Labels

Wednesday, December 27, 2017

තිසරණ සරණේ මහිම ය

අප රටේ රුහුණු ජනපදයේ සිය ජීවිකාව ගැල් කර්මාන්තය කරගත් එක් පුද්ගලයෙක් විසී ය. ඔහු දිනක් සහලින් පිර වූ කරත්තයක, නැග දුරු රටකට ගමන් කරමින් සිටියේ ය. ගැල ඇදගෙන ගියේ මහදත්ත නම් වූ ගවයකි. ගැඹුරු මඩ සහිත තැනක දී ගැල මඩෙහි එරුණි. මහදත්ත ගැල ඇදීමට මහත් වෙහෙසක් ගත්තේ ය. වෑයම අසාර්ථක විය. ගැල් හිමිකරුවා ගවයාට මෙසේ කීවේය. “නුඹ මේ ගැල අද ගොඩට අඳින්නේ් නම්, මින්පසු කරත්තයෙහි නුඹ නො බඳින්නෙමි”.
එය ඇසූ මහදත්ත උත්සාහයෙන්, වීර්යයෙන් ගැල අඳින්නට විය. හය වරක් උත්සාහ කළේ ය. එහෙත් මහලු බව නිසාම ගැල ඇදගත නො හැකි විය. සත්වෙනි වාරයේ දී වේගයෙන් ගැල ඇදීමේ දී ගවයා බොහෝ දුර්වල විය. එතැනම වැටුණේ ය. ගැල්කරු මහදත්ත එහි හැර දමා අන් ගවයෙකු ගැලෙහි බැඳ යන්නට ගියේ ය.
මරණාසන්න මහාදත්ත අසලින් එක්තරා වළං සාදන්නෙක් ගමන් කළේ ය. ඔහු ගවයා ජීවත් ව සිටියදී ම සම ගලවාගෙන මැටි ඇනීම පිණිස ගෙන ගියේ ය. තූර්ය භාණ්ඩ සාදන්නෙක් වීණාවක් සෑදීමට ගවයාගේ නහර කපාගෙන ගියේ ය. ඒ අසලින් ගිය වැද්දෙක් සුනඛයාට යැයි කියා ගවයාගේ මස් කපාගෙන ගියේ ය. අසළින් සිටි සුනඛයෝ වැටී සිටි ගවයාගේ මස් ඉරාගෙන ආහාරයට ගත්හ. මෙසේ ඒ ගවයා බොහෝ සේ දුකට පත් විය.

එදා චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ පන්සියයක් භික්ෂූන් වහන්සේල සමඟ ඒ අසලින් වඩින අතරේ වැටී සිටින ගවයා දැක කරුණාව උපදවා පාත්‍රවලින් ජලය ගෙනවිත් පෙවූහ. ජලය පානය කළ මහාදත්ත ගවයා ස්වල්ප ආස්වාදයක් ලැබී ය. භික්ෂූන් වහන්සේලා ඒ ගවයා අසල වාඩි වී මහා සතිපට්ඨාන සූත්‍රය වදාළහ. තිසරණ සහිත පංචශීලය කියන අතරේ ගවයා මිය ගියේ ය. එසැණින් තව්තිසා දෙව්ලොව තිස් යොදුන් විමනක පහළ විය.
තමා මෙ තරම් සැප සම්පත් ඇතිව දෙව්ලොව ඉපදුණේ කෙසේද? කියා විමසා බැලීමේ දී එක් රහතන් වහන්සේ නමක් තමාට පිහිට වූ ආකාරය දැක, උන්වහන්සේට කෘතඥතාවය පළ කිරීම සඳහා මධ්‍යම රාති‍්‍රයේ දෙවඟනන් දහසක් පිරිවරාගෙන රහතන් වහන්සේ පා මුල පහළ විය. රහතන් වහන්සේ මෙසේ විමසූහ.
පින්වත, ඉතාමත් දර්ශනීය වූ දෙවඟනන් පිරිසක් සමඟ මුළු දිසාවම බබළවමින් මෙසේ පැමිණි නුඹ කවුරුන් ද?
”ස්වාමිනි, මම පෙර ජීවිතයේ දී තිරිසන් ලෝකයේ ඉපදුණු ගවයකි. මුලාවෙන් යුත් තිරිසන් ලෝකයේ දී මම කුසල් හඳුනා ගත්තේ නැත. මාගේ ස්වාමියා ගැල්කරුවෙක්. දිනක් ගැල මඩ වළක එරුණි. මා කෙතරම් ගැල අදින්නට උත්සාහ කළ ද එය කරගත නො හැකි විය. වීර්යෙන් ගැල අදිද්දී දුර්වලව වැටුණු මා දුටු ස්වාමියා මා හැර ගියේ ය. මා ජීවත්ව සිටිය දී ම ඇතැමෙක් මාගේ සම ද, මස් ද, නහර ද, අකාරුණිකව කපාගෙන ගියේ ය. ස්වාමිනි, ඔබ වහන්සේ මා කෙරෙහි අනුකම්පාව උපදවා විපතට පත් මා වෙත පැමිණ සතර සතිපට්ඨානය දෙසූ හ. සරණ ශීලයෙහි සමාදන් කරවී ය. සිල්දෙන විට මම මිය ගොස් තව්තිසා දෙව්ලොව උපත ලැබීමි. සිල් සමාදන් වනතුරු මා ජීවත් ව සිටියා නම්, මට යාම දෙව්ලොවට යා හැකිව තිබුණි. දෙව්ලොවට ගිය ද මාගේ නාමය වෙනස් නො වීය. සියලු දෙවියෝ “මහාදත්ත” ලෙස මා හඳුන්වයි. ගවයෙක්ව සිටි මම ඉතා දුකට පත් වූ අවස්ථාවේ ඔබවහන්සේ මට සූත්‍රයක් දෙසා තිසරණය ලබා දුන්නේ මහත් වූ අනුකම්පාවෙනි. ඒ සුමධුර ධර්මය ඇසූ සැණින් මෙවැනි උපතක් ලැබුණි. දහසක් දෙවඟනෝ මා පිරිවරා සිටිති. යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් බුදු සසුන ආශ්‍රය කරයි නම්, ඔවුන්ට ලැබෙන සැපය මෙ පමණැකියි විස්තර කළ නොහැක.
ස්වාමිනි, මා දැන් සරණ ශීලයෙහි සමාදන් කරනු මැනවි. සතිපට්ඨාන සූත්‍රය වදාරනු මැනවි. ඒ ධර්මය නමැති නැවට මා නංවා සසර සයුරෙන් එතෙර කරනු මැනව”යි කීය.
මහාදත්ත නම් ඒ දේව පුත්‍රයා කෙරෙහි මහත් වූ අනුකම්පාවක් උපදවාගත් තෙරුන් වහන්සේ තිසරණයෙහි පිහිටා සතිපට්ඨාන සූත්‍රය වදාළ සේක. දේවපුත්‍රයා සෝවන් ඵලයට පත්විය. බොහෝ සතුටට පත් ඒ දේව පුත්‍රයා ස්වාමින් වහන්සේ පා මුල වැටී හිස තබා වන්දනා කළේ ය. ඉන්පසු අහසට පැන නැගී හංස රාජයෙකු ලෙස දෙව්ලොව නික්ම ගියේ ය.

යම් කෙනෙකුට සද්පුරුෂයන් ආශ්‍රය කරන්නට ලැබේනම්, එයින් යහපතක් ම සිදුවන බව මෙයින් ලැබෙන ආදර්ශය යි.


සීහළවත්ථු කතා ඇසුරිනි: 


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා   දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment