Labels

Monday, July 18, 2016

සසරෙදි ලබාගත යුතු රැකවරණය


අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී ශ්‍රේෂ්ඨ ධර්මයක් වදාළ සේක. අනන්ත සත්ත්වයන්ගේ ජීවිත සුවපත් කළ, නිවෙන, සැනහෙන මාර්ගයට සත්ත්වයා යොමු කළ ඒ අසිරිමත් ධර්මය ලෝකයට හෙළි පෙහෙළි කොට වදාළේ උන්වහන්සේ විසිනි.

විලේ වටිනාකම

අපේ මනස ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ විලක් වගේ කියායි. සෑම විලක්ම වටින්නේ නැහැ. වටිනා වස්තු ඇති විලක් පමණයි වටින්නේ. ඔබ දන්නවා විලක ජලය තිබෙනවා. ඒ වගේම ලස්සනට සුවඳ හමන මල් තිබෙන්නත් පුළුවන්. සරුසාර විලක් නම් සමහර විට වටිනා මැණික් පවා තිබෙන්න පුළුවන්. ඒ වගේම විල ලස්සනයි. ලස්සන පාට පාට ජලජ ජීවින් නිසාත්. මල් පිපුණත්, මාළුන් සිටියත් වතුර තිබුණත්, ඒ විලේ ජලය අවපැහැ ගෙන නම්, ඒ විලේ ලස්සනක්, අසිරියක් නැහැ. මේ අපේ මනුස්ස සිතත් විලක් වගේ. මිනිසා තුළයි දෙවියා සහ යක්ෂයා දෙදෙනාම සිටින්නේ. කෙනෙකුට තරහ ආ විට පාලනයක් නැතිකොට අප කියනවා ඒ මනුස්සයා නම් යකෙක් වගේ කියා. තව වෙලාවකදී ඒ පුද්ගලයාම දෙවියෙකු වගේ ක්‍රියා කරනවා. උතුම් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. වචනයෙන් සංවර වෙනවා. ක්‍රියාවෙනුත් සංවර වෙනවා. සද්පුරුෂයෙක් වගේ කියා අප කියනවා. එකම පුද්ගලයාට දෙවියා ලෙසත් තවත් විටෙක යක්ෂයා ලෙසත් කියනවා.

එහෙමනම් තේරුම් ගන්න අපේ සිතමයි දෙවියා සමඟත් යක්ෂයා සමඟත් අත්වැල් බැඳගන්නේ. සිත බොර වූ වෙලාවට සැබවින්ම යක්ෂයෙක් වෙනවා. විලේ වතුර බොරවූ විට කැළඹුන විට මලේ සුවඳ නොවෙයි එන්නේ. මල් සුවඳ යට කරගෙන මඩ ගඳ ඉස්මතු වෙනවා. ඒ ආකාරයට සිත බොර වූ අවස්ථාවට සැබවින්ම යක්ෂයෙක් වෙනවා. මිනිස් සිත යට කරගෙන අකුසල් ඉස්මතු වෙනවා.

සිතට පීඩාදෙන සුළං


මනුස්ස සිත අවුස්සන සුළං පාර කිහිපයක් තිබෙනවා. ඒ ඇස හරහා එන රූප සුළඟ. කන හරහා එන ශබ්ද සුළඟ, නාසය හරහා හමන ගඳ සුවඳ සුළඟ, දිව හරහා හමන රස සුළඟ, කය හරහා හමන ස්පර්ෂ සුළඟ. මේ පංචමහා සුළං නිසා චංචල සිත කැළඹෙන්නට පටන් ගන්නවා.
තථාගතයන් වහන්සේ වදාළා අග්‍ර වූ උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පිවිසෙන්න ඕන. වටිනා දේවල් ලෙහෙසියෙන් කරන්න බැහැ. නමුත් පාපී දේවල් පහසුවෙන් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන්ම අප ඇඳ දමන්නේ පාපී දේවලටයි. පාපී කර්ම වලටයි. විල බොර වුණේ, කැළඹුණේ නැත්නම් විලේ පතුල ලස්සනයි. මැණික් දිලිසෙනවා. ජලජ ජීවින් ලස්සනට පෙනෙනවා. මල් සුවඳ සිසාරා හමා යනවා. මේ වගේ සුළං වලින් අපේ සිත කැළඹෙනවිට විලේ මඩ සුවඳ එනවා වගේ විල බොර වෙනවා වගේ සිත ද බොර වීමට පටන් ගන්නවා. එවිට නරක, නපුරු, භයානක සිතිවිලි ඇවිස්සෙනවා. ක්‍රෝධය, වෛරය, පටිඝය, මාන, රාග , ද්වේෂ, ඊර්ෂ්‍යා ඇවිස්සෙන්නේ මඩ දුගඳ ඇවිස්සෙනවා වගේ. එනිසා නො කැළඹුන විල ලස්සනයි වගේ අපේ සිතත් නො කැළඹීනම් එහි අපූරු ලස්සනක් තිබෙනවා. ඒ නිසායි බුද්ධ අවවාද අතිශයින්ම මහා ඖෂධයක් වන්නේ.
බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු ලොව පහළ වූයේ නැහැ. ධර්මය තරම් වටිනා බෙහෙතක් මේ ලෝකයේ නැහැ. අද නවීන විද්‍යාවත් පිළිගන්නවා මිනිසුන්ගේ ලෙඩරෝග වලින් වැඩිපුර ශරීරගත වන්නේ සිත ලෙඩවීමෙන් බව. සිත කැළඹීම නිසා බව. ඒ නිසා බෙහෙත් වලින් භෞතිකව ප්‍රතිකාර කළ හැක්කේ බොහෝම ස්වල්ප ප්‍රමාණයකට. ධර්මයට සිත යොමු කරන අය ලෙඩ වෙනවා අඩුයි. සිල් රකින භාවනා කරන අයට ධර්මය බෙහෙතක් කරගෙන සුවපත් වූ අය ලෝකයේ ඕනෑතරම් ඉන්නවා. සාංසාරික අකුසල කර්ම වලින් මතුවන භයානක ලෙඩ බලවත් කුසල කර්ම වලින් යට කරන්න පුළුවන්.

පිය උරුමය


අපේ සංසාරේ ධර්මය නොදන්නා කාලයේ අනන්තවත් වැරැදි පාප කර්ම සිදුවෙලා තිබෙන්න ඇති. සංසාරයේ හැම කාලයේදීම බුද්ධෝප්පත්ති කාලයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම මනුස්ස ආත්මයක්ම ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා මේ භවයේ ලැබුණ මනුස්ස ජීවිතය කෙතරම් වටිනවාද? මනුස්ස ජීවිතයත් , බුද්ධෝප්පත්ති කාලයත්, ධර්මයට නැමුණ සිතත්, අංගවිකල නොවූ ජීවිතයත් කියන කරුණු හතර කාට හරි ලැබුණානම් ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙනවා.
තථාගතයන් වහන්සේ වදාළා පිය උරුමය ලැබීමට කැමැති අය සතර සම්‍යක් ප්‍රධන්, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය මේ සසුනේ තිබෙන වටිනා මානික්‍ය නිරන්තරයෙන් පුරුදු කළ යුතු බව. ගෞතම බුදු සසුනේ තිබෙන මේ මානික්‍ය වලින් මුළු සසරම සුවපත් කර ගැනීමට පුළුවනි. ආර්ය නිධානය, ආර්ය ධනය මේවායි. මේ සසුන තුළ සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන උතුමන් වැඩ සිටීයි. මාර රාජ්‍ය කඩා බිඳ සුණු විසුණු කරගෙන ආර්ය රාජ්‍යයට වැඩි මේ උත්තමයන් වහන්සේ සැබැවින්ම සසර ජයගත් අයයි. එනිසා අප තේරුම් ගන්න ඕන මේ මනුස්ස ජීවිතය ලැබුණ නිසා ඒ මනුස්ස ජීවිතය අපතේ නො යවා එයින් වැඩ ගන්න. ජීවිතය හොඳින් බල ගන්වන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන්නේ බුද්ධ අවවාදය යි.

මල් උයනත් සිත වගේ


දිනක් තථාගතයන් වහන්සේ සුන්දර මල් උයනක වැඩ සිටියා. උන්වහන්සේ දුටුවා ඒ උයනේ විවිධ ලස්සන මල් පිපී තිබෙනවා. “මහණෙනි, මේ උයනේ තිබෙන මල් ඔබට වර්ග කළ හැකිද?” “ස්වාමිනි, මේ උයනේ විවිධ වර්ණ මල්, සුවඳ මල්, සුවඳ නැති මල්, පෙති අඩු මල්, පෙති වැඩි මල් ආදියෙන් පිපී තිබෙනවා. මහණෙනි, මේ ලෝකයේ පිපෙන මේ සෑම මලක්ම කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ එක් කොටසකට මේ පිපෙන සෑම මලක්ම අයිතියි. එක් මල් කොටසක් නම් ලස්සනයි. නමුත් සුවඳ නැහැ. අනෙක් කොටස හරිම සුවඳයි. නමුත් ලස්සනක් නැහැ, තුන් වැනි මල් කොටස ලස්සනත් නැහැ. සුවඳත් නැහැ. හතරවැනි මල් කොටසනම් හරිම ලස්සනයි, හරිම සුවඳයි.
මහණෙනි, මේ මනුස්ස ජීවිතය ගත කරන අපත් ඒ කොටස් හතරෙන් එකකට අයත්. සමහර අය ලස්සනයි. නමුත් ඔහු තුළ සුවඳ නැහැ, සමහර අය රූපයෙන් ලස්සනයි යාන වාහන, ගෙවල් දොරවල් ලස්සනයි නමුත් කිසිඳු සිල් සුවඳක් නැහැ.
තව සමහරක් අය ඉන්නවා සුවඳ තිබෙනවා. නමුත් ලස්සන නැහැ. සිල් රකිනවා. ධර්මයේ හැසිරෙන්නට උත්සාහ කරනවා. නමුත් තමන්ගේ යුතුකම් පැහැර හරිනවා. වයසක මාපියන්ට සලකන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු සැලකිල්ලක් නැහැ.
තුන්වැනි කොටස ලස්සනත් නැහැ සුවඳත් නැහැ. හිඟමනේ ජීවත් වෙනවා. ඉන්නට වාසස්ථානයක් නැහැ. පිපාසයට වතුර ටිකක් නැහැ. ඒ වගේම ඔහු ආධ්‍යාත්මිකවත් කිසිදු දෙයක් දියුණු කරන්නේත් නැහැ.
හතරවැනි කොටසේ නම් සුවඳත් තිබෙනවා. ලස්සනත් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආශ්චර්යවත් සසුන තුළ සුවපත් වීමටනම් හොඳ ලස්සන මෙන්ම සුවඳවත් බවත් තිබෙන්න ඕන කියා.

සිත පිරිසුදු කර ගන්නේ කෙසේද?



ඒ සඳහා අප ජීවත් වන පරිසරය, නිවාස, තම ශරීරය පිරිසුදුව තබා ගන්නවා මෙන්ම ඊට වඩා ගැඹුරින් තම සිත පිරිසුදු කර ගතයුතු වෙනවා. දිය නාලා ශරීරය පිරිසුදු කර ගත්තත් සිත පිරිසුදු කර ගත හැක්කේ කෙසේද? ඒ සඳහා බුද්ධ දේශනා ශ්‍රවණය කරමින්, සිත, කය වචනය පිරිසුදු කර ගනිමින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළයුතු වෙනවා. එවිට සිත පිරිසුදු වෙනවා. ලස්සන සුවඳ තිබෙන මලක් මෙන් එවිට තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් මලක් වීමට පුළුවන්කම තිබෙනවා.


මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති
කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 11 වන සඳුදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment