Labels

Wednesday, December 20, 2017

අරහං ගුණ අර්ථ සාගරයකි

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 11


බුදුරජාණන් වහන්සේට,සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ විසින් දානයක් පූජා කරනු ලබනවා, සැරියුත් මහා රහතන් වහන්සේට. මේ දානයෙන් කොයි දානය ද මහත්ඵල වන්නේ? බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයයි. ඇයි? බුදුරජාණන් වහන්සේ තරම් දානය ගැන දන්න කෙනෙක් මේ ලෝකයේ නෑ. උන්වහන්සේ තමයි අග්‍ර. අන්න උන්වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේට පූජා කරපු දානය මහත්ඵලයි. මහත් ආනිසංසයි. ඒ නිසා තථාගතයන් වහන්සේ “අරහං” ගුණයෙන් යුක්තයි කියා කියන්නේ.
අපේ දාන දක්ෂිණාව පිළිගන්ට ශ්‍රේෂ්ඨයි. ඒ නිසා බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් මලක් පූජා කරනවා ද?, පහනක් පූජා කරනවා ද? සුවඳ දුම්, පැන් වීදුරුවක් යම් දෙයක් පූජා කරනවා නම් අග්‍ර දක්ඛිණෙය්‍ය ගුණයෙන් යුක්ත බුදුපියාණන් වහන්සේටයි මේ අපේ පූජාව කියලා පූජා කරන්න. එසේ ම ආලෝක පූජාවක් කරනවිට හිතන්න ‘අවිද්‍යාව නැමැති අඳුරෙන් මේ ලෝකය වැසුණු සමයක ප්‍රඥා ලෝකයෙන්, ධර්මාලෝකයෙන්, නිර්වාණ ආලෝකයෙන් ආලෝකමත් කළ බුදුපියාණන් වහන්සේටයි මගේ මේ ආලෝක පූජාව’ කියලා. ‘මේ ලෝකය ම සිල් සුවඳින්,ගුණ සුවඳින්,නැණ සුවඳින්,සඳහම් සුවඳින් සුවඳවත් කළ උතුමන් වහන්සේටයි මගේ මේ සුවඳ දුම් පූජාව’ කියල හිතන්ට. “මේ තුන් ලෝක ධාතුව එකම මල් ආසනයක් බවට පත් කරමි. එකම මල් දමක් බවට පත් කරමි.

බුදුවුණු උතුමන් වහන්සේට ඒ වාගේ ම පිරිසුදු කාය කර්ම, පිරිසුදු වචී කර්ම, පිරිසුදු මනෝකර්ම ඇතිව නිවන් මඟ පාරමී පුරාගත් උතුමන් වහන්සේටයි මේ මගේ මල් පූජාව කියල හිතන්න.

ඒ වගේ ම කාය දාහයක්, මානසික දාහයක්, චිත්ත දාහයක් ක්ලේශ දාහයක්වත් නැති කිසිම දාහයක් නැති මෛත්‍රියෙන් කරුණාවෙන් සිසිල් හදවතක් ඇති,බුදුපියාණන් වහන්සේටයි මගේ මේ පැන් පූජාව’ කියල පූජා කරන්න. උන්වහන්සේ තරම් දාන දක්ෂිණාවක් පිළිගන්නට සුදුස්සෙක් මේ ලෝකයේ නෑ. අප්‍රමාණ ගුණ ඇති, අප්‍රමාණ දානාදී පාරමී පුරාගෙන පැමිණි උත්තමයාණන් වහන්සේටයි මගේ මේ ආහාර පූජාව කියල පූජා කරන්න. එසේ පූජාකරන්නේ නම් තමයි ඒ දක්ෂිණාව අපට මහත්ඵල මහත් ආනිසංස වෙන්නේ. ඒ තමයි “අරහං” ගුණයේ කෙටි අදහස. නමුත් මෙහි ගැඹුරට යන කොට තව අර්ථ රාශියක් තිබෙනවා.

අරහං ගුණය

අනුත්තරං ධම්මචක්කං ආණාචක්කං ච පවත්තෙතුං අරහතීති අරහං’
අනුත්තර වූ ධර්ම චක්‍රයයි, ආඥා චක්‍රය පවත්වන්නට සුදුසු නිසා කියනවා ‘අරහං’ කියලා. අනුත්තර ධර්ම චක්‍රය සහ අනුත්තර ආඥා චක්‍රය. දැන් මේ මොකක් ද කියන්නේ. දැන් ධර්ම චක්‍රය කියන කොට ‘ධම්මං ච පවත්තේන චක්කංචාති ධම්ම චක්කං’ ධර්මය සමඟ මේ චක්‍රය පවත්නා නිසා ධර්ම චක්‍රයයි. ඒ වාගේ ම ‘චක්කංච පවත්තෙන’ ‘ධම්මං චාති – ධම්මචක්කං’ මේ ධර්මයයි, ධර්මය සහ චක්‍රය එකට පැවැත්වීම ධර්ම චක්‍රය. දැන් මේ ධර්ම චක්‍රය කියන කොට මෙතන කියනවා ප්‍රතිවේද ධර්ම චක්‍රය, දේශනා ධර්ම චක්‍රය කියා. පටිවේදය කියා කියන්නේ එදා දීපංකර පාද මූලයේ පටන් ලොව්තුරා බුදුවන බෝධි මණ්ඩලය දක්වා උන්වහන්සේ එක දිගට ම වෙනස් නොවන ප්‍රතිපදාවෙන් ගමන් අරගෙන මේ ධර්මය සියල්ලක් අවබෝධ කරගත්තා.
සතර සතිපට්ඨාන ධර්මයන්, සතර ඉර්දිපාද ධර්මයන්, සතර සම්‍යක් ප්‍රධාන ධර්මයන්, ඉන්ද්‍රිය බල බොජ්ඣංග ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන්, පටිච්ච සමුප්පාද ධර්මයන්, ස්කන්ධ ආයතන ධාතු ධර්මයන් මේ සියල්ලක් ම අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගැනීම දක්වා ම අප කියන්නේ පටිවේද ධර්ම චක්‍රයයි. අවබෝධ කරගත්ත ධර්මය ආරම්ිභ කරනවා දේශනා කරන්න ‘අනුත්තරං ධම්මචක්කප්පවත්තෙතුං - ගච්ඡාමි කාසිනං පුරං’ කොහෙද? බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී,අනුත්තර ධර්ම චක්‍රය පවත්වනවා. මෙයයි දේශනා ධර්ම චක්‍රය. උන්වහන්සේ එදා චතුරාර්ය සත්‍යය ධර්මයන් සහිත මේ වෙය්‍යාකරණ දේශනාව දේශනා කළා. ඒ දෙසුම් කෙළවර අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. දැන් එතකොට ආඥා චක්‍රය ආඥා කියා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ආඥා චක්‍රය ගැන කතා කරන කොට බුදුරජාණන් වහන්සේගේ බලය පිහිටන ස්ථාන තුනක් තියෙනවා. අප කියනවා ඒකට ජාතික්ඛෙත්ත, ආණක්ඛෙත්ත, විසයක්ඛෙත්ත කියා.
ජාතික්ඛෙත්ත කියා කියන්නේ බෝසතාණන් වහන්සේ උප්පත්ති මංගල්‍යය සිද්ධවෙන වේලාවේ දී, ඒ වාගේ ම සම්මා සම්බුද්ධත්වය සිද්ධ වෙන වේලාවේ දී, ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ වෙන වේලාවේ දී, යමක මහා ප්‍රාතිහාර්යය සිද්ධ වෙන වේලාවේදී, ඒ වාගේ ම ආයු සංස්කාර අත්හරින වේලාවේ දී. පිරිනිවන් පාන වේලාවේ දී දස දහසක් සක්වල කම්පා වෙනවා. අප ඒකට කියන්නේ ජාතික්ඛෙත්ත කියා. බුදුරජාණන් වහන්ස්ගේ බලය පිහිටවපු අවස්ථාව.
ආණක්ඛෙත්ත කියා කියන්නේ උන්වහන්සේ විශාලා මහනුවර දී රතන සූත්‍ර දේශනාවේ බල පිහිටුවලා දේශනා කළ කෝටි ලක්ෂයක් සක්වල අනසක පැවැත්වූවා. ඒ වාගේ මෝර පරිත්ත, ධජග්ග සූත්‍රය, ආටානාටිය සූත්‍රය වැනි සූත්‍ර දේශනාවන් කළා ඒවා කෝටි ලක්ෂ්‍යක් අනසක පැවැත්වූවා. මෙහි දී අප කියන්නෙ ආණාචක්‍රය කියා.
විසයක්ඛෙත්ත කියා කියන්නේ අනන්ත අප්‍රමාණ විශ්වය පුරා බුදුපියාණන් වහන්සේට අවශ්‍යවන්නෙ කොපමණ දුරද, ඒතාක් දුර උන්වහන්සේ ගේ බලය පිහිටුවන්න පුළුවන්. අප ඒකට කියන්නේ විසයක්ඛෙත්ත කියා. එහෙනම් දැන් තේරුම් ගන්නට ඕන තථාගතයන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තා පටිවේද ධර්ම චක්‍රයෙන්, උන්වහන්සේ ධර්ම දේශනා කළා ඉසිපතනයේ මිගදායේ පටන් අන්න දේශනා ධර්ම චක්‍රය උන්වහන්සේගේ මේ ධර්මයේ බල පිහිටෙව්වා. කෝටි ලක්ෂයක් සක්වල අනසක සියල්ලක් පවත්වන්ට බල පිහිටුවන්ට සමර්ථ බැවින් සුදුසු බැවින් අප කියනවා “අරහං” කියා. දැන් මේ අරහං ගුණයේ විශේෂ තේරුම් කිහිපයක් තියෙනවා.

අරහං ගුණ මහිමය



“ආරකත්තා ඉතිපි අරහං” - අපගේ බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකලක්ලේශයන් කෙරෙන් දුරු වූ බැවින් අරහං වන සේක.
“අරීනං හතත්තා ඉතිපි අරහං” - බුදුරජාණන් වහන්සේ කෙලෙස් සතුරන් සියල්ල නැසූ නිසා අරහං වන සේක.
අරානං හතත්තා ඉතිපි අරහං” - සංසාර චක්‍රයේ අවිද්‍යා ආදී සියලුම සිඳලූ නිසා අරහං වන සේක.
පච්චයානං අරහන්තා ඉතිපි අරහං” - ආමිස ප්‍රතිපත්ති පූජාවන් ලබන්ට සුදුසු නිසා අරහං වන සේක.
“රහෝ පාපකරණෙ රහාභාවා ඉතිපි අරහං” - රහසින්වත් පව් නොකළ නිසා අරහං වන සේක.
මේ ගුණ පහ අර්ථ රාශියකි. අර්ථ සාගරයකි. මේ අර්ථ සාගරය පළමු අර්ථය නම් ‘ආරකත්තා ඉතිපි අරහං’ සියලු කෙලෙස් නැති කළා. හැබැයි වාසනා සහිත. ඊළඟට අරිහත් සුවභාවය හැමෝට ම ලැබෙන දෙයක්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් රහත් වුණා කියා කියන්නේ අරිහත්වය ලැබුවා. එනම් උන්වහන්සේ සියලු කෙලෙස් නැති කළා, බුදුරජාණන් වහන්සේත් කෙලෙස් නැති කළා, දැන් බලන්න, භාජනයක් ගත්තොත් මේ භාජනයට දානවා මොනවා හරි. අබ තෙල් ටිකක් කියමුකෝ. අබ තෙල් දාලා, ටික දවසක් ගිහිල්ලා මේ අබ තෙල් ටික අස්කරලා සෝදා දැන් වෙන දෙයක් දාන්නට ඕනේ. සුද්ද කරතත් අර අබ තෙල් සුවඳ තියෙනවා නේද? දැන් අපි කියමු මාළු, මස් වගේ දෙයක් උයනවා භාජනයක, උයලා ඉවර වෙලා සෝදලා තිබ්බත් ටිකක් හරි අර ගඳ එනවා නේද? ඒ වාගේ තමයි රහතන් වහන්සේලාත්, උන්වහන්සේලා කෙලෙස් සියල්ල නැති කළාට සසර පුරුදු නැති කරලා නෑ. උන්වහන්සේලාට පුරුදු තියනවා නමුත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැතිකරන්නේ සසර පුරුදු සහිතව සියල්ලම නැති කරනවා. ඒකයි ‘වාසනා’ කියන එකේ අදහස. වාසනා කියලා කියන්නේ සසර පුරුදු ඇති කරවන සියලුම කෙලෙසුන්ගෙන් උන්වහන්සේ අත මිදුණා.



ත්‍රිපිටකාචාර්ය, 
අභිධර්ම විශාරද
දිගන සුගතවංශ හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා   දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි



වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක - 12

No comments:

Post a Comment