Labels

Wednesday, July 6, 2016

විදර්ශනා නුවණ

මෙලොව උගතුන් බිහිවන්නේ පොත පත හදාරා බොහෝ දේ අසා දැනගැනීමෙනි. එසේම විවිධ පර්යේෂණයන්
සිදුකර ඉන් ලත් අත්දැකීම් හා නිගමනයන් පාදක කර ගෙනයි.
එහෙත් බුද්ධිමතුන් පහළ වන්නේ උගතුන් පහළවන ආකාරයට නොවේ. දැන උගත්කම නිසාද මිනිසා බුද්ධිමත් වීමට ඉඩ තිබේ. විවිධ වූ විෂයන් හෙවත් ශිල්ප පිළිබඳ උගත් තැනැත්තා එම විෂයට පමණක් සීමා වූ බුද්ධිමය ජයග්‍රහණයක් ලබයි. නමුත් විෂයානුබද්ධ සීමාවන්ගෙන් තොරව ස්ථානෝචිතව පහළ වන බුද්ධිමය “ ඥාන විශේෂය” ආධ්‍යාත්මික වූ ශක්ති කදම්බයකි. විවිධ ක්ෂේත්‍රයන් යටතේ පරිණතව උගතුන් සේ සලකන බොහෝ තැනැත්තන් අඥාන වූ මෝඩ ක්‍රියාවන්හි නිරතවන අවස්ථා දක්නට ලැබේ.
බෞද්ධ ඉගැන්වීම් වලට අනුව සංසාර පුරුදුතාවයන් අනුවද උපතින්ම බුද්ධිමත්ව සිටින පුද්ගලයන් ඇත. සිත සංවර කරගෙන චිත්ත අභ්‍යාසයන්හි යෙදෙන භාවනානුයෝගීන් මෙලොවදී ලබාගන්නා මානසික දියුණුව මතු භවයන් සඳහාද විඤ්ඤාණ ස්කන්ධය සමග ගමන් කරයි. ඒ අනුව උගතෙකු වීම පහසු වුවද බුද්ධිමතෙකු වීම අසීරුය. බුදු දහමට අනුව ප්‍රථමයෙන් නිවන් දකින්නේ උගත් තැනැත්තා නොව බුද්ධිමත් තැනැත්තාය.

නිවන් ලබා සසර කතරින් එතෙර වීමට අවශ්‍ය වූ ප්‍රඥාව උදාකර ගැනීම විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම මගින් සිදුකර ගනියි. කෙබදු ක්‍රියාවලියකින් වුවද සිදුවිය යුත්තේ විදර්ශන නුවණ ලබා ගැනීමයි. ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ 5වන ගාථා ධර්මයෙන් ප්‍රකාශ වන්නේ මේ අදහසයි.

උට්ඨානෙනප්පමාදේන - සංයමේන දමේන ච
දීපං කයිරාථ මේධාවී - යං ධීස නා භිකීරති

නුවණැත්තා වීර්යයෙන් ද, අප්‍රමාදයෙන් ද කාය සංයමයෙන්ද , ඉන්ද්‍රිය දමනයෙන් ද කාම, භව , දිට්ඨි, අවිජ්ජා යන සතර ඕඝ නමැති මහ ජල පහර යම් දිවයිනක් විනාශ නොකරයිද ඒ නිර්වාණය නමැති දිවයිනයි.
ඕඝ යනු මහ සැඩ දිය පහරයි. මේ සැඩ දිය පහරට දිවයින් පවා යටවී යයි. එහෙත් නිවන දිවයිනක් නම් එය යටපත් කරන්නට මේ ඕඝයට නොහැකිය. සංසාරයේ සැරිසරණ සත්වයන් අපායට ගසාගෙන යන්නේ සිව් මහ සැඩ පහරයි. කාමාදී සතර ඕඝයට හසුවන පුහුදුන් සතුන් නරකය ආදී දුගතිවලට ගෙනයාමට හැකියාව ඇත. එහෙත් රහත් ඵලය යනු කාමාදී ඕඝයන් විසින් සිදුකරන මෙම විනාශයට නොබියව මුහුණ දෙන තත්වයකි. සිව් ඕඝයන් විනාශ කර විසිරුවාලන්නට රහත් ඵලයට හැකිබව දේශනාවේ සඳහන් වෙයි.

රහත් ඵලයට පත්වීමට හැකියාව ඇති තැනැත්තා මෙහි හඳුන්වා ඇත්තේ මේධාවී යන නමිනි. ඔහු හේතු ප්‍රත්‍ය බලයෙන් හටගත් සෑම දෙයක්ම ඇතිවී නැතිවන බව අනිත්‍ය ලෙසත් නැවත නැවත පීඩා දෙන බැවින් දුක් බවත් තමන් කැමැති පරිදි නොපවතින බැවින් අනාත්ම බවත් තේරුම් ගනී . එය විදර්ශනා නුවණයි.
නුවණැත්තා මේ තත්ත්වයට පත්වන්නේ කය වචනය සංවර කරන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය යන පච්චය නිස්සිත සීලය යන චතුර්විධ සීලයෙන් සංයමය ලබා ගැනීමෙනි.
එසේම ඇස, කන , නාසය, දිව , ශරීරය හා සිත ඉඳුරන්ට ගොදුරු වූ රූප , ශබ්ද ,ගන්ධ, රස , ස්පර්ශ ධර්ම යන අරමුණු කෙරෙහි අවධානයෙන් යුතුව හිඳ රාග, දෝෂ, මෝහ යන අකුසලයන් ඉපදවීමට ඉඩ නොදී සිත දමනය කරගැනීම තවත් උත්සාහයකි.

මෙම දහම් පදයේ ප්‍රායෝගික නිදර්ශකය ලෙස මෙහි නිධාන කතාව දැක්විය හැකිය. රජගහනුවර ධනවත් සිටු කුලයක සිටුුතුමාගේ එකම දියණිය තරුණ වියට පත්ව සිටු මාළිගයේ දාසයකු සමග පැන ගියාය. පසුව ඇගේ කුසෙහි දරුගැබක් හටගත් පසු දෙමාපියන් සමීපයට යාමට යෝජනා කළත් තමා දාසයකු බැවින් දෙමාපියන් වධ හිංසා කරනු ඇතැයි බියෙන් ස්වාමියා ඊට අකැමැති විය. නැවත නැවතත් ඇය ඇවිටිලි කළ බැවින් දරු ප්‍රසූතිය සඳහා දෙමාපියන් හමුවට යාමට පිටත් වූහ. අතරමගදී දරුවා බිහිවූ බැවින් ආපසු ගියේය. දරුවා මගදී ලැබූ නිසා ඔහු පන්ථක යැයි නම් කළහ.

කලක් ඇවෑමෙන් දෙවන දරුවා සඳහාද ඇය ගැබ් ගත් අතර පළමු දරුවා වෙනුවෙන් කළ උත්සාහයම නැවත සිදුකොට අසාර්ථක වූ බැවින් දෙවන දරුවාද මහ මඟ බිහි කළේය. ඔහුද පන්ථක ලෙස නම් කළ අතර පළමු දරුවා මහා පන්ථක නමින්ද දෙවන දරුවා චුල්ල පන්ථක නමින්ද නම් කළේය. මේ දෙදෙනා ගමේ සෙසු දරුවන් සමග සෙල්ලම් නරඹමින් නිටින අතරතුර අනෙක් දරුවන් මාමා, නැන්දා, ආච්චී , සීයා යනුවෙන් නෑදෑයන් පිළිබඳව කතා කළත් අපට එවැනි අය නැත්තේ ඇයිදැයි දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. එවිට පුත නුඹලාට මෙහි නෑයෝ නැත. රජගහ නුවර මහධන සිටුතුමා නුඹලාගේ මුත්තාය යනුවෙන් දෙමාපියන් ප්‍රකාශ කළ පසු ඔවුන් දැකීමට අවස්ථාව ඉල්ලා සිටියහ. රජගහනුවරට ගොස් සිටුතුමාගේ මාළිගයේ දරුවන් දෙදෙනා නතරකොට මව්පිය දෙපළ ආපසු ගියහ.

මහ ධන සිටුතුමා දිනපතා මුණුබුරන් දෙදෙනා සමග විහාරයට ගොස් බණ අසයි. බණ අසා පැහැදුණු මහා පන්ථක පැවිදි බවට පත්වූහ. ටික කලකින් තම මළනුවන් ද සසරින් එතෙර කළයුතු යැයි සිතා චුල්ල පන්ථක ද පැවිදි කළහ. එක ගාථාවක් පාඩම් කිරීමට සිව් මසක් ගතවීත් අපහසු වූ චුල්ල පන්ථක හාමුදුරුවෝ මෝඩයෙකු ලෙස පවසා සිවුරු හැර යන ලෙස මහා පන්ථක හිමියෝ දන්වා සිටියහ. සිවුරු හැර ගෙදර යාමට අකැමැති නිසා උන්වහන්සේ ඉතාමත් දුකින් පාරේ සක්මන් කරමින් සිටියහ.
මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඒ මග වඩින්නට වූහ. කරුණු විමසූ තථාගතයන් වහන්සේට සියලු පුවත් චුල්ල පන්ථක හිමි විසින් කියන ලදී. ගාථා පාඩම් කිරීමට දක්ෂ නොවූවද නිවන් දැකීමට කළ කුසල් ඇති බව දත් බුදුපියාණන් වහන්සේ චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට පිරිසුදු සුදු රෙදි කැබැල්ලක් දී එය අතගාමින් “රජෝ හරණං රජෝ හරණං” යනුවෙන් සිහිකරන්නට නියම කළහ. බුදුන් වහන්සේගේ කරුණාවන්ත වදන් අසා චුල්ලපන්ථක පොඩි හාමුදුරුවෝ එම ක්‍රියාව ඉතා ඕනෑකමින් සිදුකළ අතර මොහොතකින් දුර්වර්ණ වූ රෙදි කඩ දෙස බලා අනියත මෙනෙහි කර සියලු කෙලෙසුන් සුන්කොට රහත් ඵලයට පත්වූහ.
එදින ජීවක වෙදදුරාණන්ගේ නිවසේ බුදුන් ප්‍රධාන මහ සඟරුවනට දන් පිළිගැන්වූ දිනයකි. බුදුන්වහන්සේ මේ දානය චුල්ල පන්ථක රහතන් වහන්සේද වැඩම කරවාගත් අතර දන් වළදා අවසානයෙහි චුල්ල පන්ථක තෙරුන් වහන්සේ විසින් අනුමෝදනා බණක් වදාරණ ලදී. භික්ෂූන් වහන්සේ චුල්ල පන්ථක තෙරුන්ගේ උට්ඨාන වීර්යය ගැන දම්සභා මණ්ඩපයේදී කළ සාකච්ඡාවක් නිසා තථාගත බුදුපියාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාව වදාරා දහම් දෙසූ සේක.

කුමන බාධක පැමිණියද උත්සාහවත් තැනැත්තා තමා සතු සාංසාරික කුසල ශක්තීන් ඉස්මතු කොටගෙන තම ආත්මීය ජයගග්‍රහණයන් අත්පත් කර ගනියි. ගාථා පාඩම් කිරීම හෝ ඒවා තාලයට ගායනා කිරීම වෙනම මගකි. නිවන් මගට එය අදාළ නොවන බව මෙහිදී අපි සිහිපත් කර ගෙනිමු. මෝඩයන් යැයි අප හඳුන්වන බොහෝ පුද්ගලයන් සතු සැඟවුණු බුද්ධි සම්පත් කොතෙකුත් ඇත. ඒ වා විකසිත කරගෙන ප්‍රඥාවේ ආලෝකය බිහි කරගෙන මේ රුදුරු සසරින් එතෙර වන්නට අපිදු පිළිවෙත් පුරමු කලණ මිතුරනි.

කුරුණෑගල විශුද්ධායතන විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය 
ශාස්ත්‍රපති 
වික්‍රමසිංහ අතපත්තු



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ පොසොන් අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 04 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment