Labels

Friday, December 29, 2017

පුද්ගල විවිධත්වය

ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ දේශනා කළාවූ ශ්‍රී සද්ධර්මය සරවකාලීන වූ දහමක් වේ. උන්වහන්සේ පුද්ගල ස්වභාවය අධ්‍යයනය කරමින් ධර්මය දේශනා කළ සේක.අඳුරෙන් අඳුරට යන පුද්ගලයන්ද, අඳුරෙන් එළියට යන පුද්ගලයන්ද සිටින බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පුද්ගල ස්වභාවය අනුව යම් යම් උපමාවන් භාවිත කරමින් ධර්ම කාරණා පැහැදිලි කළ අවස්ථාවන් දක්නට ලැබේ. ඇතැම් දිනවල ගොරවනවා මිස එක වැහි බිඳුවක් වහින්නේ නැත. අහසට සාප කරන ඇතැම් පුද්ගලයන්ද ගර්ජනා කරනවා මිස ප්‍රතිපලදායක වැඩක් කරන්නේ නැත. කතාව පමණ ය. වැඩක් නැත. කතාව දෝලාවෙන් ගමන පයින්ය. ගර්ජනා කරන වැහි වළාකුළු මෙන්ය. ඇතැම් වළාකුළු ගර්ජනා නොකළ ද වර්ෂාව ලැබේ.

නමුත් අප එම වැස්සට කැමැති නැත. ඇතැමුන් ගර්ජනා නැති වුව ද කළ යුතු කාර්යභාර්ය ඉෂ්ට කරන පුද්ගලයන් බව මතක තබාගත යුතු ය. ඔවුන් කළ යුතු කාර්ය කරන, වැඩිය යුතු දෙය වඩන, සාක්ෂාත් කළ යුතු දෙය සාක්ෂාත් කරන, අවබෝධ කළ යුතු දෙය අවබෝධ කරගන්නා පුද්ගලයන් ය. එවැනි පුද්ගලයන් ලෝකයට නොපෙනෙන නිසා ප්‍රයෝජනයක් ලබාගැනීම ද අපහසුය.
කැලයට පිපුණ මල් මෙන්ය. මානව සම්පත කළමනාකරණය කිරීමේ දී එවැනි පුද්ගලයන් පිළිබඳ සැලකිළිමත් විය යුතු ය. ගොරවන්නේත් නැති ,වහින්නේත් නැති වැහිවළාකුළු ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඇතැම් පුද්ගලයන් ශබ්දයක් නැත. වැඩකුත් නැත. පෙනෙන්න මොකුත් ඇත්තේ ද නැත.
සත්‍ය වශයෙන්ම කිසිවක් ඇත්තේ ද නැත. ඇතැම් වළාකුළු වැස්ස ද , ගොරවන්නේ නැති බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක. ඇතැම් පුද්ගලයන් ද එලෙසය. ඔවුන් නිවැරැදිව කාර්යභාරය ඉෂ්ට කළද ,ඒ බව හෙළිදරව් කිරීමට යන්නේ නැත. මානව සම්පත කළමනාකරණයේදී පුද්ගල විවිධත්වය පිළිබඳව නිවැරැදි ස්ථානයෙන් අල්ලා ගත යුතුය.
මානව සම්පත ඉතාම හොඳින් යොදවා ගැනීමට නම්,ඔහුගේ කායික , වාචසික, මානසික පරිසරය ගොඩනඟා ගැනීම අවශ්‍ය වේ. සම්මා කම්මන්ත, සම්මා වාචා, අතිශයින්ම වැදගත් වේ. අපගේ කායික ඉරියව් යහපත් නැත්නම්, මානව සම්පත සමග ක්‍රියාත්මක විය නොහැකිය.

පුද්ගලයෙකු සොරකම් කරනවා නම්,කාම මිථ්‍යචාරයෙහි හැසිරෙනවා නම්,එම කායික ඉරියව් නිවැරැදිව සංවර කරගැනීමටනොහැකි නම්, යහපත් කරගැනීමට අවශ්‍ය ප්‍රතිපදාව නැත්නම්, මානව සම්පත පලදායි ලෙස යොදවාගන්නේ කෙසේද? එවැනි පුද්ගලයන් නිෂ්පාදනයට යොදවාගත නොහැකි ය. කාම මිථ්‍යාචාරයට ඇබ්බැහි වූ පුද්ගලයෙකුට වෙලාවක් කලාවක් නැත. නිවැරැදි වගකීමක් ලබාදිය නොහැකි ය. සොරකමට ඇබ්බැහිවූ පුද්ගලයෙකුට කිසියම් ස්ථානයක් භාරදිය නොහැකි ය. ඔහු සොරකම් කරනවා නම්, ඔහුගේ කායික ඉරියව්, වාග් කෝෂය, පිළිබඳව සැලකිලිමත් විය යුතුය. වගකීමෙන් කටයුතු කිරීමට වචනය කෙතරම් විශ්වාසනීය විය යුතු ද? අසත්‍ය ප්‍රකාශ කරනවා නම්, ඔහුගේ පැවැත්ම කෙතරම් කෙටි කාලයක් විය හැකි ද? සත්‍ය ප්‍රකාශ කරන මානව සම්පත නිෂ්පාදන කාර්යභාරයට දක්වන දායකත්වය සහ අසත්‍ය ප්‍රකාශ කරන මානව සම්පත ලබා දෙන දායකත්වය දෙකක් මිස එකක් නොවේ. අසත්‍ය ප්‍රකාශ කරමින් කෙතරම් කාලයක් ආකර්ෂණය දිනාගත හැකි ද? එහෙත් එය ස්ථිරසාර නොවේ. මුසාවාදයෙන් වැළකුන මානව සම්පත බුදු දහම අගය අගය කර ඇත.



හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 26 වන අඟහරුවාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment