ධර්ම මාර්ගයතුළ යමක් අසන්නේ ද, එය මැනවින් සිතේ දරාගෙන එහි වෙසෙමින් දැනීමට පමණක් සීමානොකොට ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කෙටගෙන ම ඉදිරියට යා යුතු ය."
මෙම දහම් කතාව කියවන හැම කෙනෙකුට ම බෝධිසත්වයන් වහන්සේ ආර්ය පර්යේෂණයේ දී පිළිවෙළින් තමන් වහන්සේ අවබෝධ කරගෙන පැමිණි ගමන පිළිබඳව අවබෝධයක් ඇතිකර ගත හැකියි.
මේ සූත්‍ර දේශනාව කියවා සිතින් අමතක නොකොට අපගේ ධර්ම මාර්ගයට එකතුකරගත යුතු කුමක් දැයි සිහිපත් කළ යුතුයි. මුල පටන් ම ඇති කරගත් අවබෝධයෙන් නිවන් මඟ ගමන් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ ශ්‍රද්ධාවට පමණක් සීමා නොවී තමන් විසින් ම ප්‍රත්‍යක්ෂ කොටගෙන ම ඉදිරියට යා යුතු බව මේ ධර්ම කතාවෙන් පැහැදිලියි.
බොහෝ පිරිසක් ඇසූ දහම් කරුණු මතකයේ තබා ගනිමින්, තම ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් අවබෝධ කර නොගනිමින් ඉදිරියට යෑමෙන් ධර්මයේ සැබෑ ප්‍රතිඵල නොලැබෙන බව පැහැදිලියි. මේ නිසා පිළිවෙලින්
අනුපුබ්බ සික්ඛා
අනුපුබ්බ කිරියා
අනුපුබ්බ කිරියා
අනුපුබ්බ පටිපදා යනුවෙන් ධර්මයේ පැහැදිලි කරන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. එනම් අනුපූර්ව ක්‍රමයෙන් ම අප ඉදිරියට ගමන් කළ යුතුම ය. ආර්ය පර්යේෂණ සූත්‍රයෙන්, බෝධිසත්වයන් වහන්සේගේ ධර්ම පර්යේෂණයෙන් අපගේ ජීවිතවලට ද එකතු කර ගත යුතු වූ දහම් උපදේශය එයයි.
ධර්ම මාර්ගය තුළ යමක් අසන්නේ ද, එය මැනවින් සිතේ දරාගෙන එහි වෙසෙමින් දැනීමට පමණක් සීමානොකොට ප්‍රත්‍යක්ෂයෙන් ම අවබෝධ කෙටගෙන ම ඉදිරියට යා යුතු බව මේ අනුව පැහැදිලි ය.
භාග්‍යවතුන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කළ සේක. මහණෙනි, ඉක්බිති මම උද්ධකරාමපුත්‍ර වෙතට එළඹුණෙමි. එසේ එළඹී උද්ධකරාමපුත්‍රයන්ට මම මෙසේ සඳහන් කළෙමි. ‘ඔබේ පියා වූ, රාම තෙමේ මේ ධර්මය මෙපමණකින් තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කළේ ද?’ උද්ධකරාමපුත්‍ර මෙසේ සඳහන් කළේ ය.
රාම තෙමේ මේ මතයකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කළේ යැයි සඳහන් කළා ය. මම ද මෙපමණකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරමියි කියමි’
බෝධිසත්වයන් වහන්සේ උද්ධකරාමපුත්‍ර වෙතට පැමිණ සඳහන් කළේ ඔබ යම් වූ ධර්මයක් මේ ආකාරයකින් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කරනවා ද, මමත් මේ ආකාරයෙන් ම ඒ ධර්මය තමන් විසින් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ දැන් වාසය කරන බවයි.
බෝධිසත්වයන් වහන්සේ මේ අවස්ථාවේ, උද්ධකරාමපුත්‍රයන්ගේ දැනුමත් තමාගේ ම අවබෝධයෙන් ම ඇති කරගෙන ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් ම දැන වාසය කරන බව ඒ කතාවෙන් පැහැදිලි කරති.
බුදුරජාණන් වහන්සේ මෙසේ නැවතත් දේශනා කරති. “උද්ධකරාමපුත්‍ර මට මෙසේ සඳහන් කළේ ය. ‘යම් බඳු වූ අප තොප වැනි සබ්‍රහ්මචාරී ආයුෂ්මතෙකු දකින්නේ ද? එය අපට මහත් ලාභයකි. එය අපිට මහත් වූ ලැබීමකි.” මෙසේ සඳහන් කරමින්, උද්ධකරාමපුත්‍ර යම් ධර්මයක් තමන් විශිෂ්ට ඤාණයෙන් දැක ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ ප්‍රකාශ කළේ ද? නුඹත් ඒ ධර්මය තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රකාශ කරන බව පෙනෙනවා. නුඹත් එහි ම වාසය කරන බව පෙනෙනවා. තෙපි යම් ධර්මයක් තමන් විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කරවු ද? රාම තෙමේ ඒ ධර්මය විශිෂ්ට ඤාණයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ ප්‍රකාශ කරමින් වාසය කරනවා. මෙසේ යම් ධර්මයක් රාම තෙමේ දැන ගත්තේ ද? ඒ ධර්මය නුඹ දන්නවා. යම් ධර්මයක් නුඹ දන්නවා ද? ඒ ධර්මය රාම තෙමේත් දන්නවා. මෙසේ රාම යම් බඳු වූයේ ද නුඹත් ඒ වගෙයි. නුඹ යම් බඳු වූයේ ද රාම තෙමේත් ඒ වගෙයි.
ඇවැත්නි, මෙහි එන්න. දැන් නුඹ මගේ ළඟ සිටින මේ පිරිස පරිහරණය කරන්න. එනම් ශිෂ්‍යයන් වශයෙන් පවත්වාගෙන ඔවුන්ට උගන්වන්න. මෙසේ රාමපුත්‍ර මාගේ සබ්බ්‍රහ්මචාරී වූයේ ම මා ඇදුරු තනතුරේ තැබී ය. එනම් මා හා සමඟ එක්ව සමානව දැනුමෙන් ද යුක්තව වාසය කරනවා සේ ම මම ආචාර්ය තනතුරෙත් තැබුවා. මහත් වූ පූජාවකිනුත් මා පූජා කළා. මට මේ ධර්මය සසර කළකිරීම පිණිස නොවේ යනුවෙන් හැඟුණා. විරාගය පිණිස නොවේ, නිරෝධය පිණිස නොවේ. කෙලෙස්වල සංසිඳීම පිණිස නොවේ. අභිජ්ජා පිණිස නොවේ. සම්බෝධිය පිණිස නොවේ. නිවන පිණිස නොවේ. එසේ නොපවතියි. මෙය හුදෙක් නේවසඤ්ඤා නාසඤ්ඤා ආයතනයේ ඉපදීම පිණිස පමණක් ම වෙති. යන මේ අදහස මට ඇති වුණා. මම ඒ ධර්මය නිවනට ප්‍රමාණ නොවන බව අවබෝධ කොටගෙන මෙයින් මට කම්නැත. ඒ ධර්මයෙන් කළකිරී මම බැහැරට යන්නට ගියෙමි.
බෝධිසත්වයන් වහන්සේ දෙවෙනි ගුරුවරයා වූ උද්ධකරාමපුත්‍රයන්ගෙන් ලැබිය හැකි නේවසඤ්ඤා, නාසඤ්ඤා ආයතන යන ධ්‍යාන අවස්ථා මැනවින් ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් දැන අවබෝධ කොටගෙන මෙය ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියෙන් නිදහස් ව, සසරේ නොඇලී, සියල්ල අත්හැර, කෙලෙසුන්ගෙන් සංසිඳීම ඇතිකොට නිවන පිණිස ඒ දහම නොවන බව අවබෝධ කොටගෙන ඉන් බැහැරට ගමන් කළ සේක.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 26 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment