නූතනයේ දුරකථන, ජංගම දුරකථන ආදිය සුලභව ඇතත් එමඟින් ආරාධනයක් සිදු කළ ද විහාරස්ථානයට පැමිණ වැඳ නමස්කාර කොට දේශකයාණන් වහන්සේට ආරාධනා කිරීම අතිශය යෝග්‍ය බව මෙහිලා සඳහන් කළ යුතු ය. මෙහි දී සිහි තබාගත යුතු කරුණ වන්නේ තමන් ආරාධනා කොට දේශනා කරවා ගන්නේ අන් කිසිවක් නොව සාරාසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුමන් පුරා අවබෝධ කර ගත් උතුම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය බවයි
ආචාර ධර්ම හෙවත් ආචාර විද්‍යාව මිනිස් ගතිපැවතුම්, චර්යා, පරමාර්ථ, අභිප්‍රාය, ජීවන ක්‍රම ආදිය සම්බන්ධයෙන් කරනු ලබන ඇගැයීම් පිළිබඳ විමර්ශනයකි. යම් ජන සමාජයක ආචාර විද්‍යාත්මක අගැයුම් මොනවාද? ඒවා ව්‍යවහාරයට පත්ව ඇත්තේ කුමක් නිසාද? යනාදී කරුණු පිරික්සනුයේ සමාජයීය විද්‍යා මගිනි. යම් විශේෂ ජන කොටසකට, සංස්කෘතියකට, ආගමික පද්ධතියකට අයත් ආචාරධර්ම හඳුනා ගනු ලබනුයේ ඒ ඒ විෂයායත්ත ක්‍රමවේදයන් අනුවය. එසේ ම ඒ ඒ පද්ධතිවල විවිධ කොටස් හා බැඳි ආචාර ධර්ම විවිධ ය. සදාචාරාත්මක වශයෙන් බෙහෙවින් වැදගත්වන අදහස් බෞද්ධ චින්තනය තුළ ඇතුළත් වේ. මෙම ලිපියෙන් බුදුදහමේ ධර්ම දේශනා හා බැඳි ආචාර ධර්ම සාකච්ඡාවට ගැනේ.
කිසියම් සමාජයක් තුළ සැලකිය යුතු කාලයක් පැවතගෙන එන ක්‍රියාවලියකට අදාළ සම්ප්‍රදායයක් හා ආචාර ධර්ම සමුදායයක් ඇතිවීම ස්වභාවික ය. ධර්ම දේශනා යනු වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් පටන් බුදු දහම ජනතාව වෙත සමීප කළ සන්නිවේදන මාධ්‍යය යි. එහිදී දේශාන්තර වශයෙන් මෙන්ම කලාප වශයෙන් ද විශේෂ ආචාරාත්මක ලක්‍ෂණ රැසක් ඒ හා බැඳී සංවර්ධනයට පත්ව ඇත. එසේ වුව ද මෙම ලිපියෙන් අප අවධානය යොමු වන්නේ ධර්ම දේශනා බද්ධව දේශ දේශාන්තරයන්හි හා පළාත්බදව ඇති වූ සංස්කෘතික සම විෂමතාවන් පිළිබඳව සමීක්‍ෂාවක් කිරීම නොව පොදුවේ ශ්‍රී ලාංකේය සමාජය තුළ පිළිගත් ධර්ම දේශනා බද්ධ සම්මතයන් හා ආචාර ධර්මයන් කෙටියෙන් පරීක්‍ෂා කර බැලීමත් ඒවායෙහි ඇති වැදගත්කම සොයා බැලීමත් ය.
ධර්ම දේශනාවක් පවත්වා ගැනීම සඳහා කිසියම් විශේෂ හේතුවක් පාදක කර ගැනීම පොදුවේ සිදුවන්නකි. විහාරස්ථානයක හැර නිවසක ධර්ම දේශනාවක් පවත්වාගන්නේ නම් ඒ සඳහා පින්දීම හෝ ආශිර්වාදය සලසා ගැනීම වැනි අරමුණක් ඉදිරිපත් කර ගැනීම සිරිත ය. සිය ඥාතියෙකු මියගොස් හත් දිනක්, තෙමසක්, වසරක් හෝ ඊට වැඩි කාලයක් ගතවීම, උපන්දිනය, විවාහ සංවත්සරය, විවාහ වන යුවළකට ධර්මෝපදේශ ලබාදීම, ආසන්න බණ ආදී වශයෙන් විවිධ අරමුණු පදනම් කොට ගෙන ධර්ම දේශනා පවත්වනු ලැබේ. එසේ ඇති කල්හි එම අභිමත කරුණට අනුරූප වන අයුරින් ධර්ම දේශනා කිරීමට ද දේශකයන් වහන්සේ අවධානය යොමු කරති. නිදසුනක් ලෙස මිය යෑමකට සම්බන්ධ ධර්ම දේශනාවක දී ත්‍රිලක්‍ෂණය වැනි දේශනාවක් ද මංගල සම්මත අවස්ථාවක දී මංගල සූත්‍ර ආදී දේශනාවක් ද දේශනා කිරීමය. මෙය බුදුරජාණන් වහන්සේ විසින් ද අනුමත ක්‍රමය බව ඒ පර්යායයේ දී බුදුරජාණන් වහන්සේ අට්ඨුප්පත්තිකව ධර්ම දේශනා කර ඇති ආකාරයෙන් පැහැදිලි වේ. පූතිගත්තතිස්ස හිමියන් අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් වන අතර චුන්දසූකරික අමතා දේශනා කරනුයේ කර්මය හා සම්බන්ධ දේශනාවකි.
සැදැහැතියකුගේ ආරාධනාවකින් ම මිස අනාරාධිතව දහම් දෙසීමේ සම්ප්‍රදායයක් නැත. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පවා ආරාධනයක් ඇතිව ම දේශනා කරන ලද්දකි. බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ අල්පශ්‍රැත බවත්, එවන් පිරිසකට දහම් දෙසීමේ දී තමන් වහන්සේ පමණක් වෙහෙසට පත්වන බවත් සිතා දහම් දෙසීමට අනුත්සුකව සිටි අවස්ථාවෙහි සහම්පති මහාබ්‍රහ්මයා උන්වහන්සේට දහම් දෙසීමට ආරාධනා කළ පුවත ශාසන ඉතිහාසයේ ඉතා ප්‍රකට ය. එසේ ම බොහෝ අවස්ථාවල බුදුරදුන් වහන්සේ වෙත පැමිණෙන දිව්‍ය බ්‍රහ්මාදීන් මෙන් ම බ්‍රාහ්මණ ගෘහපතියන් ද තථාගතයන් වහන්සේගෙන් ධර්මය දේශනා කරන ලෙස ඉල්ලා සිටින අයුරු මංගල පරාභව ආදී සූත්‍රයන්හි මැනවින් ප්‍රකට වේ. එබැවින් ශ්‍රාවක ආරාධනයක් ම ධර්ම දේශනාවකට මූලික වූ අයුරු ශාසන ඉතිහාසය තුළින් ද පැහැදිලි වේ. එය ධර්මයට කරන ගෞරවයක් මෙන්ම ශ්‍රාවකයන්ගේ ම අපේක්‍ෂාව වන නිසා සන්නිවේදන කාර්යය ද මැනවින් සාර්ථක වෙයි.
වර්තමානයේ ද ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කරන විට දැහැත් වට්ටියක් හෝ අවම වශයෙන් දැහැත් අතක් පිළිගන්වා පසඟ පිහිටුවා වැඳ ආරාධනා කිරීම සිරිතකි. පෙරදිග සම්ප්‍රදාය තුළ බුලත් කොළය පාරිශුද්ධත්වයේ සංකේතයක් මෙන්ම දෙවියන්ට, බුදුරදුන්ට කරන පූජාවන්හි දී යොදා ගන්නා පූජනීය වස්තුවකි. එසේ දේශකයාණන් වහන්දේ දැන හැඳින වැඳ සිය අරමුණ ද ප්‍රකාශ කොට ආරාධනය සිදු කිරීමෙන් වඩාත් ඵලදායී ලෙස ධර්ම දේශනාව සිදු කර ගැනීමේ හැකියාව උදා වේ. මීට අමතරව දේශනාව සිදු කරන ස්ථානය, වේලාව, ශ්‍රාවකයන්ගේ ස්වභාවය ආදිය ද දැන ගැනීම දේශකයාණන් වහන්සේගේ ප්‍රයෝජනය සඳහා ඉතා වැදගත් වේ. නූතනයේ දුරකථන, ජංගම දුරකථන ආදිය සුලභව ඇතත් එමඟින් ආරාධනයක් සිදු කළ ද විහාරස්ථානයට පැමිණ වැඳ නමස්කාර කොට දේශකයාණන් වහන්සේට ආරාධනා කිරීම අතිශය යෝග්‍ය බව මෙහිලා සඳහන් කළ යුතු ය. මෙහි දී සිහි තබාගත යුතු කරුණ වන්නේ තමන් ආරාධනා කොට දේශනා කරවා ගන්නේ අන් කිසිවක් නොව සාරාසංඛ කල්ප ලක්‍ෂයක් පෙරුමන් පුරා අවබෝධ කර ගත් උතුම් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය බවයි.
ධර්ම දේශනාවක් සඳහා ආරාධිත භික්‍ෂුව හෝ භික්‍ෂූන් වැඩම කරවීමේ දී විශේෂ ගරුබුහුමන් සහිතවම වැඩමවීම සිරිත ය. එහිදී පෙර සිරිත වූයේ පල්ලැක්කියෙන් වැඩම වීමයි. එය රජුට කරන ගරු සැලකිල්ලට සමාන වූවකි. භික්‍ෂූන් වහන්සේ සතුන් පිට ගමන් කිරීම පොදුවේ සිදු නොවන්නක් නමුත්, අසුන් බැඳි කරත්තය ගොන් කරත්තය ආදියේ ධර්ම දේශනා සඳහා පෙර වැඩම වූ බව පැරැන්නෝ පවසති. එසේ ම අත් පුටුව ද අවස්ථාවෝචිතව යොදා ගත් අතර බොහෝ විට පෙරහරකින් වැඩමවීම සිරිත විය. වැඩි වශයෙන් ධර්ම දේශනා පැවැත්වීම රාත්‍රී කාලයේ දී සිදු වූ නිසා පොල් පන්දම් ආදියෙන් පෙරහර සැරසූ අතර එමඟින් මඟ ආලෝකයත් අලංකාරයත් යන කරුණු දෙක ම එකවර ඉටු කර ගැනීමට අවස්ථාව උදාවුණි. අවම වශයෙන් ධර්ම දේශනාවක් සඳහා වැඩමවීමට පෙරහරක් සූදානම් නොවූව ද වැඩිහිටි පිරිමි කිහිපදෙනෙකු හෝ ධර්මදේශක භික්‍ෂුව වැඩමකරවාගෙන ඒම සඳහා විහාරස්ථානයට යන අතර ඔවුහු විහාරස්ථානයට අවශ්‍ය දැහැත්, ගිලන්පස ආදිය රැගෙනයාම සිරිතක් කොට ගත්හ. දේශක භික්‍ෂුව හේවිසි නාද මධ්‍යයේ පාවඩ පිටින් වැඩම කළ අතර ඇතැම් පැරැණි ගම් දනව්වල ස්ත්‍රීන්ගේ කෙස් පියවිල්ල මතින් ද ධර්ම දේශකයාණන් වහන්සේ වැඩම වූ අයුරු මෑත ඉතිහාසයේ පවා අසන්නට ලැබෙන්නකි. පා දෝවනය කොට ධර්ම දේශකයාණන් වහන්සේ පිළිගැනීම චිරාගත සම්ප්‍රදාය වන අතර එමඟින් භික්‍ෂුවගේ පාද පිරිසුදුකිරීම නොව නිවැසියන්ගේ මානය සෝදා හැරීම අරමුණ විය.
ධර්මාසනය පිළියෙළ කිරීම ද දේශනයක දී ඉතා සැලකිල්ලෙන් හා ඉතා ගරුත්වයෙන් සිදුකරනු ලබන්නකි. එහිදී කෙතරම් ගරුත්වයකින් හා සැලකිල්ලකින් එම කාර්යය සිදු කරන ලද්දේ ද යන්නට ප්‍රථම සංගීතියේ දී දේශන අසුන සූදානම් කිරීම සම්බන්ධ සමන්තපාසාදිකාගත වාර්තාව දෙස් දෙයි. නානා මල් වර්ග, රන් රුවන් ආදියෙන් සරසා අනඟි ඇතිරිලි යොදා ආසන පැනවූ බව එහි වාර්තා වී ඇත. ඒ අනුව ධර්මාසනයට සුදු ඇතිරිලි යොදා ධර්මාසනයට උඩුවියන් බැඳ බුමුතුරුණු එලා සැකසීම සිරිත වෙයි. මෙහිලා තවත් අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස ධර්මාසනය සකසන ස්ථානය පිළිබඳ සැලකිලිමත් වීම පෙන්වා දිය යුතු ය
එබැවින් ගෘහ මූලිකයා පිරිමියෙකු වේ නම් ඔහු විසින් එම කටයුත්ත සිදු කෙරුණු අතර එය කුඩා දරුවකුට හෝ දාස කම්කරුවකුට අයත් කාර්යයක් සේ කිසිවිටෙකත් නොසැලකූහ. මේ සියල්ල ම ධර්මයට කරන ගරු සැලකිලි ලෙසින් මිස තමාට කරන සැලකිල්ලක් ලෙස දේශක භික්‍ෂූහු ද නොසිතූහ
ධර්මාසනය පිළියෙළ කිරීම ද දේශනයක දී ඉතා සැලකිල්ලෙන් හා ඉතා ගරුත්වයෙන් සිදුකරනු ලබන්නකි. එහිදී කෙතරම් ගරුත්වයකින් හා සැලකිල්ලකින් එම කාර්යය සිදු කරන ලද්දේ ද යන්නට ප්‍රථම සංගීතියේ දී දේශන අසුන සූදානම් කිරීම සම්බන්ධ සමන්තපාසාදිකාගත වාර්තාව දෙස් දෙයි. නානා මල් වර්ග, රන් රුවන් ආදියෙන් සරසා අනඟි ඇතිරිලි යොදා ආසන පැනවූ බව එහි වාර්තා වී ඇත. ඒ අනුව ධර්මාසනයට සුදු ඇතිරිලි යොදා ධර්මාසනයට උඩුවියන් බැඳ බුමුතුරුණු එලා සැකසීම සිරිත වෙයි. මෙහිලා තවත් අවධානය යොමු කළ යුතු කරුණක් ලෙස ධර්මාසනය සකසන ස්ථානය පිළිබඳ සැලකිලිමත් වීම පෙන්වා දිය යුතු ය. දේශකයාණන් වහන්සේට දේශනාවේ දී ශ්‍රාවකයා සම්බන්ධ කර ගැනීම වඩාත් පහසු වන ආකාරයෙන් ධර්මාසනය පිළියෙළ කර ගත යුතු ය. ශ්‍රාවකයාට ඉතා ළං වීම ද ඉතා දුරවීම ද දේශනයට බාධාවකි. ධර්ම දේශක භික්‍ෂුවගේ අත්පස තෙල් පහනක් දල්වා තැබීම සිරිතකි. විදුලි ආලෝකය සුලභ මෙවන් කාලයක වුව එහි ඇති ප්‍රයෝජනය නිතර දහම් දෙසුම සඳහා වැඩමවන භික්‍ෂූන් ලෙස අප ද අත්දකිමින් දැක ඇත. හදිසියේ විදුලි ආලෝකය විසන්ධි වීමක් සිදු වුව ද ධර්ම දේශනය බාධාවකින් තොරව පවත්වා ගැනීමට එමඟින් අවකාශ සැලසේ. එම පහනින් සිදුවන වෙනත් සෞඛ්‍යමය වැදගත්කම ද මෙහිලා සැලකිල්ලට ගනු වටී. එසේ ම පානීය ජලය ද අවශ්‍යයෙන් ම ධර්මාසනය අසල තබනු ලැබේ. විහාරස්ථානයට ගොස් දැහැත් අතක් පිළිගන්වා ආරාධනා කළ නමුත් නැවත ධර්මාසනාරූඪ භික්‍ෂුවට දැහැත් වට්ටියක් පිළිගන්වා ආරාධනා කිරීම සිරිත වේ. දේශක භික්‍ෂුව ද ධර්මාසනයට පැමිණි විගස හිඳ නොගන්නා අතර ධර්මාසනයට අත තබා බැලීමෙන් අනතුරුව වැඩ සිටීම පැරැණි සිරිත ය. එක් අතකින් දේශක භික්‍ෂුවගේ ආරක්‍ෂාව පිණිස එය හේතු වේ. කුමක් නිසා ද යත් භික්‍ෂුවට කරදරයක් කිරීමට අවශ්‍ය අයෙකුට ධර්මාසනයේ කටු ගැසීම ආදියක් සිදු කළ හැකි බැවිනි. මීට අතිරේකව ඇතිරිල්ලට යටින් නිවසේ බළලුන් ලෙහෙනුන් ආදී අහිංසක සුරතලුන් සැඟවී සිටීමට ද ඉඩ ඇත. ඉඳුම් හිටුම් ආදිය කාර්යයන්හි සති සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීමේ තථාගතයන් වහන්සේගේ අවවාදය ද මෙමඟින් අනුගමනය කළේ වෙයි.
බුදුරජාණන් වහන්සේ විසින් දහම් නොදෙසිය යුතු අය පිළිබඳව ද විනය පිටකයේ දී දේශනා කොට ඇත. එවන් උදවිය ලෙස කූඩයක් දරාගෙන සිටින්නා, දණ්ඩක් දරාගෙන සිටින්නා, ආයුධ දරන්නා, දුණු ඊතල දරන්නා පාවහන් පැළඳ සිටින්නා, යානගත පුද්ගලයා, පලසෙහි සිටි පුද්ගලයා, හිස වෙලා සිටින්නා ආදීන් දැක්විය හැකි ය. එසේ වෙතත් ගිලන් පුද්ගලයාට දහම් දෙසීමට එම කරුණු තුළ තහනමක් නැත. එසේ ම බිම සිට අසුනෙහි සිටින්නාට නොමගෙහි යමින් මගෙහි යන්නාට හා පසුපසින් යමින් ඉදිරියේ යන්නාට දහම් නොදෙසිය යුතු බව එහිලා පැහැදිලි කරයි.
බුදුරදුන් දවස කෙසේවතුදු ප්‍රථම ධර්ම සංගායනා වාර්තාවට අනුව නම් දේශක භික්‍ෂුව විජිනිපතක් භාවිතා කළ බව පැහැදිලි ය. හස්ත විකාර, මුඛ විකාර ආදිය ඇති නොවීමටත් දේශකයාගේ චිත්තේකාග්‍රතාව ආරක්‍ෂා කර ගැනීමටත් එයින් අවස්ථාව උදා වේ. දේශනයේ දී විසභාග අරමුණක් දුටුවහොත් ඉන් චිත්ත වික්ෂේපයට පත් නොවීම මෙමඟින් අපේක්‍ෂා කෙරේ.
සම්ප්‍රදායිකව දේශක භික්‍ෂුවක් දේශනාරම්භයේ දී දේවතාරාධනාව හා කාල ඝෝෂාව පැවැත්වීම සිරිතය. එනම් ධර්මශ්‍රවණය සඳහා දෙවියන්ට ආරාධනා කිරීමයි. එසේ ආරාධනා කරන පාලි ගාථා දෙකක් පිළිබඳව අප අවධානය යොමු වේ. එනම්, සමන්තා චක්කවාලේසූ ආදී වශයෙන් එන දේවතාරාධනාව හා සග්ගේ කාමේච රූපෙ ගිරිසිඛරතටෙ..... ආදි වශයෙන් එන දේවතාරාධනාවත් ය. දේවතාරාධනයෙන් අනතුරුව මේ දහම් ශ්‍රවණයට වෙලාවයි යනුවෙන් කියැවෙන ධම්මස්සවනකාලො අයං භදන්තා යන්න තෙවරක් හඬනඟා පැවසීම සිරිතය. ධර්මාසනාරූඪ භික්‍ෂුවකට සිය කාර්යය කුමක්ද, යන්න පිළිබඳව තමා ම සිහිපත් කර ගැනීමක් ලෙස ද මේ දේවතාරාධනය වැදගත් වෙයි. තමන් මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය බවත් එය අසන්නට පැමිණෙන ලෙස දෙවියන්ට පවා ඇරැයුම් කිරීමෙන් සම්බුද්ධ දේශිතයෙන් බැහැරව දෙසුම පැවැත්වීමට උන්වහන්සේට හැකියාවක් ඇති නොවේ. ධම්මකථික සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ම දේශනා කොට ඇත්තේ සිතළුවක් කියවන පුද්ගලයා ධම්ම කථිකයෙක් නොවන බවත්, රූපාදිය පිළිබඳ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට ශ්‍රාවකයා යොමු කරන දේශකයා පමණක් ධම්මකථික නාමයට හිමිකම් කියන බවය. එසේ ම සත්පුරුෂ ධර්ම කථිකයා අනුන් හෙළා නොදකින තමා හුවා නොදක්වන සිය කථිකත්වය නිසා ලෝභයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් මුලාවට පත්වන්නකු නොවිය යුතු ය. මෙම බුද්ධෝපදේශය කාලීන ධර්ම දේශනා යනුවෙන් ප්‍රලාප කියවන බොහෝ අල්පශ්‍රැතයන් විසින් නොසලකා හරිනු ලැබීම අතිශය විපත්තිකාරී තත්ත්වයක් බව මෙහිලා සඳහන් කරනුයේ සංවේගයෙනි.
ශ්‍රී ලංකාවේ ඇතැම් උඩරට ගම් දනව්වල දේවතාරාධනයෙන් අනතුරුව හේවිසි නාද කිරීම සිරිත ය. ඒ ශබ්ද පූජාවක් ලෙසින් බුදුරජුන්ට කරන උපහාරයක් මෙන් ම ශබ්ද පූජාවන්ට දෙවියන් පි‍්‍රය කරන බැවින් ඔවුන් පිළිගැනීමක් ලෙස ද හඳුන්වාදිය හැකි ය. අනතුරුව නමස්කාරයෙන් හා මාතෘකා ගාථා දේශනා කිරීමෙන් දම් දෙසුම ආරම්භ වෙයි. නමස්කාරය වුවද ථෙරවාදී සම්ප්‍රදාය තුළ ඒ ඒ අවස්ථාවට තාලය අනුව වෙනස් වෙයි. පිරිතක දී විනය කර්ම කරන අවස්ථාවේ දී හා ධර්ම දේශනයේ දී මෙම වෙනස මැනවින් වටහා ගත හැකි ය.
දේශක භික්‍ෂුව මාතෘකා කළ ගාථාවට අනුව එක්වර ම ධර්ම කාරණා ඉදිරිපත් නොකරයි. එහිදී ශ්‍රාවකයන් වෙත ධර්මාවවාදයක් ලබාදීම පළමුව සිදුවෙයි. ධර්මශ්‍රවණය කළයුතු ආකාරය, එහි අනුසස්, ධර්ම ශ්‍රවණයේ අරමුණු ආදී කරුණු මෙහි දී අනාවරණය කෙරේ. නෑසූ දහම් කරුණු අසන්නට ලැබීම, ඇසූ කරුණු පිරිසුදු කර ගැනීම, සැක දුරු කර ගැනීම, දැක්ම සෘජු වීම, සිත පැහැදීම වැනි ධර්ම දේශනාවෙන් සිදුවන අර්ථය පැහැදිලි කිරීම මෙහි දී සිදුවන අතර ධර්ම ශ්‍රවණය තුළින් සිය දෙලොවට ම වැඩ සලසා ගත් උවැසි උවැසියන් පිළිබඳ සිහිපත් කිරීමෙන් ධර්ම ගෞරවය ශ්‍රාවකයා වෙත ගොඩනැඟීම ද සිදු වේ. ධර්ම ශ්‍රවණයේ ඇති දුර්ලභ බවත් අෂ්ට දුෂ්ටක්‍ෂණයන්ගෙන් විනිර්මුක්ත මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ ඇති වටිනාකමත් මෙහි දී ශ්‍රාවකයාට අවබෝධ කොට දීම සිදු වේ.
ධර්මාවවාදයෙන් අනතුරුව නැවත මාතෘකා ගාථාව ප්‍රකාශ කිරීමත් ගාථාවේ අර්ථය සරල කර ප්‍රකාශ කිරීමත් එහි නිධාන කථා ඇත්නම් එය දේශනා කිරීමත් එහි එන දහම් කරුණු අනුව ධර්ම දේශනය පැවැත්වීමත් අවසාන ධර්මෝපදේශ ඉදිරිපත් කරමින් දේශනාව නිමාවට පත් කිරීමත් පෙර සිරිත ය. දේශනාව නිමාකරනුයේ ධර්ම ශ්‍රවණයට පැමිණි දෙවියන් ඇතුළු සියල්ලන්ටම පින් පෙත් අනුමෝදන් කිරීමෙනි.
දේශක භික්‍ෂුවට පරිස්කාර පූජාවක් සිදු කිරීම ද පෙර සිට පැවත එන සිරිතකි. එහි දී පින්කමේ අරමුණ අනුව පිරිකරක් පූජා කිරීම බොහෝ විට සිදු විය. මිය පරලොව සැපත් අයෙකු වෙනුවෙන් කරන පින්කමක් නම් ඔහුට ආලෝකය පිණිස ආලෝක පූජාවක් ලෙස ලන්තෑරුම් ආදිය පූජා කිරීම පැරැණි ගම්වල අද පවා සිදු වේ. එසේ ම දියුණු නූතනයේ විදුලි බල්බ ආදිය පූජා කිරීමේ අරමුණ ද මිට ම සමගාමී වේ. පිරිකර පූජාවේ ආරම්භය බුද්ධ කාලය දක්වා ම දිවෙන්නකි.
මෙම ලිපියෙ ඉතිරි කොටස- මිය ගිය අය සිහි ගන්වා පින් දෙන මතක බණ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
නොවැම්බර් 27 වන අඟහරුවාදා හා ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 6 වන බ්‍රහස්පතින්දා දිනයන්හි බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment