Labels

Wednesday, June 24, 2015

දෙවියන් සහ බුදු දහම අතර ඇති සබැඳියාව


ක්‍රි.පූ 6 වන සියවන භාරතීය සමාජය බ්‍රාහ්මණ වංශිකයන්ගේ ආධිපත්‍යයට යටත් වූ යුගයකි. මහා බ්‍රහ්මයාගේ නියමය අනුව සමාජය කොටස් හතරකට වර්ග කරන ලදී. ඒ අනුව බ්‍රාහ්මණ ක්ෂත්‍රිය, වෛෂ්‍ය, ශුද්‍ර යන කුල හතරට මුළු මහත් සමාජයම බෙදා ඇතැමුන්ට සියලු වරප්‍රසාදත් ඇතැම් කුලයන්ට වරප්‍රසාද වලින් තොර වහල් මෙහෙවරත් දේව නියමයක් ලෙස හිමි කර දී තිබුණී. එය ඊෂ්වර නිර්මාණවාදය ලෙස සැලකේ. මෙවන් වූ පසුබිමක පහළ වූ අපේ බුදුරජාණන් වහන්සේ දේවත්වයක් යනු කුමක්දැයි පැහැදිලිව විග්‍රහකර ඇත.
දෙවියන් යනු අන් කිසිවෙක් නොව,මහත් සේ කුසල් කරන ලද මිනිසා මිය යාමෙන් පසු දේවත්වයට පත්වන තත්ත්වයකි. දෙවියන් අතර ද ඒ ඒ පුණ්‍ය ශක්තීන් මත ප්‍රබල සහ දුබල දෙවියන් සිටින බවත් ඔවුන් බ්‍රාහ්මණ නියමය අනුව සඳහන් වන පරිදි මිනිසුන් බෙදා වර්ග කරන ලද පිරිසක් වූ සමාජ විෂමතා ඇති කරන පිරිසක් නොවන බවත් බුදු දහම අනුව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ සහ දෙවියන් අතර ඇති සබඳතාව ප්‍රධාන තැනක් ගෙන ඇත.

කෙලෙස් බරිත වූ අයට නාපෙනෙන දිව්‍ය ලෝක සහ දෙවියන් ඇති බවත් සඳහන් කරන අතර උන්වහන්සේ මනුලොව පැමිණීමට පෙර තුසිත දිව්‍ය ලෝකයේ සිටි බව ද සඳහන් වේ. තවද උන්වහන්සේ සිව්වරක් දේවත්වය ද ලබාගත් බව ප්‍රකාශ කර ඇත. ගිහිගෙය අතහැර දමා බුදුවීමට ගොස් එදා සමාජයේ පැවති අත්තකිලමතානුයෝගීව නැතහොත් ශරීරයට අධික දුක් දීමේ පිළිවෙත අනුගමනය කරන බෝසතුන් පවත්ත ඵල භෝජනයෙන් එනම් තමන් වාඩි වී සිටින විට එම පාත්‍රයට වැටෙන කොළයක් හෝ ජල බිංදුවක් පමණක් ආහාරයට ගැනීමේ පිළිවෙතින් යෙදී සිටින විට නිරාහාරව සිටි නිසා සිහිසුන්ව කටයුතුකර ඇති ආකාරය සඳහන් වේ.
මෙම අවස්ථාවේදී දෙවිවරු බෝසතුන්ගේ රෝම කූප හරහා දිව්‍යමය ආහාර යුෂ මුදා හරිමින් ජීවිතය රැක ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරා ඇති බව සඳහන් වේ. එසේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මිනිසුන් වශයෙන් පස් දෙනෙකු සිටි අතර දෙවිවරු දහස් ගණනින් පැමිණි බව ධම්මචක්කප්පවත්තන සූත්‍රය දෙස විමසීමේදී පැහැදිලි වේ.
එහි සඳහන් පරිදි “සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පූජාය සදේව මනුස්සානං සම්මා සම්බෝධි අභිසම්බුද්ධෝ” මෙහි සිංහල තේරුම නම් දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි තමන් බුද්ධත්වය ලබාගත් බවයි. එම සූත්‍රයේ තවදුරටත් විස්තර කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා චතුර්මහා රාජිකය, යාමය, තුසිතය, නිම්මානරතිය යනාදි දිව්‍ය ලෝකවල දෙවිවරු මහත් වූ සාධුකාර දුන් බවත් සඳහන් වන්නේ මෙසේ ය. “තුසිතානං දේවානං සද්ධං සුත්වා නිම්මාන රති දේවා සද්ධං මනුස්සාවේසුං”
බුදුරජාණන් වහන්සේ ප්‍රථම භික්ෂු හැටනම අමතා කළ ප්‍රකාශය දෙවියන් ඇත යන මතය තවදුරටත් සනාථ කරන්නකි. “චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං” යනාදි වශයෙන් දේශනා කොට ඇත්තේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස සැපය පිණිස දෙවි මිනිසුන් සහිත ලෝකයාට අර්ථවත් දහම් දෙසන ලෙසයි.
තවද බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කාල සටහනක් මත වෙන්කර ඇති බව පැහැදිලිය. එනම් පෙරබත්කිස, පසුබත්කිස, පෙරයම්කිස, මැදියම්කිස, පැසුළුයම්කිස, වශයෙනි. මෙහි මැදියම්කිස හෙවත් මධ්‍යම රාත්‍රිය වෙන්කර ඇත්තේ දෙවියන්ට දහම් දෙසීම සඳහාය. මෙහි ප්‍රතිඵල ලෙස මංගල, පරාභව වැනි සූත්‍ර ඉදිරිපත් කර හැක. එම සූත්‍රවලට අනුව දහම් ඇසීමට දෙවියන්ගේ පැමිණීම එහි විස්තර කර ඇත්තේ “අභික්ඛන්තවන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා” ආදි වශයෙන් විශිෂ්ට වර්ණයෙන් යුක්ත දෙවියන් ජේතවනය ආලෝකවත් කරමින් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි වගයි. පරාභව සූත්‍රය පුරාම දක්නට ඇත්තේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරන ලද දේශනාවකි. දෙවියන් ප්‍රශ්න අසන අතර බුදුරජාණන් වහන්සේ ඒවාට දහම් කරුණු මත පිළිතුරු දුන් සේක. කරණීයමෙත්ත සූත්‍රයේද සඳහන් පරිදි භික්ෂූන් වන්සේලා පන්සිය නමක් කමටහන් සඳහා වනයට වැඩම කළ අතර එහි වෘක්ෂාධිපති දෙවිවරුන්ට භික්ෂූන් වහන්සේලාගේ සීල සමාදනය නිසා රිසිසේ ජීවත් වීමට නොහැකි විය.
පසුව එම දෙවිවරු භයානක රූප, භයානක ශබ්ද, දුර්ගන්ධ මවා එම භික්ෂූන් වහන්සේලා බියට පත් කළහ. මේ නිසා භික්ෂූන් වන්සේලා කායික සහ මානසික රෝගීන් බවට පත් වුණි. දින පහළොවකින් පසුව මෙම පිරිස වනය අතහැර ගොස් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ, මෙම වනයේ ජීවත්වීම අතිශය දුෂ්කර බවයි. පසුව බුදුරජාණන් වහන්සේ විසින් එම භික්ෂූන්ට දේශනා කරන ලද්දේ ඉහත සඳහන් දෙවියන් මෙම කරදර කම්කටොළු කළ බවත් ඔවුන්ට පිං දෙමින් මෛත්‍රිය වඩමින් කටයුතු කිරීම හරහා එම පිරිස වෙනස් වන බවත් ය. ඒ අනුව නැවත වනයට ගිය භික්ෂූන් වහන්සේලා කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරමින් භාවනා කළ අතර දෙවිවරු භික්ෂූන් වහන්සේලාගේ දායකයන් වූ බව එම සූත්‍රය විමසීමේදී පැහැදිලිව දැකිය හැකිය.
දෙවියන්ගේ සැබෑ තත්ත්වය තවදුරටත් මෙත්තානිසංස සූත්‍රය ඇසුරින්ද විග්‍රහ කළ හැකිය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෛත්‍රියේ ආනිසංස මෙසේ දක්වා ඇත. “මනුස්සානං පියො හොති අමනුස්සානං පියො හොති දේවතා රක්ඛන්ති” ආදි වශයෙන් මෙහි සඳහන් වන අන්දමට බුදුරජාණන් වහන්සේ මෛත්‍රි සහගත මනුෂ්‍යයා අමුනෂ්‍යයන් විසින්ද දෙවියන් විසින්ද ආරක්ෂා කරන බව ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. එහි තවදුුරටත් සඳහන් කරන්නේ එවන් වූ මානසිකත්වයකින් මිය පරලොව ගිය අය “බ්‍රහ්ම ලෝකෝප ගොහොන්ති” බ්‍රහ්ම ලෝකයේ උපදින බවයි.
වරක් විඩුඪහ සහ සංඝාරව යන දෙපළ බුදුන් වෙතට පැමිණ දෙවියන් සිටීද යනුවෙන් ප්‍රශ්න කර ඇත. මෙහිදී උන්වහන්සේගේ පිළිතුර වන්නේ, දෙවියන් ඇති බව ගුණවන්තයින් විසින් පිළිගත යුතු බවයි. මජ්ක්‍ධිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ දේශනා කර ඇත්තේ දිව්‍ය සැප අසීමිත බවයි. එසේම අභිධර්මය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ තෝරා ගත්තේද තුසිත දිව්‍ය ලෝකයේ ජීවත් වූ තම ආදරණීය මෑණියන්ය. මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් පරිදි දහම් ඇසීමට ලක්ෂ සංඛ්‍යාත දෙවිවරු රැස් වූ බව පැහැදිලිය. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට පවන් සළමින් සිටින විට බුදුන් වහන්සේ භික්ෂුව එම ස්ථානයෙන් ඉවත් කළ පසුව අනඳ හිමියන් විමසන්නේ, එසේ කිරීමට හේතුව කුමක්දැයි කියාය.
එයට බුදුන් වහන්සේගේ පිළිතුර වන්නේ,දෙවියන් පැමිණ ඇති බැවින් දෙවියන්ට වන්දනාමාන කිරීමට එසේ කළ බවයි. බුදුන්ගේ දේහයට මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ උපහාර ලැබෙන තෙක් එය ගිනි දැල්වීමට කෙතෙක් උත්සාහ දැරුවද දෙවියන් එයට ඉඩ ලබා නොදුන් බව පැහැදිලි කරුණකි. දේව පණ්ඩිත සූත්‍රයේ සඳහන් වන්නේ දිව්‍ය සැපත අතිවිශාල බවයි. එය මෙසේ සඳහන් කර ඇත. “යාවංචිදං භික්ඛවේ උපදාපි හාසු කරා යාව සුඛා සග්ගති” එහි අදහස වන්නේ දෙව්ලොව සැපත හිමාලය පර්වතය තරම් වේ නම් මනුලොව සක්විති සැපත ගල්කැටයක් තරම් කුඩා වන බවයි.
රතන සූත්‍රය දෙස විමසීමේදී දෙවියන් පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් දැකිය හැකිය. “යානිධ භූතානි සමාගතානි.....” යන ගාථාවේ තේරුම වන්න්, පොළොවෙහි හෝ අහසෙහි යම් අමනුෂ්‍යය කෙනෙක් රැස්වේද ඒ සෑම අයකුම සතුටු සිතැත්තෝ වෙත්වා යනුවෙනි. එහි තවත් තැනක සඳහන් “මෙත්තං කරොථ මානුෂියාපජාය.....” යන්නෙහි අදහස වන්නේ දිවා රෑ දෙකෙහි දෙවියන්ට පුද පූජා දෙන අය ආරක්ෂා දෙන බවයි. රතන සූත්‍රය අවසානයේ එන “යානිධ භූතානි සමාගතානි ....” යන ගාථාවේ සඳහන් වන්නේ පොළොවෙහි අහසෙහි ජීවත්වන යම් අමනුෂ්‍යය කෙනෙක් වෙත්ද, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට ගරු කරන ලෙසත් සත්වයාට ආශිර්වාද කරන ලෙසත් සඳහන් වන ඉගැන්වීමකි.
ඉහත සඳහන් කරුණු අනුව අපට ඉතා පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ පුනර්භය සංකල්පය හා සමඟම දෙවියන් පිළිබඳවද දක්වා ඇති වැදගත් අදහස නම් දේවත්වය යනු කුසල් දහම්වල ප්‍රතිඵලයක් වන බවයි.
කතරගම දෙවියන්ද ලෝකයේ සිටින මහා බලසම්පන්න දෙවි කෙනෙකි. බුදුරජාණන් වහන්සේ සියැසින් දුටු දෙවියන් අතරට කතරගම දෙවියන්ද එක් වන්නේ, කතරගම ඉතිහාසය පිළිබඳව විමසීමෙනි. බුදුරජාණන් වහන්සේ තෙවන වරට ලංකාවට වැඩි දවසේ කතරගම මහසේන නොහොත් මහාඝෝෂ නැමැති රජුගේ කිහිරි උයනෙහි උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටියහ. එහිදී ප්‍රදේශය පාලනය කළ මහසේන රජතුමන් ඇතුළු පිරිසට ධර්මදේශනා කළ බවත් මහසේන රජු විසින් කිරිවෙහෙර වහන්සේ කරවූ බව ඉතිහාසගත තොරතුරුවලින් හෙළිවේ. කුළුණුබර පියකු මෙන් ජනතාවට ආදරය කළ එතුමා මිය පරලෝ යාමෙන් පසු මහාසේන නමින් දේවත්වාරෝපණයෙන් පිදුම් ලබන්නට විය.
කතරගම දෙවියන් හැඳීන්වීම සඳහා මහාසේන, ස්කන්ධ කුමාර, කන්දසාමි ආදි නම් රාශියක් දක්නට ඇත. නුවර යුගයේ ඇතිවූ දකුණු ඉන්දීය සබඳතා මත මහදෙවොලටද හින්දු සිරිත් විරිත් බලපාන්නට ඇත. දුටුගැමුණු මහ රජතුමා ඉන්දීය ආක්‍රමණිකයකු වූ එළාර රජු සමඟ යුද වැදීමට පෙර කිරිවෙහෙරටත් අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේටත් අධිගෘහිතව විසූ කතරගම දෙවියන් ඉදිරියේ භාරයක් වූයේ, ඉන් ජයග්‍රහණය ලැබුව හොත් වර්තමාන දේවාලය පිහිටි භූමියේ දෙවොලක් සාදා පූජාකරන බවටයි. එය ධාතු වංශයේ හා දේවාල ලේකම් පොතෙහි පැහැදිලිව සඳහන් වේ.
නව දේවමන්දිරය ඉදිවීමත් සමඟ කතරගම දෙවියන් පිළිබඳ විශ්වාසය, ගෞරවය, කීර්තිය වඩ වඩාත් පැතිරෙන්නට වූ බව පැහැදිලිය. ඊට ප්‍රධාන සාධකයක් වූයේ, කතරගම දෙවියන් උදෙසා නියමිත පුද පූජා රටාවක් රාජාඥාව මගින් ස්ථාපති කර එහි වගකීම තමන්ගේ ලේ නෑයෙකුට පැවරීමට දුටුගැමුණු මහ රජතුමා කටයුතු කිරීමයි. එපමණක්ද නොව ඌව ප්‍රදේශයේ ඉඩම් අක්කර දහස් ගණනක් මහා දේවාලයේ පැවැත්ම සඳහා දුටුගැමුණු මහරජතුමා පූජා කරන ලද අතර අදත් මේවා පවතින්නේ මහා දේවාලය සන්තකය. එදා සිට අද දක්වා සියවස් ගණනාවක් තිස්සේ අවිච්ජින්නව පවත්වාගෙන එනුයේ එදා රාජාඥාව පරිදි නිල කරනු ලැබූ පූජා චාරිත්‍ර විධීන්ය.
දුටු ගැමුණු රජතුමා එළාර රජු සමඟ සටන් වැදුණු කණ්ඩුල හස්තියාගේ දළ දෙක පවා රුහුණු කතරගම මහා දේවාලයේ තැන්පත්කර තිබීම ඉතා වැදගත් සිද්ධියක් වන අතර එය ඇසළ උත්සව සමයේ ජනතාවට දැක බලාගැනීමට ප්‍රදර්ශනය කිරීමද මෙහිදී සිහිපත් කළ යුතුය.
මේ අනුව බලන විට බුදුරජාණන් වහන්සේගේ දහම අනුව දෙවියන් සිටින බවත් දෙවියන්ගේ බලය අසීමිත බවත් සඳහන් කළ යුතුය. කතරගම දෙවියන්ද අසීමිත බලයෙන් යුත් දෙවි කෙනෙකි. එයට ප්‍රධාන හේතුව දහස් ගණන් බැතිමතුන්ගේ පිං ලබන මහානුභාව සම්පන්න දෙවියන් අතරට කතරගම දෙවියන් යොමුවන්නේ අවිවාදයෙන්ම පළමුවන ස්ථානයටයි.
මෙම වර්ෂයේද ඇසළ මහා උත්සවය ඉතාමත් සාර්ථකව දෙවියන්ට උපහාර පිණිස දේශීය කලාවන්ගෙන් යුක්තව පෞරාණික සම්ප්‍රදායට මුල්තැන දෙමින් පැවත්විණි. එහිදී රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමා බැතිබර ජනතාවගේ ගෞරවයට පාත්‍රවිය යුතුය.

No comments:

Post a Comment