නායකත්වය සතු ගුණයන් අතර තම බලය විමධ්‍යගත කිරීම උතුම් ගුණයකි. බුදුරදුන් තුළ මෙම ලක්ෂණය බුද්ධත්වය ලැබීමේ සිටම දැකිය හැකිය. ශාසනය ආරම්භයේදී පැවිදි උපසම්පදා කිරීමේ බලය තිබුණේ බුදුරදුන්ට පමණි. එය “ඒහි භික්ඛු” පැවිදි උපසම්පදාවයි. එහෙත් පසුකාලීනව එම අවස්ථාව තම ශ්‍රාවකයන්ට පවා ලබාදුන්හ.
සියල්ලම තමන් හරහාම සිදුවිය යුතුය. සියුලු දේ තම අධීක්ෂණයට පමණක් ලක්විය යුතුය යන්න සැබෑ නායකයෙකු කල්පනා නොකරයි. නායකයා සිදුකරනු ලබන්නේ ක්‍රියාවලිය සැකසීමයි .
ඉන් අනතුරුව හැකියාව මත බලතල බෙදාදීම සිදුවෙයි. ඒ තුළ සිදුවන යහපත වන්නේ ‘ නායකයා නිරන්තරයෙන් රැදී නොසිටිය ද ක්‍රිියාකාරීත්වය නොඅඩුව සිදුවෙයි. නායකයා හෙවත් මග පෙන්වන්නා තුළින් බලාපොරොත්තු වන්නේ ද එයයි. උරුවෙල් කාශ්‍යප හිමියන්ට ගිහිකල සිටි අතවැසි පිරිසම එලෙසින්ම ඔහු හා සමඟ ගැවසීම පිළිබඳ බුදුරදුන් විරුද්ධත්වය පළ නොකළහ. එසේ වීමට උරුවෙල් කාශ්‍යප හිමියන්ගේ ක්‍රියාකලාපය යහපත් අදහස හේතු වූහ. මන්දයත් තම පිරිස උන්වහන්සේ මෙහෙය වූයේ තම පෞද්ගලික අභිමතාර්ථ සඳහා නොව ශාසනික උන්නතිය සඳහාය. නායකයා විසින් පවරන ලද බලය සේවක පිරිස් පාවිච්චි කළ යුත්තේ ආයතන අරමුණු ජයග්‍රහණය කරවීම සඳහාය.
තනතුරක් පමණක් ලබාදී එය සිදු කිරීමට බලය ලබා නොදෙන්නේ නම් තනතුරේ වගකීම් ඉටු කළ නොහැක. බුදුරදුන් නිරන්තරවම තනතුරු ලබාදෙමින් ඔවුනට බලතල දීමට මැළි නොවූහ. ආනන්ද හිමියන්ට අග්‍ර උපස්ථායක තනතුර දීම හා ඒ සම්බන්ධව බලතල දීම මගින් එය පැහැදිලිය. උන්වහන්සේ වර අටක් ඉල්ලූ,ූ විට එම වරයන් සඳහා අවස්ථාව ලබා දුන්හ. ආරාධිත තනතුරු පිහිටවූයේ ආරාමය වඩා කාර්යක්ෂම කිරීමට ඔවුනට කාර්ය භාරයක් පැනවූහ. සිවුරු පිරිකර භාර භික්ෂුව, දානය භාර භික්ෂුව ආදී තනතුරු මෙයට උදාහරණයන්ය. පෞද්ගලිකව ලැබෙන පූජාවන්ට වඩා සමූහයාට ලැබෙන පූජාවන්හි ආනිසංස වැඩිබව බුදුරදුන් දේශනා කිරීමෙන් එය පැහැදිලිය. සියල්ල තමා විසින්ම අත්පත් කරගැනීමට යාම එකම කාර්යක් හෝ නියමාකාරයෙන් සිදු නොවීමට හේතුවකි. බුද්ධකාලීන බොහෝ ආගම් වහ වහා විනාශ වී ගියේ බලය විමධ්‍යගත නොකිරීම හේතුවකි. ඕනෑම රටකට ආයතනයකට මේ තත්ත්වය පොදුය.
නායකත්වයේ දුර්වලතා ඇතිවන ප්‍රධාන අවස්ථා දෙකක් ඇත. එනම් ඍජු සහ මෘදු බවයි. ඍජු යනු මූණ බලා කටයුතු නොකර තීරණ ගත යුතු මොහොතේ එම තීරණ ගැනීමයි. මෙහිදී ඥාතිකම් හිතවත්කම් සොයා බැලිය යුතු නොවේ. බුදුරදුන් සෑම විටම ඍජු තීරණ ගත්හ. ඡන්න හිමියන්ට බ්‍රහ්මදණ්ඩනය පැනවීම ඉතා තීරණාත්මක අවස්ථාවකි. යම් භික්ෂු විනයක් ඇත්නම් එය හැමෝටම පොදුය. ඡන්න හිමියන් සමීප යැයි සිතා එසේ තීරණ නොගෙන සිටීමට බුදුරදුන්ට හැකියාව තිබුණි. එහෙත් උන්වහන්සේ එවැනි තීරණයක් නොගත්හ. ඝෝෂිතාරාමයේ දී ඇතිවුණ විනය ප්‍රශ්නයේදී පාරිලෙය්‍ය වනයට යාමට උන්වහන්සේ පසුබට නොවූහ.
ආලවක සූත්‍රයේදී අලව්යකුට ඍජුවම පැවසුවේ මා මෙතනින් නොයන බවත් කළ හැකි දෙයක් කරන ලෙසය. මේ තුළින් පැහැදිලි වන්නේ උන්වහන්සේගේ ඍජු ගුණයයි. එසේ විවේචන සිදුකළ යුතු තැනදී උන්වහන්සේ සිදු කළහ. ත්‍රිපිටකයට අනුව බුදුරදුන් ඇතැම් අයගේ දුර්වලතා නිසා ඔවුන් “මෝඝ පුරිස” හෙවත් මෝඩ මිනිහා ලෙස චෝදනා කළහ. එසේ චෝදනා කළ එක් අයෙකු වන්නේ මක්ඛලියයි. මක්ඛලියගේ අදූරදර්ශී ක්‍රියා මෙලෙස විවේචනයට ලක්වූහ. නායකයෙකු ලෙස දැඩි තීරණ ගතයුතු අවස්ථා අපමණ එළඹේ. එවිට තීරණ ගැනීමට පසුබට නොවිය යුතුය. බුදුරදුන් විනය ප්‍රඥප්ති පැනවීමේදී එය සිදුකළ යුතු හොඳම අවස්ථාවේ එය සිදු කළහ. වස් සික්ෂාව එවැන්නකි. මෙතරම් කාලයක් සසුන පැවැතීමේ රහසද එයයි. නායකත්වය පෞරුෂය යනු ලොකු ශරීරයක් හිමිවීම නොව ඍජු තීරණ ගැනීමයි. මෙහිදී එම තීරණවලින් බහුතරය අපහසුතාවයට පත්වේද නොවේද යන්න පිළිබද සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය වේ.
බුදුරදුන් තුළ පැවැති මෘදු නම්‍යශීලී ස්වාභාවය ඉතා ආශ්චර්ය ජනකය. ආලවක සූත්‍රයේදී අලව්යකුට අවනතවීම ඇතැම් ශික්ෂාවන් ලිහිල් කිරීම උදාහරණ ලෙස දැක්වේ . තම පියාට පමණක් නොව අන්‍ය ආගමිකයන්ට ද උන්වහන්සේ මෘදු ගුණය පෑහ. ධර්මය වුවද දැඩිව අල්වානොගෙන “ඒහිපස්සික” ඇවිත් බලන්න යනුවෙන් දේශනා කළේ එහෙයිනි. නායකයෙක් වූ පමණින් තමන් පෙර ගනු ලැබූ තීරණ නැවත සංශෝධනය නොකර සිටිය නොහැක. මහජන මතය සේවක මතයට සෑමවිට නම්‍යශීලීවීම වැදගත්ය. ගසක් වුව ද දැඩි සුළඟේදී නොනැමෙන්නේ නම් ගසේ කරටිය කැඩීම ගහ ඉදිරී වැටීමට හැකියාව ඇත . ඕනෑම නායකයෙකුට මේ තත්වය පොදුය. ව්‍යවස්ථාව, විනය ප්‍රඥප්ති වුවද එසේමය. බුදුරදුන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් පෙනී යන්නේ මෙම මෘදු ගුණයයි. තවද අවසාන අවස්ථාවේදී ඛුද්දානු ඛුද්දක ශික්ෂා වෙනස් කරගැනීමට අනුදැන වදාරන්නේ ද උන්වහන්සේ සතු මෘදු ගුණය මනාව පැහැදිලි කරමිනි. දෙව්දතුන්ගේ පංචවරය ද මීට කදිම නිදසුනකි. එනම් කැමැති භික්ෂූන් පිළිපදිත්වා වශයෙන් ලබාදුන් අවවාදයයි. නායකයාගේ කැමැත්ත අනෙක් සියලුදෙනාගේම කැමැත්ත විය යුතු යැයි උන්වහන්සේ විශ්වාස නොකළහ. සෑම ප්‍රඥප්තියක්ම පැනවූයේ බහුතර කැමැත්ත මත ය. එය කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී දැයි උන්වහන්සේගේ මෘදු ගුණය අධ්‍යනය කිරීමෙන් පැහැදිලිය.
නායකයෙකු යනු සැඩ පරුෂ කෙනෙකු නොව මවක, පියෙකු ලෙස කරුණාවන්ත අයෙකු විය යුතුය. බුදුරදුන් තුළ පැවැතියේ සාමාන්‍ය කරුණාවක් නොව මහා කරුණාවකි. උන්වහන්සේගගේ කරුණා ගුණයට හසුවූයේ බෞද්ධයන් පමණක් නොවේ. අබෞද්ධයන් ද බුදුරදුන්ගේ කරුණාවට හසුවූහ. සුනීත, සෝපාක මෙන්ම රජු්ජුමාලාවද උන්වහන්සේගේ පිහිට ලද පිරිස්ය. කුමාරකාශ්‍යප මාතාව මේ අතුරින් ඉතා සුවිශේෂීය. පාලකයා තුළින් නායකයා තුළින් මෙම ගුණය පිළිබිඹු විය යුතුය. ධර්මාශෝක රජු තුළ මෙම ගුණය දිස්විය. එනම් එතුමා සඳහන් කළේ මෙසේය.”සවේ මානුසා මම පජා” සියලු රටවැසියෝ මාගේ දරුවෝය යන්නයි. තමන්ගේ දරුවන් ගැන පමණක් සිතා කටයුතු කිරීම පාලකයෙකු තරම් නොවේ. බුදුරදුන් රාහුල හිමියන්ට මෙන්ම අන්‍ය භික්ෂූන්ට ද කරුණාව සමව ලබා දුන්හ. නායකයෙකු යනු සතා සිව්පාවාට පමණක් නොව ගහකොළ වලටද කරුණාව දක්වන්නෙකි. ඔහුගේ කරුණා ගුණයට සීමා මායිම් නොතිබිය යුතුය.
කරුණාවේ සැබෑ අරුතවන්නේ අනුන්ගේ දුකේදී තමාගේ හදවත කම්පාවීමයි. නායකයාට එතුමාගේ යටත් පිරිස වෙනුවෙන් ජාති, ආගම්, භේද නොසලකා කරුණාව දැක්විය හැකිවිය යුතුමය. එසේ නොවන්නේනම් ඔහු නායකයෙකු නොවේ. සෑම දිනකටම බුදුරදුන්ගේ දින චරියාවේ එක අංගයක් වූයේ පිහිටවිය විය යුතු කෙනා සොයා බැලීමයි. උන්වහන්සේගේ වසර අවුරුදු හතළිස් පහ මුළුල්ලේ අලුයම් දහසය දහස් හාරසිය විසිපහක් (16425) ලෝකය වෙත කරුණාව මෙහෙයවා පිහිට වූහ. මාතෘත්වයෙන් පීතෘත්වයෙන් අනෙකා දෙස බැලීමේදී නායකයා පිළිබඳ ගෞරවයක් හිතවත්කමක් ඇතිවේ.
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 26 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment