මේ සසර ගමන ඉතා දීර්ඝ ය. එහි මුලක්, මැදක්, අගක් නොපෙනේ. ඒ තරමටම අවිනිශ්චිත ය. බුදුරජාණන් වහන්සේ එම දීර්ඝ සසර ගමන පිළිබඳ ස.නි. අස්සු සූත්‍රය තුළින් දේශනා කළහ.
“සසර කාල වශයෙන්, අතීත කෙළවර සිහිපත් කළ නොහැකි ය. එබැවින් සසර පූර්වාග්‍රය පැනවිය නොහැකි ය. මහණෙනි, අවිද්‍යා නීවරණයන් ආවරණය වූ, තණ්හා සංයෝජනයෙන් බැඳුණු සත්වයන්ගේ සසර කාල වශයෙන් අතීතයට ගොස් පැනවිය නොහැකි ය. නුඹලා දිගු කලක් දුක් අනුභව කර ඇත. “
මේ උතුම් පාඨයෙන් මුළු මහත් සසර ගමන ම ඉතා පැහැදිලිව විවරණය කොට ඇත. දිගු ගමන යනු මේ දීර්ඝ සංසාරයයි. අප මොන තරම් මේ සසර ඇවිද ඇත්ද? ඒ එන ගමනේ දී අප මිනිසුන් ම වූවා ද? නැත. අපට වෙනත් ආත්ම ගණනාවක් ම පසු කර එන්නට සිදු වන්නට ඇත. භවයෙන් භවය සත්වයා මිනිස් ආත්මය තුළ පමණක් ම නොඉපදෙනු ඇත.
එසේ නම් දිගු ගමන යනු කුමක්ද,? දිගු ගමන යනු සංසාර චක්‍රයයි. එම සංසාර චක්‍රය තුළ අපට සැරි සරන්නට සිදු වන්නේ කුමන ආත්ම භවවලද? සංසාර චක්‍රයට කාම රූප අරූප ලෝක හසු වනු ඇත. නමුදු බොහෝ දුරට සත්ත්වයා සැරිසරන්නේ කාම ලෝකවල ය. මිනිස් ලෝකය, සදිව්‍ය ලෝකය, සතර අපාය යනු කාම ලෝකයයි. එයිනිදු සතර අපාවල වැඩිපුරම කල්ප ගණන් සත්ත්වයා සැරි සරනු ඇත. ඒ බව මනාව අවබෝධ වන්නේ මිනිස් ජීවිතයක් වැනි උසස් ආත්මයක් ලබා ගෙනත් එතුළින් ප්‍රයෝජනයක් නොගන්නා ආකාරය දැකීම තුළිනි.
දිගු සසර ගමනක අප මේ ගෙවන්නේ එක් ආත්මයක සුළු විවේකයකි. හරියට මිනිසෙක් දුර ගමනක් යන්නට පටන් අරන් ගමන් විඩාවට ගසක් යට සෙවණක මොහොතක් විඩා හරින්නට හිඳ ගන්නාක් මෙනි. මොහොතක් විඩා හැර නැවත ගමන ආරම්භ කළ යුතු ය. එලෙස ම අප මේ ලද මිනිසත් බවය, දිගු සසර ගමනක එක් නවාතැන් පලක් පමණි. අප සසර ආ දුර දන්නේ නැත. තව කොතෙක් දුර යන්නට තිබේ ද? දන්නේ ද නැත.
අනාරාධිතව එනු ඇත. අනාරාධිතව යනු ඇත. සියල්ල කර්ම ශක්තියට අනුව ම සිදු වේ. පුනර්භවය නම් මෙය වේ. භවයෙන් භවයට සත්ත්වයා සසර සැරි සරනු ඇත. මෙහිදී අප අවධානය යොමු කළ යුතු වන්නේ එවැනි දිගු සසර ගමනකට හසු වී සිටින සත්ත්වයාට විවේකය පිණිස සුදුසු යහපත් තැනක් හසු වුවහොත් ඔහු ඒ තුළින් වැඩක් ගත යුතු බව ය. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන ඕඝ සතුන් සසරෙහි ගිල්වයි. බිය ඇති කරවයි. එසේ නම් ඉහත ඕඝයන්ට හසු වී සුළි සුළඟට හසු වූ පුළුන් රොදක් සේ ගසා ගෙන යන මෙම දිගු සසර ගමනේ සුළු විවේකයක් යනු එක භවයකි. එම භවය කෙසේ ලැබුණත්, ලැබෙන්නට තිබුණත් අපට අවධානය යොමු කිරීමට ඇත්තේ දැනට ලබා ඇති භවය තුළින් ඒ සඳහා විසඳුමක් ලබා ගැනීමට පුළුවන් ද? බැරි ද? යන වගයි.
දිගු සසර ගමනේ අප දැනට ලබා සිටින විවේකය මිනිසත් භවයයි. එය ඉතා වටිනා ආත්ම භවයකි. දුර්ලභව ලැබිය හැක්කකි. කාම ලෝකයට අයත් වුව ද එය උසස් ය. එයට හේතුව වන්නේ උසස් චින්තනයක් ඇතිව උප්පත්තිය ලැබීමයි. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ වගේ ම සතර මඟ ඵල ලැබීමට හැකියාවක් ඇති ආත්ම භාවයකි. දෙවි බඹුන් සේ පහළ වීමට හැකි ආත්ම භාවයකි. මේ දිගු සසර ගමන නිමා කිරීමට වෙර දැරිය හැකි ආත්ම භාවයකි. ඒ බව සිතා දිගු ගමනක ලද මේ විවේකය හිස් බවට පත් නොකරගෙන ඉන් උපරිම ඵල ප්‍රයෝජනය ලබා ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ දි.නි. මහා පරිනිබ්බාන සූත්‍රයේ දී භික්ෂූන් අමතා මෙසේ දේශනා කළහ. “දැන් මාගේ වයස මුහුකුරා ගොස් ඇත. මගේ ජීවිතය තවත් ස්වල්ප කාලයකට සීමා වූවකි. තොප අත්හැර යන්නෙමි. මම මගේ නිදහස ඇති කර ගත්තෙමි. මහණෙනි, පමා නොවව්. හොඳ සිහියෙන් යුක්ත වෙත්වා. සිල්වත්හු වෙත්වා. එකඟ වූ සම්‍යග් සංකල්පනා ඇත්තෝ වෙත්වා. ස්වකීය සිත රැක ගෙන යමෙක් මේ ශාසනයෙහි නොපමාව වෙසේ නම් හෙතෙම ජාතිය හා සසර ගමන ද නැතිකොට දුක් කෙළවර කරන්නේ ය.”
එම දහම් පාඨය ගිහි පැවිදි කාටත් එකසේ ගැළපෙනු ඇත. එහි දී උන්වහන්සේ නිදහස ලැබුවෙකු බව ප්‍රකාශ කළහ. එනම් දිගු සසර ගමනේ නැවත නූපදින බව ය. නමුදු පුහුදුන් සත්වයා මේ ලබා ඇත්තේ නිදහසක් නොව සුළු විවේකයකි.
භවයක් නෑ යන සිතිවිල්ලෙන් පසුවෙමින් මේ ලද විවේකය උපරිම අයුරින් සංතර්පණය කළ යුතු ය. මිථ්‍යා මතයෙන් ගැළවිය යුතු ය. ඒ වගේ ම භව තෘෂ්ණා නම් වූ නැවත නැවත ඉපදිය යුතු ය. දිව්‍ය ලෝක වල සැරි සැරිය යුතුය. මීට වඩා සැප සම්පත් ඇතිව මිනිස් ආත්මයක හෝ ඉපදිය යුතුයි යන මිථ්‍යාවෙනුත් ගැළවිය යුතු ය. ඒ සියල්ලන්ගෙන් ම මිදී මේ ලද දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනය ලැබිය යුතු ය. ඒ සඳහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය පිළිපැදීම, අනුගමනය කිරීම, හැදෑරීම දැන් දැන්ම කළ යුතුව ඇත.
එම ධර්මය ප්‍රඥාවන්නයින් උදෙසා වුව ද සාමාන්‍ය සත්ත්වයාටද ශ්‍රද්ධාව ඔස්සේ ප්‍රතිපත්තිකූලව දහම් මඟට පිවිසිය හැකි ය. මේ ලද විවේකය පංචකාමය උදෙසාම කැප නොකර සසර විමුක්තිය නොහොත් සැබෑ නිදහස ලබා ගැනීමට නිරන්තරයෙන් වෙහෙසිය යුතු ය. ඒ සඳහා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ජීවිතයට සම්බන්ධ කොට ගැනීමත්, භාවනාව වැඩි දියුණු කර ගැනීමත් කළ යුතු ය. එවිට දිග ගමනක අප ලද සුළු විවේකය අපතේ නොයනු ඇත. සතර මඟත් ඵලත්, නිවනත් යන ලොව්තුරා දහම ලබා දිගු සසර ගමනක ලැබූ සැබෑ නිදහස ලැබූවන් වීමට සියල්ලෝ ම උත්සාහවත් වෙත්වා.
මාස්පොත ඓතිහාසික බෝධිපූජා විහාරස්ථානවාසී
කු/නික / වාරි රත්මලේ රතනසෙල මහ පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර රතනවංස හිමි
කු/නික / වාරි රත්මලේ රතනසෙල මහ පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ගලගෙදර රතනවංස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment