එය හොඳද?නරකද? යනුවෙන් විනිශ්චය කිරීමයි. මෙහි පළමු කරුණෙන් අදහස් කෙරෙන්නේ තම හෘදය සාක්‍ෂිය පදනම්කරගෙන වරදින් වැළකීමයි. සෑම අයෙකුම සමාජයේ යම් විශේෂ භුමිකාවකට අයත් වේ.මෙය ගිහි පැවිදි හෝ ස්ත්‍රි පුරුෂ කියා වෙනසක් නොමැත. එසේම වයස, සමාජ තත්ත්වය හා වෘත්තිය තත්ත්වයද මෙම භූමිකාවෙහි විශේෂ සැළකිල්ලට භාජනය වියයුත්තකි. වෘත්තීය ගෞරවය ආරක්‍ෂා කිරීමට එකී වෘත්තියට අදාළ වගකීමකි. ඒ ඒ පුද්ගලයාගේ භූමිකාව තුළ ඔවුනොවුන්ට පැවැරෙන වගකීම් විවිධ ය. එම වගකීම් හා සම්බන්ධ ආවේණික වූ සදාචාර පද්ධතියක්ද තිබේ. මෙම තත්ත්වය අවබෝධ කරගෙන තම භූ®මිකාව හා එයට අදාළ වගකීම් වටහාගනිමින් තමා වැනි අයෙකුට පාප කර්ම,අකුශල කර්ම හෝ වැරදි ක්‍රියා සිදුකිරීම සුදුසු නොවේ. තමා වැන්නෙකු නීති විරෝධි සමාජ විරෝධි සදාචාර විරෝධි ක්‍රියා සිදු කිරීම සුදුසු නොවේ.
එය තමාගේ උගත්කමට, සමාජ තත්ත්වයට, වෘත්තියට, වයසට නොගැලපේ යනුවෙන් නුවණින් විමසා වරදින් නිදහස් වීමට අවශ්‍ය හෘද සාක්‍ෂිය පදනම් කර ගැනීම “අත්තාධිපතෙය්‍ය” යනුවෙන් දැක්වේ. හෘදය සාක්‍ෂිය පිළිබඳ මෙම බෞද්ධ විග්‍රහය අතිශය වැදගත්වන්නේ එය තමා විසින්ම තම ක්‍රියාව පිළිබඳ විමසා බැලීම නිසයි. ඒ කෙරෙහි වෙනත් අයෙකුගේ මැදිහත් නොවීමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අත්තාධිපතෙය්‍ය පිළිබඳ න්‍යාය එවැනි සමාජයකට බෙහෙවින් වැදගත් වේ.

ලෝකාධිපතෙය්‍ය

 

ලෝකාධිපතෙය්‍ය යටතේ අවධාරණය කෙරෙන්නේ සමාජ සාධකයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලොව පාපය කිසිසේත් සැඟවිය නොහැකි බවයි. එක්කෝ එය තමාගේ හෘදය සාක්‍ෂිය දනී. නැතහොත් වෙනත් අයෙකු විසින් දැනගනු ලැබේ. මෙම සුත්‍රයෙහි දැක්වෙන ආකාරයට සාමාන්‍ය දෘෂ්ඨි පථය ඉක්මවා මනසින් ලෝකය දැකිය හැකිය.අධ්‍යාත්මික ඇස දියුණු කළ පරසිත් දන්නා දිවැස් ඇති ඍද්ධිමත් මහණ බමුණෝ වෙසෙති.
මනස දියුණු කළ මෙම අධ්‍යාත්මික යෝගීන්ට අන්අයගේ ස්වභාවය හැසිරීම් රටාව ඈත සිටම නිරීක්‍ෂණය කළ හැකිවේ. සාමාන්‍ය දැක්ම ඉක්මවා අතීන්ද්‍රීය ඤාණය දියුණු කළ ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අප සිදුකරන අයහපත් ක්‍රියා හෝ යහපත් ක්‍රියා බොහෝදුරට දකිනු ඇත. මෙම ආධ්‍යාත්මික ශක්‍යතාව පිළිබඳ සැළකිලිමත් වෙමින් තමන් අතින් සිදුවන අයහපත් ක්‍රියා මෙන්ම තම සිතෙහි ඇතිවෙන කාම සිතිවිලි, ව්‍යාපාද සිතිවිලි,විහිංසා සිතිවිලි දකින පුද්ගලයන් ලොව වාසය කළ හැකිය. එබැවින් එවන් අධ්‍යාත්මවේදීන් පිළිබඳ සළකා වරදින් නිදහස් විය යුතුවේ. සූත්‍රයේ දැක්වෙන සමාජමය සාධක ඉතා ගැඹුරු වූවකි. කවර භුමිකාවට අයත් පුද්ගලයෙක් වුවද,වරදක් කෙරන්නේ නම් එය සමාජයෙන් වසන් කළ නොහැකිය. කුමන ක්‍රමයකින් හෝ අන් අය එය දැනගනී. වසර ගණනාවක් ගත වුවද ඇතැම් අපරාධ පිළිබඳ සුලමුල සොයාගෙන තිබේ. තමා විසින් සිදුකරන සියලු හොඳ නරක ලෝකය හෙවත් සමාජය විසින් දැන ගන්නේය , යන්න අවබෝධකරගත් තැනැත්තා සමාජ අවමානය පිළිබඳ ගැඹුරින් සළකා වරදින් නිදහස් වේ. මේ වැළකීම සිදුවන්නේ ලෝකය අධිපතිකරගෙනය. එය “ලෝකාධිපතෙය්‍ය” යනුවෙන් දැක්වේ. මින් සිදුවන්නේ වරදක් කිරීමට පළමුව සමාජය තුළින් එල්ලවෙන බලපෑම සාධකයක් කරගනිමින් නිවැරදි ජීවිතයකට අවශ්‍ය පදනම සකස් කරගැනීමයි.

ධම්මාධිපතෙය්‍ය

 

ධම්මාධිපතෙය්‍ය යටතේ අවධාරණය කෙරෙන්නේ ධර්මය අධිපතිකරගනිමින් වරදින් නිදහස් වීමයි. බෞද්ධයෙකු සම්බන්ධයෙන් මෙය සුවිශේෂ වේ. සූත්‍රයෙහි දැක්වෙන පරිදි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන මෙනෙහි කරමින් එහි නෛර්යානික බව දකිමින් ධර්මානුකූල පිළිවෙතට අවතීරණය වීම “ ධම්මාපධිපතෙය්‍ය” ලෙස අර්ථ දැක්විය හැකිය.අබෞද්ධයෙකුට තම ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන වරදින් වැළකිය හැකිවේ. සාමාන්‍ය අර්ථයට අනුව සළකා බලන්නේ නම් ධර්මය, සදාචාරය, නීතිය, යුක්තිය, අධිපති කරගනිමින් වරදින් නිදහස් වීම ලෙස අරුත් ගැන්වීම වරදක් නොවේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින්ද අපේක්‍ෂා කරන්නේ ධර්මානුකූල සදාචාර සම්පන්න ජීවිතයයි. බෞද්ධයා කර්මය හා පුනර්භවය විශ්වාස කරන්නෙකි. කෙනෙකු සිදුකරන කුශලාකුශල කර්මවල ස්වාමියා වන්නේ එම තැනැත්තාය. එබැවින් තමා විසින් සිදුකරන අයයපත් ක්‍රියාවලට අයහපත් විපාකත් යහපත් කර්මවලට යහපත් විපාකත් තිබෙන බව වටහා ගන්නා පුද්ගලයා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගනී. මේ දැක්ම (කම්මස්සකතා සම්මාදිට්ඨි) බෞද්ධයෙකු තුළ ඇතිකරගත යුතු මූලික ගුණාංගයක්ව දසවස්තුක සම්‍යග් දෘෂ්ඨිිය යටතේ පැහැදිලි කෙරේ.
ධර්මය, සදාචාරය, නීතිය, යුක්තිය, යන පුරුෂාර්ථයන්ට ගරු නොකරන සමාජය තුළ විවිධ අපරාධ වර්ධනය වේ.රටක් සමාජයක් දියුණු වන්නේ මෙකී උත්තරීතර ධර්මතා ක්‍රියාත්මක වන්නේ නම් පමණි. කුඩා කල සිටම පුද්ගලයා තුළ ධර්මය , නීතිය, යුක්තිය, කෙරෙහි ගෞරවයක් ඇතිකළ යුතුවේ. කවර භුමිකාවක් නියෝජනය කළද තමාට ඉහළින් ධර්මය, නීතිය සදාචාරය ක්‍රියාත්මක වන බව අවංකව වටහාගෙන එයට අවනත වීම සෑම පුරවැසියෙකුගේම යුතුකම වේ. බුදුරජාණන් වහන්සේගේ සදාචාර දර්ශනයේ අරමුණ වන්නේ එවන් සමාජයක් නිර්මාණය කිරීමය.
මේ අනුව ධර්මය අධිපතිකරගනිමින් නීතිගරුක, යුක්තිගරුක, සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට උනන්දුවීම කවර පුද්ගලයෙකුගේ වුව යුතුකම වේ.
ඉහතින් දැක්වූ අත්තාධිපතෙය්‍ය (හෘදයසාක්‍ෂි) ලෝකාධිපතෙය්‍ය (සමාජ බලපෑම) ධම්මාධිපතෙය්‍ය (ධර්මය නීතිය සදාචාරය) යන අධිපති ධර්මයන් සදාචාර සම්පන්න ජීවිතයකට අවශ්‍ය පදනම සකස් කෙරේ.


කොළඹ විශ්ව විද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි





 ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ ජනවාරි 08 වන බදාදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment