ස්වාමිනි, මට දානමාන දෙන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. මම බොහෝ ධර්මය අසා තිබුණෙත් නෑ. එහෙත් ස්වාමිනි, මම කිසිවෙකු බොරුවෙන් රැවටුවේ නැහැ. වංචාවක් කළේත් නැහැ. කාටවත් හොර, බොරු නොකර සිටියා. නිතරම ඇත්ත කිව්වා."
මේ මනුස්ස ලෝකයේ අපට කෙ තරම් කාලයක් ජීවත් වීමට අවස්ථාව තිබෙනවා ද කියා අප දන්නේ නැහැ. ජීවත් වීමට තිබෙන අවස්ථාව ඕනෑම අවස්ථාවක අහිමි විය හැකි යි. යම් කෙනෙක් නිරන්තරයෙන් පින් රැස් කරනවානම්, ඔහු මේ ජීවිතයේ මාර්ගඵල අවබෝධයක් නො ලබා මිය ගියත්, යළිත් ධර්මයේ හැසිරෙන්නට අවශ්‍ය කරන කලණ මිතුරු සම්පත්තිය සහිත වූ පරිසරයක උපදවන්නට ඒ පිනට පුළුවන්. ඒ නිසයි එකම පින වුවත් නැවත නැවත කරමින් පින් රැස් කිරීමට ආසා කරන්න කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ මිනිසුන්ට පිනෙහි වටිනාකම ගැන හොඳ වැටහීමක් තිබුණා. එයට හේතුව අපගේ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ වැඩ සිටීම. උන්වහන්සේ මේ බුදු සසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක්. එසේ අග්‍ර වූණේ සෘද්ධි බලයෙනු යි. ඒ සෘද්ධි බලය දෙවැනි වුණේ බුදුරජාණන් වහන්සේට පමණ යි.
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ නිතර ම දෙව්ලොවට වැඩම කොට වදාළා. දෙව්ලොව සියලු විස්තර මනුලොව මිනිසුන්ට දැනුම් දෙනවා. ඒ විස්තර අසා මිනිසුන් අකුසල් දුරු කර, කුසල් දියුණු කර ගත්තා. මුගලන් මහරහතන් වහන්සේ නිසා මිනිසුන්ට සිදුවුණ යහපත නම් අපමණ යි.
ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමා විසින් කර වූ ජේතවනාරාමයේ. දිනක් අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කළා. මුගලන් මහරහතන් වහන්සේ දුටුවා ඉතාම මහේශාක්‍ය දෙව් දුවකගේ විමානයක්. උන්වහන්සේ ඒ විමානය අසලට වඩින විට ඒ විමානයේ වාසය කරන දෙව්දුව පැමිණ බොහොම ආදරයෙන් වන්දනා කළා.
”පින්වත් දෙව්දුව, ඔබ රූපශ්‍රීයෙන් බබළනවා. ඔබේ සම්පත්තිය අති විශාල යි. ඔබ මනුලොව සිටිය දී කළ පින මොකක් ද? මෙ තරම් මහා සම්පත්තියක් ලැබුණේ කෙසේ ද?”
“ස්වාමිනි, මට දානමාන දෙන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. විශේෂයෙන් කියා වන්දනාවන් කරගන්න බැරිවුණා. මම බොහෝ ධර්මය අසා තිබුණෙත් නෑ. එහෙත් ස්වාමිනි, මම කිසිවෙකු බොරුවෙන් රැවටුවේ නැහැ. වංචාවක් කළේත් නැහැ. කාටවත් හොර, බොරු නො කර සිටියා. නිතරම ඇත්ත කිව්වා. නො වටිනා දේ නො වටිනා බව කීවා. වටිනා දේ වටිනා බව කීවා. උතුම් දේ උතුම් බව කීවා. මම බොරුවක් නම් නොකියමි කියා බලවත් අධිෂ්ඨානයක් ඇති කරගෙනයි හිටියේ”. ඒ පින නිසා මම දෙව්ලොව උපන්නා යැයි කියා සිටියා. මුගලන් මහරහතන් වහන්සේ ඒ දෙව්දුව තවදුරටත් ධර්මයෙන් සතුටු කරවා දෙව්ලොව තවත් විමානයක් අසලට වැඩම කළා. ඒ විමානය අයත්ව තිබුණෙත් දේවතාවියකට යි. ඉතා සුන්දර ඒ විමානයේ සැප සම්පත් බොහෝම යි. මුගලන් මහරහතන් වහන්සේ දුටු ඒ දෙව්දුව පැමිණ නමස්කාර කළා.
”ස්වාමිනි, මට කවදාවත් දානයක් පූජා කර ගන්නට බැරි වුණා. ඉතා දිළිඳු වූ මට දෙන්න යමක් තිබුණෙත් නැහැ. මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ දාසියක්ව යි සිටියේ. මම දාසියක්ව සිටි නිවසේ හිමියා ඉතා නපුරු යි. වහා කිපෙනවා. කිසිම අනුකම්පාවක් නැහැ. අතට අසුවුන දෙයින් ගහනවා. ඉතින් මම මටම අවවාද කර ගත්තා. මට යන්න වෙන තැනක් නැහැ. මට කරන්න වෙන දෙයකුත් නැහැ. ස්වාමියාට අකීකරු වුණොත් ඔහු මට දඬුවම් කරයි. අත පය වුණත් කපා දමයි. ඒ නිසා කෝප නො ගෙන ඉවසාගෙන සිටිියා. කොතරම් හිංසා වින්දත්, කෝප නො ගෙන මෛත්‍රී සිත ම පුරුදු කළා. මරණින් මතු මම උපන්නේ මේ දෙව්ලොව. ස්වාමිනි, මට හිතෙන්නේ මේ සම්පත් සියල්ලම ලැබුණේ කෝප නො ගෙන මෙත් සිත් පුරුදු කළ නිසා කියලයි”
ඉන්පසු මුගලන් මහරහතන් වහන්සේ විමාන කිහිපයක ම වැඩම කළා. එහි වාසය කළ දේවතාවියන් පැමිණ රහතන් වහන්සේට වන්දනා කර තොරතුරු කියන්න පටන් ගත්තා.
”ස්වාමිනි මම පෙර ජීවිතයේ උක් හේනක් බලා ගත් ස්ත්‍රියක්. මම දිනක් ස්වාමින් වහන්සේ නමකට උක් දණ්ඩක් පූජා කර ගත්තා.” “ස්වාමිනි, මම දවසක් බෙහෙතකට කියා ස්වාමින් වහන්සේ නමකට කොහොඹ මිටක් පූජා කර ගත්තා” ආදි වශයෙන් දන් දී දෙව්ලොව උපන් පිරිස තොරතුරු කියා සිටියා.
ඉන්පසු මුගලන් රහතන් වහන්සේ සවස් වරුවේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දෙව් පිරිස සමඟ විස්තර කතා කළා.
”ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, සත්‍ය වචන කතා කළ පමණින් ම, තමා තුළ උපන් කෝපය නිවා ගත් පමණින් ම, ඉතා සුළු දෙයක් පූජා කරගත් පමණින් ම දිව්‍ය ලොව ඉපදී දිව්‍ය සම්පත් ලැබිය හැකි ද?
බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මොග්ගල්ලාන, ඇයි ඒ බව මගෙන් විමසන්නේ? ඔබට හමු වූ දේවතාවියන් විසින් ම ඔය කරුණ පැවසුවා නේද? යැයි වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් ගාථාව වදාළා.
සච්චං භණේ න කුජ්ඣෙය්‍ය
දජ්ජාප්පස්මිම්පි යාචිතෝ
ඒතේහි තීහි ඨානේහි
ගච්ඡේ දේවාන සන්තිකේ
දජ්ජාප්පස්මිම්පි යාචිතෝ
ඒතේහි තීහි ඨානේහි
ගච්ඡේ දේවාන සන්තිකේ
සත්‍යම යි කතා කරන්නට ඕන. කේන්ති ගන්නට හොඳ නැහැ. කවුරු හරි යමක් ඉල්ලුවොත් තිබෙන දෙයින් ටිකක් හරි දෙන්න ඕන. මේ කරුණු තුන පුරුදු කරන පුද්ගලයායි දෙවියන් අතරට යන්නේ.
ඒ නිසා යමෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුතුව, මේ කරුණු තුන පමණක් වුණත් ඉතාමත් කැපවීමෙන්, ආසාවෙන් යළි යළිත් පුරුදු කළොත් ඒ තුළින් ඔහු ආරක්ෂා වෙනවා. ඒ අනුව, නුවණ තිබෙනවා නම්, ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට පුළුවන්.
එනිසා ඔබටත් බොරුවක්, වංචාවක් නො කොට අවංකව ජීවත් වෙන්නට පුළුවන් නම්, මෙත් සිත දියුණු කරන්නට මහන්සි ගන්නවානම්, තමන්ට තිබෙන ආකාරයට සුළුවෙන් හෝ යමක් දන් දෙනවා නම්, දෙව්ලොව දොරටු විවර වෙනවා. දෙව්ලොව උපතක් කරා යන්නේ තව කෙනෙක් මගින් නොවේ. තමන් කළ පින් බලය විසිනු යි.
ඒ නිසා ඔබත් බුදුරජාණන් වහන්සේ වදාළ අවවාද හොඳින් සිහි කරගෙන එකම පින වුවද නැවත නැවත කරමින් ඔබගේ ජීවිතයට බොහෝ සේ පින් රැස් කර ගැනීමට උත්සුක වන්න.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 17 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment