බුදුරජාණන් වහන්සේගේ පද්මාකාර ජීවිතය දෙස බලන අපට උන්වහන්සේගේ ‘යථාවාදී – තථාකාරී හා ‘තථාවාදී – යථාකාරී’ ගුණය හොඳින්ම වටහා ගන්න පුළුවන්. කී දේ කරන එමෙන්ම කරන දේ කියන ගුණය මෙහි අඩංගු වනවා.ගිහි ජීවිතයත් ගැටලු ඇතිවීමෙන් තොරව අප ගත කරන්නේ කෙසේ දැයි යන්න මෙහිදී මැනවින් විදහා පෙන්වනවා. තම මතයෙහිම නොපිහිටා තවත් අයෙකුගේ මතයට ගරු කිරීම ඒ මතයට අවනත වීම අන්‍ය මතය පිළිගැනීම ආදිය ගැන මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතුවනවා.
අතීතයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගරු කළ සමාජයක් තිබූ නිසා අන්‍ය මත ඉවසීමට අප සමාජය හුරුවී තිබුණා. නමුත් වර්තමාන සමාජ රටාව දෙස බලන්න. අන්‍ය මත ගරු කිරීමක් දකින්න තිබෙනවාද?
ඇතැම් විට අන්‍ය මත දෙස බලන්නේ නුරුස්නා ස්වභාවයෙන්. මේ ගැන මාධ්‍ය මඟින් කතා කිරීමටත් කැමැති නැහැ. නමුත් එයින් සිදුවන්නේ මේ තත්ත්වය තවත් උග්‍රවීමයි. අප සමාජයේ අන්‍ය මත ගරු කිරීමේ ස්වභාවය තවත් ඈත්වීමයි සිදු කරනු ලබන වරද එළි දැක්වීමට හෝ අඩුපාඩුව හොවා දැක්වීමට මාධ්‍යයක් ඉදිරිපත් විය යුතු වනවා.
අඩුපාඩුව සකසා ගතහැකි වන්නේ එවිටයි. එසේ නොවුවහොත් සිදුවන්නේ එම තම මතයෙහිම එල්බ ගනිමින් අන්‍ය මත පසෙකලා ඉදිරියට ගමන් කිරීමය.
අප බෞද්ධයන් නම් කළ යුතු වන්නේ බුදු මඟ අනුගමනය කිරීමයි. බුදුරජාණන් වහන්සේ තම මතය නිවැරැදි වුණත් අන්‍ය අය ඒ සම්බන්ධව ගරු නොකළ විට එම මතය අනුගමනය නොකළ විට ඊට එරෙහිව නැඟී සිටියේ නැහැ. බැන වැදීම් කෙළේ නැහැ. ඒ අයට නිවැරැදි දේ තේරම් ගැනීමට ඉඩ දී එතැනින් ඈත්ව නිහඬ වීමයි උන් වහන්සේ විසින් සිදු කළේ.
ඝෝෂිතාරාමයේ භික්ෂු කලහය ඇතිවූ අවස්ථාවේ උන්වහන්සේ විසින් සිදු කළේ කුමක්ද? ධර්මධර හා විනයධර දෙපරිසටම සත්‍යය වටහා ගැනීමට ඉඩ ලබාදී ඉන් ඉවත් වීමයි. පාරිල්‍යෙය ඇතාගේ හා පාරිලෙය්‍ය වඳුරාගේ ඇප උපස්ථාන ලබමින් උන්වහන්සේ ඒ වස් කාලය ගත කළා. අවසානයේ යථා තත්ත්වය අවබෝධ කර ගන්නට ධර්මධර හා විනයධර භික්‍ෂූන් සමත්වුණා.
බුදුරජාණන් වහන්සේගෙන් දේවදත්ත තෙරුන් ඉල්ලූ පංචවරය උන්වහන්සේ පැහැදිලි කර දී ප්‍රතික්ෂේප කළා උන් වහන්සේගේ දේශනාව වූයේ ‘මට අගතිගාමී විය නොහැකියි එම නිසා මට කිසිදු භික්ෂුවකට මස් මාංශ අනුභව නොකරන්නැයි කිව නොහැකිය. කිසිදු භික්ෂුවකට මස් මාංශ අනුභව කරන්නැයි කිව නොහැකියි. කිසිදු භික්ෂුවකට පිණ්ඩපාතික විය යුතුයැයි කිව නොහැකියි. කිසිදු අයකුට එසේ නොවිය යුතු යැයි ද කිව නොහැකිය.මේ දෙඅංශයේම රුචි, අරුචිකම් ඇති අය සිටිනා බැවින් කැමැති අයෙක් කැමැති ලෙසින් එම කාර්යයන්ගේ නියැළීම මම අනුමත කරමි’ යනුවෙන් උන්වහන්සේ දේශනා කළා. එහිදී දේවදත්ත තෙරුන් තමන්ට පක්ෂග්‍රාහී භික්ෂූන් පන්සිය නමක් සහිතව බුදුරජාණන් වහන්සේගෙන් වෙන්ව ගියා. එහිදී වුවත් බුදුරජාණන් වහන්සේ කලබලව ක්‍රියා කළේ නැහැ .දෙව්දත් තෙරුන් සංඝයා එසේ භේද කෙළේ වැරැදි ආදර්ශ ලබාදීමෙන්.
බුදුරජාණන් වහන්සේ ඒ පිරිසට යළි නිවැරැදි අවබෝධය ලබා දුන්නේ කරුණාබරිත ඉවසීමෙන් බුදුරජාණන් වහන්සේ කිසිවිටක අඩුපාඩුවක් වරදක් වූ සැණින් දැඩි පියවර ගත්තේ නැහැ. මේ සඳහා අවශ්‍ය තරම් උදාහරණ බුද්ධ චරිතයෙන් ලබා දෙන්න පුළුවන්.
සුද්ධෝදන මහ රජතුමා, තමන් වහන්සේගේ පිය රජතුමා පැමිණ කළ ඉල්ලීම කුමක්ද? ඔබ වහන්සේ දරු දුක හඳුනනවාද? ඔබ වහන්සේගේ පැවිදි වූ දින නන්ද කුමාරයාත්, රාහුල කුමාරයාත් සිටින නිසා මම සැනසුණා. ඔබ වහන්සේ නන්ද කුමාරයා පැවිදි කළ විට රාහුල කුමාරයා සිටින නිසා මම සැනසුණා. දැන් ඔබ වහන්සේ රාහුල කුමාරයාත් පැවිදි කළ පසු මා කෙසේ සැනසෙම්ද? දරු දුක මස් ඇට මිදුලු දක්වා විහිදී තිබෙනවා. එම නිසා දෙමව්පියන්ගෙන් අවසර නැතිව දරුවන් පැවිදි නොකරන මෙන් ඉල්ලා සිටිනවා
බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පිළි ගත්තා. අද දක්වාම එම විනය නීතිය වලංගුයි. ඇතැම් අසපුවල මේ විනය නීතියද ක්‍රියාත්මක නොවන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය නීති ගැන අප මනා ලෙස අවබෝධ කරගත යුතුවනවා. බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද දේ නිවැරැදි දේ නිවැරැදි නිර්වචන ගැන බුදු දහමට එකඟව දැන ගැනීම බෙහෙවින් වැදගත් වන්නේ සැබෑ බෞද්ධයෙක් සෑම විටම නිසි අවබෝධය ලබා ගත යුතු නිසයි.
වරක් දෙව්දත් තෙරුන් විසින් ජනතාව වන්දනා මාන කළ ගසක් කපා ගෙන විත් තම වාස භවනය වන්නට සූදානම් වුණා. වන්දනාමාන කළ පුද්ගලයෙන් ඊට විරෝධය දක්වමින් පැමිණියා. එය දැනගත් බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙරුන් අමතා ‘මෝඝ පුරුෂ’ (මෝඩ මිනිසා) යනුවෙන් දෙව්දත් තෙරුන් අමතා ‘ මිනිසුන් ගහකට ගලකට හෝ වන්දනා ‘ මාන කර හිත හදා ගන්නවා නම් එය විවේචනය නොකළ යුතයි. යථාර්ථය අවබෝධ කර දිය යුත්තේ මිනිසුන්ගේ මනස නිවැරැදි තත්ත්වයට ගෙන ඒමෙන් පසුව බවත් බුදුරජාණන් වහන්සේ වදාරා සිටියා.
බුදුරජාණන් වහන්සේ සැමවිටම කී දේ කිරීමටත් කළ දේ කීමටත් යන ගුණාංගය ඉස්මතු කෙළේ සමස්ත සමාජය ඊට අන්තර් ග්‍රහණය කිරීමටයි.
මිනිසුන් මරා ඇගිලි කපාගත් අංගුලිමාල බුද්ධ ශාසනයේ පැවිදි කිරීමෙන් පසු උන්වහන්සේ දානය පිණිස පිණ්ඩපාතය වැඩම කළත් ඇතැම් දිනවල යළි ආරාමයට වැඩම කළේ ලේ ගලන තුවාල සහිතවයි. දානය වෙනුවට ජනතාව අංගුලිමාල තෙරුන්ට පහර දී තිබුණා.
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අතින් සිදුවූ අඩුපාඩුවක් ගැන අවබෝධ ඇති කර ගත්තා. තමන් වහන්සේ සමාව දී ශාසනයට ඇතුළු කළත් අංගුලිමාලට ජන සමාජයෙන් සමාවක් ලැබුණේ නැහැ. එම නිසා එවන් පුද්ගලයන් ශාසනයට ඇතුළු කිරීම ඉදිරියේදී නොකළ යුතුයි යනුවෙන් උන්වහන්සේ විනය නීතියක් පැනවුවා. ඒ අනුව සොරකු, මං පහරන්නකු,රජ විසින් අපරාධකරුවකු ලෙස නම් කළ පුද්ගලයකු ශාසනයේ පැවිදි නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ විනය නිතියක් පැනවූවා.
බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවක වන්දනය පිණිස යම් ස්ථානයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් තිබුණා. ‘ආනන්ද බෝධී රෝපණය’ සිදුවූයේ ඒ අනුවයි. තමන් වහන්සේම වන්දනා මාන කරන ලෙසත් වන්දනා මාන පිණිස වෙනත් ස්ථානයක් ලබා දිය නොහැකි බවත් බුදුරජාණන් වහන්සේ පැවසුවේ නැහැ. සෑම විටම මහජන මතය ගරු කළා. කී දේම කළා. කළ දේම ප්‍රකාශ කළා.
උන්වහන්සේගේ ශ්‍රාවකයන් ඒ අනුවම කටයුතු කළ බව පෙනෙනවා. බුදුරජාණන් වහන්සේට පමණක් ධර්ම ඥානයෙන් දෙවැනියා වූ සැරියුත් මහ රහතන් වහන්සේගේ චීවරය බිම ඇතිල්ලෙනු දුටු සත් හැවිරිදි රාහුල තෙරණුවන් ඒ බව උන්වහන්සේට පැවසුවා. ‘සාධු’ නාද දෙමින් සැරියුත් මහ රහතන් වහන්සේ සිවුර නිවැරැදිව සකසා ගත්තා.
බුද්ධ ශාසනය පුරාම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේගේ චරිත අපට මේ අයුරින් ආදර්ශ ගැනීමට පුළුවන්. අන්‍ය මත ගරු කිරීම මඟින් අපට ඍජුවම “ කළ දේ කීමටත් ‘ කී දේ කිරීමටත් හෙවත් යථාවාදී තථාකාරී – තථාවාදී යථාකාරී’ ගුණංගය වැඩීමට පුළුවන්.
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2557 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අප්‍රේල් 07 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment