නැවත ඉපදීම පිළිබඳ ව
පසුගිය ලිපිවලින් කරුණු ඉදිරිපත් කළ පූජ්‍ය බ්‍රහ්මවංසෝ හිමියෝ මේ
ලිපියෙන් ඉතා වැදගත් භාවනා අත්දැකීම් රැසක් හෙළිදරව් කරති.
අපි ආදරය කරන, සැලකිල්ලෙන් සිටින, අපි බැඳී සිටින, අපේ වස්තුව, අපේ පවුල යන ඔක්කොම අතරින්
ඔබ රැගෙන යන්නේ එකම දෙයයි. ඒ තමයි කර්මය. ඔබ රැගෙන යන්නේ එපමණයි. ඔබ මරණයට පත්
වූ පසු සියල්ල අතුරුදන් වෙනවයි ඔබ සිතුවත් නැවත ඉපදීම ගැන ඇති නොයෙකුත් සාක්ෂි පැත්තක
තිබියදී, භික්ෂුවක්
වශයෙන් පසුගිය අවුරුදු තිස්පහක පමණ කාලයක මා ලැබූ අත්දැකීම් අනුව මනස
නම් දෙයක් තිබෙන බව මා දන්නවා. ක්‍රිස්තියානි භක්තිකයන් ආත්මය කියන්නේ
මෙයටයි. මෙය ඔබ තුළ තිබෙන ශක්තියයි. නිසැක වශයෙන් ඔබ භාවනා කිරීමෙන් මෙම ශක්තිය
ඔබේ සිරුරෙන් වෙන් කරනවා; සිරුරෙන්
වෙන් කර තනි කරනවා. එය මානසික බලවේගය
ලෙසත් හඳුන්වන්න පුළුවන්. ගැඹුරු
භාවනාවෙන් ඔබට මෙය ශරීරයෙන් වෙන් කරන්න පුළුවන්. මෙලෙස අපි ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම, ශාරීරික ස්පර්ශය යන
පස් ඉඳුරන්ගෙන්
ලබන වින්දනය නැත් නම් පහසින් ඔබ්බටත් යනවා.
තරුණ වියේදී භික්ෂුවක් විදිහට මට එය
කරන්න සිදු වුණා. අවුරුදු තිස් හතරකට,
නැත් නම් තිස් පහකට පෙරාතුව මා
තායිලන්තයේ සිටියදී, අපි
වන සෙනසුනක් අලුතෙන්ම ආරම්භ කළ
වකවානුවේදී, අපට ජීවත් වන්නට සිදු
වුණේ ඝන වනාන්තරයක් තුළයි. මේ ඝන වනාන්තරයේ මදුරුවන් අප්‍රමාණව
සිටියා. එක්කෙනෙක් දෙනේනෙක් නොවෙයි,
සිය ගණනක්, දහස් ගණනක් මදුරුවන්
සිටියා. අප බටහිරින් ආවාය කියා අමුතු සැලකිල්ලක් උදව්වක් දක්වන්නට අපේ ගුරුතුමා
අජාන් චා හාමුදුරුවෝ කැමැති වුණේ නෑ. මේ නිසා බටහිරින් ආවාය කියා අපට කිසිම
විශේෂ වරප්‍රසාදයක් ලැබුණේ නැහැ.
මේ වන අරම මුලින්ම ආරම්භ කරන කාලේ කිසිම
ශාලාවක් තිබුණේ නැහැ; කිසිම
වැසිකිළියක් තිබුණේ
නැහැ. අපට කුටි නැත් නම් පැල්පත් තිබුණේ නැහැ. ඒ වෙනුවට නිදාගන්න ගියාම මදුරුවන්ගෙන්
බේරෙන්න අපට මදුරුදැල් විතරක් තිබුණා. මේ මදුරුදැල් අස්සට වෙලා සිටින වේලාවල
මම අප්‍රමාණ සැර විෂඝෝර සර්පයන් අවට සිටිනවා දැක්කා. මේ සර්පයෝ නහයට, අඟල් කිහිපයක්
එහායින් බඩ ගගා ගියා. අප බේරුණේ සිහින් මදුරුදැල් නිසයි. මේ නිසා භයෙන්, ඒ වගේම
රෑ තිස්සේ භාවනා කිරීම නිසා වෙහෙස මහන්සියෙන් පසු වුණා. ඒත් අපි ඒවා ගණන් ගත්තේ
නැහැ. කුටි නැත් නම් පැල්පත් නොතිබුණු නිසා කෘමි සතුන්ගෙන්, සර්පයන්ගෙන් බේරිල්ලක්
තිබුණේ නැහැ.
මට මතකයි එක දවසක් උත්සවයකදී අපි පිරිත්
සජ්ඣායනය කරමින් සිටි අතරවාරේ මා ළඟින්
සිටි හාමුදුරු කෙනෙකු පිටිපස්සේ සිට
සර්පයෙක් හිස එසවූවා. මේ සර්පයා හාමුදුරුවන්ගේ උරහිස මත්තෙන් ඇදී
යනවා මා දැක්කා. මේ සර්පයා හාමුදුරුවන් දිහාවට ඇස් උරුක් කරගෙන බලා
සිටියා. හාමුදුරුවොත් සර්පයා දිහා බැලුවා. සර්පයා හාමුදුරුවෝ දිහාවම බලාගෙන සිටියා.
දෙන්නගේ ඇස් එකිනෙකා දිහාවට උරුක් කරගෙන සිටියා. මේක නම් හරිම විස්මයාකාර මොහොතක්!
අපේ ළඟ වීඩියෝ කැමරාවක් වගේ පටිගත කරන්න පුළුවන් මෙවලමක් තිබුණා නම් පටිගත කළ
යුතු කදිම දර්ශනයක්! හොඳ චිත්‍රපටියක් හදන්න තිබුණා! හාමුදුරුවොත් සර්පයත් එකිනෙකා
දිහාවට ඇස් එල්ල කරගෙන සිටින දුර්ලභ මොහොතක්. හාමුදුරුවෝ ඉතාම මොළොක් විදිහට
සිවුරු ගැසුවාම සර්පයා බිමට වැටී එතනින් එහාට ලිස්සලා ගියා.
මේ විදියට ඒ දවස්වල අපත් සර්පයනුත් අතර
හොඳ සබඳතාවක්, හොඳ
සංහිඳියාවක් තිබුණා. හාමුදුරුවන් ආධ්‍යාත්මිකව කාරුණික නිසා මේ වගේ උපද්‍රව ගැන හිත
කරදර කරගත්තේ නැහැ. මේ සර්පයන්ගේ කතාවල නැවත ඉපදීම ගැන සම්බන්ධයක් නැහැ. ඒ වුණත්
සමහර වේලාවට මා මරණයෙන්
බේරුණා විතරයි.
අපි සතියකට දවසක් මුළු රෑ තිස්සේ භාවනා
කළා. මේ වනඅසපුවේ ජීවිතය හරිම අමාරු
ව්‍යායාමයක් වුණා. සමහර වෙලාවට අපි එක
දිගට පැය 36ක්
නිදිවැරුවා. බොහෝම උණුසුම්
කැලෑවේ පැය 36ක් විතර නිදිවරා
බොහෝම තෙහෙට්ටුවෙන් දහඩිය වගුරවමින් සිටි මේ අවස්ථා ඔබට සිතෙන් මවාගන්න
පුළුවන්. දහස් ගණනක් මදුරුවෝ වටේ කරකැවෙනවා. දවසක් උදේ පාන්දරම භාවනාව
අවසන් කර මූත්‍ර කිරීමට මම කැලෑවට ගියා. වෙහෙසමහන්සියෙන් සිටියත් මම හොඳ සිහිකල්පනාවෙන්
සිටියා. තවමත් අරුණෝදය නිසා කළුවර ඉතිරි වී තිබුණා. වැසිකිළියක් නොතිබුණ
නිසා මූත්‍ර කරන්න කැලෑවට ගිහින් ඇනතියාගත්තා.
ඊට පස්සෙ ආපු රාජකාරිය කළා. මා
හිතුවේ මා දර කෝටුවක් මත මූත්‍ර කරනවා කියලයි. මේ දරකෝටුව හෙමින් හෙමින් ඇදෙන්න පටන්
ගත්තාම ඒක දර කෝටුවක් නොවෙයි, සර්පයෙක් කියා මා තේරුම් ගත්තා. ඒ ගැන හිතන විට, විශේෂයෙන්ම මෙහි
සිටින පිරිමින් ගැන හිතන විට, ඒ වේලාවේ ඒ සර්පයාගේ කට තිබුණේ පිරිමියෙකුගේ සිරුරේ
ඉතාම සංවේදී අංගයට අඟල් කිහිපයක් එහායින් විත්තිය තේරුම් ගන්න පුළුවන්
වේවි! ඒක හරිම භයංකාරයි. ඒ වුණත් සර්පයා මට දෂ්ට කළේ නැහැ. බොහෝම සතුටෙන් එතනින්
බඩගාගෙන ගියා. මේ සර්පයා සතුටින් ඉවසා වැදෑරුවේ ඇයි කියා මා කල්පනා කළා. තායිලන්තය
වගේ රටක සිටින සර්පයොත් බෞද්ධ සර්පයෝ. ඒ හින්දා පිරිත් පැන්වලින් ආශීර්වාද
කරන්න ඇති කියා ඒ සතා හිතුවා වෙන්න ඇති! ඒ සර්පයන් සම්බන්ධවයි. මේ වගේ කතා රාශියක්
තවත් තිබෙනවා.
දැන් අපි මදුරුවන් ගැන කිව්ව දේවල්වලට
ආපහු එමු. අප ඒ ඝන වනාන්තරයේ භාවනා කරමින් සිටි සමහර වේලාවට අපට
මදුරුදැල්වලින් පිහිටක් ලැබුණේ නැහැ. මදුරුදැල් යට අප සිටියේ නිදාගන්න
වේලාවටයි. අනික් වේලාවට අපි මදුරුදැලින් පිහිටක් නැතිව නිරාවරණය වෙලයි හිටියේ.
අපි කණ්ඩායම් වශයෙන් භාවනා කළේ. බොහෝ වේලාවට සවස් ජාමේ භාවනා කළේ කණ්ඩායම් විදිහටයි.
භාවනාව පටන් ගත්තේ සවස හයට විතර. මදුරුවෝ එළියට එන්නේ මේ වේලාවේ තමයි. ඒ ඇත්තෝ
එළියට එන්නේ එයාලාගේ රාත්‍රී භෝජනයටයි. වෙන කවුරුවත් නොවෙයි මම තමයි එයාලගේ රාත්‍රී
භෝජනය! මා මීට ඉස්සරත් මෙතනදී කියා ඇති විදිහට නැවත වරක් සිතා බලන්න.
භික්ෂුවක් විදිහට ඔබේ සම, මදුරුවන්ට හුඟාක්
නිරාවරණයි. අපේ හිස මුඩු වී, උරහිස්
නිරාවරණයි. මේ වගේ තත්ත්වයක් යටතේ රාත්‍රී
භෝජන සංග්‍රහයට මදුරුවෝ හුඟාක් දෙනක්
සහභාගි වෙනවා. ඒක තමයි පළමුවන කාරණය.
දෙවන කාරණය තමයි මේ ප්‍රදේශවලට මුලින්ම ආ බටහිර ජාතිකයෝ අප
වීම.
මා ගිය බොහෝ ගම්වල ජනයා මීට පෙර කවදාවත්
සුදුපාට හම තිබෙන මනුස්සයෙක් දැක තිබුණේ
නැහැ. මා පිණ්ඩපාතයට ගමට ගිය දවසක් මට
මතකයි. හාමුදුරුවරු පිඬුසිඟා ගමට වැඩියාම මිනිස්සු බොහෝම
සිහිකල්පනාවෙන් දානය බෙදන්න පුරුදු වෙලා සිටියා. නමුත් මේ මිනිස්සු මීට
පෙර කවදාවත් සුදු මනුස්සයෙක් ඇහින් දැක තිබුණේ නැහැ. මේ නිසා දානය බෙදන්නා මා දිහා
බලාගෙන පාත්තරයට බෙදන දානය බිමට වැටුණා. බොහෝ වේලාවට බඩගින්නේ ඉන්න සිදු වුණා. හිතේ
බලාපොරොත්තු කඩ වුණා.
මදුරුවන් ගැන කිව්වොත් ඇත්තෙන්ම මේ මදුරුවනුත්
කැලෑවේදී සුදු ජාතිකයෙකුගේ රුධිර
භෝජන සංග්‍රහයක් භුක්තිවිඳින පළමු වතාව
මෙයයි. මේ නිසා මේ මදුරුවෝ අපේ මෛත්‍රිය,
කරුණාව බොහෝම වැරදි විදිහට පාවිච්චි
කරමින් අපේ ලේ උරා බොන්න පටන් ගත්තා. ඇත්තටම කීවොත් මේ මදුරු
කරදරය අපට විඳදරාගන්න හරිම අමාරු වුණා. තවත් භික්ෂුවක් මා ළඟ සිටි අතර
අපි දෙදෙනාගේ මුඩුහිස්, අත්බාහු
මේ මදුරුවන්ගෙන් වැසී තිබුණා. එක සැරේකට
මදුරුවන් හැටක් නැත් නම් හැත්තෑවක් විතර
අප වසාගෙන අපේ ලේ බිව්වා. අපි බොහෝම
කිට්ටුවෙන් සිටි නිසා කොයිතරම් මදුරුවෝ
ගණනක් අප වසාගෙන සිටිනවාද කියා අපට ගණන් කර බලන්නවත් නොහැකි
වුණා. අපට කරන්න පුළුවන් එකම දේ මදුරුවන් ඇවිත් ලේ උරාබොන සිද්ධියට ඇහුංකන්දීම
පමණයි. මා හිතන්නේ ඒක මා හිතින් මවාගත්ත දෙයක්!
මට මේකට මුහුණ දෙන්න තිබුණ එකම ක්‍රමය
හරියාකාරව භාවනා කිරීමයි. ඒ හැර වෙනත් කරන්න දෙයක් තිබුණේ නැහැ.
එහෙම නැත් නම් කරන්න තිබුණේ මගේ සිහිය නැත් නම් සතිය අවුල් කරගැනීමයි.
මගේ මනසට නැත් නම් සිතට මා අරමුණක් කරගත්තේ හුස්ම ගැනීමයි; ආශ්වාස ප්‍රශ්වාස
කිරීමයි. මදුරුවන් සිය ගණනක් උරහිස විදිමින් සිටින විට ඇත්තටම ලොකු වේදනාවක්, අපහසුවක් දැනෙනවා. මේ
නිසා කරන්න තිබුණේ ගැඹුරු භාවනාවට සමවැදී ඔබේ සිත සිරුරෙන් පිටතට
ගෙනයෑමයි.
එහෙම කළාම තවදුරටත් සිරුරේ
වදවේදනා තිබුණත් ඔබට දැනෙන්නේ නැහැ. ඔබ ගැඹුරට භාවනා කළ විට, අන්තර්ප්‍රඥාවෙන්, ඔබේ මනස සිරුරෙන් ඈත්
කළවිට ඔබට ඇසෙන්නේ නැහැ. ඔබට පෙනෙන්නේ
නැහැ. ගඳ-සුවඳ දැනෙන්නේ නැහැ. රස
දැනෙන්නේ නැහැ. ශරීර ස්පර්ශය දැනෙන්නේ නැහැ. තවත් විදියකින් කිව්වොත්
ඔබ පස් ඉඳුරන්ගෙන් ලබන වින්දනය ඒ කියන්නේ සුවය මෙන්ම වේදනාව ඔබට නොදැනී
යනවා. ඔබට කිසිම ඉන්ද්‍රියකින්වත් කිසිම දෙයක් නොදැනී යනවා.
ඔබ ගැඹුරු භාවනාවට සමවැදුණාම දැනෙන්නේ
මෙයයි. භාවනාව මගින් ඔබට ඔබේ මනසේ ස්වභාවය ගැන කියා දෙනවා: ඔබ
දැනුවත් කරනවා. මනස ඔබේ සිරුරෙන් වෙන් වී ස්වාධීනව සිටින විට ඔබට
මනසේ ශක්තිය, මනසේ
ශක්ති බලවේගය දැකගන්න පුළුවන්. එය සංවර්ධනය වෙන්නේ කොහොමද, එය ක්‍රියාකාරී
වෙන්නේ කොහොමදැයි තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ මනසේ බලවේගය දිගහැරෙන්නේ
කොහොමද, විකාශය
වෙන්නේ කොහොමදැයි ඔබටම දැනගන්න පුළුවන්.
අපි,
පුරුදු කියා කියන දෙයම බුද්ධාගම කියන්නේ
තත්ත්වාරෝපණය කියලයි. අප තුළ ඇති
වන්නා වූ යම් යම් බලපෑම්, නැමියාවන් උච්ඡ වී
ඒවා කිසියම් දිශාවක් කරා ගමන් කරනවා.
අපේ මනසේ ශක්තිය වෙනත් මාර්ග කරා යොමු
වෙනවා. දැඩි වේදනාවකට, විශේෂයෙන්ම
අප ගොදුරු වී
ඇත් නම් අපට මේ ශක්තිය සුවදායක පැත්තට නැත් නම් ධනාත්මක පැත්තට හරවන්න පුළුවන්. මනසේ
මේ ශක්තිය ඔබ තේරුම් ගත් විට එමගින් තත්ත්වාරෝපණ ක්‍රියාවලිය පාවිච්චි කිරීමට හැකි
වෙනවා. ඔබ අයහපත් පැත්තට, අසුබ
පැත්තට, වේදනාකාරී
පැත්තට යොමු වී ඇත් නම් ඔබට
තත්ත්වාරෝපණය මගින් මේ යහපත් පැත්තට
සුබදායක පැත්තට හරවන්න, යොමු
කරන්න හැකි වෙනවා. ඒ කියන්නේ සාමය,
සැනසිල්ල,
තෘප්තිය,
සතුට,
තිබෙන දිශාවන්ට යොමු කරන්න හැකි වෙනවා.
සිරුර ඔබෙන් අතුරුදන් වූ විට, ඔබේ සිත වෙනත් අතකට, වෙනත් පැත්තකට යොමු
කිරීම බොහෝම පහසු
වෙනවා. උදාහරණයක් ගත්තොත් ඔබ නිතරම නිෂේධාත්මක පැත්තට, අසුභදායක පැත්තට, බර වී මැසිවිලි
කියන මනසකින් යුක්තව සිටිනවා නම්, එම පැත්තට බර වී සිටිනවා. ඔබ එකදිගට මැසිවිලි කියන්න පටන්
ගත්තාම තව තවත් පැමිණිලි කරනවා; නහයෙන් හඬමින් මැසිවිලි කියන පැත්තටම යනවා. භාවනාවේදී
අප මෙයට කියන්නේ වැරදි සෙවීමේ මනස නැත් නම් දොස් සෙවීමේ මනස කියලයි. එවැනි
මනසකින් යුක්ත වූ විට තවත් වැරැද්දක්,
තවත් අඩුපාඩුවක් සෙවීම බොහෝම
පහසු වෙනවා.
සම්බන්ධතා පවත්වාගෙනයෑම එතරම් පහසු
නොවන්නේ මේ වගේ වැරදි සෙවීමේ මනසක් ඇති විටයි. ඔබ ඔබේ සහකරුවා හෝ
සහකාරියගේ මුල් වැරැද්ද නැත් නම් මුල් අඩුපාඩුව දැක්කාම ඉන් පසු නොයෙකුත්
වැරදි දකින්න පුළුවන් වෙනවා. මේ විදියට සමස්ත මනස වැරදි, අඩුපාඩු සෙවීමේ මනසක්
බවට පත් වෙනවා.
“මොන
එහෙකටද මම ඒ වගෙ මනුස්සයෙක් බැන්දේ?
මගේ ඇස් අන්ධ වෙලා තිබුණද?” කියා සමහරු අසනවා.
උත්තරය, ඔව්:
ඔබ අන්ධ වී සිටියා. මේ නිසා තමයි සමහරු ආලය අන්ධයි කියලා කියන්නේ. ඔබ ඒ කියමන
මීට පෙර අසා තිබෙනවාද? “ආලය
අන්ධ නම් විවාහය යනු කුමක්ද?” විවාහය කියන්නේ අන්ධයන් සඳහා වෙන් වූ ආයතනයක්; අන්ධ මඩමක්! (සභාවෙන්
සිනා).
ඔබ ඔබේ ශක්තිය මෙහෙයවන්නේ කෙසේදැයි
දන්නවා නම් අන්ධයෙක් වෙන්න එපා. ඔබට කරන්න බොහෝ දේවල් තිබෙනවා. වෙන
එකක් තබා සම්බන්ධතා පිළිබඳවද ඔබට යහපත් පැත්තකට යොමු වෙන්න පුළුවන්.
ඔබේ මනසේ ශක්තිය, මිනිස්
බලවේගය වැරදි අඩුපාඩුකම් සෙවීමේ පැත්තට යොමු නොකර, වෙනත් දිශාවකට යොමු
කරන්න පුළුවන්. සුබදායක පැත්තට ධනාත්මක පැත්තට යොමු කරන්න පුළුවන්. ඔබට එක
වංගියටම දකුණු පැත්තත්, වම්
පැත්තත් බලන්න බැහැ. ඔබ වැරදි සෙවීමේ
මනසකින් යුක්තව වම් පැත්තට යොමු වුණොත්
ඔබ දකින්නේ වැරදි පමණයි; අඩුපාඩු
පමණයි; එක දිගට
වැරදි අඩුපාඩු විතරමයි. ඔබ ඒ පැත්තටම යොමු වූ විට අසුභදායක ශක්තිය නැත් නම් නිෂේධාත්මක
ශක්තිය හරියට පිළිකාවක් වගේ ඔබේ මනස ගොදුරු කරගන්නවා. පිළිකා තුවාලය ටිකෙන්
ටික ලොකු මහත් වී ඔබ මුළුමනින්ම වෙළාගන්නවා. තව තවත් අසුබදායක පැත්තටම ඔබ තල්ලු
කරනවා. මම ඒ වගේ අය දැක තිබෙනවා. තමන්ගේ ජීවිතයේ අමාරුකම් ඇති වුණාම, ජීවිතයේ යම්
කිසි දෙයක් වැරදුණාම, නිෂේධාත්මක
හැඟීම් ආපස්සට ඇවිත් නිෂේධාත්මක බව සුළු
ශබ්දයෙන් පටන් අරගෙන මනස තුළ මහා
පිපිරීම් සද්දයක් ඇති වුණා වගේ නිම වෙනවා. ඒ එක්කම අනිත් අය කෙරෙහි තරහ, කෝපය පිට කරනවා වගේම
තමාගේ ජීවිතය පිළිබඳවද කෝප වෙනවා. මේක
තමයි නිෂේධාත්මක භාවය, නැත් නම්
අසුභදායකභාවයේ ගති ලක්ෂණ.
මේ වගේ තැන්වලට කලක් තිස්සේ ආවාම, වඩාත් සුබදායක විදිහට
සිතන්න පටන් ගන්නවා. ජීවිතය
දිහා ධනාත්මකව, සුබදායක විදිහට බලන්න
හුරු වෙනවා. මෙයින් සිදු වන්නේ සුබදායක පැත්තට තත්ත්වාරෝපණය වීමයි.
තවත් විදිහකින් බොහෝම අවංකව කිව්වොත්,
මේ වගේ තැන්වලට පැමිණීමෙන් සිදු
වෙන්නේ කෙනෙකුගේ සිතට අලුත් අදහස් කාවැද්දීමයි;
තවත් විදියකින් කිව්වොත් මොළ
ශෝධනයකුයි. ඒක ඇත්තක්. ඔබ එය දන්නවා. නමුත් මේ මොළ ශෝධනය සිදු වෙන්නේ යහපත්
පැත්තටයි; යහපත්
පැත්තට ඔබේ මනස ශක්තිමත් කිරීමයි; මනස් ශක්තිය සුභදායක
පැත්තට ශක්තිමත් කිරීමයි; ජීවිතය දිහා සුභදායකව
බැලීමට හුරු කිරීමයි. ජනයා මෙහි
එන්නේ මේ නිසයි; මොළය ශෝධනය
කරගැනීමටයි. හැබැයි ලස්සන පැත්තට මොළ ශෝධනයක් කරගැනීමටයි.මෙයට අදාළ, මා මීට පෙරත් කියා
ඇති බෞද්ධ ජාතක කතාවක් තිබෙනවා. එය ඇතෙක් සම්බන්ධවයි. මේ කියන
දවස්වල සුඛෝපභෝගි වාහන නොතිබුණ නිසා ගමනාගමනයට පාවිච්චි කළේ අස්වයන්
නැත් නම් ඇතුන්. මේ කියන්නේ එබඳු ඇතෙක් ගැනයි. මේ ඇතා බොහෝම ඉහළ කුලයක ඇතෙක්; රජතුමා පරිහරණය කළ
රාජකීය ඇතෙක්; ඒ
වගේම බොහෝම නුවණක්කාර සතෙක්. ඒත් අවුරුදු කිහිපයක් ඇත් ගාලෙ
ගාල් කළ මේ ඇතා වෙනදා නැති විදියට මුරංඩු වුණා;
අකීකරු වුණා. ඇතුන් පුහුණු කරන අය
ගෙන්නලා පරීක්ෂා කර බැලුවත් මේ ඇතාගේ මුරංඩුකමට හේතු ඒ ඇත්තන්ටත් සොයාගන්න
බැරි වුණා. ඇතා බොහෝම නරක විදිහට හැසිරුණා. ගැටලු ගණනාවක් ඇති වුණා.
ඒ හින්දා රජ්ජුරුවන්ට මේ ඇතා යහපත්
මාර්ගයට ගන්න ඕන වෙලා රජතුමාගේ ඇමැතියෙක් කැඳෙව්වා. මේ ඇමැතියා
බොහෝම ප්‍රඥාවන්ත ඇමැතිවරයෙක්. බෞද්ධ කතාවල මේ වගේ ප්‍රඥාවන්ත ඇමැතිවරු
ගැන සඳහන් වෙනවා. රජ්ජුරුවෝ මේ නුවණක්කාර ඇමැතිවරයාට ඇතා සම්බන්ධ ප්‍රශ්නය කියලා
මේ සතා යහපත් මාර්ගයකට ගන්න ඔහුගෙන් උදව් ඉල්ලුවා. ඊට පස්සෙ මේ ප්‍රඥාවන්ත ඇමැතිවරයා
රාත්‍රි කාලයේ ඇත්ගාලට ඇවිත් සෝදිසි කළා;
මොනවද වෙන්නෙ කියා විපරම් කර බැලුවා.
ඇත්ගාලෙ,
ඇතාට කිට්ටුවෙන් හොරු කට්ටියක් රැස් වෙන
විත්තිය ඇමැතිවරයා සොයාගත්තා. මේ
හොරු මහ රෑ ජාමෙට මෙතනට රැස් වෙලා, ඊළඟ දවස්වල ඒ ඇත්තන්
කරන්න යන මංකොල්ල සැලසුම්
කළා. මේ හොරු බොහෝම නරක විදිහට කතාබහ කළ
නිසා අසල සිටි ඇතාට මේ නරක ආශ්‍රය තදට
බලපෑවා. ඇතාට හොරුන් කතා කරන භාෂාව
තේරුණේ නැති වුණත්, මේ
නරක මිනිසුන්ගේ ආභාසය, බලපෑම
ඇතාට දැනුණා. ඇතාගේ චරිතෙ වෙනස් වුණේ කොහොමද කියල මේ නුවණක්කාර ඇමැතිවරයා තේරුම්
ගත්තා.
ඊළඟ දවසේ වෙච්ච දේවල් මේ ඇමැතිවරයා
රජ්ජුරුවන්ට කිව්වාම අර සොරුන් අත්අඩංගුවට ගත්තා. එතනින්
නොනැවතී ඇතාගේ චරිතය වෙනත් පැත්තකට හරවන්න උපායක්ද ක්‍රියාත්මක කළා. ඒ
සැරේ රජතුමා, හාමුදුරුවන්ට
ආරාධනා කරලා, හැම
රාත්‍රියකම ඇත්ගාලට ගිහින්, ඇතාට කිට්ටුව
හිඳගෙන භාවනා කරන්න, පිරිත්
කියන්න, ධර්ම
සාකච්ඡා කරන්න කියා ඉල්ලීමක් කළා.
මේ විදියට සති කිහිපයක් මේ
හාමුදුරුවරුන් ඇතාට කිට්ටුවෙන් ඉඳගෙන කළ භාවනා,
ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා අර ඇතාට
බලපෑවා. ඊට පස්සේ ඇතා බොහෝම කීකරු,
සාමකාමී යහපත් ඇතෙක් වුණා. ඔවුන්
මුරණ්ඩු ඇතා යහමගට ගත්තේ මෙන්න මේ විදියටයි.
මේක පුරාණ කතාවක්. ඒ වුණත් වැඩ සිද්ධ
වෙන හැටි මේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්. අපි එකිනෙකාට බලපෑම්
කරන්නේ කොහොමද කියල අපට වටහාගන්න පුළුවන්. පරිසරයෙන් සිදු වෙන බලපෑම්
නිසා මනස තත්ත්වාරෝපණය වෙන විදිහ අපට හඳුනාගන්න පුළුවන්. ඔබ මෙහි එනවා නම්, සතියෙන් සතිය, සතියෙන් සතිය, ඔබේ චරිතය වඩාත්
සාමකාමී පැත්තකට, වඩාත්
යහපත් පැත්තකට යොමු
වන බව අපට සහතික කර කියන්න පුළුවන්. ඒත් සවස තැබෑරුමකට නැත් නම් රාත්‍රී සමාජ ශාලාවකට
ගියොත් ඔබේ මනස ඊට හාත්පසින් වෙනස් දිශාවකට යොමු වෙන්න පුළුවන්. මට මේක සහතික කර
කියන්න පුළුවන්. ඔබ මා විශ්වාස කරන්නේ නැත් නම්,
සති කිහිපයක් මෙහි ඇවිත් බලන්න.
ඔබේ වෙනසක් සිදු වුණේ නැත් නම් ඔබේ මුදල් ආපසු දෙන්න පොරොන්දු වෙනවා. ඒත් ඔබ මුදලින්
කිසිම ගෙවීමක් කර නැති නිසා ආපසු දෙන්න මුදලකුත් නැහැ. මට මේවා කරන්න බැරි නම්
මම මෙහෙම කියන්නේ නැහැ. ඒ කොහොම වුණත් අපි කොහොමද වැඩ කටයුතු කරන්නේ; එකිනෙකා එකිනෙකාට
බලපාන්නේ කොහොමද කියන-එක මෙයින් පෙනෙනවා.
අපේ පරිසරය අපට බලපාන්නේ මෙන්න මෙහෙමයි.
අපේ මනස ඉදිරියට තල්ලු කරන්නෙ කොහොමද
කියන-එකත් ඔබට තේරුම් ගන්න පුළුවන්.
ඇත්තටම ඔබට බලපාන්නේ පරිසරය නොවෙයි,
ඔබ නිර්මාණය කළ
පරිසරයයි. වැඩ සිද්ධ විය යුතු ආකාරය තෝරාගන්නේ ඔබයි. ඔබට කිසියම් වේදනාවක්
ගෙනත් දුන් කෙනෙකු ගැන ඔබේ හිතේ තරහක් ඇති වුණාම,
පළි ගැනීමේ අදහසක් සිතේ ඇති
වුණාම, ඔබේ
අභ්‍යන්තර මනසට සිදු වෙන්නේ කුමක්දැයි බලන්න. එවිට ඇසිඩ් ගැසුවා වගේ ඔබේ
මනස මලකඩ කෑමට පටන් ගන්නවා. ටිකෙන් ටික ඔබේ මනසේ මල බැඳීම ඔබට දරාගන්න බැරි තත්ත්වයකට
පත් වෙනවා.
පිටතින් ඇති වන බලපෑම් වගේම ඔබ තුළින්
ඇති වන බලපෑම්, නිෂේධාත්මක
නැත් නම් සුභවාදී වෙන්න පටන් ගන්නවා. තරහ ඇති වීම ඒ වගේම නිෂේධාත්මක චින්තනය
අත්හැරදැම්මාම එයින් සිදු වෙන්නේ කුමක්ද?
අනික වේදනාවන් අත්හැරදැම්මාම ඔබට අහිමි
වෙන්නේ කුමක්ද? කිසිවක් අහිමි
නොවේ. ඔබට ලැබෙන්නේ කුමක්ද? හිතේ
සතුට, සාමය.
ඒ වගේම අර වේදනාකාරී අත්දැකීම්වලට ඔබ බැඳ තබන යදම් ලිහාදමමින් අතීත වේදනාවන් පිළිබඳ
අත්දැකීම්වලින් ඔබට මුක්තියක් ලැබෙනවා නේද?
ඔබ අතීතයෙන් මුක්තියක් ලැබූ විට ඔබ
නිදහස්. මේ විදියට අර අතීතයේ වේදනාවන් අත්හැරදැමීමට හැකි වීම කොයිතරම් ලස්සනද?
ඔබ මෙය කරන්නේ කොහොමදැයි ඉගෙනගත් විට, අනිත් වේදනාවන්ගේ
බලපෑම්වලින් මිදෙන්නට පුළුවන්. අතීතයේ අප්‍රමාණ වදවේදනා ඔබ විඳින්න ඇති. සිතේ
බලාපොරොත්තු කඩවීම් හෙවත්
ඉච්ඡාභංගයන් අප්‍රමාණව සිදු වෙන්න ඇති.
මේ දවස්වල මගේ සිතේ බලාපොරොත්තු කඩවීම්
අත්විඳිමින් සිටිනවා. අපේ භාවනා මධ්‍යස්ථානයේ
ගොඩනැගිලි නියම වේලාවට නිම කරගන්න
බැරි වීම ගැන මගේ සිතේ ඉච්ඡාභංගයක් ඇති
වෙනවා. ඒක බොහෝම බරපතළ රාජකාරියක්. එහෙත් ඒක නිම වුණාම ලොකු
සතුටක් විඳින්න ලැබේවි.
මේ විදිහට අතීත වේදනාවන් ගැන පසුතැවිලි
වෙනවා වෙනුවට, සිතේ
බලාපොරොත්තු කඩවීම් ගැන
තැවෙනවා වෙනුවට, සුභදායක හෙවත්
ධනාත්මක ආකල්පයන්ගෙන් යුක්ත වූ විට සිදු වෙන්නේ කුමක්ද? ඔබ නිෂේධාත්මක දේවලට, බලාපොරොත්තු
කඩවීම්වලට බැඳී සිටින්න අවශ්‍ය නැහැ මේවා අත්හරින්නේ කොහොමදැයි
ඔබ දැනගත් විට. යහපත් කර්මයක් කිරීම කියා කියන්නේ ඒකට තමයි.
බුද්ධාගමේ ඉගැන්වීම්වලදී අත්හැරදැමීම
කියන්නේ මේකටයි: වඩාත් සුභදායක ආකල්ප ඇති කරගැනීමේ හැකියාව, ජීවිතයක රස විඳීමේ
හැකියාව, ඒ
වගේම යමක අඳුරු පැත්ත දිහා බලනවා
වෙනුවට සුන්දර පැත්ත බැලීමේ හැකියාවටයි.
පරිවර්තනය - නීතිඥ සමරසිංහ
ගුණසේකර
පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
2014 පෙබරවාරි මස නමස්කාර පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි
නැවත
ඉපදීම පිළිබඳ ව පසුගිය ලිපිවලින් කරුණු ඉදිරිපත් කළ පූජ්‍ය බ්‍රහ්මවංසෝ
හිමියෝ
මේ ලිපියෙන් ඉතා වැදගත් භාවනා අත්දැකීම් රැසක් හෙළිදරව් කරති. - See more
at:
http://www.namaskara.lk/?sid=article&dt=2014/02#sthash.SX1thN1b.dpuf
No comments:
Post a Comment