නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණාජාති වූ සිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං , නාපරං ඉත්ථත්තායාති. පජානාති, ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගතපදං ඉතිපි තථාගතනිසෙවිතං ඉතිපි තථාගතාරඤ්ජිතං ඉතිපි. එත්තාවතා ඛො බ්‍රාහ්මණ අරිය සාවකෝ නිට්ඨං ගතො හොති. සම්මා සම්බුද්ධො භගවා ස්වාක්ඛාතො භගවතා ධම්මො සුපටිපන්නො භගවතෝ සාවක සංඝෝති එත්තාවතා බ්‍රාහ්මණ හත්ථිපදොපමො පරිපූරෝ හොතීති.
සුපින්වත්නි
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සමයක ජානුස්සෝණි, හා පිලෝතික බමුණන් දෙදෙනාගේ සම්මුඛ සාකච්ඡාවේදී අප බුදුරදුන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් නිෂ්ටාවට පත් නිගමනයන් අප බුදුරදුන් විසින් යථාර්ථයෙන් විස්තරව දේශනා කිරීමේ චූල්ලහත්තිපදෝපම සූත්‍රය මිහිඳු මහ රහතන් වහන්සේ මිහින්තලා ගලමුදුනේ වැඩ සිට දෙවනපෑතිස් මහරජතුමන් හට දේශනා කළ සේක.
යම්සේ ඇත් ගොව්වෙක් වනයට පිවිසියේ ඇතා ගිය මගේ සළකුණූ දැක මේ ඇතා මේ විධියේ ඇතෙකු යයි නිගමනය කරන්නාක් මෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ එම ස්වාක්ඛාත ධර්මය, සුපටිපන්න මහා සංඝරත්නය, පිළිබඳව ඤාණපද හතරක් දැකීමෙන් සුවිශේෂත්වයෙන් හඳුනා ගන්නේය යන කෙටි සාකච්ඡාව ජානුස්සෝණි බ්‍රාහ්මණයා බුදුරදුන්ට දැන්වූ පසු බුදුරජාණන් වහන්සේ
නඛො බ්‍රාහ්මණ එත්තාවතා හත්ථිපදොපමො විත්ථාරෙන
පරිපූරොහොති අපිච බ්‍රාහ්මණ යථා හත්ථීපදොපමො විත්ථාරෙන
පරිපුරොහොති තංසුණාහි ආදි නයින් විස්තරාත්මකව දේශනා කළ සේක.
මෙම චුල්ල හත්තිපදෝපම සූත්‍රයෙන් බුදුදහම නොදන්නා කෙනෙකු තෙරුවන් හදුනාගන්නා ආකාරයත් ක්‍රමයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් ප්‍රථම, දෙවන, තුන්වන , හතරවන ධ්‍යාන පදය හා ත්‍රිවිද්‍යා ඤාණවරපද ලබා ශාන්ත සුන්දර අමා මහ නිවන් පසක් කරගැනීම දැක්වෙන්නේය. ඒ අනුව “පින්වත්නි “ මෙම සූත්‍රයෙන් ප්‍රධාන කාරණා පහක් විස්තර වේ.
01.බමුණන් දෙදෙනා හමුවීම
02.ජානුස්සෝණි බමුණා බුදුරදුන් සමඟ සාකච්ඡාව
03. හත්ථිපද හතර හා ත්‍රිවිද්‍යාඥාණයන්
04. ත්‍රිවිධ රත්නය හඳුනා ගැනීම
05. රහතන් වහන්සේගේ නිෂ්ටාව
ජානුස්සෝනි හා පිලෝතික බමුණා අතර නරගයේදි හමුවීම හා සාකච්ඡාව සාමාන්‍ය මිතුරන් දෙදෙනෙකුගේ අදහස් හුවමාරුවට වඩා පඬිවරුන් දෙදෙනෙකුන්ගේ හමුවීමක් වන අතර එය ලොව්තුරු ධර්ම රසයෙන් සංයුක්ත වන්නේය. බුද්ධාදී රත්නත්‍රය පිළිබඳව පිලෝතික බමුණාගේ ශ්‍රද්ධාව, ප්‍රඥාව ස්වභාවික පරිසරයේ ඇති සුන්දරත්වයට මුසුවී උපමා රූපකාදි සාහිත්‍ය රසයෙන් ලොව්තුරු ගුණයෙන් ශ්‍රාවක චිත්ත සන්තානයට මහා කුසල බල මහිමයක් ජනිත වන්නේය.
පිලෝතික බමුණාගේ බුද්ධාදී තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ජානුස්සෝනි බමුණා සමඟ බෙදාහදාගෙන එකෙණෙහිම බුදුරදුන් හමුවීමට ගියේ කෙතරම් ආනන්ද ජනක හැගීමෙන් ද යන්න නිරායාසයෙන් මුවින් පිටවු මෙම වාක්‍යයෙන් ප්‍රකට වන්නේය.
“අප්පේව නාමමංය කදාචි කරහචි තෙන භොතා ගොත මෙන සද්ධීං
සමාගච්ඡෙය්‍යාම අපපේවනාම සියා කොචිදෙව කථාසල්ලාපෝති”
ශ්‍රද්ධාවෙන් චිත්තසන්තානය ප්‍රසන්නතාවයට පත්වු ජානුස්සෝණි බ්‍රාහ්මණයා වහාම බුදුරදුන් හමුවී දෙපා වැඳ ගරුසරුව සාකච්ඡාවට ප්‍රවේශයක් ලබාගෙන පිලෝතික බමුණා සමඟ ඇතිවූ කතා සල්ලාපයෙන් තමා මහත් අමන්දානන්දයට පත්ව වහ වහා පැමිණි බව සැලකළේය.
අප බුදුරජාණන් වහන්සේ ජානුස්සෝණි බමුණාගේ බුද්ධිය හා ශ්‍රද්ධාව තව තවත් වර්ධනය කරවමින් ඇත්පිය උපමා දෙසුම විස්තර වශයෙන් දේශනා කළ සේක.
ඇතුන් පිළිබඳ තියුණු බුද්ධියක් ඇති දක්ෂ පුද්ගලයෙක් ඇතුන් සිටින වනයකට පිවිසියේ දිගින් පළලින් විශාල ඇත් පියවර දැක මේ නම් මහ ඇතෙක් යයි නිගමනය නොකරන්නේය. එයට හේතුව වනයෙහි වාමනිකා නම් ඇතින්නියෝ සිටින බැවිනි. ඒ ඇත් පියවර අනුව තවදුරටත් ගමන් කරන විට මහත් ඇත්පියවර හා උස් අතු සිඳ බිද දමා ඇතිවග දකින්නේය. එහෙත් මේ නම් මහා ඇතෙක් යයි නිගමනය නොකරන්නේ වනයෙහි උච්චා කාලාරිකා නම් ඇතින්නන් සිටින බැවිනි. යළි තව තවත් වනයෙහි ගමන් කරන විට මහ ඇත්පියවර, උස් අතු කඩා දමා ගිය සළකුණුද දළ වලින් අනින ලද සලකුණූද දකින්නේ මේ මහා ඇතෙකැයි තීරණය නොකරන්නේ වනයෙහි” උච්චා කණේරුකා” නම් ඇතින්නක් සිටින බැවිනි. තවද බමුණ එම තැනැත්තා වනයෙහි තවත් ගමන් කරන විට ඉහත කී සලකුණූ මෙන්ම ගසක් මුල සිටියා වූ හෝ අවකාශයෙහි සිටින්නා වු හෝ ඇත් රාජයෙක් දකී. එවිට ඔහු ඒ මහා ඇත් රාජයායයි තීරණයට එළඹෙන්නේය.
එසේම බමුණ මෙම ශාසනයට පැමිණ ප්‍රථම ධ්‍යාන ද්විතීය්‍යාන,තෘතීයධ්‍යාන හතරවන ධ්‍යාන, පුබ්බේ නිවාසානුස්සතිඤාණය , චුතූපපාතඤාණය, ආසවක්ඛයඤාණය උපදවා මෙම හත් පියවර අනුව තථාගතයන් වහන්සේගේ ඤාණ පදය හඳුනා ගන්නේය.
“පින්වත්නි”
පිලෝතික බමුණා ජානුස්සෝණි බමුණාට හදුන්වාදුන්නේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ,ගෘහපති, ශ්‍රමණ, යන සිව් පිරිස තෙරුවන් හඳුනා ගෙන බුදුරදුන්ගේ ඤාණ පදය අනුව තීරණය කිරීමයි. අප බුදුරජාණන් වහන්සේ සතරධ්‍යාන හා ත්‍රිවිද්‍යාව ලබා බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය පිළිබද අවසාන හඳුනා ගැනීමේ නිෂ්ටාවයි.
පුහුදුන් සිතින් බුද්ධාදී තෙරුවන් පිළිබඳ නිගමන සංඛ්‍යාත ඤාණපදය ලෞකික වන අතර ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් දැනගෙන බුද්ධාදී තෙරුවන් පිළිබද නිගමන ඤාණපදය අවෙච්ඡප්‍රසාදනි ශ්‍රද්ධාවෙන්ම තීරණය ගන්නා බැවින් තිරසර වන්නේය.
සම්මා සම්බුද්ධෝ භගවා, ස්වාක්ඛාතො භගවතා ධම්මො සුපටිපන්නෝ භගවතො සාවක සංඝො.
අප බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේම ඤාණයෙන් දැන වදාළ බැවින් “සම්මා සම්බුද්ධෝ නම් වන සේක.
මානව පරපුරේ මෙතෙක් කිසිම කෙනෙකු” සියල්ල දැන ගත්තා” යන අදහස ප්‍රකාශ කර නැත. මතුවට හෝ එවන් අදහසක් ලොවට ප්‍රකාශ කළ හැක්කේ ලොව්තුරා බුදු කෙනෙකුට පමණි. එබැවින් අප බුදුරජාණන් වහන්සේ “සම්මා සම්බුද්ධෝ භගවා” යන නිෂ්ටාවට පත්වීමට ලොව ඕනෑම බුද්ධිමතෙකුට හැකිවන්නේය.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය, මුල, මැද,අග යහපත්ව සීලයෙන් පවිත්‍රව, සමාධියෙන් නිසසලව, ප්‍රඥාවෙන් ප්‍රභාමත්ව ඇත්තා උතුම් ධර්මයක් බැවින් ස්වාක්ඛාත නම් වන්නේය.
අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය පිළිපදිමින් නිවන් මගට පිළිපන් ආර්ය ,සම්මුති මහා සංඝරත්නය “සුපටිපන්නෝ භගවතො සාවක සංඝො යන ප්‍රඥාවන්තයන්ටම යෝග්‍ය නිෂ්ටාවට පත්වන්නට හැකිවන්නේය. මෙවන් උතුම් ඵලදායි තෙරුවන් හැඳින ගැනීම මතු මත්තෙහි පුද්ගලික ප්‍රතිලාභ වශයෙන් අර්හත් මාර්ගයට පියවර තබන්නට මෙන්ම සමාජය වශයෙන් උදාරතම ශිෂ්ටාචාරයක් බිහිකරන්නටද මහෝපකාරි වන්නේය.
අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහරජතුමන් ප්‍රධාන ලාංකික ජනතාවට මෙම උතුම් දාර්ශනික සූත්‍රය මාර්ගයෙන් ලෝකයේ වෙනත් කිසිම රටක තහවුරු නොවූ අති උතුම් ශිෂ්ටාචාරයක් ප්‍රදානය කළ සේක.
මෙම චුල්ලහත්ථිපදෝපම සූත්‍ර ධර්ම දේශනාව කියවීමෙන් හා පිළිපැදීමෙන් දෙලොව ශාන්තිය භවාන්තරයේ සැපදුක් කෙළවර උතුම් අමා මහ නිවන් සුව ලබාගැනීමට වාසනාභාගී වේවා
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නා හිමි
No comments:
Post a Comment