Labels

Thursday, July 28, 2016

සදහම් දැනුම

ප්‍රශ්නය
විචාර පූර්වක බවින් යුතු සත්යේෂණ ක්‍රමයක් මගින් බුදුබව ලබාගත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගේ චින්තන නිදහසට ද ගරු කළහ. සිතීමෙන් හා විමසීමෙන් යුතුව කටයුතු කරන්නට තම අනුගාමිකයන්ටද නිදහස දුන්හ. එය උන්වහන්සේ ආදර්ශයෙන් ද පෙන්වා දුන්හ. බුදු සිරිත ඇසුරෙන් පැහැදිලි කරන්න.
පිළිතුර
එවකට ලොව පැවැති උත්තරීතරම තත්ත්වය ලෙසින් පිළිගත් “බුද්ධත්වය” කරා ගෞතම බුදුරජාණන් වහන්සේ ගමන්කොට ඇත්තේ විචාර පූර්වක ගමන් මගක බව සූත්‍ර සාහිත්‍යයෙහි එන විවිධ සූත්‍ර දේශනාවලින් පැහැදිලි වේ. කාල වර්ණ කේශකලාපයකින් යුක්ත භද්‍ර යෞවන වයසේදී දෙමාපියන් සහ සිය බිරිඳ හඬමින් වැළපෙමින් (රුදන්තානං මාතා පිතුන්නාං) කඳුලු , කෙස් , රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වූ ආකාරය සංගාරව සූත්‍රයෙහිදී පැහැදිලි කර ඇත. මෙසේ අනගාරික ජීවිතයට පිවිසි එතුමාණෝ කිසිවිටක ආධානග්‍රාහීව එකම මතයක් පිළිගනිමින් කටයුතු නොකළහ. නිරතුරුවම (කිං සච්චගවේෂී) සත්‍යය ගවේෂණයක යෙදුණි. එහිදී ආලාරකාලාම, උද්දකාරාමපුත්ත වැනි එකල සිටි ප්‍රසිද්ධ ගුරුවරුන් සොයා ගොස් සත්‍යය සොයා ගොස් සත්‍යය අවබෝධකර ගැනීමට උත්සාහ කළ ද, එයින් සෑහීමකට පත් නොවූ ගෞතමයන් වහන්සේ “ස්වයං ඥානයෙන්ම (තමා විසින්ම) පරම සත්‍යය අවබෝධ කරගත්හ. මහා සීහනාද සූත්‍රාගත තොරතුරු අනුව කටුක මාවතක් ඔස්සේ අනන්ත දුක් ගැහැට විඳිමින් ගමන් කළ බව සඳහන් වේ.


ප්‍රශ්නය
ඉපැරැණි වෛදික යුගයේ බමුණන් විසින් අවධාරණය කළේ, ලොව ඇති සියලු දෙය “මහා බ්‍රහ්ම” යන ඒක පුද්ගල පදාර්ථයකට පවරා තිබුණ බවත්
එපමණක් නොව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව්බඹ විහරණ ද ඔහු වටා විවරණය කොට තිබුණ බුදුරජාණන් වහන්සේ මෙම සම්ප්‍රදාය මතවාද ප්‍රතික්ෂේප කරමින් උගන්වා වදාළ මතය පැහැදිලි කරන්න.
පිළිතුර
සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ මේ සම්ප්‍රදාය මතවාද ප්‍රතික්ෂේප කරමින් වෛදික බමුණු සම්ප්‍රදායට අනුව සිව්බඹ විහරණ, මහා බ්‍රහ්මයන් තුළ ඇතැයි යන්න වෙනුවට මෙම උතුම් ගුණාංග දෙමව්පියන් සතු උතුම් ගුණාංග බව පැහැදිලි කළහ. මෙහිදී මව් තනතුර මහා බ්‍රහ්මයා හා සමාන කිරීමෙන් ලෝකය නිර්මාණය කරන්නේ ඇය බව පෙන්වා දුන්හ. තවද සිඟාලෝවද සූත්‍ර දේශනාවට අනුව සැමියා විසින් බිරිඳට උපස්ථාන කළ යුතුය. (භරියා පච්චුපට්ඨාතබ්බා) නැවත භාර්යාව විසින් පෙරළා සැමියාට (සාමිකං අනුකම්පති) අනුකම්පා කළ යුතුය. මෙහිදී දෙදදෙනා අතර පවතින (සදාර බ්‍රහ්ම චර්ය– සදාර සන්වේඨී)ගෘහ ජීවිත සතුට මාතෘත්වය හෙවත් වනිතාව මූලිකත්වය අනුව ගොඬනැගුණ සමාජ සංයුතියකි.


ප්‍රශ්නය
තමා සමග මෙතෙක් කථා කළේ බුදුන් වහන්සේ බව තරුණ ප්‍රවෘජිතයාට වැටහුණේ මින් පසුවය. වහාම හුනස්නෙන් නැඟිට බුදු පාමුල වැටුණු ඔහු තමා හඳුනා නොගැනීම නිසා “ඇවැත්නි” යැයි ඇමතීම ගැන සමාව ඉල්ලීය. ඉක්බිති තමාට උපසම්පදාව දෙන ලෙස අයැඳ සිටියේය. මෙම පුවතට අදාළ ප්‍රවෘජිතයා කවරෙක්ද? සිදුවීම පැහැදිලි කරන්න .

පිළිතුර
භාග්‍යවතුන් වහන්සේ වරෙක මගධ රට චාරිකාවෙහි වඩින අවස්ථාවෙහිදී එක් රැයෙක රජගහනුවර කුඹල්හලක නවාතැන් ගැනීමට සිදුවිය. උන්වහන්සේට කලින් පැමිණි තරුණ පැවිද්දෙක් ද ඒ රැයෙහි එහිම විසීය. දෙදෙනා ඔවුනොවුන් නොහඳුනන්නෝ වූහ. පැවිද්දාගේ පිළිවෙළ දුටු තථාගතයන් වහන්සේ, මේ තරුණයාගේ ඉරියවූ යහපත්ය. මොහුට කථා කළහොත් යහපතැයි සිතා “භික්ෂුව ඔබ ගිහිගෙයින් නික්මුණේ කවරෙකු උදෙසා ද ඔබගේ ශාස්තෘවරයා කවරෙක් ද ඔබ කැමැති කාගේ ධර්මයකට දැයි විමසූහ.
ඇවැත්නි, ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ද ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් වෙති. උන්වහන්සේ මගේ භාග්‍යවත් ශාස්තෘවරයාණෝය. මම උන් වහන්සේ උදෙසා පැවිදි වූයෙමි. මම උන්වහන්සේගේ ධර්මය කැමැත්තෙමිය තරුණයා පිළිතුරු දුන්නේය. දෙදෙනා අතර ඇතිවූ සංවාදය කෙළවර වූයේ දෙදෙනා හොඳින් හඳුනාගැනීමය. ඒ භාග්‍යවතුන් වහන්සේට හමුවූ තරුණ ප්‍රවෘජිතයා “පුක්කුසාති” නම් විය.


ප්‍රශ්නය
භාග්‍යවතුන් වහන්සේ ජීවිතය දුක් සහිත යැයි වදාළ නමුත් එය සැපවත් නොවේ යැයි නොවදාළහ. ගිහියන්ටත් , පැවිද්දන්ටත් ලැබෙන භෞතික සහ ආධ්‍යාත්මික නොයෙක් සැප ඇතිබව උන්වහන්සේ අවධාරණය කළහ. නිකායගත සූත්‍ර දේශනා අනුව පැහැදිලි කරන්න.
පිළිතුර

අංගුත්තර නිකාය සූත්‍ර කිහිපයකම සුඛයන් පිළිබඳ නාම මාලාවක් සඳහන්ව ඇත .ගිහි සුඛය , පබ්බජිත සුඛය, කාම සුඛය, නෙක්ඛම්ම සුඛය, කායික සුඛය, චෛතසික සුඛය ආදී වශයෙන් වෙන් වෙන්ව සඳහන් වෙතත් මේ සියල්ල දුඞඛ ගණයටම වැටෙයි. මජ්ක්‍ධිම නිකායේ එන සූත්‍රයක දී මෙම ධ්‍යානවලින් ලැබෙන ආධ්‍යාත්මික ප්‍රීතිය වුවද බුදුන් වහන්සේ එය ද අනිත්‍යයය ද දුඞඛ යැයිද වෙනස්වන සුළු යැයිද (අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා) වදාළහ.





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 26 වන අඟහරුවාදා  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment