ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පාරමී පුරන කාලයේදී සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ඇස්, ඉස්,මස්,ලේ අඹුදරුවන් දන් දෙමින් දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, සම්පූර්ණ කරමින් සොයාගත් උතුම්ම වස්තුව වන්නේ ධර්මයයි. එය ලොව ඇති පරම සත්‍යයයි.
කිසිවෙකුගේ මඟ පෙන්වීමක් කළ නොමැතිව ස්වෝත්සාහයෙන්ම සොයා ගත් ඒ උතුම් දහම අතීත, වර්තමාන,අනාගත යන කාලත්‍රයටම එකසේ සාධාරණ, සමාන, පොදු වූවකි. එම උතුම් දහම යමෙකුට සරණ යෑමට හැකිනම්, අනුගමනය කිරීමට හැකිනම් ඔවුනට ඒකාන්තයෙන්ම දීර්ඝායුෂ ලැබෙනු ඇත. එයට හේතුව වන්නේ “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” යන පාඨයට අනුව ධර්මයෙහි හැසිරෙන්නෝ ධර්මය විසින්ම රකිනු ඇත යන සදාතනික ධර්මතාවයයි.
බුදුන් දෙසු දහම කුමක්ද ? යන්න පිළිබඳ විමසීමේදී එය විවිධ පැති කීපයක් ඔස්සේ හඹා ගොස් ඇති බව පැහැදිලි වේ. දේශනයක් තුළ වුවද යථාර්ථය කැටිකොට දේශනා කර තිබීම ධර්මයේ ඇති සුවිශේෂත්වයයි. ධර්මය යනුවෙන් හැඳින්වෙන්නේ නවලෝකෝත්තර ධර්මයයි. එනම්
සෝවාන් මාර්ගය – සෝවාන් ඵලය
සකෘදාගාමී මාර්ගය – සකෘදාගාමි ඵලය
අනාගාමි මාර්ගය – අනාගාමි ඵලය
අර්හත් මාර්ගය – අර්හත් ඵලය
හා නිර්වාණය යන්නයි.
ආර්ය මාර්ග හා ඵල පිළිවෙළින් පිරීම නිමිති කොටගෙන නිර්වාණය ක්ෂාත් ක්ෂාත් කර ගැනීමට පුළුවන. පළමු අංගය වු සෝවාන් මාර්ගයට පිවිසීමෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා , සීලබ්බත පරාමාස දුරුකර ගැනීමට පුළුවන. එතුලින් නිර්වාණයට යන මාර්ගයට පිවිසුනා වන්නේය. සෝවාන් වූ කෙනෙකු නැවත කිසි කලෙක අපා ගත නොවේ.
උපදින්නේ ද මතු ආත්ම භාව හතක් පමණි. ඔවුනට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලැබී බෝධිපාක්ෂික ධර්ම වර්ධනය කිරීමට ද සිදුවේ. එය වර්තමාන ආත්මය උදෙසා බොහෝ ප්‍රතිඵල ගෙන දෙනු ඇත. ඒ අතර ප්‍රධානම කාරණයක් වන්නේ දීර්ඝායුෂ ලැබීමයි. ධර්මයේ තිබෙන එක් ආනිශංසයක් නම් සන්දිට්ඨික ගුණයයි. එනම් වර්තමාන භවයේදීම ප්‍රත්‍යක්ෂ වීම නොහොත් ප්‍රතිඵල ගෙන දීමයි. මිනිසෙකුට ජීවිතයක අවශ්‍යම වන පංච විධ සම්පත් අතර ප්‍රධාන අංගය වන්නේ අයුෂයයි. ආයුෂය ලබා ගැනීමට අප ධර්මය පිළිපැදිය යුතුය. ඒ සම්බන්ධව ජාතක පොතෙහි සඳහන් මහා ධර්මපාල ජාතක කතාව ඉතා වැදගත් වනු ඇත. එහි ඇතුළත් වන්නේ, ධර්මයේ හැසිරීමේ විපාක පිළිබඳවයි. එනම්,
යටගිය දවස බරණැස් රජු දවස අප මහා බෝසතාණෝ ධර්මපාල නම් බමුණෙකුට දාව ධර්මපාල නමින් ඉපිද, පන්සිල්, අටසිල් රකින දැහැමි පවුලක විසීය. ධර්මපාල කුමාරයා දිසාපාමොක් ආචාර්යවරයා ළඟ ශිල්ප උගන්නා කාලයේදී ආචාර්යවරයාගේ බාල පුතු මිය ගියේය. අන් සියලු දෙනාම හඬා වැළපෙද්දී ධර්මපාල කුමාරයා නොහඬා සිටියේය. ඒ ඇයිදැයි දිසාපාමොක් ආචාර්යවරයා ඇසූ කළ ධර්මපාල කුමාරයා පිළිතුරු දෙන්නේ “බාල අවස්ථාවේ කිසිවෙක් මිය යන බවක් නොදනිමියි” යනුවෙනි. ධර්මපාල කුමාරයාගේ පිළිතුර සත්‍යදැයි විමසා බැලීම සඳහා දිසාපාමොක් ආචාර්යවරයා ඔහුගේ ගමට ගොස් ධර්පාල කුමාරයාගේ පියාට එළුවන්ගේ ඇට කැබලි කිහිපයක්දී ඔබේ පුතා හදිසි රෝගයකින් මිය යන ලදී. යනුවෙන් පැවසීය. ධර්මපාල කුමරුගේ පියා හයියෙන් සිනාසී අපේ පවුලේ කිසිවෙකු අඩු වයසින් නොමියන බව පවසා මෙම ඇටසැකිලි ගවයෙකුගේ හෝ එළුවෙකුගේ විය යුතුයැයි පැවසීය. එයට හේතුව කුමක්දැයි දිසාපාමොක් ආචාර්යවරයා ඇසූ කල ධර්මපාල කුමරුගේ පියා පිළිතුරු දෙන්නේ දාන, සීල,භාවනාවල යෙදී දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන නිසා බවයි. එයින් සතුටට පත් දිසාපාමොක් ආචාර්යවරයා ඔබගේ පුතා මළේ නැත. ඔබ විමසනු පිණිස මෙසේ අසන ලදැයි උත්තර දුන්නේය.
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි
විශාල ඡත්‍රයක් (කුඩයක් වැස්සෙන්) රැකවරණය ලබා දෙන්නේ යම්සේද ? මාගේ ධර්මපාල කුමරු ධර්මය විසින් රකිනු ලබයි. මේ අනික්කුගේ ඇටකටුය. කුමරු සුවපත් වේවා.
ඉහත කතා පුවතින් පැහැදිලි වන්නේ ධර්මයේ හැසිරීම දීර්ඝායුෂ ලැබීමට හේතුවක් වන බවයි. ධර්මයෙහි හැසිරෙන්නෝ අඩු ආයුසෙන් නොමියති. මඟමානවක කතාපුවත තුළින් වුවද මේ සඳහා කරුණුූ ගත හැකිය. මග මානවක කුමරුගේ සිල්වත් ගුනවත් බාවයත් ධර්මයේ හැසිරීමත් හේතුවෙන් තමා මරන්නට එවන ලද ඇතා පවා ආපසු හැරී ගිය බව සඳහන් වේ. තවත් ආයුවඩ්ඩන කුමරුට පිරිත් අසන්නට සැලැස්වීමෙන් දීර්ඝායුෂ ලැබුණ බවද ඉතා ප්‍රකට කතා පුවතක් වේ. ධර්මය තුළ ඇති ශක්තිය බලය වචනවලට හසු කිරීමට නොහැකි තරම්ය. නවාංග ශාස්තෘ ශාසනයට පිවිසීමේදී සම්‍යක් ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ජීවිතය ධාර්මික වනු ඇත. එවිට ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය ආරක්ෂා වනු නියතය.
වර්තමානය තුළ පරමායුෂ හැට හැත්තෑවකට සීමා වී ඇත්තේ ඇතැම්විට මිනිසුන් ධාර්මික ජීවිත ගත නොකරණ බැවින් විය හැකිය. නමට බෞද්ධ කීවද, උදේ සවස බණ ඇසුවද ප්‍රායෝගික ජීවිතය තුළ ධාර්මික බවක් නොමැති වීම ජීවන ගැටලු රාශියකට හේතු වී ඇත. සිත, කය, වචනය යන තිදොරින් කළ යුතු වන්නේ දස කුසල හා දස පුණ්‍ය ක්‍රියාය. ඒවා අද කොතෙක් දුරට නිවැරදිව පිරිසුදුව කරන්නේද යන්න පිළිබඳ විමසා බැලිය යුතුය .
යුතුකම්, වගකීම් සමාජ චාරිත්‍ර, වාරිත්‍ර, ප්‍රතිපදා, ප්‍රතිපත්ති, ගුණධර්ම වල් වැදී ඇත. භෞතික ලෝකය තුළ දුර නොපෙනෙන කණා මැදිරියන්සේ ජීවිත ගත කරති. මිරිඟුව පසු පස හඹා යන මුවපෝතකයන්සේ කාම රැල්ල පසු පස දුවති. රාගයෙන් රත් වී ද්වේෂයෙන් දූෂිත වී , මෝහයෙන් මුලාවී රොබෝවරුන් මෙන් හිතක් පපුවක් නොමැති අය සේ මිනිසුන් ජීවත්වීම ඉතා සෝචනීය තත්ත්වයකි.
ආලවක සූත්‍රය තුළ ආලවක යක්ෂයා බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරන්නේ “කිංසු සුචිණ්ණෝ සුබ මාවහාති” යනුවෙනි. එයට බුදුහිමි උත්තර දෙන්නේ ධම්මෝ සුචිණ්ණෝ සුබමාවහාති යනුවෙනි. එනම් මනා කොට පුරුදු කරන ලද හෙවත් රැස් කරන ලද කවර නම් ධර්මයක් සැප ගෙනදේද මනාකොට, පුරුදු කරන ලද කුසල ධර්මය සැප ගෙන දේ.
“ධම්මං විනා නත්ථි පිතාච මාතා” යනුවෙන් ධම්ම පදය තුළ සඳහන් වන්නේ ධර්මයෙන් ලැබෙන පිහිට මවෙකුට හෝ පියෙකුටවත් කළ නොහැකි බවයි. “සද්ධම්මෝ පරම දුල්ලභෝ” ධර්මය පරම දුර්ලභ කාරණයක් බවත් සඳහන් වේ. පරාභව සූත්‍රය තුළ ධම්මකාමෝ භවංහෝති ධම්මදෙස්සි පරාභවෝ” යනුවෙන් ධර්මයට නොකැමැති වීම පිරිහීමට හේතුවක් බවයි. මේ ආදි වශයෙන් විවිධ තැන්වල සඳහන් කර ඇති කරුණු තුළින් පැහැදිලි වන්නේ ධර්මයට පිටුපෑම පිරිහීමට හේතුවක් බවත් ධර්මයෙහි හැසිරීම ආයුෂ ඇතුළු විවිධ සම්පත් ලැබීමට කාරණයක් බවත්ය.
දුර්ලභව ලැබු මිනිසත් බව තුළ ඇති වටිනාකම දැන හඳුනා ගෙන ඉන් ප්‍රයෝජනය ලබා ගත යුතුය. තමාගේ පිහිට තමා විසින්ම හදා ගත යුතුය. එය වෙනකෙකු නොහදනු ඇත. තමා තමාට ප්‍රදීපයක් කොට වැසිය යුතුය. ඒ සඳහා ධර්මය පහුරක් කර ධර්මයෙන් ලැබෙන අනුසස් ලැබීමටත් උත්සුක විය යුතුය. ධර්මානුකූල ජීවිතයකට පිවිසීමත් එතුළින් ධර්මයෙන් ලැබෙන අනුසස් ලැබීමටත්, උත්සුක විය යුතුය. “ධම්මං චරේ සුචරිතං – නතං දුච්චරිතං චරේ” ධර්මයේ හැසිරීමත් අධර්මයේ නොහැසිරීමත් කළ යුතුය. එතුළින් සත්වයාට ලෞකික – ලෝකෝත්තර දෙඅංශයම ජයගත හැකි බව සිතට ගත යුතුය.
බෝධිපූජා විහාරස්ථානවාසී
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති
ගලගෙදර රතනවංස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 11 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment