Labels

Monday, June 22, 2015

මටවත් මම හිමි නැති කල




නමෝතස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස

උපාදානීයේසු භික්‌ඛවේ ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහාරතෝ තණ්‌හා පවට්‌ඩ්ති'

'මහණෙනි, උපාදානයන්ට හේතුවූ ධර්මයන් විෂයෙහි ආස්‌වාදය අනුව බලමින් වාසය කරන්නාහුගේ තෘෂ්ණාව බෙහෙවින් වැඩෙයි.

ඉහත සඳහන් කරනු ලැබුවේ සංයුක්‌ත නිකායෙහි අභිසමය සංයුතියේ සඳහන් උපාදාන සූත්‍ර දේශනාවේ ධර්ම කොට්‌ඨාසයකුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‌ෂුන් වහන්සේ ආමන්ත්‍රණය කරන ලදහ. මහණෙනි, උපාදානයන්ට හේතුවූ ධර්මයන් විෂයෙහි ආස්‌වාද අනුව බලමින් වෙසෙන්නහුගේ තෘෂ්ණාව බෙහෙවින් වැඩේ. තෘෂ්ණාව නිසා උපාදානය හෙවත්, අල්ලා ගැනීම වෙයි. ඒ උපාදානය නිසා භවය වෙයි. භවය නිසා ජාතිය හෙවත් ඉපදීම සිදුවෙයි. ඉපදීම ජරා මරණ සෝක පරිදේව,දුක්‌ දොම්නස්‌, සිත්තැවුල් හටගනිත්. මෙසේ මෙයම සියලු දුක්‌ හටගැනීම වෙයි.

මෙහිදී උපාදානයන්ට හේතුවූ ධර්ම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? ඇස උපාදාන ධර්මයකි. රූපය උපාදාන ධර්මයකි. චක්‌ඛු විඤ්Æණය උපාදාන ධර්මයකි. ඵස්‌ස හෙවත් ස්‌පර්ශය උපාදාන ධර්මයකි.වේදනාව හෙවත් විඳීම ද උපාදාන ධර්මයකි. මේ උපාදාන ධර්මයන්ගේ අවසාන ඵලය වන්නේ තණ්‌හාවයි. මේ ආදී වශයෙන් කන සහ ශබ්දයද, නාසය සහ ආග්‍රාණයද, දිව සහ රසයද කය සහ ස්‌පර්ශයද සිත සහ සිතුවිලිද උපාදාන ධර්ම වන්නේය. මෙම උපාදාන ධර්ම හෙවත් වස්‌තූන් ආස්‌සාදය හෙවත් ආස්‌වාද අනුව බලමින් වාසය කිරීම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? එම උපාදාන වස්‌තූන් 'මගේය'', 'මම වෙමි'', 'ස්‌ථිර ආත්මයක්‌ය හෝ මෙය නිත්‍යයි' යනුවෙන් සිතීම නැවත නැවත මෙනෙහි කිරීමයි. (එතං මම, එසොහමසම්, එසොමේ අත්තා). එමෙන්ම එම උපාදාන ධර්ම කෙරේ ආස්‌වාදය ඇතිවීමේදී වණ්‌ණ, ගන්ධ, රස, ඕජා ඔස්‌සේද සිත පැවතීමයි. මෙම අදහස තවදුරටත් ලිහිල්කොට බලමු. පරමාර්ථ ධර්මය නොදන්නා සහ එම ධර්මය පුරුදු නොකළ සිත් ආශ්‍රැතවත් පෘථග්ජන ලෙස හැඳින්විය හැකිය. එවැනි ආශ්‍රැතවත් පෘථග්ජන සිතකට දැනෙන්නේ ඇසින් අරමුණු කරගත් හෙවත් දුටු රූපය ස්‌ථිරයි කියාය. එයට කැමැති නම් මගේය, මමය, ස්‌ථිරයි යනුවෙන් සතුටු වෙයි. ඒ බවම පවසයි. සිතෙහි තැන්පත් කරගනී.

(අභිනන්දති, අභිවදති, අඡ්ෙCධාaසාය තිට්‌ඨති) ඇසෙන් දකින රූපයට අකමැති නම් පටිඝ හෙවත් ගැටීමක්‌ ඇතිවෙයි. එනම් තරහව, පිළිකුල, අමනාපය ඇතිවෙයි. කැමැත්ත හෝ අකමැත්ත නොමැති අරමුණෙහි මධ්‍යස්‌ථ අවස්‌ථාවන්ද පැවැතිය හැකිය.

අස්‌සාද අවස්‌ථාවේදී සිදුවන්නේ අනිච්ච, දුක්‌ඛ, අනත්ත අවස්‌ථාවන් අමතකකොට මගේය, මම වෙමි, ස්‌ථිරය යන සොම්නසින් යුතු ආස්‌වාදය පැවැත්වීමයි. මෙය ආරම්භ වන්නේ තමා කැමැතියි යනුවෙන් උපාදානය කරගත් අරමුණු සමගය. මෙම අවස්‌ථාව පරමාර්ථ ධර්ම විවරණයේදී පැහැදිලි කරන්නේ තණ්‌හා, මද, මාන ආත්ම දෘෂ්ටියෙන් යුතුව උපාදාන හෙවත් දැඩිව අල්ලා ගැනීමක්‌ ලෙසයි. 'මම කැමතියි', 'ඒක මගේ' යනුවෙන් සිතාගත් රූපය, එනම් යම් පුද්ගලයෙක්‌ හෝ වස්‌තුවක්‌ වෙනස්‌ වනවිට, දිරායන විට, අත්හැරෙන විට සිදුවන්නේ කුමක්‌ද? 'මගේ' යෑයි සිතාගෙන සිටි ජීවී හෝ අජීවී වස්‌තුවේ අනියත බව පිළිගන්නට නොහැකිව පටිඝයට හසුවෙයි. එනම් තමාගේ මනසෙහිම ගැටීමක්‌ හට ගනී. එයද තමා කෙරේද, අන්‍යයන් කෙරේද, අරමුණු කෙරේද, ඇතිවන්නාවූ අමනාපයකි. තරහවකි. පිළිකුලකි. මෙවිට සිදුවන්නේ කුමන කායික මානසික ස්‌වභාවයක්‌ද?

සෝචති - ශෝක කරයි

පරිදේවති - විලාප කියා හඬයි

උරත්තාලිං කන්දති - ළයේ අත් ගසාගනී

කිලමති - ක්‌ලාන්ත වෙයි

සම්මෝහති - මුළාවට පත්වෙයි

මේ ආකාරයෙන් ඇස, කණ, නාසය, දිව, ශරීරය, මන ආදී ඉන්ද්‍රිය සය ඔස්‌සේම දුක්‌ ගෙනදිය හැකිය. ඇසයි, රූපයයි නිසාද සිතයි සිතුවිලි නිසාද සියලු දුක්‌වල හටගැනීම සිදුවෙයි. භාග්‍යවතුන් වහන්සේ එය සඳහන් කළේ මෙසේය. 'ආස්‌වාදය පමණක්‌ම මෙනෙහි කිරීම නිසා තෘෂ්ණාව බෙහෙවින් වැඩෙයි. තෘෂ්ණාව නිසා ඇස ආදී ඉන්ද්‍රියයන්ගෙන් රුපාදී අරමුණු දැඩිව මනසින් අල්ලා ගනී. එසේ අල්ලා ගැනීම නිසා භවය හටගනී. භවය නිසා ඉපදීම සිදුවෙයි. ඉපදීම හේතුකොටගෙන ජරා මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ දොaමනස්‌ස උපායාස හටගනිති'.

භාග්‍යවතුන් වහන්සේ දෙසූ උපමාවද අපි එකතු කර ගනිමු. 'මහණෙනි, යම් සේ දර ගැල් දහයක්‌ හෝ දර ගැල් විස්‌සක්‌ හෝ දර ගැල් තිහක්‌ හෝ දර ගැල් හතළිහක්‌ හෝ පමණ දර ප්‍රමාණයක්‌ දැල්වෙන්නේද යම් පුරුෂයෙක්‌ කලින් කල වියලි තණ, වියළි ගොම, වියළි දර එයට දමන්නේද ඒ මහා ගිනිකඳ ආහාර ලැබුවා මෙන් ඉතා දීර්ඝ කාලයක්‌ දැල්වෙන්නේය. මහණෙනි, එසේම උපාදානීය ධර්මයන්හි ආස්‌වාදය නැවත නැවත මෙනෙහි කරමින් වෙසෙන්නාහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව නිසා දැඩිව අල්ලා ගැනීම වේ. එම අල්ලා ගැනීමෙන් භවය වේ. භවය නිසා ඉපදීම වේ. ඉපදීම නිසා ජරා මරණාදී සියලුම දුක්‌වල හටගැනීම සිදුවේ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන්නේ දුකින් නිදහස්‌වීම පිණිසයි. ඒ මේ ආකාරයෙනි. උපාදාන ධර්මයන්හි දොaෂ නැවත නැවත දකිමින් වාසය කරන්නාගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. එනම් නිමාවෙයි. තෘෂ්ණාව නිමා වීම නිසා උපාදානය කිරීමක්‌ නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවීමද, භවය නැතිවීමෙන් ඉපදීම නිරුද්ධවීමද, ඉපදීම අවසන් වීම නිසා ජරා මරණාදී සියලු දුක්‌ රැසේ නිමාව සිදුවේ. එය මුලින් සඳහන් කළ උපමාවටම අනුව ගැල් දහසේ සිට හතළිහක පමණ දර ගොඩකට දර, තණ, ගොම නැවත නැවත නොදමන්නා සේය. මහගිනි කඳ පිළිස්‌සී අවසන් වෙයි. නැවත දර, තණ, වියළි ගොම නොදැමීම නිසා ගිනි නතර වෙයි. ගින්නට දර ආදී ප්‍රත්‍යයන් නැත. ජරා මරණාදී දුක්‌ ඇවිලීමට ආස්‌වාද තෘෂ්ණා ආදී හේතු ප්‍රත්‍යයන්ද නැත. දුකෙහි නිමාවද එයමය.

මේ නිසා සම්මුති ලෝකයෙහි සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක වස්‌තූන් කෙරේ ජීවිත පැවැත්ම පිණිස සීලයෙහි පිහිටා ආස්‌වාදයක්‌ ඇතිකරගත්තද පරමාර්ථය ගැන මනා අවබෝධයක්‌ ලැබිය යුතුමය. එනම් එම උපාදානීය වස්‌තුවල ගැබ්ව ඇති ආදීනවයයි. එනම් අනිච්ච, දුක්‌ඛ, අනත්ත නම් ත්‍රිලක්‌ෂණ ධර්මයන්ට යටත්ව කොට දැකීමේ හැකියාවයි. මෙය විදර්ශනා භාවනා අවස්‌ථාවයි. එමෙන්ම හැම අරමුණකම ඇති උප්පාද, ඨිති, භංග (හට ගැනීම පවත්නා ලෙස දකින වෙනස, නැතිවයාම) අවස්‌ථා අවබෝධයෙන් මෙනෙහි කිරීමයි. එවිට සියලු උපාදානීය ධර්මයෝ මගේ නොවේ (නේතං මම) මම නොවෙමි (නෙසෝහමස්‌මි) ආත්මය හෝ ස්‌ථිර යමක්‌ නොවේ. (නමේසෝ අත්තා) යනුවෙන් ආදීනයන් වැටහෙන්නට පටන් ගනියි. මීළඟ අවස්‌ථාව නම් නිස්‌සරණයයි. එනම් උපාදානයෙන් හෙවත් දැඩිව අල්ලා ගැනීමෙන් නිදහස්‌වීමයි. සසරින් ගැලවෙයි. දුකින් ගැලවීම හෙවත් සියලු දුකින් නිදහස්‌ වෙයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ පඤ්ච උපාදානස්‌කන්ධ සහ එය උපාදාන වන සියලු බාහිර අරමුණුද පරමාර්ථ ධර්මයන්ට යටත් නම් 'මමවත්, මගේ වෙන්නේ කොහොමද? මමවත් මට හිමි නැති ලොවක බාහිර කිසිවක්‌ද මගේ වෙන්නේ කොහොමද? හටගත් සියල්ල නැතිව යයි. නිස්‌සාරණයම පුරුදු කරමු.

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

2015 පොසොන් මස 02 වැනිදා අඟහරුවාදා බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකින් උපුටා ගැනිමකි

No comments:

Post a Comment