Labels

Thursday, July 21, 2016

අධ්‍යාත්මික හරයෙන් අඩු ආගමික වටපිටාව

කට්‌ටඩිකම්, කොඩිවින, ආත්මය ගලවාගන්නා දෙවිවරු, සියලු දේ ලබාදෙන අස්‌වාභාවික බලවේග, හාස්‌කම් පෙන්වන පුද්ගලයන් සහ තවත් ගරහිත විද්‍යාවන්ගෙන් පිරුණු වටපිටාවක සිත මුළාකිරීම නිෂ්ප්‍රයෝජන බවත්, යහපත් සිහිය පුරුදු කිරීම සියලු දුක්‌ නැතිකිරීමේ ක්‍රමවේදය ලෙසත් බුදුරජාණන් වහන්සේ හෙළි කළහ. මෙම හෙළිදරව්ව අන්ධ විශ්වාසයන්ගෙන් වැසුණු ආගමික වටපිටාව නව මගකට හැරුව්වේය. විශ්වාසයන්ගෙන් අන්ධවනවා වෙනුවට සිහිය පුහුණු කිරීමෙන් ප්‍රඥා ඇස උපදවාගැනීම උතුම්යෑයි පෙන්නූහ. බුදු දහමේ විශිෂ්ටත්වයද එයයි.

ආගම සම්බන්ධ කරුණු දෙකක්‌ නිතරම ලෝකයා අන්ධ කරයි. තවත් විටෙක ඇස උපදවයි. යහපතට කැඳවයි. මෙම කරුණු දෙක නම්(

1) තමන්ගෙන් තොර ව බාහිර බලවේග පිළිබඳ විශ්වාසය.

2) යළි ඉපදී සැප විඳීම පිළිබද විශ්වාසය .

ඇතැම් බෞද්ධ උපාසකයන්ද මෙම කරුණු දෙකින් අන්ධය. ඇතැම්හු සිතන්නේ භික්‌ෂුන්ට යම් යම් දේ පූජාකළ විට සියල්ල සම්පූර්ණ බවයි. ඔවුන් අපේක්‌ෂා කරන්නේ තමන්ට වැඩිවැඩියෙන් ලබාදෙන බලවේගයක්‌ ඇති බවයි. නැතිනම් මරණින් මතු දිව්‍ය ලෝකවල ඉපදීමේ තණ්‌හාවයි. දැනට පවතින ඇතැම් නාලිකාවල පවා වාසිය පතා හණමිටි අදහස්‌වලින් උපාසකයන් අන්ධ කොට ලාබ ලබයි. එහි අනිසි ප්‍රතිපලය නම් කිසිම ප්‍රයෝජනයක්‌ නැති දෙවල් කිරීමයි. ඒවායෙහි නිෂ්ප්‍රයෝජනය පෙන්වා දුන්නොත් අපටද ඔවුන් දොස්‌නගති. මෙසේ අන්ධ අදහස්‌වලින් අන්ධ වන්නේ ඉහත ආගමික කරුණු දෙක නිසාය.

භික්‌ෂුන්ට ඇතැම් දේ පූජා කළ යුතුවන්නේ ඉහත ආකාරයේ විශ්වාස මත පිහිටා නොව සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කර ඇති පරිදි අවබෝධයෙන්ය. අර්ථයෙන් ධර්මයෙන් කරුණාවෙන් දහම් දේශනා කරන භික්‌ෂුන්ගේ සිව්පසය, අවශ්‍යතා සැපයීම යුතුකමකි. එය කළ යුතුවන්නේ තමන්ට අවශ්‍ය දේ පූජාකොට දිව්‍ය ලෝකයට කෙටි මගක්‌ වෙනුවෙන් නොව භික්‌ෂුන්ගේ අවශ්‍යතා සැපයීමටය. එමගින් තමන්ගෙ යහපත් ගුණ වැඩේ. කරුණාවෙන් කෙළෙහිගුණ දැක්‌වීමට ෙච්තනාව ඇති බැවින් එම ගුණ ජීවිතයට පුහුණු වේ. එයින් දුක තුරන් කළ හැකිය.

ඉහත නිදසුන එකක්‌ පමණි. අද බෞද්ධ සංස්‌කෘතිය ඉහත ආගමික කරුණු දෙකින් පිරී ඇත. ඒවා ඉවත් කොට බුදුදහමේ හරය, බුද්ධිමත් භාවිතාවන් මතුකර නොගතහොත් මෝඩ උපාසකයන්ගේ මළවිකාර මැද බුදු දහම, ලාංකේය බෞද්ධ සංස්‌කෘතිය විහිළුවක්‌, විකාරයක්‌ වනු ඇත. තරුණ පරපුර එයට හිනාවෙනු ඇත. ඔවුන් පන්සලෙන් ඈත්වෙනු ඇත.

තමන්ගෙන් තොර ව බාහිර බලවේග පිළබඳ විශ්වාස, යළි ඉපදී සැප විඳීම යන කරුණු දෙක අයත් වන්නේ විඤ්ඤාණවාදයටයි. බුදුරජාණන් වහන්සේ තමන් විඤ්ඤාණවාදියෙක්‌ නොවන බව දෙසූහ. මන්ද එයින් කෙනෙක්‌ අන්තගාමී වන්නේය. යහපත කිරීමට සිහිය ඇති කරගන්නවා වෙනුවට අසිහියෙන් විශ්වාසයක්‌ මත පිහිටයි.

ඉහත කරුණු දෙක හුදු විඤ්ඤාණවාදයකට පමණක්‌ සීමා නොකොට, ජීවිතයේදී අත්විදිය හැකි, වර්තමානයේදීම ප්‍රතිඵල ලැබිය හැකි ධර්මයක්‌ ලෙසද භාවිත කළ හැකිය. බුදු රජාණන් වහන්සේ කර්මානුරූපීව ආනිසංස හෝ විපාක ලැබීම දේශනා කළේ එම මානයෙන්ය. පළමු කරුණ වන තමන්ගෙන් තොරව බාහිර බලවේග පිළිබඳ විශ්වාසය සලකා බලමු. කෙනෙකු වර්තමානයේදී එනම් දැන් යහපත් සිහියෙන්, යහපත් හැඟීමෙන්, යහපත් ෙච්තනාවෙන්, යහපත් දැක්‌මෙන් යුතුවන්නේ නම්, බොහෝ අයගේ පැසසුමට ඔහු පත්වන්නේය. ඔහුගේ ප්‍රසන්න මනස නිතර ඔහුට සතුට ඇති කරවයි. එය බාහිර නොපෙනෙන බලවේගයක්‌ නිසා නොව තමන්ගේ සිත යහපත් බැවින් බාහිර බලවේග තමන්ට ආකර්ෂණය වේ.

මෙය පරමාණු විද්‍යාවේ ඉගැන්වෙන න්‍යායට සමානය. එනම් එකම බලයන් එකට එකතුවීමයි. බුදු රජාණන් වහන්සේ වරක්‌ දේශනා කළේ යහපත් මිනිසුන්ට දෙවිවරු පවා ගරුකරන බවයි. ස්‌වභාදහමේ නොපෙනෙන බලවේග පවා යහපත් සිහිය පුරුදු කරන්නාට ආකර්ෂණය වේ. තවත් විටෙක ප්‍රතිපත්තිගරුක, යහපතෙහි නිරත වන පුද්ගලයන්ට ග්‍රහ, තරුවලට කළ හැකි නරක බලපෑමක්‌ නැති බව දෙසූහ. යහපත් සිහිය පුරුදු කරන්නාට සියලු යහපත සැලසේ.

අපි යහපත කළ යුතුවන්නේ මරණින් පසු සැප විඳීමේ බලාපොරොත්තුවෙන් නොව, ප්‍රසන්න මනසක්‌ ඇතිකරගැනීමෙන් ගුණයන් පුරුදු කොට දුක නිවීමටය. දෙවන කරුණ වන යළි ඉපදී සැප විඳීම පිළිබද විශ්වාසය මෙයට අදාළය. මෙම මිථ්‍යා විශ්වාසය මිනිසාට පොවා ඇත්තේ මහණකමින් ජීවිකාව රැකගන්නා අය වයසක මිනිසුන්ගෙන් ලාභ ප්‍රයෝජනය බලාපොරොත්තුවෙන්ය.

වර්තමානයේදී ප්‍රසන්න මනසක්‌ කෙනෙකුට පිංකම් කිරීමෙන් ඇති කරගැනීමට නොහැකිනම් ඉන් ලැබෙන ආනිසංසය අල්පය. තරගෙට නාලිකාවල ධර්ම දේශනා කරවන අය, නිතර මල් අතේ තියාගෙන මෙන්න බුදුන් මල් කියා ගත්ත අය මට නිතර හමුවේ. ඔවුන් සිතන්නේ හොදින් බුදු දහම අදහන බවයි. නමුත් ඔවුන්ගේ මානසිකත්වය ප්‍රසන්න නැත. නිතර නොසංසුන්ය. ළාමක සිතුවිලිවලින් පිරී ඇත.

අධ්‍යාත්මික හරයෙන් යුතු ආගමික භාවිතාවක ලක්‌ෂණය, ගුණය වන්නේ ප්‍රසන්න මනසක්‌ ඇති කරගැනීමයි. ප්‍රසන්න මනස ඇති වන්නේ යහපත් ක්‍රියාවෙනි. එය යහපත් සිහියයි. මෙම යහපත් සිහිය දුක නැති කරවයි. සියලු බලවේග ඊට නතුවේ. වර්තමානයේ ප්‍රසන්න මනසක්‌ ඇති කෙනා මරණින් පසු ජීවිතය ගැන බිය වන්නේ නැත.


විද්‍යාපති බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ භාවනා මධ්‍යස්‌ථානය



2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment