" එහෙත් ඔහු ඊට එකඟ නොවී ය. ඔහු කීවේ තමන් මේ සා කාලයක් විශාල පිරිසකගේ ගුරුවරයෙක්ව සිට, ඒ තත්ත්වය නැති කරගෙන ශිෂ්‍යයකුගේ තත්ත්වයට පැමිණීමට නොහැකි බව ය. හැලියක් වී සිට හැන්දක් වීමට නොහැකි බව ය. එය තමන්ට මදිකමක් වන බව ය. "
ඒ, මානස නම් වූ මනහර විලකි. එහි ස්වර්ණ හංසයෙක් විය. දිනක්, මේ හංසයා ගමනක් යන අතරේ එක් ගසෙක අත්තක වැසුවේ ය. මොහොතකින් එහි කණ කොකෙක් ද ආවේ ය. දෙදෙනා කතා බහට වැටුණි.
“ඔබ ඉන්නේ කොහේද?”
කණ කොකා ස්වර්ණ හංසයාගෙන් ඇසුවේ ය.
“මාගේ වාසස්ථානය අර ඈත තිබෙන මනරම් මානස විලය. එහි රිදීවන් දිය දහරය. නේක වර්ණ පුෂ්පයෝ ද වෙති. සුදුවන් වැලි තලාවෙන් වටවී ය. වටපිටාව ද මල් ගසින් වට වී ය. ‘බොහෝ සුවඳවත් ය’ ස්වර්ණ හංසයා අපූර්ව වර්ණනාවක් කළේ ය. “ඔය විලේ මඩකරියන් එහෙම නැති ද?” නිදිමත ගතියෙන් සිටි කණකොකා ඇසුවේ එපමණකි. හංසයා ගැන හෝ, ලස්සන විල ගැන හෝ දැන ගන්නට කොකාට ආශාවක් නොවී ය. ඇවැසි වූයේ මඩකරියන් ගැන දැන ගැනීම පමණ ය.
සමාජයේ සමහර මිනිස්සු ද එවැනි ය. නොවටිනා දේ පසුපසම යන්නෝ ය. ලබා ගන්නට වෙහෙසෙන්නෝ ය. ඒ සඳහා යන මග ද වැරැදි ය. ක්‍රම ද වැරැදි ය. ජීවිතය ලස්සන කරන දේට වඩා අවලස්සන දේ පසුපසම යන්නෝ වැරැදි දේ ම තෝරා ගන්නෝ ය.
එකම දිනෙක, එකම වේලාවක ආසන්න දෙතැනක ධර්ම දේශනාවක් හා සංගීත සංදර්ශනයක් තිබෙන්නට පුළුවන. වැඩි දෙනකුගේ තේරීම සංගීත සංදර්ශනය ය. ඒ ඉන්ද්‍රිය පිනවීමෙහි ඇලෙන නිසා ය. සමහරවිට ඒ සංදර්ශනය අවසන් වන්නේ කළකෝලාහලයකින් වීමට ද පුළුවන. කළ යුතු කුමක් ද? නොකළ යුතු කුමක් ද? යන්න තෝරා බේරාගෙන කටයුතු කිරීමේ ශක්තිය අප වෙත තිබිය යුතු ය. බුදුරජාණන් වහන්සේ සරු දෙය සහ නිසරු දෙය ඉතා අපූර්ව ලෙස පැහැදිලි කර දුන් ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකි.
එදා බුදුහිමියන් ජීවමාන දවස උපතිස්ස කෝලිත දෙදෙනා බුදුරදුන් හමුවට යාමට සූදානම් වී සංජය පරිබ්‍රාජකයාට ද තමන් සමඟ එන ලෙස ආරාධනා කළහ.
එහෙත් ඔහු ඊට එකඟ නොවී ය. ඔහු කීවේ තමන් මේ සා කාලයක් විශාල පිරිසකගේ ගුරුවරයෙක්ව සිට, ඒ තත්ත්වය නැති කරගෙන ශිෂ්‍යයකුගේ තත්ත්වයට පැමිණීමට නොහැකි බව ය. හැලියක් වී සිට හැන්දක් වීමට නොහැකි බව ය. එය තමන්ට මදිකමක් වන බව ය.
එවිට උපතිස්ස, කෝලිත දෙදෙනා කීවේ එසේ නො කියන ලෙස ය. ලෝකයට ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් පහළවී සිටින බව හා මේ හොඳ අවස්ථාවක් වන බව ය. එවිට සංජය පරිබ්‍රාජකයා විමසුවේ මේ ලෝකයේ වැඩියෙන් ඉන්නේ පණ්ඩිතයින් ද, නැතිනම් මෝඩයින්ද යනුවෙනි.
“ගුරුතුමනි, මෝඩයින් වැඩි ය. නුවණැතියෝ ටික දෙනාය” උපතිස්ස, කෝලිත දෙදෙනා පිළිතුරු දුන්හ.
“එහෙම නම් කමක් නෑ. ඔබ දෙදෙනා බුදුරදුන් හමුවට යන්න. මෝඩයන් මා සමීපයට එනු ඇති.” සංජය කීවේ ය. ඒ ඉල්ලීමෙන් පසු කෝලිත, උපතිස්ස දෙදෙන බුදුරදුන් වෙත යන්නට පිටත් වූහ. සංජය පරිබ්‍රාජකගේ ශිෂ්‍යයන් විශාල පිරිසක් ද ඔවුන්ට එකතු විය. එය දරා ගන්නට නොහැකිව සංජය දැඩි වේදනාවට ද ශෝකයට පත් වූ බව බණ පොතේ සඳහන් ය.
සංජය පරිබ්‍රාජක ඉහළින් සිතා සිටියේ මිනිස් බලය, ලාබ සත්කාර, කීර්ති ප්‍රශංසාවන් ගැන ය. එහෙත් ඒ සියල්ල නිසරු ය. සරු දෙය පසෙකට හැර අසාරය පසු පස ගිය සංජය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ
අසාරෙ සාරමතිනො
සාරෙ චාසාර දස්සිනෝ
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා
සාරෙ චාසාර දස්සිනෝ
තෙ සාරං නාධිගච්ඡන්ති
මිච්ඡා සංකප්ප ගෝචරා
යන ධර්ම පාඨය දේශනා කළහ. නිසරු දෙය සරු දෙය ලෙසත්, සරු දෙය නිසරු ලෙසත් සලකමින් වැරැදි අදහස්වල එනම්, මිථ්‍යා අදහස්හි එල්බගත් අය ඒ වැරැදි මතයෙහි සිටිනා තාක් සරු දෙය නොලබන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
මේ ලොව ඇති වැරැදිවලින් ඉහළම වරද (පරම වජ්ජ) මිථ්‍යා දෘෂ්ටියයි. දුක් වේදනා ඇති කරන, සසර ගමනට මූලිකම සාධකය මිථ්‍යා දෘෂ්ටියයි. එවැනි පුද්ගලයා ගමන් කරන්නේ වැරැදි පැත්තටයි. ප්‍රතිඵලය බරපතල අකුසල විපාක විඳින්නට සිදුවීමයි.
කරවිල බීජයකින් ලබාදෙන වැලෙහි නැවත හට ගන්නේ තිත්ත කරවිලමය. මිථ්‍යා දෘෂ්ඨියත් එබඳු ය. ‘හණ මිටිය කර ගහගත් මිනිසා වගේ’ යැයි ජන වහරේ කියමනක් තිබේ.
යහළුවන් දෙදෙනෙක් දිනක් ධනය සොයා ගියහ. මුලින්ම ගියේ හණ ඇති ගමකට ය. එහි ඕනෑතරම් හණ තිබුණි. හණ මිටි දෙකක් බැඳගෙන ආපසු එන අතරේ තවත් ගමකට පිවිසුණි. එහි බොහෝ හණ නූල් විය. ‘මේ හණ මිටි කුමටද? මේ ඕනෑ තරම් හණ නූල් තිබෙද්දී ගෙදර ගියත් හණවලින් නූල් හදන්නට වෙනවානේ. ඒ නිසා හණ මිටි මෙහි දමා නූල් අරගෙන යමු.”
එක් යහළුවෙක් කීවේ ය. අනෙක් යහළුවා ඊට අකැමැති ය. ඔහු හණ මිටියම කර තබාගෙන ආවේ ය. දෙදෙනා තවත් ගමකට පිවිසියහ. එහි හණ නූලෙන් වියන ලද රෙදි තිබුණි. නූල් ගෙන ගියත් කරන්නේ රෙදි වියන එකයි. ඒ නිසා මම රෙදි මිටිය ගන්නවා යැයි නූල් මිටිය කර තබාගෙන ආ යහළුවා කීවේ ය. අනෙක් යහළුවා හණ මිටියම කර තබාගෙන ගියේ ය. ඔවුහු තවත් ගමකට පැමිණියහ. එහි බොහෝ යකඩ විය. රෙදි මිටිය විකුණු යහළුවා යකඩ මිලයට ගත්තේ ය. තවත් ගමකට පැමිණි ඔවුන්ට පිත්තල ඇති බව දකින්නට ලැබුණි. අර යහළුවා යකඩ විකුණා පිත්තල මිලදී ගත්තේ ය. ඔවුහු තවත් ගමකට ආහ. එහි රත්තරන් විය. ඔහු පිත්තල විකුණා රත්තරන් මිලට ගත්තේ ය. යහළුවෝ දෙදෙනා ගමට පැමිණියහ. එහෙත් එක් යහළුවෙක් තවමත් හණ මිටිය කර තබා ගෙන ය. රත්තරන් දුටු අනෙක් යහළුවාගේ ගෙදර අය බොහෝ සතුටු වූහ. හණ මිටිය දුටු ගෙදර අය දුකට පත් වූහ.
එලොවටත්, මෙලොවටත් ප්‍රයෝජන නැති පරණ හණමිටි කරගහගත් අය බොහෝ වෙති. ඒ අය තමන් කරන වරද, අඩුපාඩුව තේරුම් ගන්නේ නැත. උපදෙස් පිළිපදින්නට සූදානම් නැත. වැරැදි අදහස් අත් හරින්නේ ද නැත. එහි ඵලය ලෙස ලැබෙන දුක වේදනාව ඔහුට නොපෙනේ.
ඕනෑම පුද්ගලයෙකුට ජීවිතය පවත්වාගෙන යාම සඳහා ආහාරපාන ඇවැසි ය. ඇඳුම්, පැළඳුම් ගේ දොර ඇවැසි ය. ගේ දොරට, යාන වාහනවලට පමණක් මුල්තැන දී තමන් වෙත තිබිය යුතු ගුණධර්ම අමතක කර කටයුතු කරන්නේ නම් ඔහු සරු දෙය අමතක කළ කෙනෙකි. මුදල් පසු පසම යන, හොඳ නරක, පින් පව්, ගැන සැලකීමක් නැති පුද්ගලයා ගමන් කරන්නේ ආගාධයටය. බුද්ධිමතාගේ ස්වභාවය මේ ගැන අවබෝධයක් හා හැඟීමක් ඇතිව කටයුතු කිරීම ය.
බොහෝ දෙනෙක් සිතන්නේ මුදල් පමණක් ආවැසි බව ය. ඒ පරමාර්ථයෙන් අහිංසක පාසල් ළමයින්ට පවා මත් ද්‍රව්‍ය ලබාදෙන පුවත් අසන්නට ලැබේ. ඔවුන්ගේ ජීවිතය අඳුරු වුවද, විනාශ වුවද මුදල් උපයන්නාට කම් නැත. කෙසේ හෝ මුදල් සෙවීම ඔහුගේ පරමාර්ථය ය. මේ එක් උදාහරණයක් පමණි. මෙවැන්නන්ගේ ගමන ද අඳුරටම ය. කිසි දිනෙක සිතට සුවයක් නැත. සතුටින්, සාමයෙන් ජීවත් වීමට නම් මෙවැනි නිසරු දේ බැහැර සරු දේ තෝරා ගන්නට අධිෂ්ඨාන කරගත යුතු ය. ඒ ගමන් මග ජීවිතය ද, මතු සසර ද දිනවයි.
බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment