බුදුදහම හා දෙවියන් අතර ඇත්තේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකි. තිලෝගුරු ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බෝසත් උත්පත්තියේ පටන් දෙවියන් බෝසතුන්ට ගෞරව පුද සත්කාර කළ ආකාරය විස්තර කෙරේ. සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ දින චර්යාවේ රාත්‍රී මධ්‍යම භාගය වෙන්කර තිබුණේද දෙවිදේවතාවුන්ගේ ධර්ම ගැටලු වලට විසඳුම් ලබාදීමටය.
සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇතුළත් සූත්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ විවිධ දෙවිදේවතාවුන් මුල්කොටගෙනය. විශුද්ධි මාර්ගය ලිවීම සඳහා පාදක කොටගත් “අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතො පජා “ යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් බුදුන් වහන්සේ විසින් “ සිලෙ පතිට්ඨාය නරො සපංඤෝ “ ආදී වශයෙන් ගාථා ධර්මය දේශනා කොට ඇත්තේ එක්තරා දිව්‍ය පුත්‍රයෙකු මුල්කරගෙනය. සතුල්ල පතායික නම් වූ දේව කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ හමුවී බොහෝ ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු ලබාගත් බව දේවතා සංයුක්තයෙහි සඳහන්ය.
එසේම සංයුක්ත නිකායේ “ සමය “ සූත්‍රයෙහිද, දීඝ නිකායේ මහාසමය සූත්‍රයෙහි ද දෙවිදේවතාවන් පිළිබද දීර්ඝ විස්තර රැසක් දැක්වේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර තවත් මහ රහතන්වහන්සේලා පන්සිය නමක් සමග වැඩ වාසය කරන අවස්ථාවක , දස දහසක් ලෝක ධාතුන්හි දෙවිදේවතාවෝ බුදුරජාණන් වහන්සේ හා අනෙක් රහතන් වහන්සේලා හමුවීමට පැමිණියහ. එහිදී බුදුන් වහන්සේ හා කෙළෙසුන්ගෙන් නොපැරදුනා වූ මහ රහතන් වහන්සේලා හමුවීමට දෙවිදේවතාවුන් රැසක් සපැමිණි බව එහිදී දෙවියෝ බුදුරදුන් උදෙසා ප්‍රකාශ කළහ. යම් කෙනෙක් බුදුන් වහන්සේ සරණ ගියෙහිද ඔහු අපායට නොයන්නෙහිය. මිනිස් කය හැර දේවත්වය ලබන්නේයැයි එහිදී එක් දේවතාවෙක් ප්‍රකාශ කළේය.
ඊට එක්වූ දෙවිවරුන් මහරහතන් වහන්සේලාට හඳුන්වා දුන් බුදුරජාණන් වහනසේ කිඹුල්වත් නුවර වාසී සත් දහසක් බූමාට දේවතාවෝද සතාගිර වස් දේවතාවෝද, විශ්වාචිත්‍ර පර්වත හා රජගහ නුවර වැඩි දේවතාවුන් හා සතරවරම් දේවතාවෝ වූ ධෘතරාෂ්ට්‍ර, විරූපාක්ෂ, විරූඪක, කුවේර ආදී දෙවිවරුද , නාගයෝද, ගරුඬයෝද, අසුරයෝද ඇතුළත් විවිධ දේව නිකායයන් රාශියක් සපැමිණි බව දීඝ නිකායේ මහා සමය සූත්‍රයෙහි විස්තර කර තිබේ. වරක් බුදුන් වහන්සේ “ගිජඣකාවසථ “ යෙහි වැඩ විසූ අවස්ථාවක “ ජනවසභ “ නම් වූ යක්ෂයෙකු හිටි හැටියේම පහළ විය. සමහර අවස්ථාවලදී දෙවිදේවතාවුන් යක්ෂ නාමයෙන්ද හඳුන්වා ඇත. ඔහු යක්ෂ සේනාපති වෙසමුණි රජුගේ කාර්යයක් සඳහා යමින් සිටියදී ඒ අතරමග බුදුන් වහන්සේ හමුවීමට පැමිණි බව සඳහන් කොට ඇත. එහිදී ඔහු තමා මීට ඉහත ආත්ම භවයෙහි මගධාධිපති බිම්බිසාර මහ රජතුමා බවත්, මෙම ආත්ම භවයෙහි ජනවසභ නම් වෙසමුණු රජුගේ රාජ සභාවේ ක්‍රියාකාරිකයෙකු බවත් ඊට හේතු භූත වූයේ වේළුවනාරාමයේදී බුදුන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත්වීම බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම පසළොස්වක පොහෝ දින පුරා සඳ පායා ඇති රාත්‍රියෙහි තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කරන්නා වූ දෙවිදේවතාවුන් සභාවට රැස් වූ පසු සතරවරම් දෙවිවරුන් පැමිණ ශක්‍රදේවේන්ද්‍රයා ඇතුළු අනෙකුත් දෙවිදේවතාවුන්ට රැකවරණය සපයමින් සතරදෙස රැකවරණලා සිටින ආකාරය විස්තර කොට ඇත.
ඊට අදාළව ධෘතරාෂ්ට්‍ර අවරදිගට මුහුණලාද විරූපාක්ෂ පෙරදිගට මුහුණලාද විරූඪක උතුරු දිගට මුහුණලාද දෙවියන් පෙරටුකොට සිටින ආකාරය ජනවසභ විසින් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන ලදී.
එමෙන්ම එම දේව සභාවෙහි මහත් අලංකාරයෙන් බබළන ශරීර ඇති අලුතින් පහළ වූ දෙවිදේවතාවුන් රැසක් දැක දිව්‍ය සභාව මගින් ඔවුන් කවුරුන්ද යන වග විමර්ශනය කළ විට, ලෝකයේ බුදුන් වහන්සේ කෙනෙකු පහල වී ඇති බවත් උන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුව කටයුතු කළ බොහෝ දෙනා එම පුණ්‍ය ශක්තියේ බල මහිමයෙන් දිව්‍ය සැප සම්පත් ලබා තව්තිසා දිව්‍ය ලෝකයෙහි උත්පත්තිය ලබා ඇති බවත් ඒ හේතුවෙන් දෙවිදේවතාවුන් රාශියක්ම වර්ධනය වී ඇති ආකාරයත් අසුරයින්ගේ බලය පිරිහීමට පත්වී ඇති ආකාරයත් ඉමහත් පී‍්‍රතියෙන් සඳහන් කළේය. එම අවස්ථාවේදී ඉන්ද්‍ර සහිත තව්තිසා දිව්‍යලෝක වාසින් බුදුන් වහන්සේද ධර්මයෙහි සුධර්මත්වයද , සංඝයාගේ සුපිළිවෙතද නම දින්නාහුයැයි සඳහන් කළ බවත් ඉදිරි වර්ෂා කාලයේදී අරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ ආරක්‍ෂාව උදෙසා සිවු වරම් දෙවිදේවතාවුන්ට භාර කළ බව ජනවසභ සඳහන් කළ බවත් දැක්වේ.
දීඝ නිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ හමුවීමට පැමිණ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇත. එම අවස්ථාවේ පඤ්චසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේ ඉදිරියේ සිදු කරන ලද සුමිහිරි ගීත ගායනයක් බුදුන් වහන්සේගේ ඉමහත් ප්‍රශංසාවට ලක්වූ ආකාරයද විස්තර කොට ඇත. එම ආත්ම භාවය අවසන් වී සිටි ශක්‍ර දේවේන්ද්‍රයා බුදුන් වහන්සේ ගෙන් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට බුදුන් වහන්සේ ඉදිරියේදීම චුත වී නැවතත් ශක්‍ර දේවේන්ද්‍රයාම වී උත්පත්තිය ලැබූ බව එම සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කොට ඇත. බුදුන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කොට වදාළේද දෙවිදේවතාවුන් විසින් අසනලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. කරණීය මෙත්ත සූත්‍රය දේශනා කොට වදාළේද විවිධ දේව නිකායිකයින් අතර සහජීවනය වර්ධනය කර ගැනීම සඳහාය.
විශේෂයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ මෙම කිසිදු සූත්‍රයක හෝ වෙනත් තැනෙක ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයන් විසින් දෙවිදේවතාවුන් යැදිය යුතු යැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කොට නොමැති වීමයි. බුදුන් වහන්සේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා ඇතුළු පිරිසට දේශනා කොට වදාළේ බියෙන් තැතිගත් ජනයා පර්වත, වන ආරාම , වෘක්ෂ හා දේවාල පිහිට කොට යන බවත් එම සරණයාම සෙත් ශාන්තිය පිණිස කිසිසේත්ම හේතු නොවන බවත් එමගින් සසර දුකින් එතෙරවීමට නොහැකි බවත්ය. යම් කිසි පුද්ගලයෙකු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන්නේද ඔහු චතුරාර්ය සත්‍ය ප්‍රඥාවෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දුකින් මිදීමට හේතුවන බවත් රත්නත්‍රය සරණයාම සියලු දුකින් මිදීමට හේතුවන බවත් බුදුන් වහන්සේ ඉතා පැහැදිලිවම දේශනා කොට වදාළහ.
සක්කනමස්සන සූත්‍රයෙහි දක්වා ඇති ආකාරයට පින්කරන්නාවූද, සිල්වත් වූද, ගෘහස්ථයන්ට පවා ශක්‍රයා නමස්කාර කරන බව ශක්‍ර දේවේන්ද්‍රයාම ප්‍රකාශ කොට ඇත.තමා කුසලයක් කරගත් විට එම පින දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් දෙවියන් පී‍්‍රතියට පත් වන බවත් පෙන්වා දී ඇත.
තමන් ගුණගරුකව ධර්මානුකූ®ලව ජීවත්වේ නම් දෙවියන් ගේ පවා ගෞරවාදරයට පාත්‍රවන බවද විස්තර කොට ඇත. මේ අනුව පෙනී යන්නේ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කොට ඔවුන්ගේ සහාය ලබාගැනීම හැර දෙවියන් සරනයාම එතරම් ප්‍රයෝජනවත් නොවන බවයි. “හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී “ යන කියමන අනුව නිවැරදිව ධර්මානුධර්ම ප්‍රතිපත්තියට අනුව ජීවත් වන්නන්ට දෙවියෝ නිරන්තරයෙන්ම පිහිට වෙති. උපකාර කරති. ඔවුන් ආරක්‍ෂා කරති.
ශාස්ත්‍රපති උඩුගම
මොහාන් නන්දන නානායක්කාර
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ
සැප්තැම්බර් මස 22 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment