මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Thursday, June 11, 2015
පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක්
පළමු කොටසේ අවසන් ලිපිය...
ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේ නමක් ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්.
මෙම ක්‍රියාව දැන් හුඟක් ජනප්‍රියයි. නායක ස්‌වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක්......
පුංචි කාලෙම ඉතිරි කිරීම පුරුදු කළහම පොඩි හාමුදුරුවන්ට අතහැරීම අමතක වෙනවා. අතහැරීම අමතක වුණ පුංචි හාමුදුරුවෝ තරුණ වියට පත්වුණහම, භවයට ඉතිරි කිරීම සඳහා සිව්රු හැරයනවා.
පුංචි හාමුදුරුවෝ වැරැදි නැහැ.
පුංචි කාලෙ ඉඳලා උගන්වපු දෙය පොඩි හාමුදුරුවෝ ක්‍රියාත්මක කරනවා. නිරයේ බැංකුව, තිරිසන් ලෝකයේ බැංකුව, ප්‍රේත ලෝකේ බැංකු වල හොඳ පොලියක් ගෙවනවා.
අවසානයේ සියල්ලන්ම එකතුවී සිව්රු හැරයැම ගැන තරුණ ස්‌වාමීන්වහන්සේලාට දොස් කියනවා.
ඔබට ලිපියක් මඟහැරුණේද?
මේ අවසානයක් නොවේ. එය ජවාධික ඇරඹුමක්‌මය.
මෙම ලිපි මාලාව කියවූ ඔබ විසින් අපට දෙනු ලැබූ දුරකථන ඇමතුම් ගණන, යොමු කරනු ලැබූ ලිපි ගණන, අන්තර්ජාලයෙන් එවන ලද (ඊ-මේල්) කන්දරාව, ප්‍රමාණ කර දැක්‌විය නොහැකි තරම්ය.
විමුක්‌තිය උදෙසා වන මාර්ගය සෘජුව සඳහන් වන තැන, එය සැබැවින්ම 'යහ මඟ' යෑයි තෝරා ගැනීමට හැකි මෙතරම් පිරිසක් මේ බිමෙහි ඉපිද සිටින වග අපට දැනුණේ මහත් වූ සතුටක්‌ද සමගය.
තමනුත්, නිවන් මඟත් යන්න දෙකක් නොව එකක් කරගත් අපේ කාලයේ 'වීරයකු'වූ බුදු පුතකුගේ නිර්මල චිත්ත සන්තානයේ ඉපිද, දහමට අනුව ගැළපුණු අදහස් මාලාවක මහිමය දහම් පිපාසයෙන් පෙළුණු ජාතියක් අවදි කිරීමට තරම් ජව සම්පන්ව වූ බවකි අපට හැඟුනේ.
මෙම ලිපි මාලාවේ බොහෝ තැන් පැවිදි පාර්ශ්වයට කරන්නා වූ ආමන්ත්‍රණයක් ලෙසින් මතුපිටින් පෙනුණද, ඒ ගලපා ගැනීම ගිහි දිවියක වුව සසර ගිනි නිවන සිසිල් පැන් දහරක් වූ බව නිසැකය. ගිහි පැවිදි භේදයකින් තොරව ඔබේ සදහම් සිත සරු කළා නියතය.
මේ මාර්ගෝපදේශනයෙන් ඔබ දහම දකිද්දී මේ සටහන් තැබූ බුදු පුතුන් කව්රුන්දැයි දැනගැනීමට ඔබ තුළ උපදින කැමැත්ත ඉතා අහිංසක අශාවක් බව ඉඳුරාම දනිමු. ඒ හේතුවෙන්ම මේ සටහන් තැබූ ස්‌වාමීන්වහන්සේ කවරෙක්‌දැයි, උන්වහන්සේ වැඩ සිටිනුයේ කොහිදැයි අපෙන් ඇසූ පිරිසද බොහෝය. එහෙත් උන්වහන්සේ හුදෙකලාව ප්‍රියකරන නිසාම, සමාජයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සංකීරණ වනවා වෙනුවට, අප්‍රසිද්ධියේ සරළ දිවියක් ගතකරමින් පිළිවෙත් පිරීම පහසු බව කියා ඇති නිසාම මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරන අප පවා උන්වහන්සේ වැඩ සිටින ඉසව්වක් ගැන සෙවීම යුතු නොවේ යෑයි සිතමු. එබැවින් මින් මතු ඔබ විසින් ඒ පැනය අප වෙත ඉදිරිපත් නොකරනු ඇතැයිද සිතමු. මන්ද මේ බුද්ධ පුත්‍රයානෝ අප වෙනුවෙන් සිය යුතුකම් මැනවින් ඉටුකර ඇති බැවිනි. දැන් අපට ඉතිරිව ඇත්තේ ඒ අදහස් පිහිට කරගනිමින් මේ සසර ජයගැනීමය. සතර අපායෙන් මිදීමය. මෙය අවසානයක් නොව, ජවාධික ආරම්භයක් ලෙසින් සටහන ඇරඹුමේ සඳහන් කළේ එනිසාය.
මේ සමග පළවෙන්නේ උන්වහන්සේගේ වචන් වලින්ම 'නිවනට මඟ' ලෙසින් මාතෘකා කර ඇති පළමු සටහන් පොතෙහි අවසන් සටහනය. එහෙත් මෙතැනින් මෙම ලිපි මාලාව අවසන් නොවේ.
'අතහැරීම' නමින් උන්වහනසේ නම් කර ඇති මෙම සටහන් මාලාවේ දෙවැන්න ලබන සතියේ සිට මේ අකාරයෙන්ම පළවනු ඇත. 'නිවනට මඟ' හෙවත් පළමු කොටසින් ඔබ ලද ජවය තවදුරටත් වර්ධනය කරගැනීමට එය ඔබට මහෝපකාරී වනු ඇත. 'අතහැරීම' කොටසෙහි ලිපි තරමක් දීර්ඝය. දහම් හරයෙන් නොතිත්ය. එයද ඔබගේ දහම් දිවිය සරුවෙන් සරුවට පත්කරනු ඇති වග නිසැකය. අපි ඔබට ආරාධනා කරමු. මහ රහතුන් වැඩි මඟේ තවත් පියවරක් තබන්නට ලබන සතියේ සිට....
(මෙම ලිsපි මාලාව ගැන උනන්දු බොහොමයක් දෙනා අපෙන් කරන ලද ඉල්ලීම වූයේ එහි සමහරක් කොටස් ඔවුනට මඟහැරුණු බැවින් ඒවා ලබාගැනීමට උපකාර කරන ලෙසය. එය අපේ උපරිමයෙන් කිරීමට උත්සහ ගත්තද පසුව එය ප්‍රායෝගිකව අපහසු කටයුත්තක් බවට පත්විය. එහෙත් මේ ලිපි මාලාව පිළිවෙලින් එකතුකර ගැනීමට ඔබට නොහැකිවී යෑයි කණගාටු නොවන්න. නුදුරේදීම ඒ පළමු කොටසේ ලිපි සියල්ල එකතු කර 'මහ රහතුන් වැඩි මං ඔස්‌සේ' පළමු කොටස ලෙසින් ඔබ අතට පත්වනු ඇත. එය පළකරනු ලබන දිනය පිළිබඳව ඉදිරි ලිපිමාලාව පළ කරන අතරතුර මේ තීරයෙන්ම ඔබට දැනුම්දෙන්නෙමු. එම පොත කිසිවිටකත් ලාභ ලැබීම හෝ වෙළෙඳ අරමුණකින් යුක්‌තව ප්‍රකාශයට පත්කරන්නක් නොවන අතර ඉන් ලබන සියලුම ආදායම මේ ශාසන සම්ප්‍රදායේ චිරස්‌ථිතිය උදෙසාම යෙදවීමේ පැහැදිලි වැඩ පිළිවෙලක්‌ද සකසා ඇත්තෙමු)
2011 සැප්තැම්බර් 04 ඉරිදා දිවයින පුවත්පතෙහි පළ වූ ලිපියකින් උපුටා ගැනිමකි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment