‘එවමෙව ඛො රාහුල, යස්ස කස්සචි සම්පජාන මුසාවාදෙනත්ථි ලජ්ජා, නාහං කස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි’
පින්වත්නි,
අද ධර්මදේශනාවෙන් ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේ සැට එක් වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ සඳහන්වන වැදගත් කාරණයක් පිළිබඳවයි. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කළ සූත්‍රයක්. රාහුල පුංචි හාමුදුරුවන් පිළිබඳව අප කවුරුත් හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ යසෝධරා දේවිය තම සත් හැවිරිදි පුතු රාහුල කුමරුට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී උන්වහන්සේගෙන් තමාට හිමි දායාදය ඉල්ලා ගන්නා ලෙස කියා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. තම උරුමය ඉල්ලා සිටි රාහුල කුමාරයාට දිය හැකි උතුම්ම දායාදය හිමිකර දීම සඳහා ඔහු පැවිදි කරවන ලෙස සැරියුත් හිමියන්ට නියම කළා. ඒ වන විට බුදු සසුනේ පැවිදිව සිටි විසිදහසක් පමණ වූ සියලුම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කළ අයයි. යමෙක් තමාට පැවිදිවීමට අවශ්‍යයයි බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට තමන් වහන්සේගේ
දකුණූ ශ්‍රී හස්තය දිගු කොට, මහණ, මෙහි එන්න. දුකමැනවින් දුරුකර ගැනීම සඳහා ශාසන බ්‍රහ්ම චරියාවේ හැසිරෙන්න යයි ප්‍රකාශ කළ විට ඉබේම කෙස් රැවුල් ඉවත් වී සිවුරු පෙරවී හැට වයස් පිරුණු මහරහතන් වහන්සේ කෙනෙක් මෙන් උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටින බව සඳහන් වේ. මෙසේ පැවිදි කිරීම ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාවයි. මේ පැවිද්ද ලබා දිය හැකි වන්නේ බුදු කෙනෙකුට පමණයි. ඒ අනුව මේ පැවිදි වූ සියලු දෙනාම තම කැමැත්තෙන් පැවිදි වූ අය බව පැහැදිලියි. එහෙත් රාහුල කුමාරයා තම කැමැත්තෙන් පැවිද්ද ඉල්ලූ කෙනෙක් නොවේ. ඒ නිසා පැවිදි කරන කෙනෙක් එසේ පැවිදි කරන්නේ කෙසේදැයි සැරියුත් හිමියන් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි විට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පැවිදි කරන පිළිවෙළ දේශනා කළා. ඒ අනුව මේ බුදු සසුනේ පැවිදි කරවූ පළමු පුද්ගලයා රාහුල කුමාරයායි. එසේ පැවිදි වූ රාහුල පුංචි හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ සමඟ රජගහ නුවර වේළුවනාරාමයට වැඩමකොට අම්බලට්ඨිකා නම් වූ සෙනසුනෙහි වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ තම පුත්‍ර වූ රාහුල පුංචි හාමුදුරුවන් පිළිබඳව නිතර සෙවිල්ලෙන් පසු වූ අතර තමන් වහන්සේට විවේක ඇති විට රාහුල හිමියන් වැඩ සිටින සෙනසුනට වැඩම කොට සැපදුක් සොයා බලා අවශ්‍ය අවවාද අනුශාසනා කිරීම සිරිතක් වශයෙන් සිදුකළා. වරක් එසේ බුදුරජාණන් වහන්සේ අම්බලට්ඨිකාවට වැඩම කරන බව දුටු රාහුල හිමියන් පා සේදීමට වතුර භාජනයක් තබා වැඩහිඳීමට අසුනක් පිළියෙළ කළා. බුදුරජාණන් වහන්සේ පා සෝදා පැනවූ අසුනේ වැඩ සිටියා. මෙහි දී බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි හාමුදුරුවන්ට පැවිදි ජීවිතයට මෙන් ම ගිහි ජීවිතයටත් එකසේ අදාළ වැදගත් පාඩමක් ඉගැන්වීමට අදහස් කළා. මෙහි දී බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට කියා දෙන්නේ මුසාවාදයේ හෙවත් බොරු කීමෙහි ආදීනවයයි. ඒ සඳහා උන්වහන්සේ තමාට පා සේදීමට වතුර තැබූ භාජනය ප්‍රයෝජනයට ගත්තා. එම භාජනය රාහුල හිමියන්ට පෙන්වූ බුදුරජාණන් වහන්සේ රාහුල, ඔබට මෙහි කුමක් දක්නට ලැබේදැයි විමසා සිටියා. එවිට රාහුල හිමියන් ස්වාමීනි, වතුර ස්වල්පයක් දක්නට ඇතැයි ප්‍රකාශ කළා. එවිට බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් අමතා ‘රාහුල, යමෙක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ මහණකමත් මේ වතුර ස්වල්පය මෙන් ස්වල්ප වන්නේ යයි දේශනා කළා.
අනතුරුව එම වතුර ස්වල්පය ඉවත දමන්නැයි වදාළ බුදුරජාණන් වහන්සේ යමෙක් දැන දැන බොරු කියන්නේ නම්, ඔහුගේ මහණකමත් එම වතුර ස්වල්පය බැහැර වුවා සේ ඔහුගෙන් බැහැර වන බවත් දේශනා කළා. අනතුරුව එම වතුර භාජනය යටිකුරු කිරීමට උපදෙස් දුන් බුදුරජාණන් වහන්සේ යමෙක් දැන දැන බොරු කියන්නේ නම් ඔහුගේ මහණකමත් යටිකුරු කළ භාජනයක් සේ කිසිම ගුණධර්මයක් රඳා නොපවතින, එසේම ඇතුල් කිරීමට උත්සාහ දරන සියලු ගුණධර්ම බැහැරව විසිරී යන එකක් වන බවත් රාහුල හිමියන්ට පැහැදිලි කර දුන්නා. ඉන්පසුව එම භාජනය නැවත උඩුකුරු කරවූවා. එහි ඇති හිස් බව රාහුල හිමියන්ට පෙන්වූ බුදුරජාණන් වහන්සේ දැන දැන බොරු කියන භික්ෂුවගේ අභ්‍යන්තරයත් කිසි ගුණධර්මයක් නොමැති හිස් එකක් බව අවධාරණය කළා. රාහුල හිමියන් භික්ෂුවක් නිසා වතුර භාජනය උපයෝගී කර ගනිමින් මෙසේ සතර ආකාරයකින් බොරු කීමේ ආදීනව භික්ෂු ජීවිතයට අදාළව දේශනා කළත් බොරුකීමේ ආදීනව සාමාන්‍ය ගිහි ජීවිතයට අදාළව සලකා බැලුවහොත් උන්වහන්සේ මෙයින් අවධාරණය කරන්නේ බොරු කියන පුද්ගලයාගේ මිනිස්කම ඔහුගෙන් ඉවත්ව ගොස් ඔහු හිස් මිනිසෙක් බවට පත්වන බවයි.
නැවත යුද්ධයට බැසගත් ඇතෙක් උදාහරණයට ගන්නා බුදුරජාණන් වහන්සේ යුද වැදුණු ඇතා තම දළ දෙකත්, පා සතරත්, වල්ගයත්, හිසත් යුද්ධය සඳහා භාවිත කළත් ඔහු තම සොඬය මුවතුළ තබාගෙන රැක ගන්නා බව දේශනාකොට ඇත. එය දකින ඇත් ගොව්වා ඇතා සුරක්ෂිතය යන හැඟීම ඇති කරගන්නා බවක් යම් ඇතෙක් යුද්ධය සඳහා සොඬවැලත් උපයෝගී කරගත්තේ නම් ඇත්ගොව්වා ඇතා තම ජීවිතය රජු වෙනුවෙන් පරිත්‍යාග කරන්නෙක් ලෙස සලකන බවත් දේශනා කොට සත්‍ය වචනය රැක ගන්නා පුද්ගලයා සොඬය රැක ගන්නා ඇතාට සමාන බවත් දේශනා කළා. ඒ ඇතා සොඬය රැක ගැනීම තුළින් තම ජීවිතය සුරක්ෂිත කරගන්නාමෙන් සත්‍ය වචනය රැක ගන්නා පුද්ගලයා අනෙක් මොන වරද කළත් සත්‍යය වචනය තුළින් තම ජීවිතය සුරක්ෂිත කර ගන්නා බව රාහුල හිමියන්ට පැහැදිලි කර දුන්නා. යම් කිසිවෙකුට බොරු කීමෙහි ලජ්ජාවක් නැතිද? ඔහුට කළනොහැකි පාප කර්මයක් නැතැයි මම කියමි. එහෙයින් රාහුල විහිළුවටවත් බොරුවක් නොකියන්නෙමි’යි හික්මිය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
ගිහි සමාජයට අදාළ පස්පව් අතර බරපතළම පාපය මුසාවාදයයි. බෝධිසත්වයන් වහන්සේ පාරමිතා පුරන සමයෙහි ඇතැම්විට උන්වහන්සේ අතින් ඇතැම් පාපයන් සිදුවුවත් කිසි විටෙක උන්වහන්සේ බොරු කීමක් නොකළ බව සඳහන් වීමෙන් එහි ඇති බරපතළ බව පැහැදිලි වෙයි. බොරු කියන පුද්ගලයාට කළ නොහැකි පාප කර්මයක් නැතැයි දේශනා කර ඇත්තේ එම නිස යි. මවුපියෝ දරුවන්ද, දරුවෝ මවුපියන්ද, ගුරුවරු ශිෂ්‍යයන්ද ශිෂ්‍යයෝ ගුරුවරුන්ද, සැමියා බිරිඳ, බිරිඳ සැමියාද, ආදී වශයෙන් සමාජයේ විවිධ පිරිස් ඔවුනොවුන් බොරුවෙන් රැවටීම සිදු කරයි. බොරුවෙන් මුළා වී එ නිසා ම අසරණ බවට පත්ව තම ජීවිතයෙන් ඒ සඳහා වන්දි ගෙවන්නන් පිළිබඳ තොරතුරු නිතර ජනමාධ්‍යයෙන් අපට අසන්නට දකින්නට ලැබෙනවා.
මේ නිසා බුදුරජාණන් වහන්සේ තම පුත් රාහුල පොඩි හාමුදුරුවන්ට ලබා දුන් මේ ජීවිතාදර්ශය පිළිබඳ අවධානය යොමු කොට මේ මහා සාවද්‍ය නම් වූ පාප කර්මයෙන් අත් මිදීමට අපි උත්සාහවත් වෙමු.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 26 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment