තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ ජීවමාන සමය තුළ ප්‍රායෝගිකව ගොඩනැඟූ ශාසනයෙහි මානව සම්පත කළමනාකරණය කිරීමේ දී කුලය, ජාතිය, වර්ගය, වර්ණය, ස්ත්‍රී පුරුෂ භාවය සමාජ ස්වභාවයන් හේතු කොටගෙන උසස් හෝ පහත් ලෙස නොසැලකීම විශිෂ්්ට ලක්ෂණයක් විය. මානව සම්පත නිවැරැදිව යොදාගැනීමට සිතන ඕනෑම පුද්ගලයෙකු විසින් එම දාර්ශනික පදනම නිවැරැදිව හඳුනා ගත යුතු ය. මෙවැනි කාරණාවන් දෙස බැලීමෙන් තථාගත ධර්මය මානව සම්පත කළමනාකරණය කළ ආකාරය පැහැදිලි ය.
බ්‍රාහ්මණ කුලය මත ලබාදෙන තනතුර හෝ පවරන කාර්යය තථාගත දේශනාවෙහි අන්තර්ගත වී නැත. ක්ෂුද්‍ර කුලයෙන් පැමිණිය ද යන්න තීරණය වී නැත. ගංඟා හතරෙහි ම ජලය මුහුදට පැමිණි පසු එකම ලවන රසයෙන් යුක්ත ය.
කුමන කුලයකින් ශාසනයට ඇතුලු වුව ද,සියලු දෙනා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා මිස, බ්‍රාහ්මණ, කේෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යන කුලයන් නොවන බවට සම්මා සාම්බුදු පියාණන් වහන්සේ වදාළ සේක. වර්තමානයෙහි මානව සම්පත නිවැරැදිව යොදාගැනීමට නොහැකි වී ඇත්තේ ද , දක්ෂයාගේ , දක්ෂකමට වඩා වෙනත් කාරණාවන් සැලකිල්ලට ගැනීමෙනි. ග්‍රෝතික චෛතසිකයන් තවදුරටත් පවතින බව දක්නට ලැබේ. පත්වීමක් ලබාගැනීමේ දී ස්ත්‍රී පුරුෂ සාධකය , අධ්‍යාපනය ලැබූ පාසල යන කාරණාවන් තවදුරටත් බලපානු ඇත. තවමත් දහඅට වන සියවසෙහි ජීවත් වන පුද්ගලයන් සිටින රටක් ලෙස ඇතැම් අවස්ථාවල දැකිය හැකි ය. දක්ෂයාට සුදුසු තැන ලබාදිම තථාගත ධර්මයේ පදනමයි. දක්ෂයා දක්ෂ ලෙස ඉදිරියට පැමිණිය යුතු ය. තථාගතයන් වහන්සේ මානව සම්පත දෙස හෙලූ දෘෂ්ටිය වූයේ සුදුස්සා කවුද ? දක්ෂයා කවුද ? යන කාරණාව පමණයි. ඔහු විසින් සංසාරිකව පුරුදු පුහුණු කළ කුසලය කුමක් ද ? ශ්‍රාවක ශ්‍රාවිකාවන් පත් කළ ආකාරයෙන් ඒ බව වඩාත් ම පැහැදිලි ෙවි. අසූමහා ශ්‍රාවකයන් අතර පැවිදි පිරිස මෙන් ම ගිහි පිරිස ද පත් කළ සේක. ප්‍රධාන ධර්ම කථික භික්ෂූන් අතරට ධම්මදින්නා වැනි ධර්ම කථික භික්ෂුණින් වහන්සේලා ද පත් කළ සේක. ධර්ම කථික ගෘහපතියන් ද සිටී. දක්ෂ නම්, දක්ෂයාට සුදුසු තැන ලබාදීමට තථාගත දේශනාව කිසිදු ආකාරයකින් මැලි වී නැත. ඉන්දියාවේ දෙසැටක් දර්ශන තිබුණ ද , අතිශයින් ආකර්ශනීය ධර්මය බවට පත්වීමට එය ද හේතු විය. ලෝකය පුරා ව්‍යාපාරික ප්‍රජාවගේ ධර්මය බවට පත් විය. තථාගත ධර්මයෙහි පැවතුණ නම්‍යශීලී බව, යාවත්කාලීන බව, එකතැන පල් වූ දර්ශනයන් වෙනුවට අලුත් වන දහමක් වීම , නුතන තත්ත්වයන් වටහාගත් ධර්මයක් ලෙස නුතන තත්ත්වයනට හැඩගැසීමට හැකි දාර්ශනික පදනමක් තිබූ ධර්මයක් වීම එසේ විමට හේතු විය. ඉතාම පටු ආකාරයෙන් තමන්ට හිතවත් තැනින් අල්ලා ගැනීම ප්‍රධාන ගැටලුවයි.
අඳුරෙන් අඳුරට යන පුද්ගලයන් ද අඳුරෙන් එළියට යන පුද්ගලයන් ද සිටින බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයන් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ සේක. තථාගතයන් වහන්සේ ගේ මධ්‍යස්ථ දර්ශනය ඔස්සේ සෑම පුද්ගලයෙකුගේ ම පවතින යථා ස්වභාවය දෙස බලමින් ඒ අනුව ඔහු හික්මවමින් ඔහුට කමටහන් ලබාදෙමින් ඒ අනුව ධර්මය දේශනා කළ සේක. අඹ පිළිබඳ උපමාවෙන් ද ඒ බව පැහැදිලි වේ.
ඉදුණු ආකාරයට පෙනෙන අමු අඹ මෙන් බැලූ බැල්මට සීලවන්ත, ගුණවන්ත, නැණවන්ත , ත්‍යාගවන්ත ලෙස පෙනුන ද, සත්‍ය වශයෙන්ම එවැනි ස්වභාවයක් ඇතැම් මිනිසුන් තුළ දක්නට නොලැබේ. අමු මෙන් පෙනෙන ඉදුණු අඹ පවතින බවත්, බැලූ බැල්මට ඉදුණු බවක් මතුපිට දක්නට නොලැබුණ ද එය ඉදුණු අඹ වේ. තථාගතයන් වහන්සේ පුද්ගලයන් පිළිබඳ දේශනා කරනු ලැබුවේ එවැනි ආකාරයෙනි. බැලූ බැල්මට ඇඳුම හා පෙනුම තුළින් සාරයක්, ගුණයක්, ධර්මයක් තිබෙන බවක් දක්නට නොලැබුණ ද, ඇසුරු කළ විට කෙතරම් වටිනා ගුණ යහපත් මිනිසුන් ද ? යන වග වැටහේ.
ගුණවත්කම, යහපත්කම, අවංක බව විනිවිද භාවය වැනි උතුම් ගුණ පවතින පුද්ගලයන් ඔවුන්ගේ ඇඳුමෙන්, පැළඳුමෙන් සොයාගත නොහැකි ය. රස්තියාදු කාරයෙකු ලෙස පෙණුන ද, ඇසුරු කිරීෙමි දී ගුණවත් පැත්ත දක්නට ලැෙබි. අමු වගේ පෙනෙන අමු අඹ තිබෙන බවට තථාගතයන් වහන්සේ වදාරා ඇත. බැලු බැල්මට ගුණයක්, සාරයක් නොපෙනෙන අතරම ඇතුළත සාරයක් දක්නට නොලැබේ. ඉදුණ ලෙස පෙනෙන ඉදුණ අඹ ඇත. අඹ උපමාවෙන් ඔබ කුමන අඹ ගොඩට අයත් ද ? තමා විසින් පළමුවෙන් කල්පනා කළ යුතු ය. තමා කළමනාකරණය කර ගන්නේ නැතිව අනෙක් පුද්ගලයා කළමනාකරණය කර ගන්නේ කෙසේද ? අනෙක් පුද්ගලයා පිළිබඳ සිතනවා මිස තමා පිළිබඳව සෙවීමට මැලිකමක් දක්වයි. තමන් කුමන ආකාරයේ පුද්ගලයෙක් ද ? යන්න අවබෝධ කර ගත් පසු ඉතිරි කොටස කර ගැනීම එතරම් අපහසු නැත.
හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment