මිනිස්සු ඉතා දුක් මහන්සි වී හරිහම්බ කරති. රැකී රක්ෂාවන්හි නිරත වෙති. එසේ දිවා රෑ නොබලා කටයුතු කරන්නේ සතුටෙන් ජීවත්වීමට ය. එහෙත් තමන්ගේ ජීවන මාර්ගයන් දෙස ආපසු හැරී බලා සතුටු විය හැකි වන්නේ කී දෙනෙකුට ද? තමන් ලබන සතුට ධර්මානුකූල ද? කියා සිතා බැලීමට පවා ඇතමෙක් නො පෙළඹෙති.
සෑම සමාජයක ම අතළොස්සක් පිරිස යමක් උපයා ගැනීමට කෙටි මාර්ග සොයති. වෙහෙස වී දිගු කාලීනව යමක් උපයා ගැනීමට උත්සාහ නො කරති. එහිදී අන් අයගේ දේ සොරකම් කරති. මහා පරිමාණයේ අල්ලස්, දූෂණ, වංචාවලට හසු වෙති. අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හරිහම්බ කරගන්නා දේ කූට උපක්‍රම මගින් සොරකම් කරති.
තවත් සමහරු තම නිෂ්පාදනවල ඉස්තරම් බව පවසමින් තත්ත්වයෙන් බාල භාණ්ඩ වෙළෙඳපොළට යවති. ජනතාවට වැඩි මුදලකට අලෙවි කොට බරපතල විපාක ලැබෙන වංචනික සොරකම්වල නිරත වෙති. ඒ අතර තවත් බොහෝ දෙනා තම ජීවනෝපාය වශයෙන් ඉතාමත් කටුක දුෂ්කර වෙහෙසකර රැකී රක්ෂාවන් හි නිරත වෙති. එසේ ධාර්මිකව යමක් උපයා ගෙන ජීවත්වීමට උත්සාහ දරන්නෝ ද නැත්තේ නොවේ.
තමාට ලැබෙන වැටුපට සරිලන අන්දමට රටට, ආයතනයට, ස්වාමියාට, රැකියා කරන ස්ථානයට සේවය ලැබී ඇතිදැ’යි සිතා බැලිය යුතු ය. එම යුතුකම් ඔබේ බුද්ධියෙන් හෝ ශ්‍රමයෙන් නොලැබී ඇත්නම් එය ද ධාර්මික ජීවිතයට බරපතල ප්‍රශ්නයක් වගේ ම ලොකු සොරකමක් ද වන්නේ ය.
සමහරෙක් පාරිභෝගිකයා නිරන්තරයෙන් ම වංචාවට ලක් කරන්නට උත්සාහ කරන්නේ ය. සම්මත නීත්‍යානුකූල මුදලක් ලබා ගැනීම වරදක් නොවෙයි. නමුත් සම්මතයෙහි නොපිහිටා මහා පරිමාණයේ ලාබ ලැබීමේ අදහසින් සිදුකරන වංචනික ක්‍රියා සැබවින් ම බරපතල සොරකම් ය. එබැවින් සතුටින් ජීවත් වීමට ගන්නා උත්සාහය කෙටිකාලීන වන්නේ ය. ලබන සතුට මොහොතින් විනාශ වී ජීවිතය කඩා වැටී මහත් වූ පසු තැවිල්ලට පත් වන්නේ ය.
තමා ලබන සතුට අර්ථවත් සතුටක් වන්නේ, නිවැරැදිව යමක් උපයා ගෙන ජීවත් වීමෙන් ය. මිනිසා විඳින සැපත ධර්මයෙහි ‘සන්තුට්ඨි’ යන වචනයෙන් හඳුන්වා ඇත. සං යනු එකතු කිරීමයි. එය ධනය, කුසල්, අකුසල් යනාදී කුමක් හෝ වේවා එකතු කරන දෙයින් ලබන සතුට සන්තුට්ඨීය යි.
තමන් උපයාගත් දෙයින් සතුට ලැබිය හැකි වන්නේ ඒවා නිවැරැදි දෙයට යොදා ගැනීමෙන් ය. පරිත්‍යාගය, සමාජීය යුතුකම් ඉටුකිරීම මව්පියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් මෙන් ම දුගීන්, අසරණයන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් සතුටු විය හැකි උසස් මානසික මට්ටමක් ඇති කරගත් පුද්ගලයෙකුට පමණි. එසේ ම පරිත්‍යාග කරන අය අතර වඩාත් සතුටු විය හැකි පුද්ගලයෙකු වන්නට නම් කරන ලද පරිත්‍යාගයට සිදු වූ දේ පිළිබඳ ව නොසෙවිය යුතු ය.
වැරැදි දෙයින් ද පුද්ගලයෙකුට සතුටු විය හැකි ය. නිවැරැදි දෙයින් ද සතුටු විය හැකි ය. වැරැදි දෙයින් ලබන සතුට පසුපස දුක, වේදනාව හඹා එනු ඇත. එය බර කරත්තයක් ඇදගෙන යන ගොනෙකුට උපමා කරති. ගොනා කරත්තය බරක් සමග ඇදගෙන යයි. බර වැඩියි, මහන්සියි, පීඩාවයි සිතා මදක් හෝ විවේක ගතහොත් ස්වාමියාගෙන් කෙවිටි පහර කෑමට හෝ වලිගය මිරිකීමකින් හෝ ඉවසිය නොහැකි වේදනාවකට මුහුණ දිය යුතු බව දනී. ගොනු බර කරත්තය ඇදගෙන ම යයි. බර අදින සතාට තමා පිටුපසින් පෙරළෙමින් පවතින දැවැන්ත කරත්ත රෝදය පෙනෙයි. ඔහු තවත් බියට පත් වෙයි. මා නතර වුවහොත් මේ රෝදය මා යට කරගෙන යයි යනුවෙන් සිතා අපමණ බියෙන් බර අදියි. තමන්ට පෙර ගිය කරත්ත රෝද පාර අතරට වැටී ඇති කරත්තය වෙර වීර්ය යොදා ඇදිය යුතුයි. මෙසේ කරත්තය අදින ගොනාට දුක්බර අවස්ථා කොපමණ නම් තිබේ ද? නමුත් ඒ කිසිදු අවස්ථාවකින් බේරීමට බැරිවන්නේ වියගහට තබා ගෙල බැඳ ඇති නිසාත් නාසය විද තෝන් ලණුවත් දමා ඇති නිසා ය.
තමන් විසින් සතුට සඳහා සිදුකරන ලද අධාර්මික ක්‍රියාවන් හි ප්‍රතිඵලය මොහොතක් පාසා තමාට දුක් ගෙන දෙමින් ඉදිරියට ගමන් කරන බව බුදුරජාණන් වහන්සේ මෙසේ මැනවින් පෙන්වා දුන්හ.
ජීවත්වීමට යමක් ධාර්මිකව හරිහම්බ කර ගත යුතු ය. සමාජයක රටක එහි ජනතාවගේ පැවැත්මට ප්‍රමාණවත් භාණ්ඩ නිෂ්පාදනය කළ යුතු යි. ආනයනය සඳහා ද භාණ්ඩ නිෂ්පාදනය කළ හැකි ය. එම නිෂ්පාදිත භාණ්ඩ සිතා මතා ලාබ ඉපැයීම අරමුණු කරගෙන බාල භාණ්ඩ නිෂ්පාදනය, වස විෂ සහිතව මිනිසාට ලබා දීම අතිශයින් ම භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවේ. ධාර්මිකව රැස් කරන්නාට සතුටින් ප්‍රබෝධයෙන් දිවි පැවැත්විය හැකි ය.
ධර්මයෙන් ජීවත් වන්නාට මානසික ආතතියක් ඇතිවීමට ඉඩ නොමැත. ධාර්මික ක්‍රියාවෙහි ප්‍රතිඵලය නිතරම සතුට සැනසීම පිණිස හේතු වෙයි. ධාර්මික ධර්මානුකූල කටයුතු කරන්නා පසු පස එන විපාක සැප විපාකයි. ඡායාව තමා පිටු පස එන බව එම පුද්ගලයා ද සමහර විට නොදනී. නමුත් ඡායාව තමා අත් නොහැර ගමන් කරයි. හොඳ ක්‍රියාවෙහි විපාකය ද එසේ ම ය.
මැදවච්චිය ඉසින්බැස්සගල
රජමහා විහාරාධිපති,
ආචාර්ය
කඩවත්ගම පියරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment