Labels

Friday, June 26, 2015

සසර දුක් විඳින්නේ ඇයි?




මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේ ද? යන්න පිළිබඳව ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දක්නට ලැබෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු වෙනවා

 නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස


ඉදං ඛො පන භික්‍ඛවෙ දුක්‍ඛ සමුදයං අරියසච්චං, යායං තණ්හා පොනො භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභි නන්දිනී සෙය්‍යථීදං? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා

කාරුණික පින්වත්නි,
මිනිසුන් කායිකව සහ මානසිකව දුක් පීඩාවන් විදිමින් ජිවත්වන්නේ ඇයි? ඊට හේතු කවරේද? යන්න පිළිබඳව ධර්මානුකූ®ලව විමසා බැලීම අද දහම් දෙසුමේ අරමුණ වේ.
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ දක්නට ලැබෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව විග්‍රහයට අනිවාර්යෙන්ම අවධානය යොමුකළ යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්වා දෙනවා අතිශයින්ම දුක්විඳීමට හේතු තුනක්. ඉන් පළමුවැන්න නම් ඔබ තුළ තිබෙන්නා වූ කාම තණ්හාව, එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන් පහ පිනවීමට තිබෙන්නා වූ බරපතල අවශ්‍යතාව හෙවත් ඕනෑකම. ඒ සඳහා වූ ආශාව බුදු දහමෙහි කාම තණ්හා යනුවෙන් පෙන්වා දී තිබෙනවා. ඇසින් ප්‍රිය ජනක රූප දැකීමට, කනින් මියුරු ශබ්ද ඇසීමට, දිවෙන් මියුරු රස විඳීමට නාසයෙන් මියුරු ගන්ධයන් ආග්‍රහණය කිරීමට ඒ වගේම ශරීරයෙන් මිහිරි සියුමැලි ස්පර්ශයන් ලැබීමට ඔබ තුළ තිබෙන්නාවූ ආසාව තමයි කාම තණ්හා ලෙස පෙන්වා දී තිබෙන්නේ. මෙකී කාම තණ්හාව දුකක් වන්නේ කෙළෙසද? දුකට හේතුවන්නේ කෙළෙසද යන්න පිළිබඳව ඔබ නිවැරැදිව අවබෝධ කරගත යුතුයි. දුක්ඛ සත්‍යය පිළිබඳව දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා ඔබ කැමැති යමක් නොලැබීම දුකක්. ඔබගේ ඉන්ද්‍රියන් පහ පිනවීමට යමක් අපේක්‍ෂා කරනවද ආසාවෙන් ඕනෑකමින් ඒ අපේක්‍ෂා කරන්නාවූ දෙය ඔබට නොලැබෙයිද එය දුකක් ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
බොහෝ විට අපගේ ඉන්ද්‍රියන් පිනවීමට අවශ්‍ය කරන අරමුණු ඔබ අපේක්‍ෂා කරන පරිදි ලබාගැනීමට නොහැකි වන විට ඒ වගේමයි ඔබ අකැමැති අරමුණු ඔබගේ ඉන්ද්‍රියන් සමඟ එක්වන විට ගැටෙනා විට ඒ තුළින් අප දැඩිසේ දුකට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඔබ ප්‍රධාන වශයෙන්ම දුකට අසහනයට පත්වන්නේ ඔබ තුළ තිබෙන්නාවූ පංචකාමයන් භුක්ති විඳීම සඳහා වූ කැමැත්ත නොවැළැක්විය හැකි නිසා. අන් කිසිවක් නිසා නොව මේ ලෝලත්වයේ සීමාව පෘතග්ජන ලෝකයා කිසි කලෙකවත් හඳුනාගෙන නැති නිසා. උන්වහන්සේ පෙන්වනවා කාම තණ්හාවට දායක වුන මේ ලෝකයේ සෑම කෙනෙක්ම ඌනතාවයකින් පීඩා විඳින බව. ඒ නිසාම අතෘප්තිමත්ව දුකට පත්වී කාලය ගතකරන බව. පංච කාමයන් නිසා වන අසීමිත තෘෂ්ණාව මිනිසා දුක් විඳීමට හේතුවන ප්‍රධාන කරුණ බවයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම. කාම තෘෂ්ණාව ඇතුළත දැනෙන්නාවූ හැඟීම විටෙක සුවදායි එකක් ලෙසත්, විටෙක සැපවත් එකක් ලෙසත් ඔබට හැඟී ගියත් සැබවින්ම එකී මනෝභාවය විසින් අපට උරුම කරදෙනු ලබන්නේ අන්කිසිවක් නොව උසුලාගත නොහැකි දුකක් බවයි.
ඒ වගේම භව තණ්හාව යනු ඔබට දුක් විඳීමට හේතුවන තවත් කරුණක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ පහළවන සමයෙහි ලෝකයෙහි විසූ එක් දාර්ශනික ගුරු කුලයක් කීවේ පුද්ගලයා, සංසාරය, මේ ලෝකය පිළිබඳ විග්‍රහයක නියැලෙමින් සදාකාලික ආත්මයක් නොවෙනස් ආත්මයක් භවයෙන් භවයට උපතින් උපතට ගමන් කරනවාය පවතිනවාය කියන විශ්වාසය සහිතව දෘෂ්ටියක එල්බ සිටි පිරිසක්. මේ දාර්ශනික පිළිගැනීම නිසා අතිශය දුක්ඛිත සසර දික්වීමට හේතුවන ප්‍රතිපදාවන්හි නියැලුණා.
ඔවුන්ගේ ප්‍රතිපදාවන් නිසා පුද්ගලයා දුක් විඳින බව බුදුරජාණන් වහන්සේ අත්තකිලමතානු යෝගය විවේචනයට ලක්කරමින් ගෙනහැර දේශනා කළා.
උන්වහන්සේ වසර තුනක් අත්තකිලමතානු යෝගයෙහි යෙදෙනු ලැබුවා. “දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ” ඔවුන්ගේ භාවිතාව හෙවත් අත්තකිලමතානු” යෝගය හෙවත් ආත්මයට වද දෙමින් ආත්මය දිගින් දිගටම ගමන් කිරීම නැවතීම සඳහා දරන්නාවූ උත්සාහය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක් උපදවන, උතුම් නොවන, කිසිඳු අර්ථයක් නැති ක්‍රියාකාරකමක් ලෙස.
ඒ අනුව ඔබ අවබෝධ කරගත යුතු වෙනවා භව තණ්හාව හෙවත් ශාස්ත්‍රක දෘෂ්ටියකින් පෙළණු අත්තකිලමතානුයෝගී ප්‍රතිපදාවෙන් යුක්ත ශාස්ත්‍රවාදය නිසා බුදුරජාණන් වහන්සේගේ පෙන්වා දීමවන්නේ මිනිසා දුක් විඳිනා බවයි. ඒ අනුව දෙවනුව උන්වහන්සේ පෙන්වා දෙනවා විභව තණ්හා. ‘විභව තණ්හා’ යනු මේ භවයෙන් පසුව වෙනත් කිසිඳු භවයක් නැත කියන පිළිගැනීම. එවැනි පිළිගැනීමකට යෑම තුළ පුද්ගලයා දිගින් දිගටම කාමසුඛල්ලිකානු යෝගී ප්‍රතිපදාව වෙත අනිවාර්යෙන්ම යොමුවෙනවා. කාමසුඛල්ලිකානු යෝගී ප්‍රතිපදාව තුළ එළබුණු මනුෂ්‍යයාට කිසි ලෙසකින් වත් මානසිකව තෘප්තිමත් ජීවිතයක් ගතකරන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔහු හැම මොහොතකම පංච කාමයන් තුළින් ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවමින් කාමුක සැප ඇතුළේම විමුක්තිය සොයන්නට යාම නිසා එකී පංච කාමයන් සපුරා ගනුවස් ඕනෑම පාපී ක්‍රියාකාරකමක් ඕනෑම ධර්ම විරෝධී ක්‍රියාකාරකමක් කිරීමට අනිවාර්යෙන්ම පෙළඹෙනවා. මෙකී පෙළඹීම තුළ පුද්ගලයා පංච දුෂ්චරිතයෙහි නියැළීමෙන් එහි ප්‍රතිපලයක් වශයෙන් ඔහුගේ සංසාර භව ගමන තව තවත් දිග්වූ, රාග, ද්වේශ, මෝහ, තව තවත් වර්ධනය වීමත් අනිවාර්යෙන්ම සිදුවෙනවා. මේ කරුණ නිසා ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කාමසුකල්ලිකානු යෝගී ප්‍රතිපදාව සහිත උච්ඡේදවාදී දෘෂ්ටියෙන් ගොඩ නැගුණු විභව තණ්හාව නිසා පුද්ගලයා අනිවාර්යෙන්ම දුක් විඳින පුද්ගලයකු බවටම දුකසේම සසර ගමන ගමන් කරන පුද්ගලයකු බවට සංසාරයෙන් කිසි කලෙකවත් එතෙරවීමට අවස්ථාවක් නැති පුද්ගලයකු බවට පත්වන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ. ඒ නිසා උන්වහන්සේ එකී කාමසුකල්ලිකානු යෝගී ප්‍රතිපදාව පහත්, ග්‍රාම්‍ය, පෘතග්ජන, අනාර්යය අරුත් විරහිත ප්‍රතිපදාවක් ලෙස පෙන්වා දී තිබෙන්නේ මෙවැනි ප්‍රතිපදාවක ගමන් කිරීම තුළ පුද්ගලයා දිගින් දිගටම සංසාරගත දුකින් පීඩා විඳිනා බව ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිළිගැනීම බවට පත්වී තිබෙනවා. මේ අනුව අපට ඉතාමත් නිරවුල්ව අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දවස පමණක් නොවෙයි වත්මනෙහි පවා අප ජීවත්වන සමාජය තුළ මිනිසුන් දුක් විදිනවා නම් එයට හේතුවී තිබෙන්නේ පුද්ගලයා තුළ තිබෙන්නාවූ ප්‍රබල සිතිවිල්ලක් වන තෘෂ්ණාවයි.
ඒ අනුව දුක් විඳීමට හේතුව කුමක්ද? යන පැනයට ඔබට දැන් ඉතාම නිවැරැදි පිළිතුරක් ලැබී තිබෙනවා. ආර්යය ධර්මය මත පදනම් වී බලන විට දුක් විඳීමට හේතු වී ඇත්තේ ධනවාදය හෝ සමාජවාදය නිසා නොව ස්ත්‍රීන් හෝ පුරුෂයින් නිසා නොව මේ සියල්ලටම ඇතුළින් දිවෙන්නාවූ සියල්ලටම පදනම් වී ඇත්තාවූ තෘෂ්ණාව නිසා බව. තෘෂ්ණාව පදනම් කරගෙනම අපගේ දුක නිර්මාණය වී ඇති බව පවත්වාගෙන යන බව ඔබ මෙහිදී ඉතාම ගැඹුරින් අවබෝධ කරගත යුතු යැයි මා කල්පනා කරනවා.

 කොළඹ කුප්පියාවත්ත
ජයශේඛරාරාම විහාරවාසී
මාවරලේ භද්දිය හිමි







  
ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ බිනරපුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ සැප්තැම්බර් මස 22 වන  බදාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment