සුපසන් ජීවිතයකට කතා පෙළෙහි සිඟාලෝවාද සූත්‍ර දේශනාව පිළිබඳව දහම් විවරණයක් කරන අප මෙහි දී සාකච්ඡා කරන්නේ සදිසා නමස්කාරයෙහි එන දරුවන් විසින් මවුපියන් පිළිබඳව දැක්විය යුතු, කළයුතු
උපස්ථානය හා සැලකීම පිළිබඳවයි. සූත්‍ර දේශනාව පුරාම දක්නට ලැබෙන මව්පිය උපස්ථානය හා සැලකීම පිළිබඳව විග්‍රහ කිරීමේ දී කතාවස්තූන් දෙකක් අපට උපකාර කරගත හැකියි.
එසේ නොමැතිව දරුවන් විසින් මහලු වූ මව්පියන් පෝෂණය කරගත යුතුවෙයි. මව්පියන්ගේ කටයුතු සිදුකළ යුතුවෙයි. ආදී වශයෙන් පැවැසූ පමණකින් ම යම් වූ ද දරුවන්ගේ සිත්වලට එය යා නොහැකියි. වර්තමානයේ බොහෝ මව්පියන් දරුවන් අතර ලෙන්ගතුකම සමීපබව අඩු වී ගොස් ඇත්තේ ඒ නිසාය.
බොහෝ මව්පියන් ධර්මයෙන් පෝෂණය වී ඇති බව සැබෑවකි. එහෙත් ඔවුන්ගේ හදවත්වල කොනක දරුවන් ධර්ම මාර්ගයෙන් බැහැරවී යෑම හෝ දරුවන්ගේ රැකවරණයත් මෙලොව වශයෙන් අවසන් කාලයේ දී නොලැබීම පිළිබඳව සිත්වල කොනක දුකක් කණගාටුවක් තිබෙන බව නොරහසකි. වැඩිහිටි නිවාස වැඩි වී යෑමෙන් අපට එසේ සඳහන් කළ හැකියි.පළමු කතා වස්තුව නම් බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ම කිඹුල්වත්පුරයට වැඩි ගමනේ දී රාහුල කුමරා පැවිදි කිරිම සිදුකිරීමයි. රාහුල කුමරු පැවිදි කළ බව දැනගත් සුද්ධෝදන මහ රජතුමා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ මෙසේ සඳහන් කළා,
“පුත්තපේමං භන්තේ ඡවිං
ඡින්දති ඡවිං ඡෙත්වං
චම්මං ඡින්දති චම්මං ඡෙත්වා
මංසං ඡින්දති.....”
ඡින්දති ඡවිං ඡෙත්වං
චම්මං ඡින්දති චම්මං ඡෙත්වා
මංසං ඡින්දති.....”
ආදී වශයෙනි. බුදුරජාණන් වහන්ස, දාරක ප්‍රේමය අප්‍රමාණයි. සම සිදුරු කොට, සිවිය සිදුරුකොට මස් සිදුරුකොට නහර නහරවැල් ඔස්සේ ගලාගෙන ගොස් ඇටමිදුළුවලම හැපී පවතින බව ඒ කතාවේ සඳහන් වෙනවා. පුත්‍ර ස්නේහය දාරක ස්නේහය මව්පියන්ගේ හදවත්වල එසේ තැන්පත්ව පවතින බව පවසනවා. අවුරුදු දහස් ගණනාවකට පෙර ආදරණීය තාත්තා කෙනෙකුගේ හදවතේ ඇති වූ මේ සිතිවිලි අද දවසේ දී පමණක් නෙමෙයි මේ ලෝකයේ කෙලවර දක්වාම එලෙසම පවතීවි. බුදුරජාණන් වහන්සේගෙන් සුදොවුන් මහරජතුමා ඉල්ලීමක් කළා, එනම් මව්පියන්ගේ අවසරයෙන් තොරව දරුවන් පැවිදි නොකට යුතුබවයි. බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගත් සේක.
මී ළඟට මවු සෙනෙහස පිළිබඳව අපට කතා වස්තුවක් පවතී. සීවලී මහ රහතන් වහන්සේගේ අම්මා සුප්පවාසා දේවියයි. පෙර කර්ම දෝෂයක් නිසා දෝ සුප්පවාසා දේවිය හත් අවුරුදු හත් මාසයක කාලයක් දරුගැබ දරාගෙන සිටියා. දරුවා බිහිකරන්නට ගොස් දින හතක් පුරා වේදනා වින්දා. දරුවා මෙලොවට බිහිවූ දා බුදුරජාණන් වහන්සේ වැඩමකොට දන් පිළිගැන්වූවා. දන් වළදා අවසානයේ බුදුරජාණන් වහන්සේ සුප්පවාසාවන්ගෙන් මෙසේ අසනු ලැබුවා. ‘හත් අවුරුදු හත් මාසයක් පුරා දුක්විඳ ඔබ විසින් මේ දරුවා මෙලොවට බිහිකරනු ලැබුවා. අප්‍රමාණ දුක්වින්ඳා මෙසේ දුක්විඳ තවත් දරුවෙක් ලබන්නට කැමැති ද?’ යනුවෙනුයි. සුප්පවාසා දේවියගේ පිළිතුර වූයේ භාග්‍යවතුන් වහන්ස, මෙසේ හත් අවුරුදු හත් මාසය ගණනේ දුක්විඳ එක දරුවෙක් නොව තවත් දරුවන් සත් දෙනෙක් නමුත් ලබන්නට කැමැතියි. යන අදහසයි. මේ අදහසින් පැහැදිලිවන්නේ කුමක් ද?
ලෞකික ලෝකය තුළ ආදරණීය අම්මා කෙනෙකුගේ හදවතේ හටගත් පුත්‍ර ස්නේහය, දාරක සෙනෙහස පිළිබඳවයි. ගුණබර අම්මා කෙනෙකුට පියාණන් කෙනෙකුට දරුවන් පිළිබඳව ලබන්නා වූ දුක වේදනාව දුකක් හැටියට නොගන්නා බව ඉන් පැහැදිලියි. තමන්ට නොපෙනුන ලෝකය පෙන්නා තමන්ට නොලැබුණු සැපසම්පත් ලබා දී තමන්ට වඩා ඉහළ උගත්කමක් අධ්‍යාපනයක් ලබාදෙන්න බොහෝ මව්පියෝ ගුණවන්තව උත්සාහ ගන්නවා. අපමණ වෙහෙසෙන්නේ ද ඒ වෙනුවෙනි. තමාගේ කුසට නිසි ආහාරයක් නැතිව ගතට නිසි ඇඳුමකින් තොරව ලෙඩදුක් පවා නොසලකා වෙහෙසෙන්නේ දරුවන් වෙනුවෙනුයි. එහෙත් තමන්ගේ ජීවිතයේ කුඩා කළ පටන් විඳි දුක් හිරිහැර සිහිනෙන්වත් තමන්ගේ දරුවන්ට ලැබෙන්න එපා යැයි සිතුවානම් ඒ ගුණබර අම්මා කෙනෙක් හා පියාණන් කෙනෙකුයි. මේ අදහස් පෙළ වර්තමාන පරිසරයේ පවා හැදෙන දරුවන්ට මනා කොට පෙන්වාදිය යුතුයි.
එසේ නොමැති වුවත් දහම් කරුණු කෙසේ පැවසුවත් ඔවුන්ගේ හදවත්වල ඒ අදහස් පදිංචි නොවිය හැකියි. තැන්පත් නොවිය හැකියි. මේ නිසා මව්පියෝ මව්පියන්ගේ තරුණ කාලය දරුවන් වෙනුවෙන් කැප කරනවා. මව්පියන් මහලු වියට පත් වූයේ තමන්ගේ තරුණ කාලය දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙනුයි. මව්පියන් බොහෝවිටක ලෙඩදුක්වලට පත්වූයේ තමන්ගේ නීරෝගී බව දරුවන්ට ලබාදීමෙනුයි. දෑස් අන්ධ වූ දෙසවන් නො ඇසෙන අම්මා කෙනෙක් පියාණන් කෙනෙක් වුවත් හදවතින් දරුවන්ගේ රූපය දැක හදවතින් ම දරුවන්ගේ හඬ අසා අපමණ ලෙස සතුටුවෙන බව ඉතාම පැහැදිලියි.
රහත් භාවයට පත්ව සිටියත් යශෝධරා තෙරණින් හා රාහුල ස්වාමීන් වහන්සේ අතර ආධ්‍යාත්මිකව යම් වූ ද සැනසීමක් තිබුණු බව පැහැදිලිවන්නේ යශෝධරා මෙහෙණින් වහන්සේට කුසේ වේදනාවක් ගිලන්බවක් ඇති වූ විට රාහුල ස්වාමීන් වහන්සේ විසින් සකස් කොට දෙන ලද මී අඹ යුෂ පානය, පානය කිරීමෙන් ම ඒ කුසේ වේදනාව දුරුවීමේ කතාවෙනි. මේ නිසා සියලු දරුවන් විසින් අවුරුදු දහස් ගණනාවකට පෙරාතුව මව්පියන්ට සැලකිය යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ලද ධර්ම මාර්ගය ගැන සිත යොමු කරන්නට පුළුවනි නම් මොනතරම් සැනසිල්ලක් වන්නේ ද? ලෝකෝත්තර ධර්ම මාර්ගයට යොමුවෙන සෑම කෙනෙකුටම තමන් එදිනෙදා ජීවත්වන පරිසරය තුළ සුවදායක ජීවිතයක් පවත්වාගන්නට පුළුවනි නම් ලෝකෝත්තර දියුණුවේ මඟ ඉක්මන්වෙනු නොවනුමානයි.
මින් අනතුරුව මව්පියන් විසින් දරුවන් කෙසේ හදා වඩා පෝෂණය කළයුතු දැයි යුතුකම් කොට ඉටුකළ යුතු දැයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. මව්පියන් විසින් දරුවන් පවින් වැළැක්විය යුතුයි. කුසලෙයහි යොමු කළ යුතුයි. ශිල්ප ශාස්ත්‍ර ඉගැන්විය යුතුයි. සුදුසු කල්හි ආවාහ විවාහ කර දිය යුතුයි. ඒ වගේ ම සුදුසුකල්හි තමා සතු යම් වස්තුවක් ධනයක් වේනම් නිසි පරිදි ඒවා පවරාදිය යුතුයි. මෙහි දී මව්පියන්ගේ මේ යුතුකම් කොටස පිළිබඳවත් ධර්ම විවරණයක් අප විසින් සකසා ගත යුතුයි. මව්පියන් විසින් කළ යුතු යුතුකම් පහේ දී බාහිර ශිල්ප ශාස්ත්‍ර ලබාදීම පිළිබඳව දක්වා තිබෙන අනුපිළිවෙලට අනුව තුන්වෙනි තැනයි. පළමු, දෙවැනි තැන ලබා දී තිබෙන්නේ පවින් වළක්වා යහපතයෙහි පිහිටුවීම පිළිබඳවයි. සරල කතාවක් සඳහන් කළොත් එය මෙසේයි,
වර්තමාන පරිසරය අනුව පළමු තැන බාහිර අධ්‍යාපනයට ලබා දී තිබෙන බව සියලු දෙනාගේ ම නොවුණත් බොහෝ කෙනෙකුගේ ජීවිත කතාවලින් පැහැදිලි වේ. එහෙත් වර්තමානයේ සමාජ සම්මතය අනුව සිතන ආකාරයෙන් දොස්තර, ඉංජිනේරු නොව රටේ මහ රජතුමා වුවත් අම්මාට අම්මා යැයි හදවතින් හඬ නගන්නට නොහැකි නම් තාත්තාට හෝ අප්පච්චීට හදවතින් කතා කරන්න නොහැකි නම් එවැනි දරුවෙකුගෙන්, ජීවිතයකින් ඇති ප්‍රයෝජනය කෙසේ යහපත් වේදැයි නුවණින් සලකා බැලිය යුතුය. මේ නිසා පළමු කරුණ නම් බාහිර අධ්‍යාපනයට ප්‍රථමයෙන් පවින් වළක්වා යහපතෙහි පිහිටුවීම මැනවින් කළ යුතුය.
මව්පියන්ගේ ගුණ දක්වන තැන සබ්‍රහ්මක සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දෙනවා. එනම් මහා බ්‍රහ්මයා ළඟ පවතින ගුණ හතරක් මව්පියන්ගේ ජීවිත තුළ තිබෙන බවය. එම සතර බ්‍රහ්ම විහරණය නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන කරුණු සතරයි.
මෛත්‍රීය හදවතේ ඇතිවන උණුවෙන ගතිය දියුණුව දැක සතුටු වීම නම් වූ මුදිතා ගුණය, දරුවන් වෙනුවෙන් සියලු කටයුතු සිදුකොට තමන් මනසින් මධ්‍යස්ථ ස්වභාවයට පත්වීම නම් වූ උපේක්ෂා ගුණයයි. මේ නිසා මව්පියවරු මහා බ්‍රහ්ම ගුණයෙන් යුක්ත බව ධර්මයේ පැහැදිලි කළා
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ පොසොන් අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 04 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment