Labels

Wednesday, December 20, 2017

සැදැහැ මාත්‍රයකින් සුගතියට යා හැකි ද?

"ශ්‍රද්ධාව ජනිත වන්නේ අවස්ථානුකූලවයි. එමෙන් ම ශ්‍රද්ධාව ජනිතවීමට මුල්වන අරමුණ ද එක හා සමාන නොවේ. අංගුලිමාල භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා පැහැද පැවිදි වුව ද, රහත් බව ලැබුවේ හදිසියේ ඇති වූ ශ්‍රද්ධා ආවේගයෙන් ඔසවා තබන ලද සිතෙනි."
යම් කෙනෙක් මා කෙරෙහි සැදැහැ මාත්‍රයක්,   ප්‍රේම මාත්‍රයක් උපදවා ගනිත් ද ඔවුහු සියල්ලෝ සුගතියට යති.”

මැදුම් සඟියෙ එන මේ කියමන වෙත සිත යොමු කරන කෙනෙකුට මෙය අදහාගත නොහැකි දෙයක් සේ පෙනී යාමට ඉඩ ඇත. මක් නිසාද ? බුදුන් සරණ ගිය ඕනෑම කෙනෙකුට සැදැහැ මාත්‍රයක් ඇතිකර ගැනීම පහසු යැයි සිතන හෙයිනි. එහෙත් සුගතිගාමීවීම හා දුගතිගාමී වීම පිළිබඳ දේශනාවේ සඳහන් කරුණු සැලකිල්ලට ගැනීමේ දී මේ කියමනේ මතුපිටින් පෙනෙන අරුතට එහා ගිය අරුතක් ඇති බව සිතිය යුතු ය .



ජීවිත කාලය තුළ අප වරකට දෙවරකට වැඩියෙන් සැදැහැ ගුණ ඇතිකරගෙන ඇත. වෙසක් පොහෝ දිනටවත් සිල් පේවී ගතකරන දවස තුළ වෙනදාට නැති සොඳුරු බවක් දැනෙයි. වන්දනාවේ ගිය දිනෙක, පින් කමෙක අසිරි සිරිය දකින විට, එහෙමත් නැතිනම් දනක් පිනක් කරන විට මෙහි සඳහන් ශ්‍රද්ධා මාත්‍රය ඇතිවීමට ඉඩ ඇත. එවන් වෙලාවක ඇති වු ශ්‍රද්ධාව ක්ෂණික ආවේගයක් ද? මොහොතකට පමණක් සීමා වී ද? අඩුම තරමින් වරුවක්වත් පැවතියේ ද? එහෙමත් නැතිනම් බෝ මළුවෙන්, විහාරයෙන් එළියට පැමිණි විගස එය අතුරුදන්වී ද? ඔබට පහළ වූයේ සැදැහැ සිත වුවද, එය හැඟීමක් පමණක් නම් ආවේග මාත්‍රයක් නම් ඉහත සඳහන් ඵල ලැබිය හැකි ද?
සැදැහැ සිත මෙසේ වරින්වර ඇතිවිය හැක. එහෙත් සුවිශේෂ අවස්ථාවක ඇතිවන සැදැහැ සිත චරිතයේ ප්‍රබල වෙනසකට හේතු වෙයි. ඇතැම් විට එය නිවන් ලැබීම දක්වා ඉහළ ප්‍රතිඵලයකට යොමු කරයි. තවත් ක්‍රමයකින් කිවහොත් උතුම් මාර්ගඵල අවබෝධය සඳහා උපකාරි වෙයි. ශ්‍රද්ධාව ජනිත වන්නේ අවස්ථානුකූලවයි. එමෙන් ම ශ්‍රද්ධාව ජනිතවීමට මුල්වන අරමුණ ද එක හා සමාන නොවේ.අංගුලිමාල භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා පැහැද පැවිදි වුව ද, රහත් බව ලැබුවේ හදිසියේ ඇති වූ ශ්‍රද්ධා ආවේගයෙන් ඔසවා තබන ලද සිතෙනි.
සුපුරුදු පරිදි පිඬු සිඟා වඩින අඟුල්මල් තෙරුන් වහන්සේ දරුවෙකු ප්‍රසූත කිරීමට අපහසුව දුක් විඳින මව් කෙනෙකුගේ විලාප දීම ඇසුණු මොහොතේ ඔහු පිඬු සිඟීම නවතා ආපසු විහාරයට ම වැඩියහ. භාග්‍යවතුන් වහන්සේ හමු වී “සමිඳුනි, සත්ත්වයා බොහෝ දුක් විඳියි” යනුවෙන් පවසමින් තමනට ඇසුණු ඒ මවගේ දුක්බර වේදනාව ගැන දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, ඒ රෝගී මවු අභියසට ගොස් සත්‍ය ක්‍රියාවේ යෙදෙන ලෙස තෙරණුවන්ට දැන්වූහ. ඒ අනුව අඟුල්මල් තෙරුන් වහන්සේ මවු අභියස හිඳිමින්, උතුම් පැවිදි ජීවිතයේ හිඳිමින්, සිදුකළ සිල් ගුණ මෙනෙහි කොට ඒ අනුහසින් නිරෝගි සුව පැතූහ. ඉන් ඉක්බිති උන්වහන්සේ වෙහෙරට ගොස් පා සිවුරු ගෙන වනයට වැඩියේ උතුම් අවබෝධය ලබන අටියෙන් භාවනා වැඩීමටයි. අනලස්ව බවුන් වඩන තෙරහු සිව්පිළිසිඹියා පත් රහත් බවට නොබෝ දිනකින් ම පත් වූහ. භාග්‍යවතුන් වහන්සේගේ දහමට පැහැද පැවිදි වුවත් කලක් මහණ ජීවිතය ගත කළත් ඒ සිත නිවනට යොමු කළේ මූඪ ගර්භව වේදනාවෙන් පෙළුණ මවු ගෙ දුක්ඛිත දර්ශනයයි. ඔහු ගිහි ජීවිතයේ දී මොන තරම් මිනිසුන්ගේ නෙතු අග රැඳුණු දුක්කඳුළු දැක තිබුණද, වෙනසකට පත් නොවිය. එහෙත් මේ සුවිශේෂි මොහොතේ ඔහු තුළ මූඪ ගර්භව වේදනාවෙන් විලාප දෙන හඬ සිතේ වෙනසකට හේතු වු සැටි මේ අන්දමට කෙනෙකුගෙ චරිතය යහපත් පැත්තෙන් වෙනසකට භාජනය වන අන්දමට කුසල් වැඩුමට සිතක් පහළ වේ නම් එයම දහමේ සඳහන් උසස් ශ්‍රද්ධා මාත්‍රයයි. මෙය ශ්‍රද්ධාවේ ප්‍රභේදයක් වු “සම්පක්ඛන්ධන ශ්‍රද්ධාවයි” සම්පක්ඛන්ධන යනු හුන් තැනින් ඉදිරියට පැනීමයි. අඟුල්මල් තෙරද හුන් පැවිදි භූමියෙන් ඉදිරියට පියවර තැබී ය. මේ අනුව වර්තමානයේ සැදැහැතියාට කවර ආකාරයේ ශ්‍රද්ධාවක් පහළ වුවත් සම්පක්ඛන්ධන ශ්‍රද්ධාව නම් පහළවන බවක් නොපෙනෙයි. මුළු ජීවිතය පුරාම සිත් වැඩුමක්, පැන වැඩුමක් නො කොට මල් පිදුමක්, දන් පිදුමක් පමණක් කරමින් එක තැන නතරව සිටින්නේ එහෙයිනි. පුක්කුසාති, භාතිය දාරුචීරිය, සුදත්ත සිටු, කාළි කුරර ගරිතා උපාසිකාව වැනි අය ශ්‍රද්ධා මාත්‍රයෙන් සුගතිගාමි වූ අයයි. හෙවත් නිවන් දුටු අයයි. මොවුහු හැම දෙනම බුද්ධ යන වචනය ඇසූ පමණින් සිය චරිතය වෙනස් කර ගත් අයයි. එහෙයින් සාමාන්‍ය බෞද්ධයාට ඇති ශ්‍රද්ධාව අවස්ථානුකූලව ඇතිවෙයි. ඉන් බැහැර වූ විට නැතිවෙයි. මේ අන්දමට ඇතිව නැතිවන ශ්‍රද්ධාව ඇත්තා යම් විටෙක ඇතිවන ශ්‍රද්ධා මාත්‍රයෙන් එය පිහිටි ශ්‍රද්ධාවක් නො සෙල්වෙන ශ්‍රද්ධාවක් බවට පත් කර ගතහොත් එයම ඔහුට බුදුසමයේ උතුම් ඵල සාක්ෂාත් කර ගැනීමට උපකාරි වෙයි.
ශ්‍රද්ධා සමඟ ඈදුතු පදය නම් ප්‍රඥාවයි. එයින් ම පැහැදිලිවන්නේ භාවාත්මක හැඟීමක් වූ ශ්‍රද්ධාව විතර්කයට තුඩු දෙන ප්‍රඥාවෙන් විමසීමෙන් වැඩිය යුත්තක් බවයි. හදවතක් ,මොළයක්, හැඟීමත්, තර්ක බුද්ධියත් සමානව දියුණු කළ යුතු බව බුදු සමයේ ඉගැන්වෙන්නේ මේ නිසා ය.

අනෙක් අතට සංයුත්ත නිකායේ සඳහන් වන පරිදි බුදුගුණ සිතේ දරන්නා තුළ රාගයෙන් මෙහෙයවන සිතිවිලි හෝ දෝසයෙන් ඔසවා තබන ලද සිතිවිලි ඇති නොවේ. මෝහය නිසා වන උදාසීන, නිදිබර ගතියෙන් මිදී ප්‍රබෝධය ඇතිවන ඔහු සිත පව පින හඳුනාගත හැකි සම්මා දිට්ඨිය පදනම ද පවතියි. යම් විටෙක යම් අරමුණක් මුල් වී ඔහු තුළ සැදැහැ මාත්‍රයක් පහළ වී ද, ඒ මුල් කරගෙන සිහි නුවණ දියුණු කරගෙන රාගාදී ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කිරීම තුළින් ඔහුට නිවන සාක්ෂාත් කළ හැක. එසේ නොවූ විට ජීවිත සිදුවීම් අතර තදින් සිත් ගත් තථාගතයන් වහන්සේ පිළිබඳ වූ ප්‍රසාදනීය හැඟීම මැරෙන මොහොත සිහිපත් වීමෙන් සග සුව ලැබීමට හේතුවනු ඇත.


කඩවත සමාධි මැදුරේ 
ශාස්ත්‍රපති
පයාගල නන්ද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා   දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment