Labels

Friday, January 19, 2018

ජීවන ප්‍රතිපදාවට ..

තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශීත ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙහි කෙලෙස් සතුරෝ තිදෙනෙක් මතුකොට දක්වයි. ඒ රාගය හෙවත් ඇලීම ය. ද්වේෂය – තරහවය. මෝහය නම් වූ මුළාවය.
මේ ලෝක සත්ත්වයන් දීර්ඝ කාලයක් ඉපදෙමින් මිය යමින් සසරෙහි අපමණ දුක්විඳ තිබේ. දීර්ඝව පැමිණි සසර ගමනේ දී මෙන් ම මේ ජීවිතයේ ද බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරුවේ. ඒ දුක්ඛ වේදනාවන්ට සැබෑ හේතුව කුමක් ද? නුවණින් විමසා බලන්න. රාගය නම් වූ ආලය නිසා ම බව නොවේ ද? ආලයක්, ඇලීමක්, බැඳීමක්, ආදරයක් , සෙනෙහසක් නැතිව කෙසේ නම් ජීවත් වෙන්නදැයි ඇතැමෙකුට ප්‍රශ්නයකි. නැතිවම බැරි යැයි සිතූ ආලය, ඇලීම ආදරය නිසා ඔබ කොපමණ නම් හඬා වැළපී තිබෙනවා ද? අහිමි වීම් දරා ගන්නට නොහැකිව කොපමණ නම් පීඩාවට, වේදනාවට පත්ව තිබෙනවා ද?
වරෙක සුවයක් දැනෙන්නට ඇති. එහෙත් ඒ සුවය තාවකාලික වූවා නොවේ ද? රාගයෙන් මත්වී, අන්ධවී කළ ක්‍රියා නිසා තමාටත්, අන් අයටත්, ජීවත්වන පරිසරයටත්, මිනිස්කමටත් සිදු වූ නිගාවන් කොපමණ වෙත් ද?

චක්ඛුපාල හිමියන්ගේ කතාව ( යමක වග්ගය )

" සිත පෙරටු කොට - සිත ම මුල් කොට
සිතෙන් උපදිති – දහම හැම විට
කතාවට හෝ ක්‍රියාවට යම් – නපුරු සිතිවිලි පෙරටු වේ නම්
ලෙසට රිය සක ගොනු අනුව එන – ලැබෙයි දුක් වේදනා සතහට "
‘අකුසල දහමට මුල් වන්නේ සිත ය. කිළිටි වූ සිතින් අකුසල් කළ තැනැත්තා පසු පස දුක ලුහු බඳින්නේ ය.’
මනො පුබ්බංගමා ධම්මා
මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා
තතෝ නං දුක්ඛමන්වෙති
චක්කං’ව වහතො පදං
මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ විසූ සමයෙහි චක්ඛුපාල නම් දෙනෙත් අඳ තෙර නමක් අරභයා වදාරන ලද්දකි.
චක්ඛුපාල හිමියෝ බුදුරජාණන් වහන්සේ වැඳ පුදා ගනු පිණිස වරක් ජේතවනාරාමයට පැමිණියහ. එදින රැයෙහි සක්මන් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේට පෑගී කෘමී සත්තු රැසක් මිය ගියහ. දෙනෙත් නොපෙනෙන හෙයින් මෙය නොදැනුවත්කමින් සිදු වූවකි. උදෑසන පිබිදුණු හිමිවරු කීපනමක් මිය ගිය කෘමීන් දැක ඒ ගැන බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ.
“චක්ඛුපාල හිමියන් ඒ සතුන් මරණවා ඔබ දැක්කාද?” යි උන්වහන්සේ ප්‍රශ්න කළහ.
“නැත ස්වාමීනි”

සැමට සෙත සදන පිරිත් දෙසුම

පිරිත් දේශනාව පිළිබඳ තොරතුරු විවිධ සූත්‍රවල දී මෙන් ම ජාතක කතා, ධම්මපද ගාථා යනාදියෙ හි ද දක්නට ලැබේ. බෝධිසත්ව චරිතය ගැන කියවෙන රණමයුර ජාතක කතාව තුළ ද පිරිත් දේශනා පිළිබඳ තොරතුරු ඇතුළත් වේ.

ඛුද්දක නිකායේ ධම්ම පදයේ සහස්ස වග්ගයේ 8 වෙනි ගාථාවට අදාළ නිදාන කතාව තුළ පිරිත් දේශනාව පිළිබඳ ව අගනා තොරතුරු ගණනාවක් අනාවරණය වේ.

Friday, January 12, 2018

දුක මිස සැප නැති අපාය

පසුගිය ලිපි පෙලින් අට මහා නරකය ගැන සඳහන් වුණා. සතර අපායේ දුක මිස සැප නැහැ. සත්ත්ව ඝාතනය, සොරකම, කාමමිථ්‍යාචාරය, බොරුව, මත් ද්‍රව්‍ය පානය කිරීම, අධාර්මික ජීවිකාව සහ වෙළෙඳාම, මවට පියාට නොසැළකීම සහ තර්ජන ගර්ජන අපහාස කිරීම, පංචානන්තරීය පව් කිරීම, තෙරුවන්ට, පින්වතුන්ට , ගුණවතුන්ට නිග්‍රහ කිරීම, අසාධාරණ නඩු තීන්දු, බොරු චෝදනා ආදී අනේකවිධ පාපයන් සිදු කරන්නන්ට දරුණු විපාක ලබා දෙන්නේ අපායෙනි.
සතර අපාය අනන්ත දුක් ලබා දෙන තැනකි. මේ අපායන්ට පත් වූවෝ මින් මතු පව් නොකරන්නේ යැ’යි පොරොන්දු වෙමින්, දුක් අෙඳීනාවන් අපමණ නගති. මේ ගැන හොඳින් දැනුම්වත් ව පොත පතින් දැනුම ලබන්න. දිව්‍ය, බ්‍රහ්ම ලෝකයන්හි තතු දැනකියාගෙන පවින් වැළකිය යුතු යි. ඒ සඳහා පින් දහම් කළ යුතු යි. දරුණු පව් කළ සැවොම අටමහා නරකයට වැටෙයි. ඒ වටා තවත් ඔසුපත් නරකයන් දහසයකි. සියලුම නරකාදී අපාය එකසිය තිස් හයකි. මෙහි ඇති නිරි සතුන් ප්‍රමාණය ගණනය කළ නොහැකිව, එක් අයකුට තවත් අයෙක් නොපෙනෙනා සේ නිරි සතුන් අපමණ වෙයි. සැවොම මුව රැකගෙන මින් මතු පව් නොකරන බවට සිතා ගත යුතු යි. ලොවුතුරා බුදු කෙනෙක් මෙලොව පහළ ව අපා දොරටු වසන සුගතියට පත්ව නිවන් මඟ විවර කළා. මේවා හොඳින් වටහාගෙන දානාදී කුසල කර්ම රැස්කරගෙන අපායෙන් වැළකීමට වෙහෙස මහන්සි වන්න. අපායකට වැටුණොත් නැවත ගොඩ එන්නට ලෙහෙසි පහසු නැහැ. මුගලන් මහ රහතන් වහන්සේ තම දේශනාවල දෙව් ලොව සහ අපායේ තතු මෙලෙස යැ’යි වදාළ සේක.

සසර ගමනේ සැරි සැරීම

" නැවත ඉපදීම හෙවත් උපත ලැබිය හැකි ස්ථාන තිස් එකක් ප්‍රධාන වශයෙන් සඳහන්ව තිබේ. එය තිස් එක් සක්වල ලෙස ද දක්වා තිබේ. එනම් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය, රූපාවචර බඹලොව දහසයක්, අරූපාවචර බඹලොව හතරක් යනුවෙනුයි. කුසලා කුසල කර්ම අනුව සත්ත්වයා මේ තිස් එකක් වූ සක්වල උපදිති.

අනේක ජාති සංසාරං
සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ
දුක්ඛා ජාති පුනප්පුනං

සිල්වතුන් දුසිල්වතුන් කරන අඥාන ඇසුර

ලෝ සතට වැඩ සලසන ලෝවැඩ සඟරාව -අංක 13:

" මනුෂ්‍ය ආත්මයක් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා බැලීමත්, කතා කිරීමත්, ඇසීමත් විශේෂයෙන් වැදගත් වෙයි. ඒ කරුණු තුන ම නොව එක් කරුණක් නැති වුවත් සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් පවත්වාගෙන යාම අපහසු ය. කෙනෙකුගේ ජීවිතයක අඟ පසඟ අඩුව පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අතීතයෙහි කරන ලද අකුසල කර්මයන් ය.
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙක ය
තද අකුසල් කොට කුසලින් වැළක ය
අඳ ගොලු බිහිරිව ලදුවත් මේ ක ය
මද පිනකුත් නො පිරෙයි බල නිසැක ය
ලෝවැඩ සඟරාවෙහි සඳහන් මෙම කවිය අපේ ජීවිතය මැනවින් පවත්වාගෙන යෑමට වැදගත් අදහසක් ඉදිරිපත් කොට ඇත. සමහර කාලයක මෝඩ මිනිසුන්ගේ අදහස් පිළිගෙන කුසල් කිරීමෙන් වැළකී බලවත් අකුසකුල් කිරීම නිසා අඳ, ගොළු, බිහිරි ලෙසින් මනුෂ්‍ය ආත්මයක් ලැබුවත්, බලවත් වූ ස්වල්ප පිනක්වත් ඒකාන්තයෙන් සම්පූර්ණ කරගත නොහැක්කේ ය යන්න එම කවියෙහි අදහස යි.

නිවන සැපතක් වන්නේ දුකක් නැති නිසා යමහාචාර්ය


එක්තරා පොකුණක මිතුරෝ දෙදෙනෙක් වාසය කළෝ ය. ඉන් එකෙක් ඉඳිබුවෙකි. ඔහුට ගොඩදිය දෙකම හුරු ය. ඉඳිබුවාගේ මිතුරා මාළුවෙකි. ඔහුට ගොඩබිම නුහුරු ය. දියෙහි ම ඉපිද එහි ම වසන හෙතෙම ගොඩබිම් පරිසරය නොදනියි. දිනක් ඉඳිබුවා පොකුණෙන් ගොඩබිමට පැමිණ දීර්ඝ සංචාරයක යෙදුණේ ය. ඔහුට බොහෝ දේ අසන්නට ද දකින්නට ද ලැබුණි. සවස් යාමයෙහි නැවත පොකුණට පැමිණි හෙතෙම තම හිතුරු මාළුවාට කථා කළේ ය.

තමා ගොඩබිම ඇවිද ආ බවත්, බොහෝ දේ දුටු බවත් පැවසුවේ ය. ඉඳිබුවා සිය ගොඩබිම අත්දැකීම් එසේ ඉතා සතුටින් හා උද්‍යෝයෝගයෙන් සිහිපත් කළේ ය. එහෙත් මාළුවාට කිසිවක් නො තේරිණි. “ ඒ කියන්නේ ඔබ පිහිනා ගිය බව නොවේදැ යි “ අවසානයේදී හෙතෙම විමසී ය. ගොඩබිම ඝණ බවත්, එහි පිහිනිය නොහැකි බවත්, ඇවිද යා යුතු බවත්, මාළුාවාට කියා දෙන්නට ඉදිබුවා බෙහෙවින් උත්සාහ කළේ ය. ඒ මාළුවාට කිසිවක් නො තේරුණි. ගොඩබිම ද , පොකුණ මෙන් ජලය ඇති, රළ සහිත, කිමිද පිහිනා යා හැකි තැනක් විය යුතු බව මාළුවා තදින් ම කියා සිටියේය. මෙය උපමා කථාවකි.
සසර වසන, කෙලෙස් සහිත පුහුදුන් තැනැත්තෙකුට සසරින් එතරවීමෙන් ලබන කෙලෙස් රහිත වු දුක්ඛ නිරෝධය හෙවත් නිවන යනු කුමක්දැයි කියාදීම පහසු කටයුත්තක් නොවේ. එය ඉඳිබුවා මාළුවාට පොකුණෙන් එතෙර ඇති ගොඩබිම ගැන කියා දීමට සමාන කළ හැකි ය.

තිසරණ සරණ ගොස් පන්සිල් සුරකිමු

"බුදුරජාණන් වහන්සේ “අභිසන්ධ” සූත්‍රයේදී වදාළේ යම් කෙනෙක් අවබෝධයෙන් තිසරණ සරණ යනවානම්, ඒ ශ්‍රාවකයාට පුණ්‍ය ගංඟා තුනක් ගලන බවයි. වර්තමානයේ බොහෝ බෞද්ධයන්ට මේ පුණ්‍ය ගංගා අහිමිවීම කනගාටුවට කරුණක්."
2018 වසර අදින් උදාවෙයි. නව වසරේ දුරුතු පොහොය දිනය ද අදට යෙදී ඇත. ජීවිතය ගැන හැරී බැලීමක් කිරීමට වැරැදි නිවැරැදි කර ගැනීමට මෙය හොඳම අවස්ථාවයි.
පසුගිය වසරවලදී අප තුළ තිබූ මිථ්‍යා දෘෂ්ඨික සිතිවිලි ඉවත්කර මේ මොහොතේ පටන් සම්මා දෘෂ්ඨියෙන් යුතුව කටයුතු කරන්නේ නම් උදාවූ වසර යහපත් කර ගැනීමට මග හසර උදාවනු ඇත.


ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි. අපට උන්වහන්සේගේ සරණ යාමේ දුර්ලභ අවස්ථාව උදා වී ඇත. එහෙත් අවාසනාවකට මෙන් මේ රටේ බෞද්ධ නාමයෙන් පෙනී සිටින බොහෝ දෙනෙකුට උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් නැත; අවබෝධයක් නැත; වටිනාකමක් නැත.
එමෙන්ම ශී‍්‍ර සද්ධර්මය පිළිබඳවත් අගයක් වටිනාකමක් නැත. ආර්ය මහා සංඝරත්නය පිළිබඳවත් ඇත්තේ එබඳුම ආකල්පයකි. එයට හේතුව තුන් සරණය පිළිබඳ ඔවුන්ගේ නො දැනුවත්කමයි. අපගේ බහුතරයක් බෞද්ධයෝ බුදුරජාණන්වහන්සේ ගේ නව අරහාදී බුදුගුණ නො දනිති. ධර්මයේ ගුණ හය නොදනිති. ආර්ය මහා සංඝ රත්නයේ ගුණ නවය නො දනිති.

චේතනාත්මකව කර්මයක් කරයි ද එහි විපාකය ඒකාන්තයි




" චේතනාත්මකව කරන ලද්දා වූ, රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක, විඳීමකින් තොරව අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහී මොලොවදී විපාක දෙන්න පුළුවනි. නැතහොත් ඊළඟ ජීවිතයේ දී විපාක දෙන්නට පුළුවන. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැන දී විපාක දෙන්නට පුළුවන."
අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් තථාගත බල දහයකින් යුතු වන සේක. මේ දෙව් මිනිස් ලෝකයා ඉදිරියේ අභීත ස්වරයෙන් උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ථනය කොට වදාළේය. එනිසාම අප භාග්‍යවතුන් වහන්සේ දසබලධාරී නමින් හඳුන්වමු. උන්වහන්සේ තුළ පැවැති ඒ ඤාණ බලයන් අතරින් එක් ඤාණයක් වූයේ කර්මය විපාක දෙන ආකාරය ගැන මුළුමනින් ම දන්නා නුවණ යි.

Tuesday, January 9, 2018

ශෝකයට හේතුව කුමක් ද?

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 13:


 තණ්හාව නිසයි ශෝකය හටගන්නේ.
තණ්හාව නිසයි භය හටගන්නේ.
තණ්හාවෙන් අතමිදුන අයෙකුට ශෝකයක් නෑ."

බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටියා නොයෙක් ආකාරයේ බ්‍රාහ්මණවරු. ඒ වගේ ම සිටුවරු, ධනවත් අය, මේ හැමෝ ම එක එක දේවලට ආශා කරමින් ජීවත් වුණා. එක බ්‍රාහ්මණයෙකුට ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාවක් නැති බ්‍රාහ්මණයා මිථ්‍යා දෘෂ්ඨිකයි. ඔහු කුඹුරක් හදන්න පටන් ගන්නවා.

මේ කුඹුර සකස් කරන්න පටන් ගන්නකොට ම බුදුරජාණන් වහන්සේ වඩිනවා කුඹුරට.බ්‍රාහ්මණය, නුඹ ‘මොකද කරන්නේ? ‘මම මේ කුඹුර හදනවා’ කතාව එපමණයි. බුදුරජාණන් වහන්සේ වැඩියා. තව ටික දවසකින් බුදුරජාණන් වහන්සේ නැවතත් වැඩියා. ‘බ්‍රාහ්මණය මොකද කරන්නෙ?’ උන්වහන්සේ ඇසුවා ‘මම දැන් මේ කුඹුර වපුරනවා.’ බ්‍රාහ්මණයා කීවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විවිධ කාර්යයන් කරන අවස්ථාවන්හි කුඹුරට වඩිනවා. එතකොට මිථ්‍යා දෘෂ්ඨික වුණත් මේ බ්‍රාහ්මණයා තුළ හිතවත් කමක් ඇති වුණා. සමහර විට අපත් එහෙමනේ. අන්‍ය ආගමික කෙනෙක් අපට හැමදාම මුණ ගැහෙනවා නම්, හිතවත් කමක් ඇතිවෙනවා නේ ද? ඒ වාගේ හිතවත් කමක් ඇති වුණා. ඉන්පසු මොකද කරන්නේ? හිතවත් කමත් එක්ක ඉන්න කොට කියනවා ‘මගේ කුඹුරේ අස්වැන්න හොඳට නෙළුවොත් ඔබ වහන්සේටත් මම කොටසක් දෙන්නම්. 

Wednesday, January 3, 2018

පින්වත් චරිතයක් අවශ්‍ය නම් ...

 සාමාන්‍ය ජීවිතයේ දී පින්දහම් කිරීමට ධනය ම, මුදල් ම අවශ්‍ය නොවේ. ඕනෑකම තිබේ නම්, හිත ඇත්නම් ගෙදර දී වුව ඕනෑතරම් පින්කම් කිරීමට පුළුවන. සෑම දිනකම උදේ සවස බුදුන් වඳින්නට පුරුදු වන්න. විනාඩි පහක් පමණවත් මෛත්‍රි භාවනාව වඩන්න. මවුපියන්ට, වැඩිහිටියන්ට හැකි පමණ උදවු උපකාර කරන්න. ගරු කරන්න. මේවාට මුදල් ඇවැසි නොවෙයි. "
සැවැත් නුවර විසූ ලොකුම ධනවතා අනේපිඬු සිටුතුමා ය. ඔහුගේ නිවසේ, භික්ෂූන් වහන්සේ දෙදහසක් පමණ දිනපතා දන් වළඳති. ඒ ලෙසම විශාඛා මහෝපාසිකාවගේ නිවෙසේ ද දෙදහසක් පමණ භික්ෂූන් වහන්සේ නිතිපතා දන් වළඳති. සැවැත් නුවර වැසි බොහෝ ජනයා ද බුදු හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය තම තමන්ගේ නිවසට වඩමවා දානය පිරිනැමීමට කටයුතු කරති. ඒ සඳහා සූදානම්ව අනේපිඬු සිටුතුමාටත්, විශාඛාවටත් එම අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කරති. මේ දෙදෙනාගේ පැමිණීම ඉතා වැදගත්යැයි ඔවුහු කල්පනා කළහ.
ඔවුන්ගේ සහභාගිත්වය නොමැතිව දෙන දානයෙහි බැබළීමක්, වටිනාකමක් නැතැයි සිතූහ. දානය දෙන්නේ කෙසේද? දන්බෙදන්නේ කෙබඳු ආකාරයට ද? භික්ෂූන් වහන්සේගේ ඕනෑ එපාකම් මොනවාද? එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍රවාරිත්‍ර මොනවාදැයි මේ දෙපළටම හොඳ අවබෝධයක් තිබුණි. මේ දෙදෙනා සිටින තැන භික්ෂූන් වහන්සේ ද පි‍්‍රයශීලිව හොඳින් දානය වළඳති. මෙසේ බොහෝ ඉල්ලීම් අනුව පිටත නිවෙස්වල දානමය පින්කම් සඳහා නිතර සහභාගි වන නිසා තමන්ගේ සිටු මැදුරුවල නිතිපතා පිරිනමන දානමය පින්කමට සහභාගි විය හැකි අවස්ථා අවම විය.

කාන්තා ලොවට මිණි පහනක් වූ යශෝධරා වත


ගැඹුරු දහමක් වටහාගත නොහැකි ඇතැම් ගැමි ජනතාව පුණ්‍ය සංකල්ප දෙසට යොමු කරවමින් ජනතාවගේ ජීවන ගතිපැවතුම් දිගුකලක් තිස්සේ සදාචාරවත් බව තුළ රැඳවීමට බෞද්ධ කතා සාහිත්‍ය විශිෂ්ට මෙහෙවරක් ඉටුකර ඇත. අතීත ශ්‍රී ලංකාවේ ජන සමාජය යහමගට යොමුකරවන ලද්දේ බෞද්ධ කථා සාහිත්‍ය මගිනි.


මහනුවර යුගයේ ලියවුණ කෘතියක් බවට බෝහෝ දෙනා විශ්වාස කරන යශෝධරාවත කාව්‍ය බොහෝ සේ වටිනා කෘතියක් වේ. මෙම කෘතිය තුළින් ආගමික වශයෙනුත්, සාහිත්‍ය වශයෙනුත් වටිනා කාරණා රැසක් පිළිඹිබු කෙරේ. බෞද්ධයන්ට පමණක් සීමා නොවන යශෝධරාවත කෘතිය අන්‍යාගමිකයන්ට පවා වටිනා කෘතියක් ලෙස සදහන් කළ හැකි ය. එම කෘතියෙහි සඳහන්ව පවතින පතිභක්තියෙහි ඇති වටිනාකම සමස්ත කාන්තා පරපුරටම ආදර්ශවත් බවක් එක් කරයි.
යශෝධරා දේවියගේ චරිතයේ වැදගත් අවස්ථා ඒකරාශී කොට ධම¡ ගෞරවය ගොඩනැගෙන පරිදි සංවේදී බව ආරක්ෂා කරගනිමින් රචනා කර ඇත. බෝසතාණන් වහන්සේ මවගෙන් වරම් ලබා, දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා, අනේක ජාති සංසාරයෙහි උප්පත්තිය ලබමින්, අනේක දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ජීවිතය කැප කරමින් පාරමිතා පූරණය කරමින් අවසාන වශයෙන් වෙස්සන්තරව උප්පත්තිය ලැබූ ආත්මභවයේදීත් දරුවන් දන්දුන් ආකාරයත්, සිදුහත් චරිතය හා අවසන් භවයෙහි යශෝධරාවන් වී ලෞකික සැප සම්පත් විඳි ආකාරයත්, සිදුහත් කුමරු තපසට ගිය පසු විරහ වේදනාවෙන් සන්තාපයට පත්වූ ආකාරයත් කවියා සංෙවිදීව ඉදිරිපත් කර ඇති ආකාරය අන්තර්ගතය වශයෙන් සඳහන් කළ හැකි ය. ගතවූ සෑම ආත්මභවයේදීත්, වෙස්සන්තර වූ අවසාන ආත්මභවයේදීත් සහකාරිය හෝ දේවිය වශයෙන් යශෝධරා දේවිය පැමිණි ආකාරය පැහැදිලි ය. බෝසතාණන් වහන්සේ ඉපදීිම කෙළවර කරනු ලැබූයේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීමෙන් අනතුරුව ය. මහාමායා දේවිය දුටු සිහිනය, සිද්ධාර්ථ කුමරා උප්පත්තිය ලැබීම පිළිබඳව යශෝධරා වතෙහි සඳහන් වේ.
සිද්ධාර්ථ කුමරා ගිහිගෙය අතහැර පැවිදිවීමට සිතූ ආකාරයත් අභිනික්මන් කරන අවස්ථාවේ දී යශෝධරා දේවිය හා රාහුල කුමරුත් දෙස අවසන් වරට බැලු ආකාරයත් මෙසේ සඳහන්වේ.

නැතිකර ගත යුත්තේ තරහව ද? තරහකරුවන් ද?


තරහව ද්වේෂය පාලනය කරගත් තරමට ලාභ වාසි අත්වේ. ඉවසීම නිවට කමක් හෝ දුර්වල කමක් නොව උදාරතර ගුණයකි. මෙම ගුණය සකසා නොගැනීම තුළ තමන්ට මෙන්ම සමාජයට මහත් අවැඩක් සිදුවේ. ජාතිකත්වය හෝ ආගමික නැමියාව තව පිරිසක් පීඩාවට පත් කිරීම සඳහා යොදා නොගත යුතුය."
ද්වේෂය නම් යම් දෙයක් හෝ යම් කිසි කාරණයක් නිසා අපේ සිතේ ඇතිවන නොසතුටයි. පි‍්‍රය නොවන, නොරිස්සුම් සහගතබවයි. සාමකාමී පරිසරය හීන වී අසහනය, අසමගිය ගොඩනැඟෙන්නේ, ද්වේෂය මූලික වීම හේතුවෙනි. ප්‍රතිඵලය වන්නේ සහජීවනය පළුදුවීමයි. කෙලෙස් අතර ශාරීරිකව හා මානසිකව පුද්ගලයා දුර්වල කරන ක්ලේෂය ද්වේෂයයි. ලෝකයේ බොහෝ ගැටුම්, මිනීමැරුම් ඇතිවන්නේ අවි ආයුධ නිසා නොව ද්වේෂය නිසාය.
ද්වේෂය නිසා පළමුව හානිය සිදුවනුයේ ද්වේෂය ඇති තැනැත්තාටය. කෙසෙල් ගසක කැන වැටුනු පසු ගස කපා ඉවත් කරයි. උක්,අන්නාසි වැනි ඵලදාවන්ගේ තත්ත්වය ද මෙසේම ය. යමෙක් ද්වේෂයෙන් ආතුරවු තැන ඇතිවන්නේ මෙවන් තත්ත්වයකි. සසරේ දී අප නැතිකර ගත යුත්තේ තරහ ගතිය මිස තරහකරුවන් නොවේ. ලෝකයේ කිසිම ආගමක් ද්වේෂය, වෛරය තරහ ගතිය අනුමත නොකරයි. පළමු, දෙවන ලෝක යුද්ධයන් ඇති වීම හා හිරෝෂිමා නාගසාකි නගර තුළ ඇතිවු ඛේදවාචකයන්ට මූලය මෙම ද්වේෂයයි. ද්වේෂය තුළ රාජ්‍ය රාජ්‍යන් අතරද, මව්පියන් දරුවන් අතර ද, අඹුසැමියන් අතර, ආගම් අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වේ. මේ තුළ නැතිවන්නේ අන්‍යෝන්‍ය සබඳතාවයයි.

තාවකාලික දිනුම්

වර්ග, පාට, ආගම් ගැටුම් නිරන්තරව ඇතිවන්නේ මිනිස් සිත තුළ ද්වේෂය ඇති බැවිනි. මෙවන් ගැටුම් නිරන්තරව වර්ධනය වීම රටකට සුබවාදී තත්වයක් නොවේ. රටක් ආර්ථික සාමාජික ලෙස පසුබෑමට පත්වීම මේ තුළ නොවැළැක්විය හැකි ය. දියුණු ජන කොටස් විසින් එවැනි පුද්ගලයන්, රාජ්‍යයන් ප්‍රතික්ෂේප කරනු ලබයි.

සදහම් දැනුම

ප්‍රශ්නය
සුමන සාමණේරයන් වහන්සේ විසින් වැඩම කරන ලද බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිදන් කොට අනුරාධපුර යුගයේ කරවන ලද ස්ථූපය කුමක්ද?
පිළිතුර
අනුරාධපුර පූජනීය පෙදෙස් පිහිටි ථූපාරාමය
ප්‍රශ්නය
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ආරම්භ වී සත්මසකින් අවසන් වූ සංගායනාව කුමක් ද?
පිළිතුර
අජාසත් රජතුමා දවස රජගහනුවර සප්තපර්ණී වේහාර පර්වත පාමුල පිහිටි ගුහා ද්වාරයෙහි ඉදිකරන ලද ශාලාවෙහි පවත්වන ලද පළමුවන සංගායනාව වේ. එහි මුලසුන තෘතීය මහා ශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උසුලන ලදී.

පින ඇවැසි අය


පෙර ලක්දිව ‘තිස්සදන’ නමින් නගරයක් තිබුණි. ඒ නගරයේ ‘වත්තේගම’ ලෙසින් ගමක් විය. ඒ ගමෙහි ධාර්මිකව ජීවිකාව කළ තුණුරුවන් කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් පැහැදී සිටි මහාදේව නම් උපාසකයෙක් වාසය කළේ ය.
ඔහු ජීවිකාව ලෙස ඈත වනයේ කුඹුරක් වපුරයි. ගොයම් කපන කාලයේ ඒ කුඹුරු අසල පැලක් සාදාගෙන ගොයම රකියි.
දිනක් මැදියම් රැයේ දී එක්තරා පේ‍්‍රතයෙක් හඬමින්, විලාප කියමින්, ආහාර ඉල්ලමින් මහමඟ යමින් සිටියේ ය. ඒ ශබ්දය ඇසුණු මහාදේව “මිනිසුන් නැති වනයේ රාත්‍රියේ දී ආහාර ඉල්ලමින් දුකසේ හඬමින්, වැළපෙමින් මෙසේ ගමන් කරන නුඹ කවරෙක්දැයි” ඇසී ය.
”මිත්‍රය, මම මනුස්ස ලෝකයේ ජීවත් වූ අයෙක්මි. ඒ ජීවිතයේ මසුරුබව නිසාම මරණින් පසු පේ‍්‍රත ලෝකයේ ඉපදුණි.මා කළ පව්කම් බොහෝ ය. මා අවට සිටින පේ‍්‍රතයන්ට බොහෝ සැප තිබේ. ඔවුන් කා බී සැපසේ සිටිති. බොහෝ ආභරණවලින් සැරසී ඇත්, අස්, රිය ආදියෙහි නැඟී කැමැති දිශාවලට ගමන් කරති.
”ඔබට නැති, ඔවුන්ට ඇති මේ සැප කො තැනින් ලබන්නේ ද?” මහාදේව ඇසී ය.

ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙමු

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසුබවාදී දහමක්වත් සුබවාදී දහමක්වත් නොවෙයි. යථාර්ථවාදී දහමක්. ඇත්තටම එය දර්ශනයක්. දර්ශනයක් කියන්නේ අදහන දෙයක් නෙවෙයි. පිළිපැදිය යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘ඒහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ’ යනුවෙනි. එන්න බලන්න. තම තමන්ම දැන ගන්න. අවබෝධ කරගන්න. බුද්ධ යන වචනයේ අර්ථයත් අවබෝධය යන්නයි.
යමක් විශ්වාස කිරීම ඉතා පහසුයි. එහෙත් යමක් අවබෝධ කර ගැනීම ඉතා අපහසුයි. දැනුම සහ අවබෝධය අතරත් ලොකු වෙනසක් පවතිනවා. බොහෝ දෙනාට ධර්මය පිළිබඳ ව ඉහළ දැනුමක් තිබෙනවා. එහෙත් අවබෝධයක් නැහැ. බුදු සමය පෙන්වා දෙන්නේ මිනිසකු වශයෙන් ජීවත් විය යුතු හොඳම ක්‍රමය. එම නිසා ඔබ තේරුම්ගන්න. බුදුදහමේ පෙන්වා දී ඇති වටිනාකම් සිතසිතා සිටීමෙන් හෝ සාකච්ඡා කර කර සිටීමෙන් කිසිදු පලක් නෑ. එය පිළිපදින්න ම ඕනෑ. එහි අන්තර්ගත ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයෙහි භාවිතාවෙන් අත්හදා බැලිය යුතු යි.
කනගාටුවට කරුණ අද අපේ බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් අනුගමනය කරන්නේ ජනපි‍්‍රය බුදුදහම විමයි. ජනපි‍්‍රය බුදුදහම තුළ මුල් තැන දී තිබෙන්නේ ඇදහිලි විශ්වාස හා පුද පූජාවලට. මෙය බුදුදහමේ හරය නොවේ. පුද පූජා, වැඳුම්, පිදුම්, නරකයි කියලා කියන්නෙ නෑ. එය සිදු කිරීමත් හොඳයි. නමුත් ඔබ මුල් තැන දිය යුත්තේ දර්ශනයට, ධර්මයට.
බුදුරජාණන් වහන්සේ සැබැවින්ම බලාපොරොත්තු වූයේ උන්වහන්සේගේ ප්‍රතිරූපය වන්දනා කිරීම නොවේ. බුදුරජාණන් වහන්සේ අපේක්ෂා නොකළත් ඒවාට වැඳුම් පිදුම් කිරීම හොඳයි. එහි කිසිදු වරදක් නැහැ. නමුත් ඔබ කළ යුත්තේ උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මාර්ගයෙහි යාමයි.

පන්සිල් රැකීමෙන් අකල් මිය යෑමෙනුත් වැළකෙයි


ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමාවන් සිතට ගෙන මෙනෙහි කිරීමෙන් තමාට ඉමහත් ශක්තියක් ගොඩ නංවා ගන්නට පුළුවනි. ඉවත දමන කෙළ පිඬක් සේ ඇලීම ගැටීම තුරන් කරන්න භාවනාව ඉවහල් වෙයි.
පින් මද වූවෝ මරණසතියට බිය වෙති. සත්ත්ව ඝාතන ආදී පව් කරන අය, මව් පියන්ට නොසලකන අය මරණයට බිය වෙති. පන්සිල් රකිමින්, මව් පියන්ට සළකන්නෝ මරණයට කිසිවිටකත් බිය නොවෙති. සැවොම පන්සිල් රැකිය යුතුම ය. තුණුරුවන් නැමැදිය යුතුම ය. දාන මානාදී පින්දහම් පිරිය යුතුම යි, බණ ඇසීම, බවුන් වැඩීම කළ යුතුම ය. මෙවැනි වතාවත් සපුරන්නෝ කිසිම අඩු පාඩුවක් නොමැතිව තම දිවි ගමන සුවපත් කර ගනිති.

Monday, January 1, 2018

හිතින් හදාගත් ලෝකයක අතරමං වනවා ද?

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චිත්තෙන නීයති ලොකො
චිත්තෙන පරිකස්සති
චිත්තස්ස එක ධම්මස්ස
සබ්බෙව වසමන්වගු


පින්වත්නි

ඔබගේ ධර්මාවබෝධය සඳහා අද මාතෘකා කළ මේ ගාථාව සංයුත්ත නිකායේ චිත්ත සූත්‍රයේ එන ගාථා ධර්මයක්. දිනක් එක් දේවතාවියක් බුදුරජාණන් වහන්සේගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසුවා ය.
“කෙනස්සු නියතී ලොකො – කෙනස්සු පරිකස්සති, කිස්සස්ස එක ධම්මස්ස, සබ්බෙව වසමන්වගු “ලෝකය කුමකින් පමණුවනු ලැබේ ද? කුමකින් එහා මෙහා අදී ද? සියල්ලෝ ම කවර වූ එක් ධර්මයක වසඟයට ගියාහු ද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන තථාගතයන් වහන්සේ ඉහත ගාථාව ප්‍රකාශ කරමින් , සිත විසින්ම ලෝකය පමුණුවනු ලැබේ. සිත විසින් ම එහා මෙහා අදිනු ලැබේ. සියල්ලෝම සිත නමැති එකම ධර්මයාගේ වසඟයට ගියාහු ය. යනුවෙන් පිළිතුරු දී ඇත.
බාහිර ලෝක පිළිබඳව සිත ක්‍රියාත්මක වන ආකාරය මේ ගාථාවෙන් පෙන්වයි. ලෝකයේ පවතින සෑම දෙයක්ම සිතට යටත්ව පවතී. ලෝකයේ ඇති දේ හඳුන්වා දෙන්නේ සිතින් ය. ඒ ඒ වස්තූන් හා සම්බන්ධ වටිනාකම් පිළිබඳව එහාට මෙහාට අප ගෙන යනු ලබන්නේ ද සිත විසිනි.

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය

"දුරුතු පුර පසළොස්වක පොහෝ දින ලංකා බෞද්ධයින් ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. උන්වහන්සේ මෙරට බුදුදහම ස්ථාපිත වන බව දිවැසින් දුටු නිසා ශ්‍රී ලංකාද්වීපය කෙරෙහි විශේෂ සැලකීමක් තිබූ බව මෙයින් පෙනේ."

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ.

දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක.

Friday, December 29, 2017

පින්බර චුති සිත දෙව්ලොව උපත ගෙනෙයි


 මනු ලොව දී නිවනින් සැනසෙන්නට උත්සාහ නොදරා වෙනත් පිනක බල මහිමයෙන් මෙලෙස දෙව් ලොව උපත ලබන පින්වත් අය ද සිටිති. ඔවුහු දිව්‍ය සැප සම්පතින්, දිව්‍ය කාමයන්ට මුසපත්ව, නන්දන වනයට පිවිසෙමින් දෙවි දේවතාවුන් පිරිවරාගෙන ප්‍රීතියෙන් කාලය ගෙවති. ඇතැම් අය තමන්ගේ පින ගෙවී අවසන් වෙද්දී දිව්‍ය ලෝකයෙන් චුතව නැවත සතර අපායගාමී වෙති."

කවර ආගමක, කවර දෘෂ්ඨියක සිටිය ද, අසරණයෙකුට අනුකම්පාවෙන්, කරුණා පෙරදැරි ව උදවු උපකාර කිරීම පින්කමකි. මෙවැනි පින්කම්වල නියැළෙන ඇතැම් පිරිස් රැස් කරගන්නා පිනේ මහිමයෙන් සුගතියක උපත ලබයි. ඇතැම් විට දිව්‍ය තලවල පවා උපත ලබන්නට භාග්‍ය ලබයි. නමුත්, ඒ අය දෘෂ්ටි වශයෙන් සම්මා දිට්ඨියක් තුළ උපත ලබා නැහැ. එවැනි දෙවිවරුන්ට දෙව්ලොව දී ධර්මය ඇසුණ ද, ඒ අය ධර්ම මාර්ගයට යොමු වන අවස්ථා දුලභ ය. එහෙත් ඔවුහු සැප සම්පත්වල, දිව්‍ය කාමයන්හි මුසපත් වී විනෝදයෙන් සතුටෙන් ජීවිත ගත කරති. එවැනි දෙවිවරු චුත වන්නේ කෙසේද? යන්න බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි.

‘මහණෙනි, බොහෝ දෙවිවරු පෙර පිනේ මහිමයෙන් දෙව් ලොව උපත ලබති. විමාන වත්ථුවෙහි සිය ගණනක් කතා අතර ඇත්තේ පෙර පින් මහිමයෙන් දෙව් ලොව උපත ලැබූ දෙවිවරුන්ගේ කතා පුවත් ය. එහි එක්තරා පින්වන්තියක්, මුගලන් මහ රහතන් වහන්සේට මෙලෙස පවසා ඇත. “ස්වාමීනි,

දිවි මඟට අත්‍යවශ්‍ය ප්‍රත්‍යක්ෂ ඤාණය ( ආර්ය පර්යේෂණ සූත්‍රය )

ධර්ම මාර්ගයතුළ යමක් අසන්නේ ද, එය මැනවින් සිතේ දරාගෙන එහි වෙසෙමින් දැනීමට පමණක් සීමානොකොට ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කෙටගෙන ම ඉදිරියට යා යුතු ය."
මෙම දහම් කතාව කියවන හැම කෙනෙකුට ම බෝධිසත්වයන් වහන්සේ ආර්ය පර්යේෂණයේ දී පිළිවෙළින් තමන් වහන්සේ අවබෝධ කරගෙන පැමිණි ගමන පිළිබඳව අවබෝධයක් ඇතිකර ගත හැකියි.
මේ සූත්‍ර දේශනාව කියවා සිතින් අමතක නොකොට අපගේ ධර්ම මාර්ගයට එකතුකරගත යුතු කුමක් දැයි සිහිපත් කළ යුතුයි. මුල පටන් ම ඇති කරගත් අවබෝධයෙන් නිවන් මඟ ගමන් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ ශ්‍රද්ධාවට පමණක් සීමා නොවී තමන් විසින් ම ප්‍රත්‍යක්ෂ කොටගෙන ම ඉදිරියට යා යුතු බව මේ ධර්ම කතාවෙන් පැහැදිලියි.
බොහෝ පිරිසක් ඇසූ දහම් කරුණු මතකයේ තබා ගනිමින්, තම ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අවබෝධ කර නොගනිමින් ඉදිරියට යෑමෙන් ධර්මයේ සැබෑ ප්‍රතිඵල නොලැබෙන බව පැහැදිලියි. මේ නිසා පිළිවෙලින්

අනුපුබ්බ සික්ඛා
අනුපුබ්බ කිරියා

අනුපුබ්බ පටිපදා යනුවෙන් ධර්මයේ පැහැදිලි කරන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. එනම් අනුපූර්ව ක්‍රමයෙන් ම අප ඉදිරියට ගමන් කළ යුතුම ය. ආර්ය පර්යේෂණ සූත්‍රයෙන්, බෝධිසත්වයන් වහන්සේගේ ධර්ම පර්යේෂණයෙන් අපගේ ජීවිතවලට ද එකතු කර ගත යුතු වූ දහම් උපදේශය එයයි.
ධර්ම මාර්ගය තුළ යමක් අසන්නේ ද, එය මැනවින් සිතේ දරාගෙන එහි වෙසෙමින් දැනීමට පමණක් සීමානොකොට ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කෙටගෙන ම ඉදිරියට යා යුතු බව මේ අනුව පැහැදිලි ය.

කෙලෙස් සතුරන් නැති කළ සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 12


" අපගෙන් යමක් පැහැර ගන්නේ සතුරෝ. ඒ වගේ අපේ කුසල් සිත, අපේ හොඳ හිත, අපේ පින් හිත, අපේ ශ්‍රද්ධා සිත පැහැර ගන්නවා. කවුද? අශ්‍රද්ධාවත් සතුරා. අපේ වීර්යය පැහැර ගන්නවා කවුද? කුසීත නමැති සතුරා. අපේ ඒකාග්‍රතාවය පැහැර ගන්නවා. උද්ධච්චය නමැති සතුරා. ඔය විදිහට ගත්තහම කෙලෙස් සතුරෝ තමයි අප විනාශ කරන්නේ."

එක් එක් ඉතිහාස කතාවන් හි සඳහන් පරිදි අපේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේ උන්වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයන්ට කතා කරන්නේ වසලයා කියා යි. වසලයා කියා කතා කරනවිට මිනිසුන් කළකිරෙනවා. ඉන් පසුව චෝදනාවක් ලෙසින් මේ කාරණය බුදුපියාණන් වහන්සේ ළඟටත් ආවා. තථාගතයන් වහන්සේ මහා සංඝ රත්නයට මතක් කළේ ‘ඔය පිලින්දවච්ඡ මීට ආත්ම පන්සීයක් එනම් එක දිගට ම ආත්ම පන්සීයක් බ්‍රාහ්මණ කුලයේ ඉපදිලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ තේජස නිසා ඒ කාලයේ මිනිස්සුන්ට කතා කර තියෙන විදිහ ‘වසලය, වසලයා’ කියා යි. ඒ අතීත පුරුද්ද තමයි අදටත් එන්නේ. ඒවා කෙලෙස් සිතෙන් මතුවෙන වචන නෙමෙයි පුරුද්දට කියවෙන වචන යි.


දැන් එහෙනම් බලන්න, බුදුපියාණන් වහන්සේත් එවැනි වචනයක් කිව්වොත් කොහොම වෙයි ද? බුදුරජාණන් වහන්සේට ඒ වාගේ සසර පුරුදු නැහැ. ඒ වාගේ සසර පුරුදු තිබුණොත් මිනිස්සු කළකිරෙනවා. එතකොට මිනිස්සු ප්‍රසාදයට පත්වන්නේ නැහැ. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ සසර පුරුදු නැති කළා.

මධ්‍යස්ථව ඉවසිය යුතු දුක සහ සැප

" සද්පුරුෂයන් සැප විඳින කාලයේදීත්, දුක් විඳින කාලයේදීත් ශාන්තව සිටියි. කලබලයට පත් නොවේ. නුවණැති සද්පුරුෂයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන සෑම දෙයක් කෙරෙහි ම ඇති ආශාව දුරු කරන්නේ අවබෝධයෙන් ම ය. සිතේ එක් ආශාවක් තබාගෙන වචනයෙන් තව එකක් නො කියයි. දුකක් වුවත්, සැපයක් වුවත් ඉවසා ගැනීමට ඒ නුවණැත්තන්ට හැකි ය."
වේරඤ්ජ නම් බ්‍රාහ්මණ ගමකි. එහි ගම් ප්‍රධානියාගේ නාමය ද වේරඤ්ජ විය. පන්සියයක් භික්ෂුන් වහන්සේ සමඟ අප භාග්‍යවතුන් වහන්සේ වස් කාලය ආසන්නයේ වේරඤ්ජ ගමට වැඩි සේක.

වේරඤ්ජ බමුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසා තිබුණේ වැරැදි, අභූත, අසත්‍ය කරුණු ය . එනිසාම මේ බමුණාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැහැදීමක් හට ගෙන තිබුණි.


වස් කාලයේ භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ ගමට වැඩි අවස්ථාවේ දී බ්‍රාහ්මණයා තමා පිළිගෙන තිබෙන කරුණුවල සත්‍ය අසත්‍යතාව විමසී ය. ඔහුට ලැබුණ පිළිතුරුවලින් පැහැදීමට පත් ඒ බමුණා තෙරුවන් සරණ ගියේ ය.
”භාග්‍යවතුන් වහන්ස, මේ එළඹෙන්නේ වස්සාන කාලය යි. ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වේරඤ්ජ ගමේ වස් සමාදන් වේ නම්, එය අපට මහත් වූ යහපතකි.”බමුණා කළ ආරාධනය භාග්‍යවතුන් වහන්සේ පිළිගත් සේක.
නමුත් සිදුවූයේ නො සිතූ දෙයකි. තමන් විසින් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට වස් විසීමට ආරාධනා කළ බව ඒ තුන් මස පුරාවටම මාරයා සිත වැසීම නිසා වේරඤ්ජ බ්‍රාහ්මණයාට අමතකව ගියේ ය. දානය නො මැති නිසා භික්ෂුන් වහන්සේ දින ගණන් නිරාහාරව සිටිය හ. භික්ෂූන් වහන්සේලා අශ්ව වෙළෙඳුන් සමූහයක් නවාතැන් ගෙන සිටි ස්ථානයකට පිඬුසිඟා වැඩ එහි දී ලැබුණ යව හාල් වතුරෙන් පොඟවා කොටා මී පැණි මිශ්‍රකොට වැළඳු හ.

පුද්ගල විවිධත්වය

ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ දේශනා කළාවූ ශ්‍රී සද්ධර්මය සරවකාලීන වූ දහමක් වේ. උන්වහන්සේ පුද්ගල ස්වභාවය අධ්‍යයනය කරමින් ධර්මය දේශනා කළ සේක.අඳුරෙන් අඳුරට යන පුද්ගලයන්ද, අඳුරෙන් එළියට යන පුද්ගලයන්ද සිටින බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පුද්ගල ස්වභාවය අනුව යම් යම් උපමාවන් භාවිත කරමින් ධර්ම කාරණා පැහැදිලි කළ අවස්ථාවන් දක්නට ලැබේ. ඇතැම් දිනවල ගොරවනවා මිස එක වැහි බිඳුවක් වහින්නේ නැත. අහසට සාප කරන ඇතැම් පුද්ගලයන්ද ගර්ජනා කරනවා මිස ප්‍රතිපලදායක වැඩක් කරන්නේ නැත. කතාව පමණ ය. වැඩක් නැත. කතාව දෝලාවෙන් ගමන පයින්ය. ගර්ජනා කරන වැහි වළාකුළු මෙන්ය. ඇතැම් වළාකුළු ගර්ජනා නොකළ ද වර්ෂාව ලැබේ.

නමුත් අප එම වැස්සට කැමැති නැත. ඇතැමුන් ගර්ජනා නැති වුව ද කළ යුතු කාර්යභාර්ය ඉෂ්ට කරන පුද්ගලයන් බව මතක තබාගත යුතු ය. ඔවුන් කළ යුතු කාර්ය කරන, වැඩිය යුතු දෙය වඩන, සාක්ෂාත් කළ යුතු දෙය සාක්ෂාත් කරන, අවබෝධ කළ යුතු දෙය අවබෝධ කරගන්නා පුද්ගලයන් ය. එවැනි පුද්ගලයන් ලෝකයට නොපෙනෙන නිසා ප්‍රයෝජනයක් ලබාගැනීම ද අපහසුය.
කැලයට පිපුණ මල් මෙන්ය. මානව සම්පත කළමනාකරණය කිරීමේ දී එවැනි පුද්ගලයන් පිළිබඳ සැලකිළිමත් විය යුතු ය. ගොරවන්නේත් නැති ,වහින්නේත් නැති වැහිවළාකුළු ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඇතැම් පුද්ගලයන් ශබ්දයක් නැත. වැඩකුත් නැත. පෙනෙන්න මොකුත් ඇත්තේ ද නැත.

බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැත

‘එවමෙව ඛො රාහුල, යස්ස කස්සචි සම්පජාන මුසාවාදෙනත්ථි ලජ්ජා, නාහං කස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි’
පින්වත්නි,

අද ධර්මදේශනාවෙන් ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේ සැට එක් වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ සඳහන්වන වැදගත් කාරණයක් පිළිබඳවයි. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කළ සූත්‍රයක්. රාහුල පුංචි හාමුදුරුවන් පිළිබඳව අප කවුරුත් හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ යසෝධරා දේවිය තම සත් හැවිරිදි පුතු රාහුල කුමරුට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී උන්වහන්සේගෙන් තමාට හිමි දායාදය ඉල්ලා ගන්නා ලෙස කියා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. තම උරුමය ඉල්ලා සිටි රාහුල කුමාරයාට දිය හැකි උතුම්ම දායාදය හිමිකර දීම සඳහා ඔහු පැවිදි කරවන ලෙස සැරියුත් හිමියන්ට නියම කළා. ඒ වන විට බුදු සසුනේ පැවිදිව සිටි විසිදහසක් පමණ වූ සියලුම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කළ අයයි. යමෙක් තමාට පැවිදිවීමට අවශ්‍යයයි බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට තමන් වහන්සේගේ 

Wednesday, December 27, 2017

තිසරණ සරණේ මහිම ය

අප රටේ රුහුණු ජනපදයේ සිය ජීවිකාව ගැල් කර්මාන්තය කරගත් එක් පුද්ගලයෙක් විසී ය. ඔහු දිනක් සහලින් පිර වූ කරත්තයක, නැග දුරු රටකට ගමන් කරමින් සිටියේ ය. ගැල ඇදගෙන ගියේ මහදත්ත නම් වූ ගවයකි. ගැඹුරු මඩ සහිත තැනක දී ගැල මඩෙහි එරුණි. මහදත්ත ගැල ඇදීමට මහත් වෙහෙසක් ගත්තේ ය. වෑයම අසාර්ථක විය. ගැල් හිමිකරුවා ගවයාට මෙසේ කීවේය. “නුඹ මේ ගැල අද ගොඩට අඳින්නේ් නම්, මින්පසු කරත්තයෙහි නුඹ නො බඳින්නෙමි”.
එය ඇසූ මහදත්ත උත්සාහයෙන්, වීර්යයෙන් ගැල අඳින්නට විය. හය වරක් උත්සාහ කළේ ය. එහෙත් මහලු බව නිසාම ගැල ඇදගත නො හැකි විය. සත්වෙනි වාරයේ දී වේගයෙන් ගැල ඇදීමේ දී ගවයා බොහෝ දුර්වල විය. එතැනම වැටුණේ ය. ගැල්කරු මහදත්ත එහි හැර දමා අන් ගවයෙකු ගැලෙහි බැඳ යන්නට ගියේ ය.
මරණාසන්න මහාදත්ත අසලින් එක්තරා වළං සාදන්නෙක් ගමන් කළේ ය. ඔහු ගවයා ජීවත් ව සිටියදී ම සම ගලවාගෙන මැටි ඇනීම පිණිස ගෙන ගියේ ය. තූර්ය භාණ්ඩ සාදන්නෙක් වීණාවක් සෑදීමට ගවයාගේ නහර කපාගෙන ගියේ ය. ඒ අසලින් ගිය වැද්දෙක් සුනඛයාට යැයි කියා ගවයාගේ මස් කපාගෙන ගියේ ය. අසළින් සිටි සුනඛයෝ වැටී සිටි ගවයාගේ මස් ඉරාගෙන ආහාරයට ගත්හ. මෙසේ ඒ ගවයා බොහෝ සේ දුකට පත් විය.

බුදු දහමේ මානව සම්පත් කළමනාකරණය

තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ ජීවමාන සමය තුළ ප්‍රායෝගිකව ගොඩනැඟූ ශාසනයෙහි මානව සම්පත කළමනාකරණය කිරීමේ දී කුලය, ජාතිය, වර්ගය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය සමාජ ස්වභාවයන් හේතු කොටගෙන උසස් හෝ පහත් ලෙස නොසැලකීම විශිෂ්්ට ලක්ෂණයක් විය. මානව සම්පත නිවැරැදිව යොදාගැනීමට සිතන ඕනෑම පුද්ගලයෙකු විසින් එම දාර්ශනික පදනම නිවැරැදිව හඳුනා ගත යුතු ය. මෙවැනි කාරණාවන් දෙස බැලීමෙන් තථාගත ධර්මය මානව සම්පත කළමනාකරණය කළ ආකාරය පැහැදිලි ය.
බ්‍රාහ්මණ කුලය මත ලබාදෙන තනතුර හෝ පවරන කාර්යය තථාගත දේශනාවෙහි අන්තර්ගත වී නැත. ක්ෂුද්‍ර කුලයෙන් පැමිණිය ද යන්න තීරණය වී නැත. ගංඟා හතරෙහි ම ජලය මුහුදට පැමිණි පසු එකම ලවන රසයෙන් යුක්ත ය.

ප්‍රඥාවෙන් අගතැන් සැරියුත් මහ රහතන් වහන්සේ

ප්‍රඥාවෙන් බුදු රජාණන් වහන්සේට පමණක් දෙවැනි වූයේ සැරියුත් මහරහතන් වහන්සේ ය. වංගත බමුණාගේ සහ රූපසාරී බැමිණියගේ පුත්‍ර රත්නයක් ලෙස ඉපදුණි. සාරී බැමිණියගේ පුත්‍රයා වූ බැවින් සාරිපුත්ත යන නමින් ප්‍රකට විය.
උපතිස්ස තෙමේ පසු කලෙක රජගහ නුවර ධර්ම ප්‍රචාරයේ යෙදුණු අස්සජි මහ තෙරුන් වහන්සේ දැක පැහැදී අවසානයේ දහම් ඇස පහළ කර ගත්තේ ය. අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ සතර පද ගාථාවෙන් පළමු පද දෙක අසා අවසන් වනවාත් සමඟ ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසුව තම මිතුරා වූ කෝලිතට ද තොරතුරු දන්වා බුදුරදුන් වෙත ගොස් “ඒහි භික්ඛු” භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවේ ය.
ඉන් සති දෙකක් ඇවෑමෙන් පසු බුදුරදුන් රජගහ නුවර ”සූකරඛත” ලෙනේ දී සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ “දීඝනඛ” පරිබ්‍රාජකයාට දේශනා කළ ධර්මය අසා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් විය. ඒ බව උන්වහන්සේ ථෙර ගාථා පාලියේ දී මෙසේ දක්වා තිබේ.
“භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනෙකෙකුහට ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව යොමු කළ කන් ඇති ව ඉතා හොඳීන් ශ්‍රවණය කළෙමි. එය හිස් එකක් නොවී ය. ඒ දහම් ශ්‍රවණය කළ මම සියලු කෙලෙසුන් නසා මහරහත් බව ලැබුවෙමි.”මහා ප්‍රඥාසම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ ය. එසේ ම බුදුරදුන්ගේ දකුණත් සව් තනතුර දැරුවේ ද, ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ ය. සැරියුත් මහරහතන් වහන්සේ ගේ චරිතය තුළින් යහපත් දිවියකට කැමති ඕනෑ ම පුද්ගලයෙකුට ගත හැකි ආදර්ශයන් බොහෝ ය.

සදහම් දැනුම


ප්‍රශ්නය – පරිසරය පිළිබඳව බුදුසමය අවධාරිත දේශනා වර්තමානිකයනට බෙහෙවින් ප්‍රායෝගික ය. බෞද්ධ අධ්‍යයනයෙහි දී විශේෂයෙන් ම දහම් පාසලේ දී ගුරු ශිෂ්‍ය දෙපිරිසම අවධානය යොමුකළ යුතු ය. වාතය (සුළඟ) දූෂණය වළක්වා ගැනීම සඳහා දේශනා පාඨයන්හි සඳහන් කරුණු පැහැදිලි කරන්න.
පිළිතුර – (චුල්ලවග්ග පාලි වත්තක්ඛන්ධ)
දෛනික ජීවිතයෙහි දී වාතය දූෂණයෙන් වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. ඉදින් පෙරදිග වූ දූවිලි සහිත වාතයෝ හමත් නම් පෙරදිගට අයත් (වාබොන) ජනෙල් වැසිය යුතු. ඉදින් පැසීම් දිගට, උතුරු දිගට දකුණු දිගට, උණුසුම් කාලයක නම් (වාකවුළු) ජනෙල් වසා තබා රාත්‍රී විවෘත කළ යුතු ය. ශීත කාලය වී නම් රාත්‍රිය ද වසා තැබිය යුතුය. දවල් විවෘත කළ යුතු ය. නිවහන සහ වටාපිටාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මෙසේ සඳහන් වෙයි. ඉඳින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළි කසළ සහිත වී නම් එය නැමැදිය යුතුය. එසේම දොරකොටුව, උවටැන්හල, ගිනිහල, වැසිකිළිය පැන් නොවී නම් පැන් එලවා තැබිය යුතු ය. වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි ජලය නොවේ නම් එහි ජලය පුරවාලිය යුතු ය.

පාපයෙන් අඳුර කුසලයෙන් ආලෝකය ( මහා කපි ජාතකය )


බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි දෙව්දත් තෙරුන් විසින් උන්වහන්සේට ගල් පෙරලීමේ පුවත පසුබිම්කරගෙන මෙම මහා කපි ජාතකය දේශනා කොට වදාළහ.

දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීම සඳහා විවිධ උපක්‍රම යෙදූ අතර ඒ සියල්ල අසාර්ථක විය. අනතුරුව ගිජු කුළු පව් පා මුල සක්මන් කරන බුදුරදුන් ඝාතනය කිරීමෙහිලා උන්වහන්සේගේ හිස මතට ගලක් පෙරලී ය. දෙව්දත් තෙරුන්ගේ එම ව්‍යායාමය අසාර්ථක වූ හෙයින් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර ඒ පිළිබඳ කතිකාවක් හටගත්තේ ය. දම්සභා මණ්ඩපයේ ඇති වූ සාකච්ඡාව දැනගත් බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙරුන් වර්තමාන භවයේ පමණක් නොව අතීත භවයන්හි ද එසේ කළේ යැයි දක්වමින් අතීත කථාව ගෙනහැර දැක් වූහ.



පෙර භවයක

අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ එක්තරා වන ලැහැබක වඳුරෙකු ව උපන්නේ ය. එකල, එක්තරා ජනපද වැසි ගොවියෙකු තම කුඹුරෙහි සී සා ගවයන් මුදාහැර නියර බඳීමින් සිටියේ ය. බැම්මෙන් නිදහස් වූ ගවයෝ නිදැල්ලේ තණ කමින් මහා වනය දෙසට ගමන් කළහ. ටික වේලාවකින් ගොවියා තම කටයුතු නිමකර ගවයන් ගැන සොයා බලන්නේ උන් කිසිවෙක් එහි නොමැති බව දැන, ගවයන් සොයමින් වනය දෙසට ගමන් කළේ ය. වනයෙහි ඇතුළට වන් ගොවියා එහි අතර මං වූවේ ය. ආ අත හෝ ගිය අත සොයා ගැනීමට නොහැකිව මංමුලා වූයේ කැලෑවෙහි ඒ මේ අත ඇවිද්දේ ය. බඩගින්නෙන් හා පිපාසයෙන් දැඩි ලෙස පෙළුණු ගොවියා ඵල බර එක් තිඹිරි ගසක් දැක එයට නැඟ සිත් සේ තිඹිරි ගෙඩි කඩා කෑවේ ය. තිඹිරි ගෙඩි කඩා කමින් ගස මත සිටින ගොවියා එක් දිරාගිය අත්තක පය තැබීමේ හේතුවෙන් එය බිඳීගොස් ඒ අසල තිබූ මහා ප්‍රපාතයකට ඇද වැටුණේ ය. එයින් ගොඩ ඒ ගත නොහී දින දහයක් ප්‍රපාතයේ සිර වී සිටියේ ය. එක් දිනක බෝසත් වඳුරා තිඹිරි ගෙඩි කෑම සඳහා එහි පැමිණි අතර පහළ ප්‍රපාතයේ වේදනාවෙන් කෙඳිරිගාන මිනිසෙකුගේ හඬ අසා ඒ දෙස බැලී ය.

පරණ හණ මිටි තවමත් කර තබාගෙන ද?


" එහෙත් ඔහු ඊට එකඟ නොවී ය. ඔහු කීවේ තමන් මේ සා කාලයක් විශාල පිරිසකගේ ගුරුවරයෙක්ව සිට, ඒ තත්ත්වය නැති කරගෙන ශිෂ්‍යයකුගේ තත්ත්වයට පැමිණීමට නොහැකි බව ය. හැලියක් වී සිට හැන්දක් වීමට නොහැකි බව ය. එය තමන්ට මදිකමක් වන බව ය. "
ඒ, මානස නම් වූ මනහර විලකි. එහි ස්වර්ණ හංසයෙක් විය. දිනක්, මේ හංසයා ගමනක් යන අතරේ එක් ගසෙක අත්තක වැසුවේ ය. මොහොතකින් එහි කණ කොකෙක් ද ආවේ ය. දෙදෙනා කතා බහට වැටුණි.
“ඔබ ඉන්නේ කොහේද?”
කණ කොකා ස්වර්ණ හංසයාගෙන් ඇසුවේ ය.
“මාගේ වාසස්ථානය අර ඈත තිබෙන මනරම් මානස විලය. එහි රිදීවන් දිය දහරය. නේක වර්ණ පුෂ්පයෝ ද වෙති. සුදුවන් වැලි තලාවෙන් වටවී ය. වටපිටාව ද මල් ගසින් වට වී ය. ‘බොහෝ සුවඳවත් ය’ ස්වර්ණ හංසයා අපූර්ව වර්ණනාවක් කළේ ය. “ඔය විලේ මඩකරියන් එහෙම නැති ද?” නිදිමත ගතියෙන් සිටි කණකොකා ඇසුවේ එපමණකි. හංසයා ගැන හෝ, ලස්සන විල ගැන හෝ දැන ගන්නට කොකාට ආශාවක් නොවී ය. ඇවැසි වූයේ මඩකරියන් ගැන දැන ගැනීම පමණ ය.
සමාජයේ සමහර මිනිස්සු ද එවැනි ය. නොවටිනා දේ පසුපසම යන්නෝ ය. ලබා ගන්නට වෙහෙසෙන්නෝ ය. ඒ සඳහා යන මග ද වැරැදි ය. ක්‍රම ද වැරැදි ය. ජීවිතය ලස්සන කරන දේට වඩා අවලස්සන දේ පසුපසම යන්නෝ වැරැදි දේ ම තෝරා ගන්නෝ ය.

දෙව් ලොව - බඹ ලොව ධර්මය බහුල යි

බුදුන් වහන්සේ වදාළ සේ මනු ලොවට ආසන්නව ම දිව්‍ය කොටසක් සිටී. ඒ ගහ කොළ, කඳු පර්වතයන් ආදී මිනිස් ලොව ඇසුරු කරමින් ඉහළ අහස් තලයේ ජීවත්වන දෙවි දේවතාවුන් ය. ඒ අය හඳුන්වන්නේ භූමාටු දෙවියන් නමිනි. බුදුරජණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ අසිරිමත් මොහොතේ භූමාටු දෙවියන් මුලින් ම ‘බුම්මානං දේවානං සද්ධං සුත්වා චාතුර් මහා රාජිකා දේවා සද්ධ මනුස්සා වේසුං’ යනුවෙන් ප්‍රීති ඝෝෂා නැඟුවා. ඒ හ¾ඩ රැව් පිළිරැව් දී ඉහළ අහස් තලය සිසාරා අකනිටා බ්‍රහ්ම තලය දක්වා දෙවිවරු ප්‍රීති ඝෝෂා නැඟුවා.

පොළොව ආශ්‍රිත දේවතාවන්ගේ ආයුෂයන්හි යම් අඩු වැඩිකම් තිබුණ ද ඊට ඉහළින් පිහිටා ඇති චාතූර් මහා රාජිකයේ දිව්‍ය ආයුෂ එකම මට්ටමක පවතී. මනු ලොව වර්ෂ පනහක් චාතූර්මහා රාජිකයේ එක් දිනයක් ලෙස ගෙවී යයි. එනම්, මනු ලොව අවුරුදු පනහක් චාතූර්මහා රාජිකයේ දෙවියන්ට එක් දවසක් වෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා, මනු ලොව වසර දෙදාස් පන්සිය හැට එකක් අවසන් වෙද්දී එය චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට දින පනස් තුනක් වෙයි. ඒ අනුව චාතූර්මහා රාජිකයේ දෙවිවරුන්ට මාස දෙකක්වත් නැතිවා වගෙයි. ඒ මඟ ඵල ලාභී දෙවිවරුන්ට බුදුන් වහන්සේ ළඟ ළඟ ම පිරිනිවන් පෑවා සේ දැනී යයි.

නොහඬා සිටීමට නම්

බුද්ධාදී උතුමන්ට ජීවිතය පිළිබඳව කිසිම ආශාවක් නැහැ. උන් වහන්සේ තම ආයුෂ ගෙවෙන තුරා ශාසන ප්‍රතිපත්තිය දියුණු කළා. බහුලව ම නිරෝධ සමාපත්තියෙන් තමන් අවබෝධ කරගත් නුවණට සම වැදුණා. ඒ නිර්වාණය බොහොම වැදගත්.


එය මඟ ඵල ලාභී උත්තමයන්ට මිස වෙනත් කිසිවකුට නොලැබුණ සම්පතක්. මහ රහතන් වහන්සේ අවබෝධ කළ නිවන, පූර්ණ සඳ මඬල අහසේ පායනවා සේ අසිරිමත් වූවා. උන්වහන්සේගේ සියලු ම පාපයන් දුරු ව ගියා. නැවත නූපදින තත්ත්වයට සිත සකසා ගත්තා. දස සංයෝජනයන් මුළුමනින් ම ඉවත්ව ආශ්‍රවයන් නැතිව ගියා. රහතන් වහන්සේගේ සන්ථානය බොහොම පිවිතුරුයි. කෙලෙසුන්ගෙන් නිරුද්ධ වූ උන්වහන්සේ අහසේ පාවෙනවා සේ සැනසුමේ සුවයෙන් වෙසෙනවා. ලෝභ, ද්වේශ, මෝහ, මද, මාන ආදී පාපයන් කිසිවක් නොමැති වූ රහත් උතුමෝ මෙලෙස සුවිශේෂී තත්ත්වයට පත් වුණා

එබඳු දිවි මඟට පත්වන්න කවුරුත් වෑයම් කළ යුතු යි. ඒ සඳහා නිබඳව ම දන් පින් පුරමින් සිල්, භාවනා වැඩිය යුතුයි. විශේෂයෙන් ම ගුණ ධර්ම දියුණු කළ යුතු යි. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති ආදිය අංග සතර දියුණුවෙන් සෝවාන් ආදී මාර්ග ඵල ධර්මයන් අවබෝධ කරගන්නට සමත් වෙයි.
ඒ සඳහා ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කළ යුතු යි. එය වරක් දෙවරක් නොවෙයි, සිය වර, දහස් වර, දස දහස් වර මෙනෙහි කළ යුතුයි. එමඟින් තමාට මතුවන කරදර පීඩා බාධක දුරු කළ හැකි යි. අපල පවා සංසිදුවා ගෙන, කායික මානසික සුවයක් මෙන් ම විශාල පිනක් ද ලබා ගන්නට සමත් වෙයි. ඒ පිවිතුරු සිතින් ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමා ආශ්‍රිතව මෙනෙහි කරන්න.
අවමඟුලකට සහභාගි වන ඔබ මෘත ශරීරය දෙස බලා ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ පාඩම මෙනෙහි කළ යුතු යි. ඒ සඳහා උපමාවන් ආශ්‍රයෙන් මරණ සතිය මෙලෙස මෙනෙහි කරන්න.
සියලු සම්පත් වනාහි විපත්තිය කෙළවර කොට ඇත්තාහ. ජීවිත සම්පත්තිය ද මරණයෙන් කෙළවර වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි මරණය නියත යි,

Monday, December 25, 2017

විශිෂ්ට ඤාණයෙන් අවබෝධයට ( ආර්ය පර්යේෂණ සූත්‍රය )

"ආලාරකාලාම මගේ ගුරුවරයා යි. ශිෂ්‍යයෙක් වූ මා තමාගේ සමාන තැනක ම තබා ගත්තේ ය. උසස් පූජාවකින් ද මා පිදීය. මහණෙනි, මට මේ අදහස ඇති විය. මේ ධර්මය සසර කළකිරීම සඳහා නොවේ. මේ ධර්මය මේ සසරේ ඇති ආදීනවය, භයානක බව දැක කළකිරීමකට, සංවේගයකට හේතු නොවේ. නො ඇලීම සඳහා නොවේ."


ආලාරකාලාමයන්ට ශ්‍රද්ධාව, වීර්යය, සිහිය, හා සමාධිය පවතිනවා. මටත් එලෙසින් ම ශ්‍රද්ධාව, වීර්යය, සිහිය හා සමාධිය පවත්වා ගන්න පුළුවන් බෝධිසත්වයන් වහන්සේ එසේ කල්පනා කළහ. ආලාරකාලාම යන් අවබෝධ කරගත් ඒ ආකිඤ්චඤ්ඤායතනය නම් වූ ස්වභාවයට තමන් වහන්සේගේ ම විශිෂ්ට ඤාණයෙන් උන්වහන්සේ පත් වූහ. බෝධිසත්වයන් වහන්සේ සෙවූ ජාති, ජරා, ව්‍යාධි, මරණයෙන් නිදහස් වූ නිවන එය නොවන බවට පැහැදිලි විය.


භාග්‍යවතුන් වහන්සේ මෙසේ නැවතත් දේශනා කළහ. “ ඉක්බිති මම ආලාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ මෙසේ සඳහන් කළෙමි. ඇවැත්නි, කාලාමය, මෙපමණකින් ම ධර්මය තමන් විසින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙත් දැයි, එනම් බෝධිසත්වයන් වහන්සේ ප්‍රශ්න කරනු ලැබූයේ, ඔබ වහන්සේ දන්නේ මේ ප්‍රමාණය පමණක් ද, යන අදහසයි.
එවිට ඇවැත්ති “මම මෙපමණකින් ම මේ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි’යි ආලාරකාලාම කීවේය.”

අත්හැර නොයන සැප හා දුක ඉතා දුක් මහන්සි වී හරිහම්බ කරති



මිනිස්සු ඉතා දුක් මහන්සි වී හරිහම්බ කරති. රැකී රක්ෂාවන්හි නිරත වෙති. එසේ දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සතුටෙන් ජීවත්වීමට ය. එහෙත් තමන්ගේ ජීවන මාර්ගයන් දෙස ආපසු හැරී බලා සතුටු විය හැකි වන්නේ කී දෙනෙකුට ද? තමන් ලබන සතුට ධර්මානුකූල ද? කියා සිතා බැලීමට පවා ඇතමෙක් නො පෙළඹෙති.
සෑම සමාජයක ම අතළොස්සක් පිරිස යමක් උපයා ගැනීමට කෙටි මාර්ග සොයති. වෙහෙස වී දිගු කාලීනව යමක් උපයා ගැනීමට උත්සාහ නො කරති. එහිදී අන් අයගේ දේ සොරකම් කරති. මහා පරිමාණයේ අල්ලස්, දූෂණ, වංචාවලට හසු වෙති. අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්නා දේ කූට උපක්‍රම මගින් සොරකම් කරති.
තවත් සමහරු තම නිෂ්පාදනවල ඉස්තරම් බව පවසමින් තත්ත්වයෙන් බාල භාණ්ඩ වෙළෙඳපොළට යවති. ජනතාවට වැඩි මුදලකට අලෙවි කොට බරපතල විපාක ලැබෙන වංචනික සොරකම්වල නිරත වෙති. ඒ අතර තවත් බොහෝ දෙනා තම ජීවනෝපාය වශයෙන් ඉතාමත් කටුක දුෂ්කර වෙහෙසකර රැකී රක්ෂාවන් හි නිරත වෙති. එසේ ධාර්මිකව යමක් උපයා ගෙන ජීවත්වීමට උත්සාහ දරන්නෝ ද නැත්තේ නොවේ.

දිගු ගමනක සුළු විවේකය



මේ සසර ගමන ඉතා දීර්ඝ ය. එහි මුලක්, මැදක්, අගක් නොපෙනේ. ඒ තරමටම අවිනිශ්චිත ය. බුදුරජාණන් වහන්සේ එම දීර්ඝ සසර ගමන පිළිබඳ ස.නි. අස්සු සූත්‍රය තුළින් දේශනා කළහ.
“සසර කාල වශයෙන්, අතීත කෙළවර සිහිපත් කළ නොහැකි ය. එබැවින් සසර පූර්වාග්‍රය පැනවිය නොහැකි ය. මහණෙනි, අවිද්‍යා නීවරණයන් ආවරණය වූ, තණ්හා සංයෝජනයෙන් බැඳුණු සත්වයන්ගේ සසර කාල වශයෙන් අතීතයට ගොස් පැනවිය නොහැකි ය. නුඹලා දිගු කලක් දුක් අනුභව කර ඇත. “
මේ උතුම් පාඨයෙන් මුළු මහත් සසර ගමන ම ඉතා පැහැදිලිව විවරණය කොට ඇත. දිගු ගමන යනු මේ දීර්ඝ සංසාරයයි. අප මොන තරම් මේ සසර ඇවිද ඇත්ද? ඒ එන ගමනේ දී අප මිනිසුන් ම වූවා ද? නැත. අපට වෙනත් ආත්ම ගණනාවක් ම පසු කර එන්නට සිදු වන්නට ඇත. භවයෙන් භවය සත්වයා මිනිස් ආත්මය තුළ පමණක් ම නොඉපදෙනු ඇත.
එසේ නම් දිගු ගමන යනු කුමක්ද,? දිගු ගමන යනු සංසාර චක්‍රයයි. එම සංසාර චක්‍රය තුළ අපට සැරි සරන්නට සිදු වන්නේ කුමන ආත්ම භවවලද? සංසාර චක්‍රයට කාම රූප අරූප ලෝක හසු වනු ඇත. නමුදු බොහෝ දුරට සත්ත්වයා සැරිසරන්නේ කාම ලෝකවල ය. මිනිස් ලෝකය, සදිව්‍ය ලෝකය, සතර අපාය යනු කාම ලෝකයයි. එයිනිදු සතර අපාවල වැඩිපුරම කල්ප ගණන් සත්ත්වයා සැරි සරනු ඇත. ඒ බව මනාව අවබෝධ වන්නේ මිනිස් ජීවිතයක් වැනි උසස් ආත්මයක් ලබා ගෙනත් එතුළින් ප්‍රයෝජනයක් නොගන්නා ආකාරය දැකීම තුළිනි.

Wednesday, December 20, 2017

දුක දුරු කරන පින

ස්වාමිනි, මට දානමාන දෙන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මම බොහෝ ධර්මය අසා තිබුණෙත් නෑ. එහෙත් ස්වාමිනි, මම කිසිවෙකු බොරුවෙන් රැවටුවේ නැහැ. වංචාවක් කළේත් නැහැ. කාටවත් හොර, බොරු නොකර සිටියා. නිතරම ඇත්ත කිව්වා."

මේ මනුස්ස ලෝකයේ අපට කෙ තරම් කාලයක් ජීවත් වීමට අවස්ථාව තිබෙනවා ද කියා අප දන්නේ නැහැ. ජීවත් වීමට තිබෙන අවස්ථාව ඕනෑම අවස්ථාවක අහිමි විය හැකි යි. යම් කෙනෙක් නිරන්තරයෙන් පින් රැස් කරනවානම්, ඔහු මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධයක් නො ලබා මිය ගියත්, යළිත් ධර්මයේ හැසිරෙන්නට අවශ්‍ය කරන කලණ මිතුරු සම්පත්තිය සහිත වූ පරිසරයක උපදවන්නට ඒ පිනට පුළුවන්. ඒ නිසයි එකම පින වුවත් නැවත නැවත කරමින් පින් රැස් කිරීමට ආසා කරන්න කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මිනිසුන්ට පිනෙහි වටිනාකම ගැන හොඳ වැටහීමක් තිබුණා. එයට හේතුව අපගේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වැඩ සිටීම. උන්වහන්සේ මේ බුදු සසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්. එසේ අග්‍ර වූණේ සෘද්ධි බලයෙනු යි. ඒ සෘද්ධි බලය දෙවැනි වුණේ බුදුරජාණන් වහන්සේට පමණ යි.
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ නිතර ම දෙව්ලොවට වැඩම කොට වදාළා. දෙව්ලොව සියලු විස්තර මනුලොව මිනිසුන්ට දැනුම් දෙනවා. ඒ විස්තර අසා මිනිසුන් අකුසල් දුරු කර, කුසල් දියුණු කර ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ නිසා මිනිසුන්ට සිදුවුණ යහපත නම් අපමණ යි.

අරහං ගුණ අර්ථ සාගරයකි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 11


බුදුරජාණන් වහන්සේට,සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා, සැරියුත් මහා රහතන් වහන්සේට. මේ දානයෙන් කොයි දානය ද මහත්ඵල වන්නේ? බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයයි. ඇයි? බුදුරජාණන් වහන්සේ තරම් දානය ගැන දන්න කෙනෙක් මේ ලෝකයේ නෑ. උන්වහන්සේ තමයි අග්‍ර. අන්න උන්වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට පූජා කරපු දානය මහත්ඵලයි. මහත් ආනිසංසයි. ඒ නිසා තථාගතයන් වහන්සේ “අරහං” ගුණයෙන් යුක්තයි කියා කියන්නේ.
අපේ දාන දක්ෂිණාව පිළිගන්ට ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරනවා ද?, පහනක් පූජා කරනවා ද? සුවඳ දුම්, පැන් වීදුරුවක් යම් දෙයක් පූජා කරනවා නම් අග්‍ර දක්ඛිණෙය්‍ය ගුණයෙන් යුක්ත බුදුපියාණන් වහන්සේටයි මේ අපේ පූජාව කියලා පූජා කරන්න. එසේ ම ආලෝක පූජාවක් කරනවිට හිතන්න ‘අවිද්‍යාව නැමැති අඳුරෙන් මේ ලෝකය වැසුණු සමයක ප්‍රඥා ලෝකයෙන්, ධර්මාලෝකයෙන්, නිර්වාණ ආලෝකයෙන් ආලෝකමත් කළ බුදුපියාණන් වහන්සේටයි මගේ මේ ආලෝක පූජාව’ කියලා. ‘මේ ලෝකය ම සිල් සුවඳින්,ගුණ සුවඳින්,නැණ සුවඳින්,සඳහම් සුවඳින් සුවඳවත් කළ උතුමන් වහන්සේටයි මගේ මේ සුවඳ දුම් පූජාව’ කියල හිතන්ට. “මේ තුන් ලෝක ධාතුව එකම මල් ආසනයක් බවට පත් කරමි. එකම මල් දමක් බවට පත් කරමි.

සැදැහැ මාත්‍රයකින් සුගතියට යා හැකි ද?

"ශ්‍රද්ධාව ජනිත වන්නේ අවස්ථානුකූලවයි. එමෙන් ම ශ්‍රද්ධාව ජනිතවීමට මුල්වන අරමුණ ද එක හා සමාන නොවේ. අංගුලිමාල භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා පැහැද පැවිදි වුව ද, රහත් බව ලැබුවේ හදිසියේ ඇති වූ ශ්‍රද්ධා ආවේගයෙන් ඔසවා තබන ලද සිතෙනි."
යම් කෙනෙක් මා කෙරෙහි සැදැහැ මාත්‍රයක්,   ප්‍රේම මාත්‍රයක් උපදවා ගනිත් ද ඔවුහු සියල්ලෝ සුගතියට යති.”

මැදුම් සඟියෙ එන මේ කියමන වෙත සිත යොමු කරන කෙනෙකුට මෙය අදහාගත නොහැකි දෙයක් සේ පෙනී යාමට ඉඩ ඇත. මක් නිසාද ? බුදුන් සරණ ගිය ඕනෑම කෙනෙකුට සැදැහැ මාත්‍රයක් ඇතිකර ගැනීම පහසු යැයි සිතන හෙයිනි. එහෙත් සුගතිගාමීවීම හා දුගතිගාමී වීම පිළිබඳ දේශනාවේ සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමේ දී මේ කියමනේ මතුපිටින් පෙනෙන අරුතට එහා ගිය අරුතක් ඇති බව සිතිය යුතු ය .

Saturday, December 16, 2017

සකුලා මහරහත් තෙරණින් වහන්සේ

අප ගෞතම සම්බුදු පියාණන් වහන්සේ ලොවට පහළවීම පෙර කල්ප සියදහස කට පෙරාතුව ලොව පහළ වූ පදුමුත්තර සම්මා සම්බුදුපියාණන් වහන්සේ සියලු ලෝක සත්ත්වයන්ගේ යහපත උදෙසා උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සේක.

එකල්හි සකුලාවෝ හංසවතී නුවර රජුගේ රූමත් දියණියක වී උපත ලැබුවා ය. ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ, මවගේ සොහොයුරියකගේ දියණිය වූවා ය.ඇය සුරූපී ය. ධනවත් ය. අනුකම්පා සහගතය .ඒ නිසාම කීර්තිරාවය පැතර ගිය නන්දා නමින් ප්‍රකට වූවා ය. සිව් ආභරණයන්ගෙන් සැරසුණු, රාජ කන්‍යාවන් විසින් පිරිවැරූ පින්වත් නන්දා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත පිවිස මහත්වූ ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුබණ ඇසුවා ය.

එදින පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුණියක් දිවැස් ඇත්තියන් අතර අගතැනට පත්කරනු ලැබූහ. ඒ උතුම් අවස්ථාව දැක ශ්‍රද්ධාවට එළඹි නන්දාවෝ ද දිවැස් ඇත්තියන් අතර අගතනතුර පැතුවා ය. ඒ සිතින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන්දී පුද පූජා පවත්වන්නට වූවා ය. ඒ පැතුම සඵල වන බව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇයට පැවසූ සේක. මහත් වූ සතුටට පත්වූ නන්දා එම චේතනාව ම ඇතිකොට, උපාදාන සිතැතිව මිනිස් දිවිය අතහැර තව්තිසා දෙව්ලොව උපත ලද්දී ය. පසුව මේ උත්තරීතර මහා භද්‍ර කල්පයෙහි මහා කාශ්‍යප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි හුදකලාව හැසිරෙන පරිබ්‍රාජිකාවක වූවා ය. පිණ්ඩපාත දානයෙන් ම තෙල් ටිකක් ලබාගත්තී ය. ඉතාමත් ශ්‍රද්ධාසම්පන්න පරිබ්‍රාජිකාවක වූ ඕ තොමෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව පිණ්ඩ පාතයෙන් ලබාගත්තා වූ තෙල්වලින් පහන් දල්වා බුදුරජාණන් වහන්සේ ගේ චෛත්‍යයට පිදුවා ය. මෙසේ කරන ලද පින් ඇත්තී මිනිස් දිවිය අතහැර තව්තිසා භවනෙහි මහත්වූ පහන් ආලෝකය අතරෙහි උපත ලැබුවා ය.