අප ගෞතම සම්බුදු පියාණන් වහන්සේ ලොවට පහළවීම පෙර කල්ප සියදහස කට පෙරාතුව ලොව පහළ වූ පදුමුත්තර සම්මා සම්බුදුපියාණන් වහන්සේ සියලු ලෝක සත්ත්වයන්ගේ යහපත උදෙසා උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සේක.
එකල්හි සකුලාවෝ හංසවතී නුවර රජුගේ රූමත් දියණියක වී උපත ලැබුවා ය. ඇය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ, මවගේ සොහොයුරියකගේ දියණිය වූවා ය.ඇය සුරූපී ය. ධනවත් ය. අනුකම්පා සහගතය .ඒ නිසාම කීර්තිරාවය පැතර ගිය නන්දා නමින් ප්‍රකට වූවා ය. සිව් ආභරණයන්ගෙන් සැරසුණු, රාජ කන්‍යාවන් විසින් පිරිවැරූ පින්වත් නන්දා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙත පිවිස මහත්වූ ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුබණ ඇසුවා ය.
එදින පදුමුත්තර බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුණියක් දිවැස් ඇත්තියන් අතර අගතැනට පත්කරනු ලැබූහ. ඒ උතුම් අවස්ථාව දැක ශ්‍රද්ධාවට එළඹි නන්දාවෝ ද දිවැස් ඇත්තියන් අතර අගතනතුර පැතුවා ය. ඒ සිතින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන්දී පුද පූජා පවත්වන්නට වූවා ය. ඒ පැතුම සඵල වන බව පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇයට පැවසූ සේක. මහත් වූ සතුටට පත්වූ නන්දා එම චේතනාව ම ඇතිකොට, උපාදාන සිතැතිව මිනිස් දිවිය අතහැර තව්තිසා දෙව්ලොව උපත ලද්දී ය. පසුව මේ උත්තරීතර මහා භද්‍ර කල්පයෙහි මහා කාශ්‍යප බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි හුදකලාව හැසිරෙන පරිබ්‍රාජිකාවක වූවා ය. පිණ්ඩපාත දානයෙන් ම තෙල් ටිකක් ලබාගත්තී ය. ඉතාමත් ශ්‍රද්ධාසම්පන්න පරිබ්‍රාජිකාවක වූ ඕ තොමෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිත් ඇතිව පිණ්ඩ පාතයෙන් ලබාගත්තා වූ තෙල්වලින් පහන් දල්වා බුදුරජාණන් වහන්සේ ගේ චෛත්‍යයට පිදුවා ය. මෙසේ කරන ලද පින් ඇත්තී මිනිස් දිවිය අතහැර තව්තිසා භවනෙහි මහත්වූ පහන් ආලෝකය අතරෙහි උපත ලැබුවා ය.
යම් භවයක උපන්නී ද, ඒ හැම තැන්හිම මහා පහන් ඕ තොමෝ වටකොට දැල්විණි. යන එන සෑම තැනක දී ම කැමති කැමති සියල්ල ලද හැකිවිය. පිරිසුදු දර්ශනයන් ඇති විය. ශ්‍රද්ධාව ඇතිව ප්‍රඥාසම්පන්න වූවා ය. මසේ කර්ම ඵලයන්ට අනුව සැප විදි ඕ තොමෝ අප ගෞතම සම්බුදුපියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වූ සමයෙහි දී ශ්‍රාවස්ති නම් සශ්‍රීක පුරවරයෙහි බමුණු කුලයක සකුලා නමින් උපත ලද්දී ය. බොහෝ ධනධාන්‍යයන්ගෙන් සමෘද්ධිමත් වූවා ය. මහත් වූ කීර්තියකින් සපිරුණූ, රාජ පූජිත පුණ්‍යවන්ත කාන්තාවක් බවට පත්වූවා ය. ඉතාමත් අලංකාර ශරීරයකින් යුක්ත වූ ඕ තොමෝ සියලු ආභරණවලින් සැරසී සිට දැල් කවුළුවෙන් බලා සිටිනා කළ බුදුරජාණන් වහන්සේ නගරයට පිවිසෙනු දැක උන්වහන්සේගේ සන්සුන් ඉඳුරන් කෙරෙහි මනා වූ පැහැදීමක් ඇතිකරගත්තී ය. ඒ ශ්‍රද්ධාවෙහි බලවත් බව කෙබඳුද යත් ගෞතම සම්බුදු සසුනෙහි උත්තරීතර පැවිද්ද ලැබීමේ ආශාව බලවත් විය. සංසාරයෙහි පුරන ලද පාරමී බලයෙන් ගෞතම සසුනෙහි උතුම් පැවිද්ද ලබාගත්තී ය.
වටිනා වූ සියලු ආභරණයන් මුදාහරිමින් දිදුලන කෙස් කළඹේ අනිත්‍ය බව දකිමින් සියල්ල අතහැර කසාවත් දරාගත්තී පෙර සංසාරයෙහි අප්‍රමාණ කුසල් දහම් වැඩූ නිසා බව මනාව පැහැදිලි වන්නේ මය.
නොබෝ කලකින් සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට සකුලා මහරහත් තෙරණින් වහන්සේ නමක් බවට පත්වූවා ය.
ඍද්ධි බලය ලබාගත්තී ය. දිව්‍ය ශ්‍රෝත ඥානය ලැබීය. පරචිත්ත විජානන ඥානය ලැබුවා ය. තථාගත බුදුපියාණන් වහන්සේගේ සම්බුද්ධ අවවාදය ඉටුකරන්නට ඕ තොමෝ සමත් වූ සේක. පෙර කරන ලද ප්‍රාර්ථනා ඇති සකුලා මහරහත් තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් දිවැස් ඇත්තියන්ගෙන් අග්‍ර වන්නේ යැයි දේශනා කොට වදාළ සේක. තමන් වහන්සේගේ පිළිවෙළ, ප්‍රතිපදාව පිළිබඳව සතුටුව රෝගී සිතින් නිරාමිස උදානයෙන් නැඟී ආවෝ ය.
“අගාරස්මිං වසන්තීහං – ධම්මං සුත්වාන භික්ඛුනො
අද්දසං විරජං ධම්මං – නිබ්බාන පදමච්චුතං”
අද්දසං විරජං ධම්මං – නිබ්බාන පදමච්චුතං”
“ගිහිගෙයි වෙසෙන මම භික්ෂුවකගේ ධර්මය අසා නිවන් සුව ගෙන දෙන්නාවූ මරණයක් නැති පිරිසුදු ධර්මය දුටිමි”.
“සාහං පුත්තඤ්ච ධීතඤ්ච – ධනධඤ්ඤච ඡඩිඩිය
කෙසෙ ඡෙදාපයිත්වාන –පබ්බජිං අනගාරියං”
“ඒ මම දූ පුතුන්, ධනධාන්‍ය ආදි සියල්ල ම අත්හැර කෙස් සිඳ අනගාරික ශාසනයෙහි පැවිදිවීමි.”
“සික්ඛමානා අහංසන්ති – භාවෙන්තී මග්ගමඤ්ජසං
පහාසිං රාග දෙසඤ්ච – තදකට්ඨෙච අසවෙ”
පහාසිං රාග දෙසඤ්ච – තදකට්ඨෙච අසවෙ”
“සසුනෙහි හික්මෙමින් මාර්ගඵලය ලබනුවස් බවුන් වඩමින් රාග ද්වේෂ දුරුකළෙමි. එසේම ආශ්‍රවයන්ද ක්ෂය කළෙමි”.
“භික්ෂුණි උපසම්පජ්ජ – පුබ්බජාතිමනුස්සරිං
විසොධිතං දිබ්බචක්ඛුං විමලා සාධු භාවිතං”
විසොධිතං දිබ්බචක්ඛුං විමලා සාධු භාවිතං”
“භික්ෂුණීන් වෙත එළඹ පෙර ජාතින් සිහිකළෙමි. දිවැස පිරිසුදු කළෙමි. ඉතා පිරිසුදු වී මැනවින් මනස වැඩියෙමි.”
“සංඛාරෙ පරතො දිස්වා – හේතුජාතෙ පරලොකිතෙ
පහාසිං ආසවෙසබ්බෙ – සිතිභූතම්හි නිබ්බුතා”
පහාසිං ආසවෙසබ්බෙ – සිතිභූතම්හි නිබ්බුතා”
“සංස්කාරයන් අනාත්ම වශයෙන් දැක හේතුවකින් හටගන්නා හැමදෙයක් ම බිඳෙනසුලු බව දැක සියලු ආස්‍රවයන් දුරුකොට නිවී සිහිල් වූයෙමි.”
මෙලෙසින් අනන්ත අප්‍රමාණ කාලයක් ජාති,ජරා, ව්‍යාධි, මරණ එකොළොස් දුක්ඛයන් විඳිමින්, පේ‍්‍රත තිරිසන්, අසුර, නරකයෙහි ඉපිද, බ්‍රහ්මලෝක දිව්‍ය ලෝකවල අනන්ත සැප විඳ සංසාර සාගරයෙහි ඇලි ගැලී වාසය කළ සකුලාවෝ සියලු බැඳීම් සිඳ දමා උතුම් රහත් තෙරණියක ලෙසින් මේ මහපොළෝ තලයේ අවසාන උපත සනිටුහන් කළා ය. සකුලා මහරහත් තෙරණි ගුණ නාමය, පහන් පිදීමට සිතැත්තෝ වෙසෙසින් උකහා ගනු ඇත. ජීවිතයට හරයක් ම, වීර්යයක් ම ශක්තියක් ම එකතු කරගනු ඇත.
මොරගොල්ලාගම
උපසමා සිල්මාතාව
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 10 වන ඉරිදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment