බුද්ධාදී උතුමන්ට ජීවිතය පිළිබඳව කිසිම ආශාවක් නැහැ. උන් වහන්සේ තම ආයුෂ ගෙවෙන තුරා ශාසන ප්‍රතිපත්තිය දියුණු කළා. බහුලව ම නිරෝධ සමාපත්තියෙන් තමන් අවබෝධ කරගත් නුවණට සම වැදුණා. ඒ නිර්වාණය බොහොම වැදගත්.
එය මඟ ඵල ලාභී උත්තමයන්ට මිස වෙනත් කිසිවකුට නොලැබුණ සම්පතක්. මහ රහතන් වහන්සේ අවබෝධ කළ නිවන, පූර්ණ සඳ මඬල අහසේ පායනවා සේ අසිරිමත් වූවා. උන්වහන්සේගේ සියලු ම පාපයන් දුරු ව ගියා. නැවත නූපදින තත්ත්වයට සිත සකසා ගත්තා. දස සංයෝජනයන් මුළුමනින් ම ඉවත්ව ආශ්‍රවයන් නැතිව ගියා. රහතන් වහන්සේගේ සන්ථානය බොහොම පිවිතුරුයි. කෙලෙසුන්ගෙන් නිරුද්ධ වූ උන්වහන්සේ අහසේ පාවෙනවා සේ සැනසුමේ සුවයෙන් වෙසෙනවා. ලෝභ, ද්වේශ, මෝහ, මද, මාන ආදී පාපයන් කිසිවක් නොමැති වූ රහත් උතුමෝ මෙලෙස සුවිශේෂී තත්ත්වයට පත් වුණා
එබඳු දිවි මඟට පත්වන්න කවුරුත් වෑයම් කළ යුතු යි. ඒ සඳහා නිබඳව ම දන් පින් පුරමින් සිල්, භාවනා වැඩිය යුතුයි. විශේෂයෙන් ම ගුණ ධර්ම දියුණු කළ යුතු යි. සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති ආදිය අංග සතර දියුණුවෙන් සෝවාන් ආදී මාර්ග ඵල ධර්මයන් අවබෝධ කරගන්නට සමත් වෙයි.
ඒ සඳහා ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කළ යුතු යි. එය වරක් දෙවරක් නොවෙයි, සිය වර, දහස් වර, දස දහස් වර මෙනෙහි කළ යුතුයි. එමඟින් තමාට මතුවන කරදර පීඩා බාධක දුරු කළ හැකි යි. අපල පවා සංසිදුවා ගෙන, කායික මානසික සුවයක් මෙන් ම විශාල පිනක් ද ලබා ගන්නට සමත් වෙයි. ඒ පිවිතුරු සිතින් ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් උපමා ආශ්‍රිතව මෙනෙහි කරන්න.
අවමඟුලකට සහභාගි වන ඔබ මෘත ශරීරය දෙස බලා ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ පාඩම මෙනෙහි කළ යුතු යි. ඒ සඳහා උපමාවන් ආශ්‍රයෙන් මරණ සතිය මෙලෙස මෙනෙහි කරන්න.
සියලු සම්පත් වනාහි විපත්තිය කෙළවර කොට ඇත්තාහ. ජීවිත සම්පත්තිය ද මරණයෙන් කෙළවර වන්නේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි මරණය නියත යි,
සියලු නිරෝගි සම්පත්තිය වනාහි ව්‍යාධි විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි , මරණය නියත යි, සියලු යෞවන සම්පත්තිය වනාහි ජරා විපත්තිය කෙළවර කොට ඇත්තේ ය, එහෙයින් ද ජීවිතය අනියත යි, මරණය නියත යි. සියලු ජීවිත සම්පත්තිය මරණය කෙළවර කොට ඇත්තේ ය , ජීවිත සම්පත්තිය මරණයකින් කෙළවර වන්නේ ය. එහෙයින් ජීවිතය අනියත යි, මරණය නියත යි. සියලු ලෝක සත්ත්වයා වනාහි ජාතිය අනුව ගියේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි, සියලු ලෝක සත්ත්වයා වනාහි ජරාවෙන් වැළඳ ගන්නා ලද්දේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි, සියලු ලෝක සත්ත්වයා වනාහි ව්‍යාධියෙන් වැළඳ ගන්නා ලද්දේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි, සියලු ලෝක සත්ත්වයා වනාහි මරණයෙන් නැසෙන ලද්දේ ය. එහෙයින් ද ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි, අනිච්චාවත සංඛාර, උප්පාද වය ධම්මිනො උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති ඒසං වූප සමො සුඛො ති, සංස්කාරයෝ ඒකාන්තයෙන් ම අනිත්‍යයයෝ ය. ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තේ ය. ඉපිද නිරුද්ධ වන්නා වූ ඔවුන්ගේ සංසිඳීම වන්නා වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේ ය. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි. මරණය නියත යි. ජීවිතය අනියත යි මරණය නියත යි.
මරණානුස්සති භාවනාව ඉහත සඳහන් සේ තාලයට වචන සෙමින් අවබෝධයෙන් මෙනෙහි කළ යුතු යි. මහ බෝසතාණන් වහන්සේ ද මරණානුස්සති භාවනාව හොඳින් දියුණු කළා. කුමන දේ විනාශ වුවත් අඬා දොඩා වැළපෙන්නේ නැහැ. ඒ තරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයකට සිත පිහිටුවා තිබෙනවා. එක්තරා භවයක බෝසතාණන් වහන්සේගේ මව් පියන් ද මරණානුස්සති භාවනාව දියුණුවෙන් සුවිශේෂී තත්ත්වයට පත් වුණා. තම පුතුගේ වියෝවේදී පවා හඬා දොඩා වැළපුණේ නැහැ. ඉවසීමෙන් කටයුතු කළා. කරුණාවෙන්, මෛත්‍රියෙන් තම පුතුගේ මෘත ශරීරයට ගෞරව බහුමාන කළා. මෙලෙස සිත සකසා ගන්න බොහෝ දෙනාට අපහසු වුව ද අස්ථීර වූ ජීවිතයේ ස්ථීර වූ මරණය මෙනෙහි කරන්නට වෑයම් කළ යුතු යි. මරණසති භාවනාව වඩන්නාට අපහසුවක් නොමැතිව ඒ තත්ත්වයට සිත සකසා ගත හැකි යි.
එසේනම්, බුදු දහමට සමීප වන්නන්ට විශාල ශක්තියක් ගොඩ නඟන්නට පුළුවන්. පංචනීවරණය දුරු කරන්නට සමත් වන්නේ බුදු දහමෙන් පමණ යි. එලෙස සිත ගත නිවා සනසා නිවන් පුරය සලසා ගන්නට පුළුවනි. ඒ නිර්වාණ ධර්මය අනාශ්‍රව යනුවෙන් හඳුන්වයි. එනම්, මානය ආශ්‍රවයේ නැහැ. පංච කාම වස්තූන් පිළිබඳ තෘෂ්ණාව වන කාමාශ්‍රව නැහැ. උපත ලබා ඇති භවය පිළිබඳ එනම් භවාශ්‍රවය පිළිබඳ තෘෂ්ණාව නැහැ. වැරැදි අවබෝධය වන දිට්ඨාශ්‍රව නැහැ. මෝඩකම වන අවිජ්ජාශ්‍රව ද නැහැ. මේ ආශ්‍රවයන් සතර රහතන් වහන්සේ තුළ සම්පූර්ණයෙන් ම දුරුව පවතිනවා. එසේනම්, ජීවිතය අනියත යි, මරණය නියත යි යනුවෙන් මෙනෙහි කරද්දී ආශ්‍රවයන් බැහැර කරන්නට පුළුවනි. සියලු පාපයන් සෝදා හරින්නට පුළුවනි. සිහි නුවණ හොඳින් දියුණුවෙන් ඇලීම ගැටීම බරපතළ පාපයන් තම දිවි මඟින් දුරු කරන්නට හේතු වෙයි. අධික මාන්නය, උඩඟුකම බහුල වූවන්ට එය දුරලන්නට මරණ සති භාවනාව බොහෝ ප්‍රයෝජනවත් වෙයි.
මරණ සතිය මාර්ග ඵල නිවන් සුව සලසා දෙන භාවනා කර්මස්ථානයක් ලෙස බුදුරදුන් අනු දැන වදාළා. මෙලොව බොහෝ අනුසස් ලැබෙන පරලොව සුගතිගාමී වන, සසර මඟ නොඇලී , නිර්වාණ ධර්මය සුවසේ අවබෝධ කරන්නට පුළුවනි. මේ ගැන කවුරුත් සිතා, කල්පනාවෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ ලබා ගත් මේ උතුම් දායාදය ගැන හොඳින් සිතා අදට වඩා හෙට , හෙටට වඩා අනිද්දා මරණසති භාවනාව බහුලව දියුණු කරගන්න. එවිට කවුරු මිය ගියත් හඬා දොඩා වැළපෙන්නේ නොමැතිව සිය කටයුතු සිහි නුවණින් කරන්ට සමත් වෙයි.
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment