"යතොච ඛොමෙ භික්ඛවෙ ඉමෙසු චතුසු
අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං
ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි.අථාහං භික්ඛවෙ
සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ‍්‍රහ්මකෙ
සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය
අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධො
පච්චඤ්ඤාසිං ඤාණංච පනමෙ දස්සා නං උදපාදි
අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං
ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි.අථාහං භික්ඛවෙ
සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ‍්‍රහ්මකෙ
සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සාය
අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධො
පච්චඤ්ඤාසිං ඤාණංච පනමෙ දස්සා නං උදපාදි
සුපින්වත්නි,
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයෙන් දෙමසකට පසුව ඇසළ පුරපසළොස්වක් පෝදින අහස්කුස තාරකා පිරිවරා පුන්සඳ බබලද්දී බරණැස ඉසිපතන මිගදායේදී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තාපසයන් වහන්සේලාට දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රථම ධර්මදේශනාව පැවැත්වූ සේක.
ද්වේ මේ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන නසෙවිතබ්බා යොචායං කාමසුඛල්ලිකානුයොගො හීනො, ගම්මො, පොථුජ්ජනිකො, අනරියො, අනත්ථසංහිතො ,යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො ආදි නයින් ආරම්භව
ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤොත්වේව නාමං අහොසි. යන වාක්‍යයෙන් අවසන්කොට ඇති දම්සක් පැවතුම් සූත්‍රයේ ප්‍රධාන කරුණු පහක් ඇත.
01. අන්ත දෙක. මධ්‍යම ප්‍රතිපදාව තිපරිවර්තය, ද්වාදසාකාර චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම
කොණ්ඩඤ්ඤ තාපසයාණන් වහන්සේ සෝවාන්වීම
සමස්ත විශ්වය පුරා ධර්මාලෝකය විහිදීම
සත්වයාගේ ස්වභාවය තම තමන් උපන් පරිසරයට ආලය කිරීමයි. ආලයරාමා ඛො පජා යනුවෙන් අප ගෞතම බෝසත් උතුමා පමණක් සසරදී කළ කුසල බලයෙන්ම එම චිරන්තන සංකල්ප අත්හැර අන්තගාමීව කම්සැප විඳීමත් දුක්ඛදායක අත්තකිලමථානුයෝගයත් පිළිකුලෙන් ප්‍රතික්ෂේප කොට උතුම් මැදුම් පිළිවෙතට සැපත් වූහ.
අන්තගාමී කම්සැප විඳීමේ ප්‍රධාන ආදීනව පහක් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීමට හැකිවූයේ බෝධිසත්වයන් සසරදී පුරුදු කළ දානාදී සමතිස් පෙරුම් දම්වල වාසනා මහිමය නිසාමය. දානය, සීලය,නෙක්ඛම්මය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය,අධිෂ්ඨාන මෛත්‍රී, උපේක්ෂා යන පාරමිතා ධර්මයන් සම්පූර්ණ කිරීමේ ප්‍රතිවිපාක එක්වන්ව අන්තිම ආත්මයේදි ලබාගැනීමේ ආශ්චර්යමත් භාවය ප්‍රකට කිරීම් වශයෙන් සක්විති රජ සැප පවා අත්හැර වනගතව සය වසරක් අනන්ත දුක්වේදනා විඳිමින් සිටිනවිට අප බෝසත් උතුමාණන්ට මෙසේ සිතක් පහළ විය.
තස්ස මය්හං රාජකුමාර එතදහොසි, අභිජානාමි
ඛො පනාහාං පිතු සක්කස්ස කම්මන්තෙ සීතාය ජම්බුච්ඡායාය
නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලයෙහි ධම්මෙහි
සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං
උපසම්පජ්ජ විහාරිතා සියානුඛො එසො මග්ගො
බොධායාති තස්ස මය්හං රාජකුමාර සතානුසාරී විඤ්ඤාණං
අහොසි එසොව මග්ගො බෝධායාති
මම වනාහී පියතුමාගේ කමතේ සිසිල් දඹ සෙවණේ සිටින විට කාමයෙන් වෙන්ව, අකුශලධර්මයන්ගෙන් වෙන්ව ප්‍රථම ධ්‍යානය උපදවා වාසය කළෙමි. මෙයම සම්බෝධයට මාර්ගය වන්නේය යන සිහිය අනුව යන විඥානය පහළ විය. එතෙක් බෝසත් උතුමාණන් අනුගමනය කළ අත්ත කිලමථානුයෝගයේ සාවද්‍ය බව අවබෝධ නොවුයේ අවිද්‍යා අන්ධකාරයෙන් බුද්ධිය වැසී තිබු නිසාමය.
මෙසේ ශාරිරික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන්ද මධ්‍යම ප්‍රතිපදාවට සැපත් වු බෝධිසත්වයන් වහන්සේ මධ්‍යම වූ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් සම්‍යක් සම්බෝධියට පැමිණ වදාළ සේක.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් පිළිවෙළින් චිත්ත සමාධිය, ධ්‍යාන විදර්ශනා මාර්ග ඵල ලබන්නට හැකිවන්නේය.
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තිපරිවට්ට වශයෙන් මෙන්ම දොළොස් ආකාර වශයෙන්ද අවබෝධ කොට වදාළ සේක.
01. දුක්ඛ සත්‍ය සත්‍ය ඤාණය ,
02. දුක්ඛ සත්‍ය කෘත්‍ය ඤාණය
03. දුක්ඛ සත්‍ය කෘත ඤාණය ,
04. සමුදය සත්‍ය සත්‍ය ඤාණය
05. සමුදය සත්‍ය කෘත්‍ය ඤාණය ,
06. සමුදය සත්‍ය කෘත ඤාණය
07. නිරෝධ සත්‍ය සත්‍ය ඤාණය ,
08. නිරෝධ සත්‍ය කෘත්‍ය ඤාණය ,
09.නිරෝධ සත්‍ය කෘත ඤාණය ,
10. මාර්ග සත්‍ය සත්‍ය ඤාණය ,
11. මාර්ග සත්‍ය කෘත්‍ය ඤාණය ,
12. මාර්ග සත්‍ය කෘත ඤාණය
ලෝකයේ යථාර්ථයෙන් විද්‍යමාන දෙයක් ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන නොදත් ලෝකයට දේශනා කරන්නට තරම් තියුණු බුද්ධියක් ප්‍රථමයෙන් තිබුණේ අප බුදුරජාණන් වහන්සේට පමණි. භෞතික ලෝකයේ දැනගත යුතු සියලුම විෂයන් මෙන්ම එම විෂය පථය ඉක්මවා ආර්ය ධර්මයක් ඇති බව හා එය දැනගත යුතු බව මෙන්ම දැන ගත්බව යන ප්‍රත්‍යක්ෂය මෙම චතුරාර්ය සත්‍යය ධර්මයට අයත් වන්නේය. එම ප්‍රත්‍යක්ෂ ඤාණය පුහුදුන් කෙනෙකුට අවබෝධ කරවීම පහසු නොවන්නේ අවිද්‍යාවෙන් නොදැනීමත්, තණ්හාවෙන් ඇලීමත් නිසාය.
සම්මා දිට්ඨි සංඛ්‍යාත උසස් ඤාණය ලබන තුරු පෘථග්ජනයා කරන්නේම තමා අවට පරිසරය අල්ලා ගැනීමයි.අප බෝධි සත්වයන් වහන්සේ කල්පගණන් සසර ගත කළේ මෙම අවිද්‍යා තණ්හා දෙක නිසාය. එහෙත් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන විට එකී අවිද්‍යාව සපුරා නැතිකොට “චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි, ආදියෙන් දක්වා ඇති පරිදි තමන් වහන්සේට ‘ඤාණය නමැති ඇස පහළ විය. තත් අර්ථ පිළිබඳ ප්‍රඥාව පහළ විය. සත්‍ය ප්‍රකාරයෙන් දැනීමේ ප්‍රඥාව පහළ විය. ක්ලේශ විනාශ කරන විද්‍යාව පහළ විය, මෝහාන්ධකාරය නැතිකොට ආලෝකය පහළ විය. යන පස් ආකාරයෙන් තිපරිවට්ට ද්වාදසාකාර චතුරාර්ය සත්‍යධර්මය ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්නට යළි එය පෙර නො ඇසූ විරූ ධර්මයක් බව ප්‍රකාශ කරන්නට හැකිවූයේය. මෙවන් උතුම් ධර්මයක් ලෝකයට පහලවීම නිසා කොණ්ඩඤ්ඤ හිමියන් දැන ගැනීමෙන් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සත්වයන්ට ඇතිවු සහනය මෙන්ම මතු මෙම සම්බුද්ධ ශාසන අන්තර්ධානය දක්වා අසංඛ්‍ය ගණන් සත්වයන්ටද දෙව්, මිනිස් නිවන් සම්පත් ලබා දෙන්නේය.
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් එදවස ඉසිපතනයේදි දේශනා කරන ලද මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට දෙලොව ශාන්තිය හා උතුම් අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට ඔබ සැමට වාසනාව උදාවේවා.
අස්ගිරිය විජයසුන්දරාරාමවාසී
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 26 වන අඟහරුවාදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment