කර්මය පිළිබඳව බොහෝ අය ළග තිබෙන්නෙ සාම්ප්‍රදායික දැනුමක්. සවිඥානකව කර්මය ගැන මෙලෙස විමසීමක් කරමු.
බුදුදහමට අනුව කර්මය කියන්නේ ක්‍රියාවක්. කර්මය කියලා වෙන දෙයක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ඒ අනුව කර්මය ක්‍රියාවක් නෙමෙයි. ඕනෑම ක්‍රියාවක් කර්මයක් සහිත ක්‍රියාවක් බවට පත් වෙන්නත් පුළුවන් කර්මයක් නැති ක්‍රියාවක් බවටත් පත්වෙන්න පුළුවන්.
නිදසුනකින් පැහැදිලි කළහොත් මේසයක් මත තබා ඇති වීදුරුවක් නොහිතා අත වැදීමෙන් බිඳීයන්න පුළුවන්. එලෙසම යමෙක් හිතාමතා තරහ සිතින් වීදුරුව බිම දැමීමෙන් බිඳී යන්නත් පුළුවන්. මේ සිදුවීම් දෙකින්ම සිද්ධ වෙන්නෙ එක දෙයක්. ඒ වීදුරුව බිඳී යාමයි. සැබවින්ම මේ සිදුවීම් දෙකම ක්‍රියාව වශයෙන් සිදුවෙලා වීදුරුව බිඳිලා. නමුත් මේ සිදුවීම් දෙක එකක් නෙමේ දෙකක්.
පළමු සිදුවීමේදී හේතුවක් නැතිව, නොහිතා නිරායාසයෙන් වීදුරුව බිම වැටිලා බිඳීයාමට පුද්ගල මනස සම්බන්ධ නැහැ. නමුත් හිතාමතා ආයාසයෙන් වීදුරුව බිඳීමෙහි මනසෙහි සම්බන්ධතාවයක් පවතිනවා.
මේ සිදුවීම් දෙකම කර්මය වෙන්නෙ නැහැ. හිතාමතා වීදුරුව බිඳ දැමීමට පාදක වුන සිතිවිල්ල තමයි කර්මය වෙන්නේ.
ඒ නිසයි, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියන්නේ,චේතනාවටයි කර්මය කියන්නෙ. කර්මය කියලා කියන්නේ සිතිවිලි කොට්ඨාසයක්. යම්කිසි වැඩක් කරනවිට ඒ කරන ක්‍රියාව පිළිබඳව මනසේ නැගෙන්නා වූ සිතිවිලි තමයි කර්මය. කරන වැඩයි කර්මය වෙන්නෙ නැහැ.මෙලෙස ගත්විට කර්මය යන වචන අර්ථ නිර්වචනය කරගෙන විග්‍රහ කරගෙන විචාරයට හසු කරපුවහම පුදුම තරම් වෙනස් කරුණු රාශියක් මනසට එනවා.
බුදුහාමුදුරුවො කවදාවත්, කාවවත් රවටලා, බොරු කරලා, වංචාවක් කරලා තිබෙනවා කියා ප්‍රශ්නයක් නැගුවොත් අපි කාටත් නැගෙන පිළිතුර නෑ කියන එකයි. එහෙනම් නන්ද කුමාරයාට ජනපද කල්‍යාණිය සම්බන්ධයෙන් කීවේ ඇත්තද? එය රැවටීමක් නෙමෙයිද? රැවටීමක් නෙමෙයි නම් මොකක්ද? ඒ බොරුවක් නෙමෙයිද? බොරුවක් නෙමේ නම් ඒක ඇත්තක්ද? ඒක ඇත්තකුත් නෙමේනම් මොකක්ද? කියලා බොහෝ අය තුළ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයත් එක්කම සමහරවිට බුදුහාමුදුරුවො පුංචි පහේ රැවටීමක් තමයි නන්ද කුමාරයාට කරලා තිබෙන්නේ කියලා හිතෙන්නත් පුළුවන්. එලෙස රැවටීමක් කළා නම් අපේ හිත හදාගන්න අපි ඒවා විග්‍රහ කරල වචන ලෙස වාක්‍ය ගොඩනඟලා පාරිභාෂිත නාම හදලා තියෙනවා.
සම්‍යක් ප්‍රයෝග කියලා, සම්‍යක් ප්‍රයෝග කියන වචනය ගත්තහම සම්‍යක් වුනත් ප්‍රයෝග නෙමෙයිද? එලෙස බැලූවිට සම්‍යක් ප්‍රයෝගයක බොරුව කියලා කියන එක බරපතළ පාපයක්, වරදක් අපරාධයක් කියලා හිතන මනසක් ඇති අයෙක් බුදුහාමුදුරුවන්ගේ මෙකී චර්යාව දකින්නේ මොන දෘෂ්ටියෙන්ද? අන්න ඒකට දෙන්න පුළුවන් උත්තරය තමයි.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. ඒකෙදි චේතනාව කර්මය කියලා කියන්න අපට පුළුවන්. චේතනාව කර්මය වෙන්නේ කරන වැඩේ අනුව නෙමෙයි සිතිවිල්ල අනුවයි.
නිදසුනක් හැටියට යම් අයෙක් යමෙකුට මහත් වූ සෙනෙහසින් වචනයෙන් කිව නොහැකි දැවැන්ත ආදරයකින් වෙරළු හෝ නෙල්ලි ගෙඩි ටිකක් දීමෙන්, තවත් අයෙක් මහත් වූ සෙනෙහසක් නැතිව ආදරයක් අපේක්‍ෂාවෙන් විශාල මුදලක් වැයකොට දියමන්ති මාලයක් යමෙකුට පරිත්‍යාග කිරීමෙන් පවතින්නේ දෙයාකාරයක පරිත්‍යාගයන්, මේ දෙකෙන් වඩාත්ම ආදරය කුමක්ද? කියලා ප්‍රශ්න කළොත් කෙනෙකුට ඔහු බලන දෘෂ්ටියට අනුව දියමන්ති මාලය වටිනාකම වැඩි නිසා එය බව කීමට හැකියි.
නමුත් මෙහිදී වැදගත් වන්නේ ඒ ක්‍රියාදාමයන් දෙක සිදුකිරීමට බලපානු ලැබූ සිතිවිල්ලයි. ඒ අනුව වටිනාකම අඩු වුවත් වෙරළු ගෙඩි ටිකක් ලබාදීමට එම පුද්ගලයා තුළ ඇතිවූ සෙනෙහසේ සිතිවිල්ලේ වටිනාකම දියමන්ති මාලය පරිත්‍යාග කිරීමට සිතූ පුද්ගලයා තුළ ඇති වූ සිතිවිල්ලේ වටිනාකමට වඩා වැඩියි.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන් බුදුදහමේ සිතිවිල්ලේ බලවත් භාවය පෙන්වා දෙන්නේ ඒ නිසයි.
ගුරුවරයෙක්, අම්මෙක්, තාත්තෙක් ළමයෙකුට පහරදීම හොඳද? නරකද? විමසා බැලුවහොත් එම ළමයා නරක වැඩක් කළ නිසා නැවත වාරයක් එය සිදුවීම වළක්වාලීම සඳහා වූ දේ, පරමාර්ථයෙන් ශුද්ධ වු උතුම් වූ පරමාර්ථයෙන් ළමයෙකුට පහරක් ගැසීම මානසික දෘෂ්ටිකෝණයෙන් බැලූවිට නිවැරැදිය. දණ්ඩනීති සංග්‍රහයට අනුව එය වැරැදි වුවත් මානසික සිතිවිල්ලෙ යහපත් වනවා.
දුටුගැමුණු රජතුමා මහත් යුද්ධයක් කරලා පසුව පසුතැවුනා තමා අතින් සිදුවූ මනුෂ්‍ය ඝාතන නිසා එහිදී හාමුදුරුවරු ඇවිත් සන්තාපයට පත් රජු සුවපත් කළේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිබූ බණෙන්. එතුමාගේ ව්‍යායාමය රජ සැප පිණිස නොව හුදෙක් ශාසනයේ රටේ පැවැත්ම උදෙසා හේතුවූ බව හාමුදුරුවරු රජුට සිහිපත් කළා.
බොරු කියන එක හොඳ දෙයක් නෙමෙයි. අම්මා කෙනෙක් දරුවෙකුට බොරු කියන අවස්ථා තිබෙනවා. පුංචි දරුවෙකුට බත්ටික කවාගන්න අම්මා නොයෙක් බොරු කියනවා. අම්ම කියන බොරු පව් නම් දරුවගෙ බඩ පිරෙන වේගයටම අම්මටත් පව් පිරෙන්නෙ ඕනෑ. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අම්මා සද්භාවයෙන් බොරු කියන්නෙ.
සද්භාවයෙන් හොරකම කරන්නත් පුළුවන්.
පවුලක ස්වාමියා පමණ ඉක්මවා කේන්තියට පත්වන්නෙක් නම් අසල්වැසියන් සමඟ රංඩු සරුවල්වල පැටලෙනවා නම් ස්වාමියා සතුව පවතින දරුණු ආයුධයක් හොරකම් කරමින් සඟවාලන බිරිඳ සිදුකරන්නේ ස්වාමියාටත් සමාජයටත් යහපතක්
සද් භාවයෙන් සත්ව ඝාතනය සිදුවෙන්නත් ඉඩතියෙනවා. පිස්සු බල්ලෙක් පාසලකට ඇතුළු වී ළමයින් සපා කමින් යන විට බුද්ධිමත් ගුරුවරයෙක් ළමයින්ගේ ආරක්‍ෂාව තකා පිස්සු බල්ලා මරා දමනවා නම් එය යහපත් චේතනාවකින් සිදුකරන සත්ව ඝාතනයක් වෙනවා.
මහා පොදු ප්‍රකාශය සත්ව ඝාතනය පවක් වන බව ඒ තුළ චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා පිරිපහදු න්‍යායක් තිබෙනවා.
ඒ පිරිපහදු න්‍යායට අනුව ක්‍රියාව දෙස බැලූවිට චේතනාව කර්මය වන බව පැහැදිලි වෙනවා.
ශ්‍රී බුද්ධ වර්ෂ 2555 ක් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2011 ක් වු දෙසැම්බර් 10 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක්
ඇසුරෙන් උපුටා ගැනිමකි
No comments:
Post a Comment