Labels

Sunday, July 10, 2016

ජීවිතයේ පළමු පාඩම කියා දෙන පූර්ව දෙවියා මවයි පියයි

සුපසන් ජීවිතයකට ලිපි පෙළෙහි අප කතා කරමින් පැමිණියේ සිඟාලෝවාද සූත්‍රය ඇසුරෙන් සදිසා නමස්කාරයේ සඳහන් මව්පියන්ගේ ගුණයන් පිළිබඳවය. එනම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර මහා බ්‍රහ්ම විහරණයෙන් යුක්ත බව ධර්මයේ පැහැදිළි කළා.
ඒ වගේ ම පූර්ව ආචාර්යන් හැටියටත් පූර්ව දෙවියන් හැටියටත් මව්පියන්ගේ ගුණ දක්වා තිබෙනවා. බාහිරව මුණගැසෙන ගුරුවරුන්ට මත්තෙන් උපතේ සිට හැදී වැඩීගෙන එන දරුවන්ට හොඳ නරක කියා දී හොඳ අනුගමනය කරන්ටත්, නරකින් වැළකෙන්ටත් මුල් පාඩම් ඉගැන්වූ මව්පියෝ පූර්ව ආචාර්යවරුන්ය. පූර්ව දෙවියන් හැටියටත් පෙන්වා තිබෙනවා. ආහුණ්‍යෙ ගුණයෙන් යුක්තයි. එනම් සංඝරත්නයට වගේ ම ඕනෑ ම දුරක සිට නමුත් පිළියෙළකොටගෙන අවුත් ආහාරයෙන් පූජා කිරීමටත් මව්පියන් සුදුසු බවයි.

දරුවන් ලබන හෝ දරුවන් ලබන්නට බලාපොරොත්තුව සිටින සෑම අම්මා කෙනෙක් ම, පියාණන් කෙනෙක් ම තමන් මහා බ්‍රහ්ම ගුණයෙන් සමන්නාගත වන්නේ දැයි නිතර සිහිපත් කළයුතුයි. ඒ අනුව තම දරුවන් ද පවින් වළක්වා යහපතෙහි පිහිටුවීම කළ යුතුමයි. එසේ නොවුණොත් තමන් විසින් රටට ලෝකයට හානිකරන විපත් කරන දරුවන් බිහිකිරීමේ පාපයට මෙලොව පමණක් නොවෙයි. සසර ගතව පවා දුක් විඳින්ට සිදුවෙනවා නො අනුමානයි. සමහර ඇතැම් උගත් මව්පියන්ගේ ඇතැම් දරුවන් පහත් ගති ඇතිව ජීවත්වෙමින් මුළු පවුල් පරම්පරාවට ම නිග්‍ර කරන ආකාරය යම් තැනක පරිසරය තුළ දැකගත හැකියි. මව්පියන් විසින් තුන්වනුව බාහිර අධ්‍යාපනය මැනවින් දිය යුතු වන්නේමය. එය සැබෑවකි. සෑම ගුණබර අම්මා කෙනෙක් ම, පියාණන් කෙනෙක් ම සිතන ආකාරයෙන් තමාට නොලැබුණු උගත්කම් හෝ තමාට වඩා ඉහළ අධ්‍යාපනයක් ලබාදීම ඒ අපේක්ෂාවයි. එයත් කළ යුත්තේ දරුවන් තුළ තරහව, ඊර්ෂ්‍යාව, වෛරය අනුන් පරදවා යෑමේ නුගුණයන්වලට හසු නොවන ආකාරය සිත්වලට ලබාදීමෙනුයි. එසේ නොවුණොත් ඔවුන් මනාකොට විභාග සමත් වී ඉහළ තනතුරු දරනු ඇත. එහෙත් ඔවුන්ගේ ජීවිත තුළින් මිනිස්කම බැහැරවී හදවත් නැති පුද්ගලයන් සේ සමාජය තුළ කටයුතු කරනු ඇත. එය බුදු දහමෙන් පෙන්වා දෙන ලෞකික ලෝකෝත්තර දියුණුවේ මාර්ගය වන්නේ නම් නැහැ.

මීළඟට මව්පියන් විසින් සුදුසුකළ දායාද පැවරීම මෙහි දී සිහිපත් කළ යුතුමයි. සියලු දරුවන්ට එක හා සමානව තම සතු ධනය පවරාදීම මෙහි දී කල්පනාකාරී විය යුතුයි. යම් විටක තමන්ට වැඩියෙන් සලකන හෝ තමන්ට කීකරු වූ දරුවාට වැඩියෙන් සලකනවා යැයි මව්පියන් විසින් වැඩිපුර ධනයක් ලබාදීමෙන් අනික් දරුවන් මව්පියන් සමඟ පමණක් නොව සහෝදර සහෝදරියන් අතර පවා වෛරීවත් සණ්ඩුදබර ඇති කරගෙන ජීවිත විනාශ කර ගන්නා ස්වභාවයට පත්වෙනවා ඇත. මෙන්න මේ නිසා මව්පියන් විසින් මනා කොට කල්පනාකාරීව තමන්ගෙන් පසුවත් දරුවන් සහෝදරත්වයෙන් ජීවත්වන ආකාරයටත් දරුවන් තුළ වෛරය ඇති නොවන ආකාරයටත් සහෝදර සහෝදරියන් අතර තරහව ඇති නොවන ආකාරයටත් කටයුතු කිරීම වර්තමාන පරිසරයේ මව්පියන් විසින් සිහියේ පවත්වාගත යුතු කරුණකි.

මී ළඟට සුදුසු කල ආවාහ විවාහ කටයුතු සිදුකොට දීම පිළිබඳවත් යමක් සඳහන් කළ යුතුමයි. වර්තමාන සමාජ පරිසරය තුළ බොහෝ තරුණ දරුවෝ ළමා වයස ඉක්මවන විටම බොහෝවිටක බොහෝ සම්බන්ධකම් පවත්වන්නට පුරුදු වී සිටිති. ඒ මනා අවබෝධ යකින් නොව ලෞකික ජීවිතවල දැඩි ආශාවන් පිරී යෑම නිසායි. මව්පියන් මේ ගැන බොහෝ සේ සැලකිලිමත්ව සිට නිසි වයසට පැමිණෙන විට දරුවන්ගේ අභිමතය, කැමැත්ත පරිදි එහෙත් දරුවන්ට විවාහ ජීවිතවල ඇති වගකීම විවාහ ජීවිතයක් යනු ඉන්ද්‍රියයන් සතුටු කිරීමම නොවන බව විවාහ ජීවිතය තුළ ස්වාමියා, බිරිඳ සතුටින් ජීවත්විය යුතු බව අනාගතයේ ලබන, අනාගතයේ තමන් නිසා ලබන බිහිවන දරුවන්ට බුදු නොවුණත් රහත් නොවුණත් සිංහලවදන් පෙළ අනුව බුදු අම්මා කෙනෙක්, බුදුපියාණන් කෙනෙක් විය යුතු බව විවාහ ජීවිතයන්ට පෙළගස්වන දරුවන්ට මඟ පෙන්වාදීම කළ යුතුමයි. යම් අම්මා කෙනෙකුට පියාණන් කෙනෙකුට චරිතා දර්ශයෙන් තම දරුවන්ට විවාහය පිළිබඳව පෙන්වා දිය හැකි නම් එය මොනතරම් අගනේ ද? 
වර්තමාන පරිසරය තුළ දරුවන් විසින් විවිධ සම්බන්ධකම් ඇති කරගත්තත් හොඳ නරක කියා දී කරුණාවෙන් ලෙන්ගතුකමින් මඟ පෙන්වන මව්පියන්ට ඒවා සමඟ ගැටලු ඇති නොකරගෙන දරුවන්ගේ අදහස්වලටත් විරුද්ධ නොවී කටයුතු කිරීමට අපහසු නොවණු ඇත. මේ මව්පියන් හා දරුවන් සමඟ ඇති සම්බන්ධය ලෝකෝත්තර දියුණුව ලැබීමට හා ලෞකික දියුණුව පවත්වා ගැනීමේ දී වෙසෙසින් ම උපකාරී වේ. එසේ නොවුණොත් තමා ජීවත්වන වහළයට නොහොඳ නෝක්කාඩු සිදුවෙද්දී ධර්ම මාර්ගය තුළට බැස ගැනීමට අපහසු වෙනවා ඇත. සසර ගමනේ පටන් සිදුහත්, යශෝධරා, රාහුල සෙයින් ඔවුනොවුන්ගේ ධර්ම මාර්ගයට උපකාර කරගත්තා සෙයින් වර්තමාන පරිසරයේ ඔබගේ පවුල් ජීවිතවලත් මව්පියෝ, දරුවෝ, ස්වාමි භාර්යාවන් ලෙසින් ලෞකික වශයෙන් මනා අවබෝධයෙන් මේ ලෙසින් කටයුතු කළොත් ඔබටත් මෙලොවදීම ලෝකෝත්තර ධර්ම මාර්ගයක් ඇතිකර ගැනීම ඉතා පහසු වෙනවා ඇති.
එනම් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද

“යංකිඤ්චි සමුදය ධම්මං

සබ්බං තං නිරෝධ ධම්මං - යමක් හටගන්නා සුළු ද ඒ හැම නැසෙන සුළුය යන පරමාර්ථ ධර්ම කතාව මෙලොව වශයෙන් ධර්මානුකූලව ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන ඔබට පහසුවෙන් ම අවබෝධ කළ හැකිවනු ඇත. මව්පියන්, දරුවන්, ස්වාමි, භාර්යාවන් ආදී ලෙසින් සම්මුතිය තුළ මොනතරම් ‘මම මගේ’ කියා පැවැත්වූවත් මේ සංස්කාර ලෝකය තුළ තමාවත් තමාට හිමි නැති නම් පරමාර්ථය හෙවත් යථාර්ථය වශයෙන් ස්වාමියා, බිරිඳවත්, මව්පියෝ දරුවන්වත් ඔවුනොවුන් ඔවුනොවුන්ට හිමි නොවන බව ඉතාම පැහැදිලිය. ඒ පරමාර්ථ ධර්ම කතාව වඩාත්ම පහසුවෙන් ලෞකිකව ධර්මානුකූලව සතුටින් දියුණුවට පත්වෙන යම් පරිසරයක පිරිසකට ඉතාම පහසුවෙන් අවබෝධ වෙනවා ඇති.


මී ළඟට භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සදිසා නමස්කාරයෙන් අප විසින් පෙන්වා දෙන්නට බලාපොරොත්තු වන්නේ ප්‍රධානම කරුණක් වූ ඒ ආචාර්යවරුන් හා දරුවන් අතර පවත්නා වූ සම්බන්ධයයි. ආචාර්යවරුන් හා දරුවන් අතර මේ පවත්නා සම්බන්ධය දකුණු දිශාව හැටියට ධර්මයේ පෙන්වා දී තිබෙනවා. ශිෂ්‍යයන් විසින් තම ගුරුවරුන් දැක ආසනයෙන් නැගිටීමත්, උවටැන් කිරීමත්, උගන්වන කරුණු අසනු කැමැතිවීමත් ඒ වගේ ම ගුරුවරයාට වතාවත් කිරීමත් මනා වූ ඉගෙනීමත් මෙහි දී දක්වා තිබෙනවා. ශිෂ්‍යයන් විසින් තම ආචාර්යවරුන් වෙනුවෙන් මෙලෙසින් කටයුතු කිරීමත් දෙමාපියන් දරුවන් අතර පවත්නා සම්බන්ධයක් සෙයින් ම ආචාර්යවරුන් දරුවන් අතරත් මව්පිය සෙනෙහසක් මෙන් මනා කොට ඉගෙනීම පිළිබඳ සම්බන්ධයක් ඇති කරගත හැකියි. බුදු දහමේ පෙන්වා දෙන්නේ ගුරුවරයා විසින් පිය සෙනෙහසින් පුත්‍ර ස්නේහය ඇතිව ශිෂ්‍යයන් කෙරෙහි බැලිය යුතු බවයි. දරුවන් විසින් ද තම ගුරුවරුන්ට නිග්‍රහ නොකොට මහත් වූ කරුණාවෙන් ගරුකොටම ඉගෙනීම් කළ යුතු බව ඉන් පැහැදිලියි. ගුරුවරුන් විසින් තම ශිෂ්‍යයන් මෙසේ හික්මවිය යුතුයි. එනම් මනාකොට සංවරයට පත්කළ යුතුයි. චරිතයේ හැදියාවක් ඇති කළ යුතුයි. ඒ වගේ ම බාහිර දැනුමෙන් පෝෂණය කළ යුතුයි. එනම් ශිල්ප ශාස්ත්‍රය කියා දිය යුතුයි. ඒ වගේ ම තමන් ඉගෙනගත් ශිල්ප තම ශිෂ්‍යයාට සැඟවීමකින් තොරව කියා දිය යුතුයි, තේරුම් කොට දිය යුතුයි. අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් ධර්ම කරුණු වර්තමානයට ගළපාගෙන මනාකොට වූ අධ්‍යාපනික රටාවක්, පසුබිමක් සකස්කොට ගැනීම ඉතා වටිනේය.





බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 11 වන සඳුදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment