නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
තස්ස එවං ජානතො පස්සතො කාමසවාපි චිත්තං විමුච්චති. භවාසවාපිචිත්තං විමුච්චති,අවිජ්ජාසවාපි චිත්තංවිමුච්චති, විමුත්තස්මිං විමුත්තමිති. ඤාණං හොති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ තථාගතපදෘ ඉතිපි, තථාගත නිසෙවිතං ඉතිපි, එත්තාවතා ඛො බ්‍රාහ්මණ අරියසාවකො නිට්ඨං ගතො හොති.” සම්මා සම්බුද්ධො භගවා ස්වාක්ඛාතො, භගවතා, ධම්මො” සුපටිපන්නො භගවතො සාවක සංඝොති. එත්තාවතා බ්‍රාහ්මණ හත්ථිපදොපමො විත්ථාරෙන පරිපූරො හොතීති.
“සුපින්වත්නි”
සකල සතවෙන පතළ කරුණාවෙන් පිරුණු සිත සතන් ඇති අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි “ජානුස්සෝණි’ නම් බ්‍රාහ්මණයා අරබයා මෙම චුල්ලහත්ථි පදෝපම සූත්‍ර ධර්මය දේශනා කළ සේක.
දිනක් මෙම ජානුස්සෝණි බමුණා දිවාභාගයෙහි සුදු අශ්ව රථයකින් සැවැත්නුවර සංචාරය කරන්නේය. එම අවස්ථාවේ ‘පිලෝතික’ නම් පරිබ්‍රාජකයා ද ඉදිරියට එන්නේ ‘ජානුස්සෝණි’ බමුණා මෙසේ ඇසුවේය. ‘වච්ඡායන’ ඔබ කොයි සිට එන්නේද?
මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමීපයේ සිට එමියි පිලෝතික පිළිවදන් දුන්නේය. ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාවේ ස්වභාවය කෙසේදැයි යළිත් ප්‍රශ්න කළ විට “පිලෝතික” ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රඥාව්‍යක්තභාවය දැනගන්නට නම් එවැනිම කෙනෙකුට මිස අප වැනි අයට කෙසේවත් කිව නොහැකි යයි කීවේය.
වච්ඡායන, ඔබ කුමන කාරණයක් නිසා ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි මෙසේ පැහැදුනේදැයි ජානුස්සෝණි බමුණා යළිත් ප්‍රශ්න කළේය.
පින්වත, “යම්සේ” ඇතුන් පිළිබඳ දක්ෂ කෙනෙක් ඇත්වනයට පිවිසෙන්නේ දිගින් හා පළලින් විශාල ඇත් පියවර දැක මේ නම් විශාල ඇතෙකු යයි තීරණය කරන්නේද එසේම ශ්‍රමණ ගෞතමයන්ගේ ඤාණ පද හතරක් දැක
ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක
එම ධර්මය ස්වාක්ඛාත නම් වන්නේය
එම ශ්‍රාවක සංඝයා සුපටිපන්න නම් වන සේක
යනුවෙන් මම නිගමනයට පැමිණියෙමි.
එම ඤාණපද හතර නම් කවරයත්
පින්වත, මේ ලෝකයෙහි සියුම් බුද්ධි ඇති වාද විවාදයෙහි අති දක්ෂ ඇතැම් ක්ෂත්‍රිය පණ්ඩිතයෝ වෙත්ද ඔවුහු බුදුරදුන් හා වාදකොට ජය ලබන්නෙමු යයි බුදුන් කරා පැමිණෙති. බුදුරජාණන් වහන්සේ ඔවුන් හා සතුටු සාමීචි කතාබහකොට දැහැමි කතාවෙන් කරුණු දක්වන ලදින් ප්‍රශ්න හා වාද විවාද නොකොට ශ්‍රාවක බවට පත්වන්නාහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරණ ලද්දේයයි ඤාණපදය අනුව මම නිගමනය කොට පැමිණියෙමි.
එසේම බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන පණ්ඩිතයෝ බුදුන් හා වාද කරමු යයි පැමිණ බුදුරජාණන් වහන්සේගේ සුහද කතාවෙන් ධර්ම දේශනයෙන් ප්‍රසන්නව ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් බුද්ධශ්‍රාවක බවට පත්වෙති. මෙසේ එම ඤාණපද සතර අනුව මම නිෂ්ඨාවට පත්වුනෙමි.
මෙසේ පිලෝතික පරිබ්‍රාජකයා බුදුගුණ කී කල්හි ජානුස්සෝණි බ්‍රාහ්මණයා රථයෙන් බැස සළුව ඒකාංශකොට බුදුන් වැඩ සිටින දෙසට වැඳ නමස්කාර කොට මටත් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවී සතුටු සාමීචි කරන්නට ලැබෙන්නේ නම් කෙතරම් භාග්‍යයක්දැයි ප්‍රකාශ කළේය.
මෙසේ ජානුස්සෝණි බ්‍රාහ්මණයා පිලෝතිකයාගෙන් සමුගෙන රථයට නැගී ගොස් බුදුරජාණන් වහන්සේ හමුවී වැඳ නමස්කාරකොට සිදුවූ සියල්ල විස්තර වශයෙන් බුදුරදුන්ට කීවේය. අප බුදුරජාණන් වහන්සේ ජානුස්සෝණි බමුණාට මෙම සුළු ඇත් පා උපමා ධර්මය සම්පූර්ණ නොවන්නේය. එබැවින් විස්තර වශයෙන් මෙසේ අසවයි කියා මෙසේ වදාළ සේක.
“බ්‍රාහ්මණය” යම් සේ ඇත්වනයෙහි වාසය කරණ දක්ෂ නාගවනිකයෙක් ඇත්වනයට පිවිසෙන්නේ දිගින් පළලින් විශාල ඇත්පා දකින්නේ මේ නම් විශාල ඇතෙකු නොව වාමනිකා නම් ඇතින්නියකගේ යයි නිගමනයකට පැමිණෙන්නේය.
මෙසේ ඔහු ඇත්වනයේ තවදුරටත් යන්නේ මහ ඇත් පසටහන් හා ගස්වල උඩ අතු කැඩූ තැන් හා ගැටුනු තැන්ද දකින විට මේ නම් මහා ඇතෙකු නොව උච්චා කාළාරික නම් ඇතින්නියක් යයි තීරණය කරන්නේය.
එසේම තවදුරටත් ඔහු ගමන් කරන්නේ විශාල ඇත්පා සටහන්ද, ගස්වල උස් අතු කැඩූ තැන්ද, දළවලින් අනිනලද තැන්ද දකින්නේ මේ නම් මහ ඇතෙකු නොව “ උච්චා කණේරුකා නම් ඇතින්නියගේ පාසටහන් යයි නිෂ්ටාවට පැමිණෙන්නේය.
තවද එම නාගවනිකා වනයේ සැරිසරන්නේ ඇත් පා සටහන්, ගස්වල උස් අතු කැඩූ තැන් දළවලින් ඇනූ තැන්ද දකින්නේ ගසක් මුල හෝ අභ්‍යාවකාශයේ හෝ ඇත් රාජයා දකින්නේය. එම දැකීමෙන් පසු මේ නම් මහානාග හෙවත් මහා ඇතා යයි තීරණයට එළඹෙන්නේය.
එසේම බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි යම්කිසි ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන කුලපති පුත්‍රයෙක් හෝ අන් කුලයෙක උපන්නෙක් හෝ තථාගත ධර්මය අසා ප්‍රසන්න මනසින් ශ්‍රද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම සම්බුද්ධ ශාසනයෙහි පැවිදිව සතර සංවර සීලය ආරක්ෂා කරගෙන කාමච්ඡන්දාදී පංච නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කර සත්‍යධ්‍යාන උපදවාගනී . තවද චිත්ත භවානාවෙන් ත්‍රිවිද්‍යාඥානයෙන් සම්පූර්ණව චිත්ත සන්තානය කාමාශ්‍රවයන්ගෙන් මුදාගන්නේය. තවද භවාශ්‍රව, හා අවිජ්ජා ශ්‍රවයන්ගෙන්ද සිත මිදෙන්නේය.
එසේම මෙම ශ්‍රාවකයන් වහන්සේ සෝවාන් ආදී සතර මාර්ගයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව කළමනා සියලු කටයුතු අවසන් කළේයයි යළි කළයුතු දෙයක් නැතැයිද ‘කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති’ යනුවෙන් තීරණයට එළඹෙන්නේය.
මෙතෙකින් බමුණ ආර්ශ්‍රාවකයන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත නම් වන්නේය.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න නම් වන සේක යනුවෙන් නිෂ්ටාවට පත්වන්නේය.
මෙම චුල්ල හත්ථිපදෝපම සූත්‍රාන්ත ධර්ම දේශනාව අවසානයේ ඉමහත් සන්තෝසයට පත් ජානුස්සෝණි බ්‍රාහ්මණයා තිසරණ සරණාගත උපාසකයෙක් බවට පත්විය.
භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත නම් වන්නේය.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න නම් වන සේක යනුවෙන් නිෂ්ටාවට පත්වන්නේය.
මෙම චුල්ල හත්ථිපදෝපම සූත්‍රාන්ත ධර්ම දේශනාව අවසානයේ ඉමහත් සන්තෝසයට පත් ජානුස්සෝණි බ්‍රාහ්මණයා තිසරණ සරණාගත උපාසකයෙක් බවට පත්විය.
මෙම උතුම් ධර්ම දේශනාව කියවීමෙන් ධර්මය පිළිපැදීමෙන් දෙලොව ශාන්තිය හා අවසානයේ පරම ශාන්ත නිවන් සම්පත් ලබාගැනීමට හේතු වාසනා වේවා.
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ පොසොන් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 27 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment