මතක බණ යනුවෙන් කෙනෙකු මිය යෑමෙන් දින හතක් ගතවීමෙන් සිදු කෙරෙන ධර්ම දේශනාව ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තුළ අනිවාර්යයෙන් ම සිදුවන්නකි. මෙහි දී එම පුද්ගලයා මිය ගිය දිනයේ සිට දින 06 ක් ඉදිරියට ගණනය කොට සයවන දින රාත්‍රියේ ධර්මදේශනා පවත්වා පසු දින සඟසතු කොට දානය පිළිගැන්වීම සිදු කෙරේ
මෙම ලිපියෙ මුල් කොටස - ධර්ම දේශනා හා බැඳුණු ආචාර ධර්ම
වරක් උදේනි රජතුමාගේ ඇතවුරෙහි ස්ත්‍රීන් පිරිසකට ධර්ම දේශනා කළ අනඳ හිමියන්ට සාටක (සළු) පන්සියයක් ලැබුණු පුවත මෙහිලා කදිම නිදසුනකි. කෙසේවතුදු පිරිකර අපේක්‍ෂාවෙන් දහම් දෙසන්නේ නම් එය සඳුන් අරටුවක් කුණු මෝරු හැලියකට හුවමාරු කර ගැනීමක් හා සම කොට දේශනාවේ පැහැදිලි කෙරේ. පෙර රජවරුන් පවා ධර්ම දේශකයන් වෙත පිරිකර පමණක් නොව වැටුප් පවා ලැබීමට සලස්වා තිබූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.
භික්‍ෂුවක හෝ ගිහියෙකු දහම් දෙසන්නේ නම් එහි අරමුණ බුද්ධ දේශනාව පැහැදිලි කිරීමයි. එසේ නම් දේශකයෙකු තුළ විශේෂ ශික්‍ෂණයක් ඒ සඳහා පැවතිය යුතු ය. මෙහිලා දේශකයා පි‍්‍රයශීලී අයෙකුවීම (පියෝ) ගරු සම්භාවනාවට සුදුස්සෙක් වීම (ගරු භාවනීයො) ව්‍යක්ත අයෙකු වීම (වත්තා), නොඉක්මිය හැකි වදන් ඇත්තෙකු වීම (වචනක්කමො), ගැඹුරු කථා ඇත්තෙකු වීම (ගම්භීරඤඤ්ච කථං කත්තා) ශ්‍රාවකයා අස්ථානයෙහි නොයෙදන්නෙකු වීම (නොචට්ඨානෙ නියෝජයෙ) ඉතා වැදගත් ය. මෙහිලා භාෂා ව්‍යවහාරයේ ජනකාන්ත බව, ශ්‍රාවකයා වෙත අනුකම්පාශීලී වීම ස්වමතය නොව බුද්ධ මතය ප්‍රකාශ කිරීමේ වගකීම, ප්‍රත්‍යලාභ ආදිය පිළිබඳව නොව ධර්ම ඥානය ලබාදී විමුක්තිය කරා ශ්‍රාවකයා මෙහෙයවීමේ උදාර අපේක්‍ෂාව දේශකයෙකු තුළ පැවතිය යුතු වේ. දේශකයා කවටයෙකු නොවිය යුතු අතර ගාම්භීර චරිතයක් ඇත්තෙකු වීම ඉතා වැදගත් ය.
අවස්ථානුකූලව මෙන් ම සම්ප්‍රදායගතව ද විවිධ ධර්මදේශනා වර්ග දක්නට හැකි ය. මංගල බණ, අරියවංශ දේශනා, යුගාසන දේශනා, ජාතක දේශනා, මතක බණ, කාව්‍යමය දේශනා, මෛත්‍රී වර්ණනාව, නාට්‍ය බණ ආදිය මේ අතර විශේෂය. මංගල බණ යනුවෙන් අදහස් තුනක් මතුවිය හැකි ය. එකක් නම් මංගල සූත්‍රානුසාරයෙන් කරනු ලබන දේශනාවයි. අනෙක බුදුරජාණන් වහන්සේගේ මංගල දේශනාව වන දම්සක් පැවතුම් සූත්‍රයයි.
තෙවැන්න නම් අභිනවෝපසම්පන්න භික්‍ෂුවකගේ පළමු දම් දෙසුමයි. මෙහිලා අදහස් කරනුයේ අභිනවයෙන් උපසපන් භික්‍ෂුවක විසින් කරනු ලබන පළමුවැනි ධර්ම දේශනාවයි. එම අවස්ථාව පැරැණි සමාජය තුළ අතිශය උත්සවාකාරයෙන් සිදුකරන ලද්දකි. එම ධර්මදේශක භික්‍ෂුව උපසම්පදාවෙන් අනතුරුව ස්වකීය විහාරස්ථානයට සමීපස්ථ වෙනත් විහාරස්ථානයක නවත්වා තබා ධර්ම දේශනාවට නියමිත වේලාවට වැඩමකරවා ගැනීම පෙර සිරිත ය. එහිදි පෙරහරින් වැඩමවන අභිනවෝපසම්පන්න භික්‍ෂුව උණු පැණින් පා දොවා උණු කැවුමින් දෙපා තවා, පියවිලි පිටින් ධර්මාසනය වෙත වැඩමවීම සිදු කෙරේ. බොහෝ විට ප්‍රථම ධර්මදේශනාවේ දී ධම්මචක්කප්පවත්වන සූත්‍රයෙන් දහම් දෙසීම ද සිරිතකි.
අංගුත්තර නිකාය ටීකාවේ දී අරියවංශ දේශනා යන්න පැහැදිලි කෙරෙන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය එනයින්ම ආර්ය මාර්ගාධිගමය පිණිස විස්තර වශයෙන් කරනු ලබන දේශනාව (අරියමග්ගාධිගමාය විත්ථාරතො පවත්තියමාන දෙසනා) යනුවෙනි. පෙර දවස මුළු රාත්‍රිය පුරා ම ශ්‍රාවකයන් පිරිවරාගෙන භික්‍ෂූන් වහන්සේලා අරියවංශ දේශනාව කළ බව සඳහන් වේ. මෙහි දී අංගුත්තර නිකායේ චතුක්කනිපාතයේ එන අරියවංශ සූත්‍රය මෙම දේශනාවට පාදක වී දැයි සොයා බැලීම ද වැදගත් විය හැකි ය.
මතක බණ යනුවෙන් කෙනෙකු මිය යෑමෙන් දින හතක් ගතවීමෙන් සිදු කෙරෙන ධර්ම දේශනාව ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජය තුළ අනිවාර්යයෙන් ම සිදුවන්නකි. මෙහි දී එම පුද්ගලයා මිය ගිය දිනයේ සිට දින 06 ක් ඉදිරියට ගණනය කොට සයවන දින රාත්‍රියේ ධර්මදේශනා පවත්වා පසු දින සඟසතු කොට දානය පිළිගැන්වීම සිදු කෙරේ. මේ සඳහා දින 06 සීමාව යොදාගනු ලබන්නේ කිනම් කරුණක් මත ද යන්න සොයාබැලීම වෙන ම පර්යේෂණයකි.
මහායාන සම්ප්‍රදාය තුළ මියගිය අයෙකු ගන්ධබ්බ ස්වරූපයෙන් දින හතක් සැරිසරන බව පිළිගැනීම නිසා එම ආභාසයෙන් මෙම අදහස තහවුරු වී යැයි ද සිතිය හැක. ථෙරවාද සම්ප්‍රදාය තුළ එවන් පිළිගැනීමක් නැතත් තිරෝකුඩ්ඪ සූත්‍රයේ දී මියගියවුන් පින් අපේක්‍ෂාවෙන් ගේ අවට දොරපිල් ආදියේ රැඳී සිටින බව සඳහන් වී තිබෙන බැවින් මෙවන් පින්කමක් කොට පින් පැමිණවීම අර්ථසම්පන්න බව පැහැදිලි වේ. හත්දොහේ බණ අවසානයේ ඇතැම් ප්‍රදේශවල පැන් වඩා පින් අනුමෝදන් කිරීම ද චාරිත්‍රයකි. මතක බණක දී දේවතාරාධනය කිරීමක් ද සිදු නොවේ. දෙවියන් අපිරිසුදු ස්ථාන පිළිකෙව් කරන බැවින් එවන් අවස්ථාවකට ආරාධනා කිරීම නුසුදුසු සේ සලකන්නට ඇත.එසේ ම මරණයක් නැති බැවින් දෙවියන්ට අමර යන නම භාවිත කෙරේ. මරණයෙ අත්දැකීම් නැති ඔවුනට මරණය පිළිබඳ දේශනාව අභිමත නොවන සේ සලකන ලදැයි ද සිතීමට අවකාශ ඇත. මතක බණක දී බොහෝ සෙයින් ම අනිත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවක් කිරීම ද සිරිත ය.
යුගාසන දේශනාවන්හි දී එක් භික්‍ෂුවක පෙළ දේශනා කරන අතර අනෙක් භික්‍ෂුව එය සිය බසින් තේරීම සිරිත ය. එහි දී බොහෝ විට වෘත්තගන්ධී ශෛලියෙන් පෙළ තේරීම සිදු කෙරේ. මෑත යුගයේ මෙම දේශනා විශේෂය එතරම් ජනපි‍්‍රය නොවූව ද දශක කිහිපයකට පෙරාතුව එය ඉතා ජනපි‍්‍රය දේශනා ක්‍රමයක් වූ බව පෙනේ. ජාතක දේශනාවන්හි දී ජාතක පොත් වහන්සේ ගෞරව බුහුමන් සහිතව වැඩමවා මිහිරි කොට තාලයට ජාතක පොත කියවීම සිරිතය. එමඟින් බෝසතාණන් වහන්සේගේ අතීත භවයන් පිළිබඳව බොදුනුවන් දැනුවත් වීමක් පමණක් නොව බෝසත් චර්යාවන් තමා වෙත ගොඩනඟා ගැනීමේ මහඟු ආදර්ශය ද ඔවුහු ලබා ගත්හ. එසේ ම සාහිත්‍ය සේවනයෙන් ලද ශික්‍ෂණය ඔවුන්ගේ ජීවිත මහත් ආලෝකයට පත්වීමට හේතු විය.
කාව්‍යමය ධර්ම දේශනාවන් විෂයයෙහි බාල, තරුණ, මහලු කාගේත් අභිරුචියක් පවතී. එහිදී පැරැණි සම්ප්‍රදායය වූයේ ජාතක කතාවක් පදනම් කොටගෙන කාව්‍යමය දේශනාවක් ගොඩනැගීම ය. එය පෙදෙන් බුදු සිරිත කීමේ චිරාගත සම්ප්‍රදායට ද එකඟ වූවකි. වර්තමානයේ සියල්ලක් ම කාලීන කර ගැනීමේ වුවමනාව නිසා කාව්‍යමය දේශනාවන්ට ද වර්තමාන උදාහරණ, සම්ප්‍රදායයට නොගැළපෙන හාස්‍ය උත්පාදක කියමන් ඇතුළත්ව පැවතීම ධර්මධරයන්ගේ ආනන්දයට හේතු නොවේ. කවිය හා ගීතය භික්‍ෂුවට ගැළපේ ද නොළැගළපේ ද යන කරුණ සංකීර්ණ කරුණක් බැවින් අවස්ථානුරූපීව මෙහිලා සාකච්ඡාවට බඳුන් නොවෙතත් නූතන ජනපි‍්‍රය ගීතයන් අනුකරණය කළ නාද රටාවක් භාවිත කරමින් කෙරෙන කවිබණ දේශනාවන් භික්‍ෂු ගෞරවය කෙලෙසීමට හේතුවන බව නම් පැහැදිලි ය.
ධර්මය සර්වකාලීන ය. එබැවින් ම කාලීන ය. එසේ වෙතත් කාලීන ධර්ම දේශනා යනුවෙන් අශ්‍රැතවත් පුද්ගලයන්ගේ ප්‍රලාප කථනයන් ගරුත්වයෙන් ගත් අන්ධබාල ශ්‍රාවක සමාජයට ඔවුන්ගේ එම දොලොව වැඩ නැති දේශනාවන් අතිශය ආස්වාදනීය ලෙස පෙනීම පුදුමයක් නොවේ. එසේ ම බුද්ධ දේශනාව එලෙසින් විග්‍රහ කරන ධර්ම ගරුත්වයෙන් යුතු දේශකයෝ එබඳු පුහු වටිනාකම් සහිත ශ්‍රාවක සමාජයක ඇගයීමට බඳුන් නොවෙති. මැටියෙන් කළ අලංකාර කුණ්ඩලාභරණ මෙන් ද, රන් ආලේපිත ලෝහ කාසි මෙන් ද පිරිවර වටකර ගත් ඇතුළතින් අශුද්ධ එහෙත් බාහිරින් අලංකාර බාලයෝ පිරිවර වටකොට ඇවිදිති යන බුදු වදන මෙහිලා සිහියට ගැනීම වටනේ ය.
ධර්ම දේශකයා පමණක් නොව ශ්‍රාවකයා තුළ ද දහම් දෙසුමක දී සුවිශේෂ සූදානමක් පැවතිය යුතු ය. විශේෂයෙන් ම හේ සංවරසීලී ඇඳුමකින් සැරසී සිටිය යුතු ය. කාය වාග් සංවරයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්ම ශ්‍රවණයේ දී ථීනමිද්ධයෙන් ඌරෙකු මෙන් නොනිදා අවදියෙන් ධර්ම ශ්‍රවණය කළ යුතු බවය. බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාගේ භවය නැමැති රෝගයට පිළියම් කරන භෛෂජ්‍ය ගුරු ය. එබැවින් රෝගියා වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කළ යුතු ය.
ධර්මෞෂධය තරම් දෙයක් තවත් නැත. වෛද්‍යවරයෙක් රෝගියාට බෙහෙත් නියම කරන්නාක් මෙන් බුදුරජාණන් වහන්සේ ද ධර්මෞෂධය ලබා දෙති. එය පානය කරන්නෝ පස්පව් දස අකුසලයෙන් මිදී දස කුසල කර්මයන්හි නියැලෙමින් ධර්මය ප්‍රගුණ කළ යුතු ය. එසේ ඇති කල්හි පමණක් ධර්ම ශ්‍රවණයේ අරමුණු සාක්ෂාත් කරගත හැකි වේ.
මේ සියලු කාරණා එක පිඬුකොට සැලකිල්ලට ගැනීමේ දී වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් තුළ ජනතාව වෙත ධර්මය සමීප කරවන ලද ඒ සඳහා වූ ප්‍රබල ම මාධ්‍ය හැටියට යොදාගත් ධර්ම දේශනාවන් දේශක ශ්‍රාවක දෙපක්‍ෂය තුළ ම චාරිත්‍රමය, ආකල්පමය හා චර්යාමය සද්භාවයන් මත ගොඩනැඟුණු වැඩපිළිවෙළක් බව පැහැදිලි වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර්
12 වන බදාදා
දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment