Labels

Sunday, June 14, 2015

රජ සිරි මැද නිවන් සුව ලද සුදොවුන් පිය රජු





විශාලා මහනුවර සිට රජ මාලිඟයට වඩින බුදු පියාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේ සමඟ එක්ව රජුගේ ශාරීරික ආබාධ වේදනා යටපත් කරවති.වේදනා සන්සිඳුණු පසුව දෙසූ දහම් ඇසූ සුදොවුන් රජු සේසත් දරා සිටිය දීම රහත් වෙයි.ගිහි බවින්ම රහත් වූ එතුමා රජ පිරිසට අනුශාසනා කරමින් සත් දිනක් විමුක්ති සුව විඳ පිරිනිවන් පෑ බව කියැවේ. 


ඉතිහාසයේ අනේක විධ චරිත කථා අප අසා ඇත. එම චරිත කථා අතරින් වාසනාවන්ත පියවරු පිළිබඳ අප අසා ඇත්තේ ඉතා අල්ප වශයෙනි. එවැනි අල්ප පියවරු අතරිනුත් ඉතාම වාසනාවන්ත වූ චරිත කථාවක් සුදොවුන් මහරජතුමාට හිමිවෙයි. බෞද්ධ ග්‍රන්ථවල පැවසෙන පරිදි එම අසිරිමත් සිරිත පිළිබඳව අපි දැන් විමසා බලමු.

කපිලවස්තුවේ ජයසේන රජුගේ පුතු වූ සිංහ හනු කුමාරයා කාංචනා කුමරිය විවාහ කරගෙන පියාගේ ඇවෑමෙන් ශාක්‍ය ජනපදයේ ප්‍රධාන රජු විය. කෝලිය රටේ දේවදහ ශාක්‍යයාගේ දියණිය කාංචනා කුමරිය යි. සිංහහනු කාංචනා යුවළට පුතුන් පස් දෙනෙකු සිටි බව බෞද්ධ ග්‍රන්ථවල කියැවේ’ සුද්ධෝදන,ධෝතෝදන, සුක්කෝදන, අමිතෝදන හා මිතෝදන යනු එම පස් දෙනයි.


මෙයින් වැඩිමහලු සුද්ධෝදන කුමරු කුඩා කල සිටම වීර ශූර අභියෝගයන්ට නොබියව මුහුණ දෙන අයකු විය. දිනක් සිංහහනු රජුට පසල් දනවුවක යුද්ධයක් සඳහා යෑමට සිදුවිය. එහිදී තම දරුවන් පස්දෙන යවා කැරැල්ල මැඩ පැවැත්වීමට සිතූ රජතෙම, සිය පුතුන්ට පසැල් දනවුවට යන ලෙස පැවසීය.
බාල කුමාරවරු පසුබසිද්දී වැඩිමල් සුදොවුන් කුමරු සේනාව පිරිවරාගෙන ගොස් අභීතව කැරැල්ල මැඩ පැවැත්වීය.
එම තොරතුරු අසා සතුටු වූ සිංහහනු රජු “කැමැති වරයක් ඉල්වවයි” සුදොවුන් කුමරුට පැවසීය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සුදොවුන් කුමරු විශේෂ අවසරයක් ලෙස තම මාමණ්ඩිය වන “අංජන රජුගේ සුරූපී දියණිවරු දෙදෙනාම (එනම් මහාමායා සහ ප්‍රජාපති ගෝතමී) තමාට විවාහ කර දෙන්න” යැයි පැවසීය.
ශාක්‍යයෝ ස්වභාවයෙන් ම එක බිරියක් පමණක් විවාහ කරගනියි.
බහු භාර්යා සේවනයක් ඔවුන්ගේ නැති බැවින් මේ සඳහා රාජසභාවේ විශේෂ අවසරයක් ගතයුතු විය. “මහාමායා - ප්‍රජාපතී කුමරියන්ට පින්වත් සක්විති රජවීමට වාසනාවන්ත වූ දරුවන් ලැබෙති” යි නිමිත්ත පාඨකයන් පැවසූ නිසා තමා ඒ දෙදෙනම විවාහ කරගැනීමට කැමැති බව සුදොවුන් කුමරු පැවසීය. සියලු කරුණු සලකා බලා අවසානයේ කුමරුගේ ඉල්ලීම ඉටු විය. ඒ අනුව සුදොවුන් කුමරු ශාක්‍ය වංශික රජවරු අතරින් බිසෝවරු දෙදෙනෙක් සිටි රජු වශයෙන් විශේෂත්වයට පත් විය.
සිංහහනු රජුගේ ඇවෑමෙන් රජයට පත් සුදොවුන් රජ තෙමේ මහාමායා බිසවට දාව සිදුහත් කුමරු ලැබීය. මහා ප්‍රජාපතී ගෝතමී බිසවට දාව නන්දා හා නන්ද යන දරුවන් දෙදෙනෙකු ලැබීය.
කාලදේවල හෙවත් අසිත නමින් හැඳින්වුණු ෂඩ් අභිඥාලාභී මහසෘෂිවරයා සුදොවුන්ගේ ගුරුවරයා විය.
සිදුහත් කුමරු උපන් දින මාලිගයට පිවිසි අසිත තාපසතුමා කුමරුට වැන්ද අවස්ථාවේ සුදොවුන් මහරජු ද තම සුරතල් පුතුට වැන්දේය.
වප් මඟුල් උළෙලේ දී ප්‍රථම ධ්‍යානය උපදවා ගත් සිදුහත් කුමරු දැක සතුටු වූ හෙතෙම තම පුතුට දෙවන වර ද සතුටු කඳුළු වඟුරුවමින් වැන්දේය. ගිහිව සිටින තම පුතුට වන්දනා කළ වෙනත් පියකු ඉතිහාසයේ අපට හමු නොවෙයි.
මෙනිසා සුදොවුන් රජ සිරිත ආරම්භයේ සිට ම මහත් අභියෝගවලට මුහුණ දුන් සංකීර්ණ චරිතයකි.
ශාක්‍ය ජනපදය සමූහාණ්ඩුවකි. හෙවත් එහි පැවතියේ ගණ තන්ත්‍ර පාලන ක්‍රමයකි.එහි ප්‍රධානියා සුදොවුන් රජු විය.හේ තම පුතුන්ට උපරිම සැප සම්පත් ලබාදුන්නේය.
සැමගේ ආදරයට පාත්‍ර වූ සිදුහත් කුමරුට රම්‍ය, සුරම්‍ය ශුභ නමින් මාලිගා තුනක් සාදා දුන්නේය. ඔහු සක්විති රජෙකු වනු දැකීම පියතුමාගේ ඒකායන අපේක්ෂාව විය.
ඒ සඳහා යසෝධරා දේවිය ද තම පුතුට ආවාහ කර දුන්නේය. නමුත් කොතරම් ආරක්‍ෂා සංවිධාන සැපයුවත් සෙනෙහෙබර පියතුමා හැරදා සිදුහත් කුමරු පැවිදි විය.
අරියපරියේසන සූත්‍රයේ පැවසෙනුයේ මාතාපිත්තං රුදන්තානං යනුවෙනි.
දෙමාපියන් හඬද්දී, කදුළු වගුරවද්දී පැවිදි වූ තම පුතු පිළිබඳ (තම අවශ්‍යතාවන්ට, අපේක්‍ෂාවන්ට පටහැනි පුතු පිළිබඳ) මේ සෙනෙහෙබර පියතුමා වෛර සිත් නොඉපදවීය. හේ වරින්වර දුතයන් යවමින් සිදුහත් තාපසතුමාගේ දුෂ්කර ක්‍රියා සමය පිළිබඳව නිරන්තරව සොයා බැලුවේය. ඒ අතර ම සිදුහත් කුමරුගෙන් පුරප්පාඩු වූ ශාක්‍ය ජනපදයේ රජකම ද උපේක්‍ෂා සහගතව දැරීය. යසෝදරාවන්ට හා රාහුල පුතුට පිය යුතුකම් මැනවින් ඉටුකළේය.
සුදොවුන් රජුට තම වැඩිමල් පුතු පිළිබඳව බලවත් විශ්වාසයක් විය.
“සිදුහත් තාපසතුමා මිය ගියේයැ”යි වරෙක් දේවතාවෝ පැමිණ රජුට දැනුම් දුන්නත් “මගේ පුතා බුදුවී මිස මිය නොයන්නේ” යැයි ස්ථිරව පැවසුයේ එහෙයිනි. සිදුහත් තාපසතුමා බුදු බව ලැබූ බව දැනගත් සුදොවුන් රජු අතිශයින් සතුටු විය.බුදු පුතු සිය නුවරට වඩමවා ගැනීමට කෙතරම් ආශාවක් දැක්වූවා ද යත් දහසක් පිරිවර කොට ඇති ඇමැතිවරු දස දෙනෙක් දසවරක් බුදුපියාණන් වහන්සේ කිඹුල්වතට වැඩමවාගෙන ඒම පිණිස යැවීය.
කාළුදායී මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් මැදින් පුන් පොහෝ දිනෙක කිඹුල්වත් පුරයට වැඩීමේ ගමන අරඹන තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව එළඹි දෙවැනි වර්ෂයේ උදාවූ වෙසක් පුන් පොහෝ දිනයේ කිඹුල්වතට වැඩම වූහ. මේ දෙමාසය මුළුල්ලෙහිම රාජභෝජන තම බුදු පුතුට යැවූ සුදොවුන් රජ තෙමේ ශාක්‍ය රජවරු හා එක්ව බුදුපියාණන් වහන්සේගේ වාසයට නිග්‍රෝධාරාමය පිළියෙල කළේය.
නීග්‍රෝධාරාමයට වැඩි තථාගතයන් වහන්සේ ශාක්‍යයන්ගේ අධික මානය දුරැළීමට යමක මහා ප්‍රාතිහාර්යය පෑ අවස්ථාවෙහි සුදොවුන් රජ තෙමේ තම පුතුට තෙවැනි වරද වැන්දේ ය.
වෙසක් පුන් පොහෝ දින බුදු පා වැඳි රජුට වෙසක් අව පෑලවියදා ද මහත් අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. එනම් තම පුතු නුවර පිඬුසිඟා වඩින පුවත ඇසීමෙනි.එය අසා කෙතරම් කලබල වූයේද යත් සළුව හඳිමින්, පොරවමින්ම සුදොවුන් මහ රජ තෙමේ මහා මාර්ගයේ දිව ගියේය. මෙසේ සිඟමන් යමින් තමාට අපහාස නොකරන ලෙස ඉල්ලා සිටියේය. එවිට තම බුද්ධ වංශයේ සිරිත විදහා දක්වමින්


උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය - ධම්මං සුචරිතං චරෙ
ධම්මචාරී සුඛං සෙති – අස්මං ලොකෙ පරම්හිච



යනුවෙන් දෙසූ බණ අසා රජතෙම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය.

මහමඟ දී සදහම් අවබෝධ කළ අයෙකු ලෙස ද සුදොවුන් රජු විශේෂත්වයට පත්වේ.බුදුපාමොක් මහ සඟන මාලිගයට වඩමවාගෙන යන රජතෙමේ වළඳා අවසන්හි දෙසූ ධර්මය අසා සකෘදාගාමී ඵලයට පත් විය. යසෝධරා බුදුන් වැඳීමට නො ආ කල්හි ඇගේ ගුණ කියමින් ඇයගේ ප්‍රාසාදය වෙත බුදු රදුන් වැඩමවාගෙන ආ සුදොවුන් රජුගෙන් ප්‍රකට වනුයේ සැබෑ මානව දයාවෙන් යුතු පියෙකුගේ ප්‍රතිරූපයයි. යසෝධරාවගේ නුසුදුසු වැළපීම හමුවේ ඇයට සමාව දෙන ලෙස අයැදිමින්, රජු ඇගේ ගුණ වර්ණනා කරයි.
සුදොවුන් රජුට ඊළඟට මුහුණ දීමට සිදුවූයේ ද බලවත් අභියෝගයකටයි. ඒ රාජ්‍යාභිෂේක මංගල්‍යයට සූදානම් ව සිටි තම පුතු වූ නන්ද කුමරුගේ හදිසි පැවිදිවීමයි.
බුදුරදුන් වැඩම වූ තුන්වන දා නන්ද කුමරුගේ ප්‍රවෘජ්‍යාව ඔහුගේ ද නොකැමැත්තෙන් සිදුවිය. ඉන්පසු රාහුල කුමරු ද පැවිදි විය.නන්ද රාහුල දෙකුමරුවන්ගේ පැවිද්ද ඇසූ සුදොවුන් රජුට සකෘදාගාමී වී සිටිය ද බලවත් ශෝකයක් ඇතිවිය.
රජ තෙමේ ගොස් බුදුරදුන්ට වැඳ “මවුපියන්ගේ අවසරයක් නැතිව දරුවන් මහණ නොකරන ලෙස” ශික්ෂාපදයක් පනවන ලෙස ආරාධනා කළේය. එම ඇරැයුම අනුව පැවැදිකිරීම පිළිබඳ ශික්ෂාපදයක් ලෙස “න භික්ඛවෙ අනනුඤ්ඤාතො මාතාපිතූහි පුත්තෝ පබ්බාජෙතබ්බො, යො පබ්බා ජෙය්‍ය ආපත්ති දුක්ටස්ස” යනුවෙන් පනවා වදාළහ.
මෙහිදී සුදොවුන් මහරජුගේ චිත්ත ස්වභාවය මැනවින් පෙන්නුම් කර ඇත. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ පැවිදි වූ කල්හි මට මහත් දුකක් ඇතිවිය. (අනප්පකං දුක්ඛං අහොසි) නන්ද කුමරු පැවිදි වූ කල්හි ද එසේම විය. රාහුල කුමරු පැවිදි වූ කල්හි එය ඉතා වැඩි විය.ස්වාමීනි, පුත්‍ර ප්‍රේමය සිරුරෙහි සිවිය (ඡවිං) සිඳියි. ඡවිය සිඳ සම සිඳියි.චර්මය සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි.
නහර සිඳ ඇට ද ඇට මිදුලු ද සිඳියි “ සෙනෙහෙබර පියකු ලෙස දාරක ස්නේහයේ තරම පවසන මෙවැනි වැකියකින් පිය සෙනෙහසක මහිමය වටහා ගත හැකි ය. (මහාවග්ග පාළි -මහා ඛන්ධක)
සුදොවුන් මහ රජ ධර්මපාල ජාතකය අසා අනාගාමී ඵලයට පත් විය.
බුද්ධත්වයෙන් පස්වන වසරේ වස් කාලයේ දී දැඩිසේ ගිලන් වන සුදොවුන් රජතුමා බුදුන් දැකීමට කැමැති වෙයි.එම අවස්ථාවෙහි විශාලා මහනුවර සිට රජ මාලිඟයට වඩින බුදු පියාණන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේ සමඟ එක්ව රජුගේ ශාරීරික ආබාධ වේදනා යටපත් කරවයි.වේදනා සන්සිඳුණු පසුව දෙසූ දහම් ඇසූ සුදොවුන් රජු සේසත් දරා සිටිය දීම රහත් වෙයි.
ගිහි බවින්ම රහත් වූ එතුමා රජ පිරිසට අනුශාසනා කරමින් සත් දිනක් විමුක්ති සුව විඳ පිරිනිවන් පෑ බව කියැවේ. එතුමාට වන සෙනසුන්හි සිට භාවනා කිරී මක් අවශ්‍ය නොවීය. රජ මාලිගාවේ සිටිමින්ම විමුක්ති සුවය ද ලැබුවේය.


 බෙලිඅත්ත, නිහිළුව
හ/සිරි ධම්මානන්ද මූලික පිරිවෙන්පති
ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති හත්තොටුවේ ඉන්දරතන හිමි

 ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ පෙබරවාරි මස 28 වන  ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment