අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නවා කියන්නේ එය මනැසින්ම සිදුවිය යුතු දෙයක්. ඇසෙන් දකින දැකීමට වඩා මනැසින් දැකීම ඉතා තියුණුයි. එයට හේතුව මනැසින් දකින දැක්මට තමා අවබෝධය කියන්නේ. සමහරවිට ඇසින් දකින දේ තුළ අප යම් සංඥාවක් ගොඩනගා ගන්නවා. ඒ දැකීම ඒකාන්තයෙන්ම නිවැරැදි වෙන්නත් පුළුවන්. නැතිනම් වැරැදි වෙන්නත් පුළුවන්. ඒ සම්බන්ධව ඒකාන්ත කරන්න බැහැ. අප ඇසින් දැක තීරණය කළ දේ පසු කලෙක ඇසුරු කිරීමේදී එය වැරැදි බව වැටහෙනවා. දැකල සිතපු දේ ඒ ඇතුළේ තිබෙන්නේ වෙන දෙයක්. රත්තරං වගේම පෙනුනත් සමහර භාණ්ඩ ඇත්තටම රත්තරං නොවේ. එවැනි දේ ඇසින් දැක්කාට තීරණය කර ගන්න බැහැ.
අප ඇසෙන් දකින දේ හෝ ඇසෙන් දැක හිතලා ලබාගන්නා අරමුණු මනැසින් විමස විමසා තේරුම් ගැනීම තමා අවබෝධයෙන් දකිනවා කියන්නේ. ඒක ඇසෙන් දකිනවාට වඩා ඉතා පුළුල්. එය විමසීමක් සමඟ සිදුවූ දෙයක්. පැහැදිලි පරීක්ෂාවකට භාවිතය කළ දෙයක්. ඇසින් දකින බොහෝ දේ විමසීමත් සමඟ නොවේ දකින්නේ.
පසුගිය කලාපයෙන් ආහාර ගනිද්දී ධාතු වශයෙන් විමසන ආකාරය ඉගෙන ගත්තා.
අද ආහාර පිට කිරීමේදී ඒ පිළිබඳව ධාතු වශයෙන් විමසන්න ධාතු මනසිකාරය කළයුතු ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරය ඉගෙන ගනිමු. ආහාරයක් හෝ පානයක් පිට කිරීමේදීත් ධාතු මනසිකාරය ධර්මය තුළ කථා කරන්නේ ලෝකයේ පවතින යථාර්ථය යි. එය තම නුවණින් විමසීම බුද්ධිමතාගේ ලක්ෂණයක්.
ආහාරයක් හෝ පානයක් පිට කිරීමේදීත් ධාතු මනසිකාරය අවබෝධයෙන් හිතන්න පුළුවන්. යම්කිසි ධාතුවකින් සකස් වූ දෙයක් මේ ශරීරයට ඇතුලු කරද්දී එතැන වන විපර්සායස හා පිට කරනවිට වන විපර්යාසයන් නුවණින් විමසන්න පුළුවන්. ඒ සඳහා අපට ‘සම්පජාන’ කියන නුවණ උපකාරි වෙනවා.
බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ දී සම්පජානය වඩද්දී නුවණින් වාසය කරන ශ්‍රාවකයා වැසිකිලි කැසිකිළි කරද්දී පවා එතැනත් සිහිය පවත්වන්න පුළුවන් බව වදාළා. ඒ අවස්ථාවෙත් ධාතු මනසිකාරය ඔස්සේ නුවණ මෙහෙයවන්න පුළුවන්කම තිබෙන්න ඕන. යම් තැනක කෙලෙස් හටගන්නවානම්, ඒතැනත් භාවනාව දියුණු කරන්න පුළුවන්. වැසිකිළියට කැසිකිළියට ගිය අවස්ථාවේදීත් අපේ මනැසේ කෙලෙස් පවතිනවාද? නැද්ද? මනැසේ කෙලෙස් පවතිනවානම් ඒ අවස්ථාවේ කෙලෙස් දුරු කිරීම සඳහා හරවා ගන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයට අනුව විමසන විට සම්පජාන භාවනාවක් ලෙස හෝ ධාතු මනසිකාරයක් ඔස්සේ යම්කිසි විදිහකට ධර්මයට අනුව විමසනවානම් වැසිකිළියේදීත් තමාගේ කටයුතු සිදුකරන අතරේ මනැස ධර්මයට අනුව පවත්වනවානම් එහිදීත් ඔබේ මනැස ධර්මාවබෝධය සඳහා පුළුල් කරගන්න පුළුවන්. තමාගේ මුත්‍රා හෝ මළපහ දැක්කට පස්සේ අපේ සිතේ ඇති වෙන්නේ ප්‍රධානම සිතුවිල්ල පිළිකුල් ගඳ දෙයක් ලෙසයි. මනස සාමාන්‍යයෙන් පවත්වන්නේ අර දේ සමඟ ගැටෙමින්. එහිදී පිළිකුල් කිරීම ධර්මයට අනුව අසුභය තේරුම් ගැනීමක් කියා හිතන්න එපා. ධර්මයට අනුව අසුභය තේරුම් ගැනීමේදී එය පිළිකුල් කරලා එතැනින් ඈත්වෙලා ගැටීමේ සිතක් ඇතිකර ගන්නේ නැහැ. ඒ වගේම ඇලීමකින් එයට ළංවෙලා එය තමන් ඇසුරු කරන්න අතපත ගාන්නේ නැහැ. මෙහිදී සිදුවන්නේ එය යථාර්ථය තේරුම් ගැනීමයි. ඒ යථාර්ථය යම්කිසි කෙනෙකුට නුවණින් විමසන්න පුළුවන්නම් එතැනත් තමාගේ අවබෝධය පුළුල් කර ගන්න පුළුවන්.
ඕනෑම කෙනෙකුට මේ භාවනා මනසිකාරයත් සමඟ සිත වශී කරගන්න පුළුවන්. එහෙම වුණාම ඔහුට නිතර තමාට වුවමනා විට සමාධිමත් සිත ඇතිකර ගන්න පුළුවන්. සිතට යමක් වශී කරගන්නට ඒක තමන්ට ඕන ආකාරයට ලබා ගන්න පුළුවන් බව අප දන්නවා. ඔබ හිතන්න දැන් අප ඉන්න තැන. අප යමක් දුටුවිට සිතින් වශී කරන අවස්ථා නැද්ද? රාගය, ද්වේෂය ආදි දේවල් අපේ හිතේ නිතර නිතර සිහිකරමින් ඉන්නවානම් අප ඒකට සිත වශී කිරීමක් කරන්නේ. එහෙම සිත වශී වුණාම වන්නේ යම්තැන අපට ද්වේෂයක් ඇතිවිය යුතු තැනක් නොවුණත් ඒ ඕනෑම තැනක ද්වේෂයක් ඇතිකර ගෙන ගැටිලා ලොකු අරගලයක් බවට පත්කර ගන්න පුළුවන්. ඒ තත්ත්වයට පත්වෙන්නේ මනැස අපව වශීකරගත් නිසා. නිතර නිතර ද්වේෂයන් වශී කරගෙන නිසා අපට ඒ ද්වේෂය ඕන ඕන වෙලාවට සිතට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ කාලයක් තිස්සේ මෙත්සිත වඩලා මෙත්සිත පුරුදු කරගත් කෙනෙකුට ද්වේෂය කියන්නේ මොකක්ද කියා දන්නේ නැතිවෙන්නත් පුළුවන්. මෛත්‍රිය කියන්නේ මොකක්ද කියා අප දන්නවා. කෙනෙක් නිතරම ඉන්නේ ද්වේෂයෙන් නම් ඔහු මෛත්‍රිය කුමක්ද කියා දන්නේ නැහැ. ඔහුගේ හිතේ අන්අය කෙරෙහි මෙත් සිතක් ඇතිවෙන්නේ නැහැ. ඔහු ද්වේෂය වශීකරලා ඔහුගේ සිත ද්වේෂයත් සමඟ එකතුවෙලා ඔහුට වශිවෙලා තිබෙන්නේ. එසේනම් ද්වේෂයට වගේම මෛත්‍රියටත් එය කරන්න පුළුවන්. මෛත්‍රියට සිත වශී කරනවා කියන්නේ භාවිතා, බහුලිකතා යානකථා, වත්ථුකථා ආදි ඔබ අසල තිබෙනවා. හොඳට බහුල වශයෙන් පුරුදු පුහුණු කරගන්න කියනවා. ඒක බහුල ලෙස පුරුදු පුහුණු වූ විට ඔහුට ඕනම තැනක කෙනෙක්ව දැක්කත් යම් තැනක යමක් සිතයිද, ඒ ආකාරයට හුරුවනවානම් ඔහු පුරුදුකරන වශී කරන, නිතර මෙනෙහි කරන, මෛත්‍රී සිතුවිලිවලට සිත ගන්න පුළුවන්. එහෙනම් ද්වේෂය වගේම මෛත්‍රීයටත් සිත කැමැතියි. රාග මෙන්ම විරාගි සිතක් පුරුදු කර ගන්නත් අවශ්‍ය කෙනාට පුළුවන්. දකින දකින කෙනා කෙරෙහි රාගි අරමුණ ඇතිකරගෙන ඒ ඔස්සේ විමසන්න පුළුවන්නම් ඒ ආකාරයට අනෙක් පැත්තටත් සිත හසුරුවන්න පුළුවන්.
බොහෝම අතීත කාලයක අසුචි ටිකක් දැකලා එක්තරා දියණියකට ‘පොළොවක සංඥාව‘ කියා අසුචි පිළිබඳව සංඥාවක් ඇතිවුණා. ඒ දෙස බලාගෙන ඉඳළා මේ පොළොවක සංඥාව කියන භාවනා මනසිකාරයෙන් ඇය කෙතරම් දුරදිග ගියාද යත් සිත විසිරෙන්නේ නැතිව භාවනා මනසිකාරයේම පැවතියා. ඇය ඒ මනසිකාරයෙන්ම 1, 2, 3, 4 ධ්‍යානවලට සමවැදී ඒ ධ්‍යානවලට සිත පුරුදුවුණාට පස්සේ ඒක වශී කරගත්තා. අර දියණිය අසුචි දැකලා ඒවා පිළිබඳව භාවනා මනසිකාරය තුළින් ධ්‍යානය සිත් පුරුදු කළා. ඒ කාලයේ බුද්ධ ශාසනයක් තිබුණේ නැහැ. බ්‍රාහ්මණයන්ගෙන් ඉගෙනගත් වේද ශාස්ත්‍රයක් සමඟ භාවනා පුරුද්ද ඇතිවුණා. ධ්‍යාන සිත් නිතර වඩපු නිසා මරණයෙන් පසු බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්න අසුචි ටිකක් උපකාර කර ගන්න ඒ දියණියට හැකිවුණා. එහෙනම් මනුස්ස ලෝකයේ සමාධියක් උපදවා ගැනීම සඳහා අසුචි ටිකක් සාධනයක් කර ගත්තනම් අපටත් මේ මළපහ කියන තැන ඇතිවන කෙලෙස් සිත කපල දාල ඒ මළපහ උපකාරි කරගෙන ඒ සාධකයක් කරගෙන ධර්මාවබෝධයට සුගතියට සමාධිමත් සිතක් පවත්වන්න භාවනා මනසිකාරයත් පවත්වන්න පුළුවන්. මෙහිදී කියන්නේ එදානෙදා තමන් ඒ ශරීර කෘත්‍ය කරනකොට විමසන්න කියන එකයි.
හැම දවසකම ධාතු මනසිකාරයට පුරුදු වූ කෙනෙකුට මළපහ කරන මොහොත්දී සිත ඉන් ඈත් කරන්න ඕන වෙන්නේ නැහැ. අප කෑම ගන්නකොට, එය හපනකොට, ගිලිනකොට, ආහාරයේ සීතල උණුසුම දැනෙනවිට අපට නුවණින් විමසිය හැකිබව අප දන්නවා. ඒ ආහාරය පැසවලා හොඳට දිරවලා ඒ ආහාරය කුඩා බඩවැල් මහා බඩවැල් ඔස්සේ ගුද මාර්ගයට පැමිණීමත් සමඟ ඒ ආහාරයේ තිබෙනවා බර ගතියක්. ඒ ආහාරයේ අවශේෂ කොටස් බැහැර කිරීමේ අවශ්‍යතාවයක් එනවිට එය බරක් ලෙස දැනෙනවා. මුත්‍රා කිරීමේදීත් එසේමයි. ඔබට ඒ බර දැනෙනවිට එය පිට කිරීමට කාලය වෙන්කර ගන්නවා. එහිදී ඔබ භාවනාකරන මනැසක් පුරුදු කරන්න උත්සාහ කළොත් ඒ අවස්ථාව භාවනා මනසිකාරයෙන් පිටතට ගෙනියන්න එපා. ඔබ දන්නවා තද දෙයක් පඨවි ධාතුවට අයත්, ආපෝ ධාතුව දියවෙනවා. මුත්‍රා කියන දේ. මේ පඨවි, ආපෝ ධාතු ඇසුරු කරලා අනෙක් ධාතු සමඟ පිටවෙන මේ මළපහ හා මුත්‍රා ධාතු වශයෙන් ඔබ විමසද්දී තේරුම් ගන්න ඕන ධාතු ගොඩක් බැහැර වෙනවා කියා.
අප දන්නවා සමහර නවීන වැසිකිලිවට ගියාම ඒවායේ පුවත්පත් රූපවාහිනි ආදිය තිබෙනවා. ඒවා නරඹමින් තමා වැසිකිලි කටයුතු කරන්නේ. ඒ දේ කරන්නේ එතැන ගැටීමක් තිබෙන නිසයි. මේ ක්‍රියාවලිය කිරීමේදී තමන්ට තිබෙන ගැටීම තිබෙන නිසයි වෙන දෙයකට මනැස යොමු කරන්නේ. නමුත් ධර්මය තුළ ඉන්න ශ්‍රාවකයාට එහෙම ගැටීමක් නැහැ. ඇලීමකුත් නැහැ. මනස සැහැල්ලුවෙන් ඇත්ත දකිමින් වාසය කිරීමකුයි තිබෙන්නේ.
වල්පොල ගෝතම හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 14 වන ඉරිදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment