සමාදන් වූ ශික්ෂා පද්ධතිය අතට ගත් දෙයක් නොවිසිරෙන්ට නොබිෙඳන්ට නොවැටෙන්නට අල්ලා ගෙන පරිහරණය කරන්නාක් මෙන් රැක ගැනීම ශීලයේ ලක්ෂණයයි. සමාදන් වූ සිකපද නොකඩවා රකින විට පුහුණුවක් අභ්‍යාසයක් ඇති වේ.
කයින් හා වචනයෙන් කෙරෙන වැරදි ක්‍රියාවලින් වැළකීම සීලයයි. ශීලයේ බීජය නම් එම වැළකීමේ චෛතසිකයයි. චිරතියයි. විරමනයයි. සාමාන්‍යයෙන් ඒවායින් වැළකීමට සමාදානයක් (පොරොන්දුවක්) තිබිය යුතුය. ප්‍රාණින් ඝාතනය කිරීම (සතුන් නැසීම) නුදුන් දේ ගැනීම කාමයන්හි වරදවා හැසිරීම යන දුසිරිත් තුන කයින් ද, බොරු කීම් ආදී වාක් දුශ්චරිත සතර වචනයෙන් ද කෙරෙන වැරදිය. මේවායින් වැළකෙන බවට තමා විසින් ම හෝ වෙනත් උතුමකු වෙත එළඹ හෝ චෛත්‍ය ස්ථානයක දී හෝ වචනයෙන් කියා පොරොන්දු වීම සමාදානයයි. (ගැනීමයි) අන් උසස් කෙනෙක් වෙත එළඹ පොරොන්දු වීම හෙවත් සමාදන්වීම නිසා එය ආරක්ෂා කිරීමේ වගකීම දැඩි වන හෙයින් එසේ කිරීම වඩාත් සුදුසුයි.
පංචශීල අෂ්ටාංග ශීල ආදිය මෙසේ සමාදන් වෙති.
සමාදන් වූ ශික්ෂා පද්ධතිය අතට ගත් දෙයක් නොවිසිරෙන්ට නොබිදෙන්ට නොවැටෙන්නට අල්ලා ගෙන පරිහරණය කරන්නාක් මෙන් රැක ගැනීම ශීලයේ ලක්ෂණයයි. සමාදන් වූ සිකපද නොකඩවා රකින විට පුහුණුවක් අභ්‍යාසයක් ඇති වේ. ඉබේම සිදුවෙන ස්වභාවයක් ඇති වේ. එවිට ඔහු සිල් ඇත්තෙක් - ශීලවන්තයෙක් වේ. ශීල යනු ගතියට (ස්වභාවයට) ද නමකි. නිද්දසීලි (නිදන ගතියක් ඇති) ප්‍රගතිශීලි (දියුණුවක ගතියක් ඇති) ප්‍රියශීලි (ප්‍රිය ගතියක් ඇති) විකිරණශීලි (විසිරෙන ගතියක් ඇති) ආදී තන්හි ද, කැඩෙන සුළු, ඇලෙන සුළු ආදී තන්හි ද මේ අදහස යෙදී ඇත. සතුන් නොමැරීම ආදී පව්කම් නොකරන ගතියක් (ස්වභාවයක්) ඇත්තා ශීලවන්තයෙකු ලෙස සලකනු ලැබේ. සිල්වත්හු පොරොන්දු කඩ නොකරති. බැරිකමට - නැතිකමට - අවකාශ නොලැබෙනකමට පවින් වැළකීම ශීලයක් නොවේ. (සිරගතවූවෝ ඉඩ නැති නිසා පවෙල් වැළකී සිටිති. එය සිල් රැකීමක් නොවේ.) ශීලය අර්ථවත් වන්නේ සමාදන් වශයෙන් රකින විටය. ශීලය ආරක්ෂාවීමේ පදනම - ආසන්න කාරණය - නැතුවම බැරි කාරණය - හිරි ඔතප් දෙකයි. එනම් පව් කිරීමට ඇති ලැජ්ජාව හා බියයි. රහසින් වුව ද පවක් කෙරෙන්නේ හිරි ඔතප් නැති වීමෙනි. කර්මවිපාක විශ්වාස කිරීමේ සම්‍යාග්දෘෂ්ටියෙන් (කම්මස්සකතා ඥානයෙන්) යුක්තවීම ද සිල් ආරක්ෂාවීමට හේතු වේ. ආදීනව දන්නා නිසා පව් නොකරන හෙයිනි. හැඳගත් වස්ත්‍රයක් හෝ පැළඳ ගත් ආභාරණයක් හෝ නොකැඩී, සිදුරු නොවී කිලිටි නොවී තිබෙන විට එය පැළඳ සිටින අය ශෝභමාන වන්නාහ. ලස්සන වන්නාහ. කිලිටි වී කැඩී බිඳී තිබේ නම් එය ඔහුට මෙන් ම දකින්නන්ට ද අප්‍රසන්නය. එමෙන් ම සිල් නැත්තන් මෙන් ම දූෂිත සිල් ඇත්තන් ද හැමටම අප්‍රසන්නයි. තමන්ටත් අප්‍රසන්නයි.
ගෘහස්ථ ශීල ප්‍රව්‍රජිත (පැවිදි) ශීල වශයෙන් දෙආකාරයකින් බෞද්ධයෝ සිල් ආරක්ෂා කරති. බෝසත්වරු මේ දෙආකාරයෙන් ම සසර දී ශීලපාරමිතාව සම්පූර්ණ කොට සම්බුදු බවට පත් වෙති. ශීලයක් සමාදන් වූ තැනැත්තා එය ආරක්ෂා කිරීමේ දී ඇතැම් සිකපද කැඩී ගියොත් නැවත සමාදන් වීමෙන් (කැඩුණු බඳුනක් පිළියම් කර ගන්නාක් මෙන් ද, ඉරුණු වස්ත්‍රයක් මසාගෙන පාවිච්චි කරන්නාක් මෙන් ද) පිළියම් කර ගනිති. එහෙත් නැණවත් සැදැහැවතා සිකපද නොසැලකිල්ලෙන් කඩ කඩා බිඳ බිඳ සමාදන් වෙමින් පිළියම් කර නොගනී. තම වස්ත්‍රය ඕනෑකමින් ඉරාගෙන මසා පාවිච්චි කරන්නා මුග්ධයෝය. (මෝඩයෝය) පන්සිල් අටසිල් දසසිල් ගිහියන් විසින් සමාදන් වන සිල් වන අතර, සාමණේර දසසිල් හා සතර සංවර සිල් පැවිදි සිල් වේ.
තමන් සමාදන් වන ශීලයේ ශික්ෂා පද නොකැඩෙන්නට - නොබිඳෙන්නට රැකගත හැක්කේ ඒවා පිළිබඳ මනා දැනීමක් ඇති විටය. බිඳෙනසුළු - කැඩෙන සුළු භාණ්ඩ නොබිඳී නොකැඩී බොහෝ කලක් පාවිච්චි කළ හැකිවන්නේ ඒ ඒ භාණ්ඩ ගැන මනා වැටහීමක් ඇති විටය. “පාණාතිපාතා වේරමණී” ශික්ෂා පදය බිඳෙන්නේ පාණාතිපාතය (ප්‍රාණය හෙලීම) සිදුවූ විටය. එය සිදුවීමේ දී අංග පහක් සම්පූර්ණ විය යුතු බව දන්නා යහපත් තැනැත්තා ඒ පහ සම්පූර්ණ වීමට ඉඩ නොදෙයි. එය සිදුකිරීමෙන් වළකී. මේ ආකාරයෙන් සෑම ශික්ෂා පදයක් ම (පාපයක් ම) සපුරා සිදුවීමට අංග ඇත්තේය. ඒවා මනා ලෙස හැදෑරීම එයින් වැළකීමට මහෝපකාරී වේ. කායික වාචසික අකුසල කර්මයන් පිළිබඳව පමණක් නොව මනෝකර්මයන් (තුන) පිළිබඳව ද පාපය සිදු වන්නේ අංග සම්පූර්ණ වීමෙනි. බොහෝ සෙයින් ශීලවන්තයායයි සැලකෙන්නේ පාපයන්ගෙන් වැළකී සිටින අයය. ඔව්හු ‘චාරිත්‍ර ශීලයෙන්’ යුත් තැනැත්තෝ ය. කළයුතු හොඳ දේ කිරීමත් ශීලයකි. එය ‘චාරිත්‍ර ශීලය’ යන නමින් හැඳින්වේ. දන්දීම, සිල්සමාදන්වීම ආදිය ඊට ඇතුළත් වේ. ඒ ඒ ‘සිරිත් විරිත්’ (චාරිත්‍ර වාරිත්‍ර) අනුගමනය කිරීම ශීලයයි. මෙහිලා සැකෙවින් සැලකිය යුත්තේය.
සිරිත් වශයෙන් සිදු කරන සෑම සමාජ යුතුකමක් ම පාහේ චාරිත්‍ර ශීලයට ඇතුළත් වන්නේය. ලාභ සත්කාර නොතකා කරන ඒ ක්‍රියා පුණ්‍ය ක්‍රියා වස්තු වශයෙන් දස ආකාරවේ. එනම්, දන්දීම, සිල්සමාදන්වීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් සැලකීම, බණ කීම, බණ ඇසීම, දෘෂ්ටිය සෘජු කිරීම යන මේවාය. කවර හෝ යහපත් ක්‍රියාවක් ලාභ ප්‍රයෝජන නොතකා කළා ම මෙයින් එකකට අයත් වන්නේය. දානයක්ද වේ.
කොළඹ විද්‍යෝදය පිරිවෙනේ, උප ප්‍රධානාචාර්ය
බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ථෙරවාද දර්ශන විශාරද
හෑගොඩ ෙඛීමානන්ද නා හිමි
සැකැස්ම
දහම් පඬුර ග්‍රන්ථය ආශ්‍රයෙන්
ධර්ම පර්යේෂණාලයවාසී,
කෙත්සිරිගම සුජාත හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක් වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ මැයි
11 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment