Labels

Sunday, July 10, 2016

සෙනෙහස


කෙනකු ආදරය අපේක්ෂා කරනුයේ තම ජීවිතය වඩාත් ශක්තිමත්ව අඩුපාඩුවලින් තොරව පවත්වාගෙන යාම සඳහාමය. එය මව්පියන්, දූදරුවන්, අඹු සැමියන්, තරුණ තරුණියන් ලෙස ගත්තද පොදුය. එපමණක් නොව ගහක් ගත් විටද තම මුල් නිරන්තරව යොමුකරන්නේ සරු පොහොර පසකටය. ඒ ගසේ පැවැත්මට මිස පසට ඇති ආදරය නිසා නොවේ . වැළක් නිතරම එතෙනුයේ ගසකටය . එසේ වන්නේ වැලේ ආරක්ෂාවට හා පැවැත්ම සඳහාය. පෘථග්ජන ලෝකයේ ආදරය සෙනෙහස මේ හා සමානය.
ආදරය සාමාන්‍ය ස්වභාවය තුළ පොදු නොවේ. එය සුවිශේෂී කරුණු මත වෙනස් වේ. මවක් තම දරුවකුට දක්වන සෙනෙහස එම වයසේ අනෙක් දරුවන්ට ඒ හා සමාන මට්ටමින් දක්වන්නේ නැත.
සහෝදර සහ අඹුසැමි වශයෙන් ගත් විටද තත්ත්වය එසේමය. එසේම තමන්්ගේ වත්තෙ හැදෙන ගහකොළට දක්වන ළෙන්ගතු බව අනෙක් ගස්වලට ඒ ප්‍රමාණයෙන් දක්වන්නේ නැත. බොහෝ සමාජ ප්‍රශ්නයන්ට මූලයද මෙයයි. මෙයින් පෙනී යන්නේ ආදරය , සෙනෙහස යන මනෝභාවයන් එකක් වුවත් එය ක්‍රියාත්මක වීමේදී විවිධ වෙනස්කම් හඳුනාගත හැකි බවයි.

බුදු දහම ආදරය, සෙනෙහස, ළෙන්ගතුබව ප්‍රතික්ෂේප කරන දහමක් නොවේ. එහෙත් ඇත්ත ඇති සැටියෙන් පවසන දහමක් ලෙස යථාර්ථය මනාව පැහැදිලි කරයි. ආදරය සෙනෙහස තුළ පටු ස්වභාවයක් ඇති බව උන්වහන්සේ අවධාරණය කරන අතර සියල්ලන්ටම එකසේ මෛත්‍රිය කළ හැකි නම් එය උන්වහන්සේ අගය කරයි. බෝසත් අවධියේ මෙන්ම බුදුවන අවසන් භවයේදීම පවා උන්වහන්සේ ආදරය ළෙන්ගතු බව අත්විඳි ශාස්තෘවරයකි. ප්‍රේමය ආදරය සැමවිටම ශෝකයට දුකට හේතුවක්ය. යම් විටක මේ සියල්ලෙන්ම ඉවත්විය හැකි නම් එතන ශෝකයක් හෝ දුකක් නැති බව ධම්මපදයේදී දේශනා කළේ ලෝක යථාර්ථය මොනවට හැහැදිලි කරමිනි.

පේමතෝ ජායතී සෝකෝ
පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝභයං
ධම්මපදය – පියවග්ගය

සංසාර ජීවිතය තුළදී උන්වහන්සේ ආදරය පේ‍්‍රමය බැහැර කරකටයුතු කළ උත්තමයෙකු නොවේ. සසර පුරාවටම තම මවට පියාට දරුවකු ලෙස සෙනෙහස ආදරය නොඅඩුව දැක්වූහ. එපමණක් නොව ඒ වෙනුවෙන් ජීවිත කැපකිරීම් පවා සිදු කිරීමට පෙළඹෙනු අවස්ථා ජාතකපොත තුළින් හඳුනාගත හැකිය. එසේ තමා නිසා උපන් තම දරුවන් විෂයෙහි සසර පුරා උන්වහන්සේ පියකෙනෙකු ලෙස අසීමිතව ආදරය, සෙනෙහස, ළෙන්ගතුබව දැක්වූහ. ස්වාමියකු පෙම්වතෙකු ලෙස පටු පරමාර්ථයන්ගෙන් ඈත්ව තම බිරිඳට ආදරය සෙනෙහස දැක්වූ අතර පෙරළා සසර පුරාවට බෝසතාණන් වහන්සේට දහස් ගුණයකින් එය ලැබුණි. යෞවනයේ ප්‍රේමයක ස්වභාවය පෙම්වතියකගේ හැසිරීම කෙබඳු විය යුතුද යන බව මනාව පැහැදිලිවන අවස්ථාව යශෝධරාවගේ චරිතයයි. සඳකිඳුරු ජාතකයේදී සඳකිඳුරියගේ රූපයට ලෝභවූ රටේ රජු සඳකිඳුරා ඝාතනය කළහ. කෙතරම් රජසැප , හැඩිදැඩි සිරුරක් තිබුණත් ඇයට එය නොවටිනා එකක් විය. තම ජීවිත ආසාව පවා අත්හැර තම සෙනෙහසේ ස්වභාවය කෙතරම් ද යන්න ඇය විසින්ම ඔප්පු කර පෙන්වූහ. එහි ප්‍රතිඵලය වූයේ සක්දෙවිඳුගේ මැදිහත්වීමෙන් සඳකිඳුරාට ප්‍රාණය ජීවත්වීමේ වරම නැවත ලැබීමයි. මෙයින් පෙන්වන්නේ ආදරය කෙතරම් ආධ්‍යාත්මික බැඳීමක් ද යන්නයි. එවැනි බැඳීම් සසර පුරුදු ලෙස පවා පැවත එන බවට කදිම නිදසුන මෙම සඳකිඳුරු ජාතකයයි.

දාරක ප්‍රේමය පවා ආධ්‍යාත්මික බැඳීමක් වන අතර එයද සංසාරික බැඳීමක් ලෙස පැවත එන බව බෝසත් චරිතයෙන් මනාව අවබෝධ කරගත හැකිය. වරෙක සාකේත නුවර පිණ්ඩපාතයේ වැඩි බුදුරදුන්ට මුහුණ පාන්නට සිදුවූ අවස්ථාව සාකේත ජාතකයේදී පැහැදිලි කරයි. සාකේත බමුණා සහ බැමිණිය බුදුරදුන්ට එහිදී ආමන්ත්‍රණය කළේ “පුතේ” යනුවෙනි. භික්ෂූන් වහන්සේ පුදුමයට පත්ව එසේ අමතන්නේ ඇයි දැයි විමසූවිට උන්වහන්සේ දේශනා කළේ මෙම දෙපළ ආත්ම පන්සියයකදී තමන්වහන්සේට මව්පිය උපත ලබා සිටි බවත් එම සසර පුරුද්ද නිසා මෙසේ පුතා යැයි අමතන බවත්ය. ආදරය සෙනෙහස සසර පුරුදු ලෙස පවා පැමිණන බවට මෙය කදිම සාක්ෂියකි.

සාමාන්‍ය ඇතැම් පිරිස් මෙම උතුම් මනෝභාවය අයහපත්ව යොදාගැනීම සහ ඇතමුන් වරදවා තේරුම් ගැනීම නිසා බොහෝ අපහසු තාවයන්වලට පත්වේ. ඒ නිසා සරු නිසරු දේ තෝරාගැනීමට නොහැකිව අතරමං වේ. බුදු දහමේ ආදර්ශමත්ව අඹු සැමි යුවළ ලෙස සැලකෙනුයේ නකුලමතා-පිතු යුවළයි . විශේෂයෙන් තරුණ තරුණියන් මෙම චරිතය මනාව අධ්‍යයනය කළ යුතු වේ. මේ ලෝකයෙහි දරුවන්ට වැඩියෙන්ම ආදරය සෙනෙහස දක්වනුයේ තම දෙමාපියන්ය. ඔවුන් තුළ සතර බ්‍රහ්ම විහරණ පවතී . එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වශයෙනි. උදේ සවස දෙමව්පියන් විසින් දරුවන්ට “ආදරෙයි “ යැයි නොකිව්වාට ඔවුන් සෑම දෙයක්ම සිදු කරනුයේ සැබෑවටම දරුවන් පිළිබද ඇති ආදරය නිසාමය. එහෙත් තරුණ වයසට එළැඹෙන ඇතැම් දරුවන්ට මෙම තත්වය තේරුම් ගැනීම අපහසුය. දෙමාපියන් විසින් උදේ සවස ආදරෙයි, ආදරෙයි යැයි නොකියන නිසා තම දෙමාපියන් තුළ එවැන්නක් නැතැයි ඇතැම් දරුවන් වරදවා තේරුම් ගනිමින් බාහිරින් එය අපේක්ෂා කිරීමට පෙළඹේ. එයට හේතුව වන්නේ ජීවිත අවබෝධයේ මද බව හා සෙනෙහස ආදරය තේරුම් නොගැනීමයි.

තම ජීවිතයේ මුලින්ම සොඳුරු වදනින් ආමන්ත්‍රණය කළේ දෙමාපියන්ය. ඔවුන්ට දරුවන් එතරම්ම වටින්නේය. එහෙත් උස් මහත් වූ දරුවන්ට එවැනි ආමන්ත්‍රණයක් සිදු නොකළවිට දෙමාපියන් ආදරය නැතයැයි සිතීම අඥාන සිතිවිල්ලකි. මන්දයත් ඔවුන් ආදරය කළේ කොණ්ඩයට, හමට, දත්ටිකට , ගමනට, සිනහවට, ශරීරයට නොවේ. එවැනි පටුදෙයට ආදරය දැක්වීමේදී තමන් බලාපොරොත්තු වූ ආකාරයට ගමන බිමන සිනහව ශරීරය නැතිවූ විට ආදරය නැති වී යයි. එය තාවකාලික වූ සෙනෙහසකි. මේ බව තරුණ දරුවන් තේරුම්ගත යුතුය. මීට කදිම නිදසුනක් අපේ උපදේශ සාහිත්‍යයේ මෙසේ සඳහන් වේ.

එක් තරුණයකු තම අසල් වැසි ගමක තරුණියක හා පෙමින් බැඳී පෙම් හසුන් හුවමාරු කරගත්හ. එවැනි පෙම් හසුන් පන්සියයක් පමණ හුවමාරු කරගැනීමෙන් පසු ඔහුට අහන්නට ලැබුණේ තමන් සමඟ පෙම් හසුන් හුවමාරු කරගත් කාන්තාව පියුම් මහත්තයා සමඟ විවාහ වූ පුවතයි.

ඇඳුම් , පැළඳුම් බාහිර දේ සම්බන්ධයෙන් ඇතිවන ළෙන්ගතු බව මේ හා සමානය. එවිට ඇතිවන්නේ දුකක් ශෝකයක් ඉච්ඡා භංගත්වයකි. ඇතැමුන් සියදිවි හානිකරගැනීමට පවා පෙළඹෙන්නේ මරණින් පසු අපාගතවීම හෝ ඊළඟ භවය අංගවිකල වීම පිළිබඳ නොදන්නකම නිසාය. මේ සියල්ලටම හේතුව සෙනෙහස ආධ්‍යාත්මික බැඳීමක් නොවී මතුපිට දෑ සමග බද්ධ වීමයි.

පෙර සඳහන් කළ පරිදි සංජීවිකතා සූත්‍රයේදී උගන්වනු ලබන නකුල මාතාපිතු යුවළ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා කාලෝචිතය. මෙම දෙපළ බුදුරදුන් හමුවට පැමිණ සඳහන් කරනුයේ අප දෙදෙනා අඬදඹර කරගෙන නොමැති බවයි. ඒ නිසා මතු සසරෙදිත් ඔවුනොවුන් අඹු සැමියන් ලෙස උපත ලැබීමට කැමැති වන බවයි.
බොහෝ කෙනෙකුට මෙවැන්නක් පැවසීමට නොව සිතීමට ද අපහසුය. දුරින් සිටින කල ගැටුම් නැතිවුවද එක්වූ විට අඬදබර වැඩිවේ. එසේ වනුයේ එකිනෙකා තේරුම් ගෙන කටයුතු නොකිරීමයි. මෙම යුවළට එවැනි ප්‍රශ්නයක් නැත. එහිදී බුදුරදුන් දේශනා කළේ අඹුසැමියන් ලෙස කරුණු 04කින් සම්පූර්ණ වේ නම් ඔවුන්ගේ ආදරය සෙනෙහස පළුදු නොවී ආරක්ෂා වන බවයි. එය මෙසේය.

1. සම සද්ධා,

 2. සම සීල, 

3. සම චාග,

 4. සම ප්‍රඥා

දෙදෙනාම එකිනෙකාට ගෞරව කරමින් දෙදෙනා නොඉක්මවමින් කටයුතු කළ යුතුය. එසේම එකිනෙකාට තෑගි භෝග අවැසි අවස්ථාවේ පරිත්‍යාග කිරීමට වගබලා ගැනීම හා ප්‍රශ්න ගැටලු සාකච්ඡා මගින් විසඳා ගනිමින් අවශ්‍ය තීන්දු සාමුහිකව ගත යුතුවේ. මෙලෙස කටයුතු සිදුවීමේදී සෙනෙහසට බාධා ඇති නොවේ.

මෙලෙස සියල්ලෝම ඒ ඒ සමාජ කණ්ඩායම් විෂයෙහි ආදරය සෙනෙහස දක්වන්නේ නම් අනවශ්‍ය ගැටුම් ලේ වැගිරීම් ඇති නොවේ. එසේම අප පරිසරයට ආදරය කරනවිට පරිසරය සොබාදහම අපට ආදරය සෙනෙහස දක්වයි. මෛත්‍රිය තුළ අප යමක් බලාපොරොත්තු නොවෙන අතර ආදරය තුළින් පෙරළා අප යමක් අපේක්ෂා කරයි. හිත පරම ස්වභාවයට දියුණු කරනතෙක් සෙනෙහස දැක්වීමට අදිටන් කර ගනිමු. ඒ තුළ නිවනට මෙහා සමාජයේ සහජීවනය සාමකාමී පරිසරය පුද්ගල සතුට රඳවාගත හැක. මනස යම් හෝ පමණකට දියුණු කළ කෙනෙකුට අපේක්ෂා විරහිතව සැමටම මෛත්‍රිය වැඩිය හැකිනම් එය වඩා අගය කළ යුතුය.




කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය 
කොලොන්නාව පුරාණ විහාරවාසී 
සියඹලාගොඩ ධම්මින්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 11 වන සඳුදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment