දිට්‌ඨානුගතිය නම් අනුන්ගෙන් දුටු දේ හෝ ඇසූ දේ හෝ අනුව යැමයි. යහපත් අයහපත් දේ අනුගමනය කිරීමෙන් මේ දෘෂ්ටානුගතිය ද හොඳ නරක කියා කොටස් දෙකකට බෙදෙයි. බොහෝ සෙයින් අනුන් කරන හැටියට කරන්නෝ, තිරිසනුන් හා දුබලයෝ ය. යම් මිනිසකු වඳුරකු ළඟට ගොස් නහය කැසුවහොත්, ඌ ද එය කරයි හිස සෙලෙව්වොත් එය ද කරනවාට කිසිම සැකයෙක් නැත. පක්‌ෂීන් හා තිරිසන් සතුන් ද කරන්නන් වාලේ කිරීමට කථා කරන්නන් වාලේ කථා කිරීමට කැමැති වන බව, පොත්පත්වලින් හා නොයෙක් ස්‌ථානයන්හි හැසිරීමෙන් අපට දැකගත හැකිය.
බුදුන් වහන්සේ සමාජයේ ප්‍රභවය පිළිබඳ දේශනා කළ අග්ගඤ්ඤ සූත්‍රයේ දීත් චක්‌කවත්තිසීහනාද සූත්‍රයේ දීත් දිට්‌ඨානුගතිය නිසා සිදු වූ සමාජ පරිහානිය පිළිබඳ ඉතා හොඳින් සඳහන් කර ඇත. ඈත සිටම වත්මන් සමාජය දක්‌වා බොහෝ දෙනා අනුන්ට අනුකරණය කිරීමට යාම නිසා ජීවිත පරිහානියට, විනාශයට පත් කර ගෙන ඇත. මෙකී කරුණ බුදුන් වහන්සේ උපමාවක් ආශ්‍රයෙන් දේශනා කර ඇත. එය පහත පරිදි වේ.
ගුන්නං වෙ තරමානානං - උජුං ගච්ඡති පුංගවො
සබ්බා තා උජුං ගච්ඡන්ති - නෙත්තේ උජු ගතෙ සති
ඒවමෙව මනුස්‌සේසු - යෝ හෝති සෙට්‌ඨ සම්ම තිකා
සෝෙච්ව ධම්මං චරති - පගේව ඉතරා පජා
සබ්බං රට්‌ඨං සුඛං සේති - රාජා ෙච් හොති ධම්මිකො
ඉහත ගාථා පාඨද්වයෙහි අර්ථය ගෙන හැර බැලීමේ දී 'යන්නා වූ ගවයන් අතුරෙන් ප්‍රධාන ගවයා Rජුව ගියහොත් සෙසු ගවයෝ ද Rජුව යති. එමෙන්ම මනුෂ්‍යයන් අතුරෙහි ශේ්‍රෂ්ඨ සම්මත වූ යමෙක් වේද ඔහු ධර්මයෙහි හැසිරෙන්නේ නම් අනෙක් ජනයා ගැන කියනුම කිම? ඉදින් යම් රටක රජා ධර්මික වේ නම්, ඒ මුළු රටම සුවසේ කල් යවයි යන්න මෙහි සරල අර්ථය යි.
ඉහත සඳහන අනුව දිට්‌ඨානුගතිය නම් අද ඊයේ ආරම්භවූවක් නොවේ. එයට ඇත්තේ දිගු ඉතිහාසයකි. සමාජයේ ආරම්භයේ දීම එවන් වූ සිදුවීම් වූයේ නම් මෑත භාගය ගැන කියනුම කවරේද? මෙය
පරම්පරාවෙන් පරම්පරාවට මනුෂ්‍යයාගෙන් මනුෂ්‍යයාට පැතිර යන්නා වූ මානසික ක්‍රියාදාමයක් යෑයි පැවසීම නම් සාවද්‍ය
නොවන්නකි. දිට්‌ඨානුගතියෙහි ඇති අනර්ථය පිළිබඳ ඉතා කතාවක් සඳහන් කිරීම වටී. පෙර එක්‌කලෙක අශ්වයකු බලාගත් එක් කකුලක කොර බවක් ඇති මිනිසෙක් සිටියේ ය. ඔහු දිනපතාම මේ නිරෝගි අශ්වයාගේ ලණුව අතින් ගෙන කොර ගහමින් ඌට පෙරාතුව ගමන් කළේය. නොබෝ කලකින් මේ අශ්වයා ද 'මගේ ස්‌වාමියා යන හැටි උගන්වයි' යනුවෙන් සිතා කොර ගහන්නට පටන් ගත්තේය. අශ්වයා අයිති රජතුමා මෙයට හේතුව වටහාගෙන ඒ තනතුරෙන් කොරා ඉවත් කොට
නිරෝගී මනුෂ්‍යයකුට අශ්වයා බලාගන්නට දුන් කල්හි ඒ තිරිසන් සතා යළිත් ප්‍රකෘති ස්‌වභාවයට පැමිජියේය. මේ අනුව යමෙක් ඇසූ දේ අනුව හෝ දුටු දේ අනුව ජීවිතය සකසා ගැනීමට වෙහෙසීම සැබැවින්ම අනුවණ ක්‍රියාවක් බව පෙනී යයි.
දිට්‌ඨානුගතිය මුලින්ම ආරම්භ වන්නේ පවුලෙනි. විශේෂයෙන් කුඩා ළදරුවෙකු මුලින්ම අනුකරණය කිරීමට පෙළඹෙන්නේ තමාගේ මව පියා ය. ඔවුන් දෙපල කරන කියන දෑ මනසට ගන්නා දරුවා ක්‍රමයෙන් ඒවා වහරන්නට හා ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. පාසල් යන වයස පැමිණි පසු දෙමාපියන්ට අමතරව පාසලේ තමාගේ පන්තියේ ගුරුතුමිය හා සමවයස් සිසුන් අනුකරණය කිරීමට පෙළඹේ. බොහෝ විට මෙසේ අනුකරණය කරන්නේ හොඳ
ක්‍රියාවන්ට වඩා නරක
ක්‍රියාවන් ය. කුඩා කල සිටම දරුවා නිසි මඟට යොමුq කිරීම කෙරෙහි දෙමාපියන්ට ඇත්තේ මහා වගකීමකි. දරුවෙක් අනාගතයේදී යහපත් හෝ අයහපත් පුරවැසියෙක් වීම කෙරෙහි කුඩා කල ලබාදෙන්නාවූ දැනුම, සිරිත් විරිත් ආදිය මූලික වේ.
බුදුන් වහන්සේ වරෙක දෙමාපියන් සඳහා භාවිත කළ නාමය වන්නේ 'පූර්ව ආචරිය' යන නාමය යි. මේ නාමයේ විශේෂත්වයක් නොමැතිව උන්වහන්සේ දේශනා කළ යුත්තක් නොවේ. කුඩා දරුවා උපතේ සිට හොඳ නරක හරි වැරැද්ද කුමක්‌දැයි යම් තරමකින් හෝ අවබෝධ කර දෙන්නේ දෙමාපියන් නිසා ය. පුqබ්බචරිය නම් වූ තනතුර මේ ලොවෙහි අතිශ්‍රේෂ්ඨම තනතුර යෑයි යමෙක් සඳහන් කරන්නේ නම් එහි වරදක් නැත. මන්ද යමෙක් නිසි මඟට යොමු කරන මූලික අවස්‌ථාව මෙමගින් සිදුවන බැවිනි. අයන්න ආයන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ පාසල් අධ්‍යාපනයත් සමඟය. එකල්හි ද දරුවාට හොඳ නරක තේරුම් ෙරීරුම් කර දීම පන්තිභාර ගුරුතුමිය වෙත පැවරෙන අතිඋතුම් වගකීම වේ.
එසේම කුඩා කල සිටම දරුවාට දහම් අධ්‍යාපනය ලබාදීම ධර්මය පිළිබඳ ගරු කරන බෞද්ධ සිරිත් විරිත් අගයන දෙමාපියන්ගේ වගකීමකි.
දරුවාගේ මනස සංවර්ධනය කරන්නේත්, දැහැමි ජීවිතයකට මඟ හෙළි පෙහෙළි කරන්නේත් දහම් අධ්‍යාපනය මගිනි. විශේෂයෙන්ම සතියකට වරක් හෝ විහාරස්‌ථානයට යාමට දරුවන් හුරු කරන්නේ නම් එයින්ම ඔහු යම් තරමක ශික්‌ෂණයක් ලබනු නියත ය. ඔහුගේ ජීවිතයේ වාසනාවන්ත කරගැනීමේ සුදුසුම අවස්‌ථාව මෙය යි.
එසේම කුඩා දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්‌වාම පුරුදු වී ඇත්තේ අනෙකා අනුකරණය කිරීමට ය. එය දරුවාට පමණක් සීමා කිරීම සුදුසු නැත. බොහෝ විට මානව පවුලේ සාමය සමගිය නැති වීම කෙරෙහි තදින්ම බලපාන්නේ දිට්‌ඨානුගතිය යෑයි පැවසීම නිබොරුය. පවුල් පරිසරය දෙස විචක්‌ෂණව බැලීමේ දී පෙනී යන කරුණක් නම් තමාගේ නිවසට ආසන්නයේ පිහිටි අනෙකුත් නිවෙස්‌හි ඇති විවිධ බඩු බාහිරාදිය තමන් ද මිලදී ගැනීමට වෙහෙසීමයි. විශේෂයෙන්ම මේ ක්‍රියාව සිදු කරන්නේ කාන්තා පාර්ශ්වයයි. අනෙකාට පරයා තමන් සිටිය යුතුයි යන මානය නිසා මේ ක්‍රියාව සිදු කරනු පෙනේ. මෙයින් එදිනෙදා ජීවිතයේ මිලමුදල් පරිහරණයේ දී දුෂ්කරතා මතුවීමට ඉඩ ඇත. නිවසේ මූලිකයා ධනය සෙවීමේ ක්‍රියාවලියේ යෙදී සිටින අතර ඒ මුදල් නිසි පරිදි වැය කිරීමේ කාර්යය පැවරී ඇත්තේ නිවසේ මව කෙරෙහි ය. ඇය මිල මුදල් නිසි පරිදි පරිහරණය නොකරන්නේ නම් අය පක්‌ෂයට වඩා වැය පක්‌ෂය ඉහළ ගියේ වී නම් ගෘහ මූලිකයාට ද පවුල් ජීවිතය එපා වේ. ඔහු මානසිකව පීඩාවට පත්වේ.
මානව පවුලේ සේ ම අපට දෘශ්‍යමාන සියලු ස්‌ථානයන්හි දිට්‌ඨානුගතියෙන් යුක්‌තව කටයුතු කෙරෙනු දක්‌නට ලැබේ. විශේෂයෙන්ම මෙහි එක්‌තරා අවස්‌ථාවක් නම් වත්මන් සමාජයේ පිරිස් අඳින පළඳින ආකාරය යි.
බොහෝ දෙනා විදේශීය විලාසිතා අනුකරණය කිරීමට පෙළඹී ඇත. සමහර කාන්තාවන් අඳින ඇඳුම් ස්‌ත්‍රී තත්ත්වයට නොහොබිනා ඒවා වන අතරම ඒ විලාසිතා දැකීමෙන් ඇයට යම් වූ අතවර වුව සිදු විය හැකිය. එසේම වත්මන් සමාජයේ සංස්‌කෘතික පක්‌ෂය බොහෝ සෙයින් විනාශවී ඇති බව පෙනෙන්නට තිබේ. කුමන ස්‌ථානයක බැලූවත් සංස්‌කෘතික
විරෝධි ක්‍රියාවන් සිදුවේ. තම ජාතිය ආගම කෙරෙහි කිසිදු තැකීමක් නැතිව පුරුෂ මදයෙන් යෞවන මදයෙන් ක්‍රියාකරන පිරිසක් අද නිරන්තරයෙන් හමුවේ. ඔවුන් බොහෝ සෙයින් ආගමික මතවාද, සිරිත් විරිත් ආදී දෑ විවේචනයට ලක් කරයි. නූතන
සමාජයට ඒවා නොගැළපෙන බව සඳහන් කරයි. මේවාහි අවසන් ප්‍රතිඵල භුක්‌ති විඳීමට සිදුවන විට සැබැවින්ම පසුතැවීමට ලක්‌වනු නො අනුමානය.
මේ අනුව ළදරුවාගේ සිට මහල්ලා දක්‌වාම සියල්ලෝම අඩුවැඩි වශයෙන් දිට්‌ඨානුගතියෙන් හෙවත් අනුන් අනුකරණය කිරීමට පෙළඹී ඇති බව සැබවි. සමාජ ප්‍රභවයේ මුල් අවදිය දෙස බැලීමේ දී මේ කරුණ සිදු වූ බව ඉහතින් පෙන්වා දෙන්නට යෙදුණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සමාජය පිරිහීමයි. සාරධර්ම පිරිහීමයි. මිනිස් ගතිගුණ පිරිහී තිරිසන් ගති ඉල්පී ඒමයි. අග්ගඤ්ඤ සූත්‍රයේ පෙන්වා දෙන පරිදි එක් පුද්ගලයෙක් කිරිසයුර ඇඟිල්ලකින් ඇණ එහි දැවටුණු කිරි රස බැලීම මත අනෙකා ද එය හුරු වූ බව කියයි. එසේම ඔවුන් ක්‍රමයෙන් පෙර වූ ලක්‌ෂණවලින් මිදීම කෙරෙහි තදින්ම බලපෑමේ මෙකී දිට්‌ඨානුගති ක්‍රියාවලිය යි. සියුමැලි ශරීරය ක්‍රමයෙන් දුර්වරණවී ලිංගභේදය ද පැමිණි බව එහි දැක්‌වේ. ඔවුනොවුන් දෙස ඇසිපිය නොහෙලා බලාසිටීම නිසා කාමාශාව ඇති වූ බවත් මුලින් නිර්වස්‌ත්‍රව සිටි පිරිස් පසුව වස්‌ත්‍රවලින් විළි වසා ගත් බවත් එහි පැවසේ. එසේම ස්‌වයංජාත ඇල් වී, භූමි පප්පටක ආදී ඉබේ හටගන්නා වූ දෑ ක්‍රමයෙන් හීන වී යාම නිසා ආහාරයට ගැනීමට අඩුවැඩිය වැඩිවැඩියෙන් හිමිකර ගැනීමට වෙහෙසීම නිසා එකෙකු කළ දේ අනෙකා ද කිරීමට පෙළඹිණි. ඇති නැති පරතරය ඇති වූ බැවින් ධන ධාන්‍ය නොමැති තැනැත්තා ධනධාන්‍ය ඇති තැනැත්තාගේ ධනය භවභෝග සොරකම් කිරීමට යෙදිණි. මෙය ක්‍රමයෙන් සමාජ ගත විය. ක්‍රමයෙන්
සොරමැරකම් ප්‍රසිද්ධියේම සිදුවන්නට විය. මේ ආදි ලෙස මෙකී සූත්‍රය පිරික්‌සීම මගින් හෙළි කර ගත හැකිය.
පෙර වූ සිදුවීම් අදද ඒ අයුරින් මඳක් වෙනස් අයුරකින් සිදු වනු පෙනේ. සමාජයේ දුරාචාරී ක්‍රියාවන් කිරීම සඳහා බොහෝ දෙනා පෙළඹී ඇති බව පෙනේ. හොඳින් නැත්නම් නරකින් මේ දේවල් කිරීමට ඔවුන් සැදී පැහැදී සිටී. තමා විසින් කරන්නා වූ ක්‍රියාවේ ප්‍රතිඵල තමාටම භුක්‌ති විඳීමට සිදු වන බව දැන දැනම මේ කරනා ක්‍රියා ඔවුන් සිතන්නේ ඉන්න ටිකේ මොනදේ කරලා හරි හොඳින් සිටිය යුතුයි. මැරුණට පස්‌සේ මොනා වුණත් කමක් නෑ කියායි. බෞද්ධ ගුණ ධර්මවලට නැඹුරු වූ තැනැත්තෙකු නම් කිසිදින මෙවැනි දුෂ්ක්‍රියා කිරීමට සිතන්නේවත් නැත. ඉහතින් පෙන්වා දුන් පරිදි මෑතකාලීන සමාජයෙන් හොඳ දරුවෙකු නිර්මාණය කිරීම සැබවින්ම අසීරු කරුණකි. නූතන තාක්‌ෂණය, ආර්ථික තත්ත්වය, සමාජය, මේ ආදී වූ සියල්ල දරුවාගේ අනාගතය කෙරෙහි අත්‍යන්තයෙන්ම බලපාන්නේ ම ය.
අනුන් කරන කියන දේ අනුකරණය කිරීමට පෙළඹීම නොව අප කළ යුත්තේ අපේ ජීවිතය සාර්ථක කර ගැනීම කෙරෙහි බලපාන්නා වූ
ක්‍රියාවන්ම පමණි. අනුන් කරන කියන දේවල්වලට හවුල්වීමත් තමන්ගේ ජීවිතය විනාශයට හේතුවන්නකි. එසේ හෙයින් කළයුත්ත නොකළ යුත්ත මැනවින් අවබෝධ කරගෙන ජීවන ගමන සාර්ථක කරගැනීමට වෙහෙසවීම ප්‍රබුද්ධ පුද්ගලයාගේ ලක්‌ෂණයකි. ඔබත් ප්‍රබුද්ධයෙකු වන්න. ජීවිතය සාර්ථක කරගන්න. දිට්‌ඨානුගතියෙන් මිඳෙන්න. ඔබ සාර්ථකත්වය උදාකරගනු නො අනුමානය.
රාජකීය පණ්‌ඩිත පදියතලාවේ ඤාණවිමල හිමි
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ, යල්කුඹුර, බිබිල
2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment