Labels

Sunday, July 10, 2016

බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකිමු


සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අනන්ත ගුණ සම්පන්න යෝයැ. එහෙයින් එතුමාණන් වහන්සේ විෂයයෙහි ව්‍යවහාරික ගුණ නාමයෝද ඉතාබොහෝය. ඒ අතර “බුදුරජාණන් වහන්සේ” යනුද ගුණනාම පදයෙකි. එතුමෝ තමන් වහන්සේ වෙනුවෙන් යෝජනා කැරැ ගත්තෝ” තථාගත” යන පදයයි. ඒ තථාගතයෝ, බුදුරජාණන්වහන්සේ වූවෝ කෙසේ ද යනු විමසා බැලීම මේ ලියැවිල්ලේ අභිමාර්ථයයි. “සම්බුදු” යන ගුණනාම පදය විවරණය කරන බුදුගුණ අලංකාර කතුවර වීදාගම මෛත්‍රීය මාහිමිපාණෝ මෙසේ කියති.

“තුන් කල්හි මැ පැවති
පද’රුත් සියල් ලොවැ ඇති
අතැ’ඹුල සෙ දැන ගති
එයිනැ සම්මා සම්බුදු නැ යෙති’ තුන් කාලයටම අයත් පද (හේතු) හා අර්ථ (ඵල) අතට පත් නෙල්ලි ගෙඩියෙක් සේ විනිවිද දැනැ ගත් නිසා තථාගතයන් වහන්සේට ’සම්මා සම්බුදු’ යයි කියති. යනු උක්තපැදියේ සරල අර්ථයයි. සිදුහත් තාපසවරයාණෝ තුන්කල් දැනගත්තෝ කෙසේද යත්.


ක්‍රි.පූ. සවැනි සියවසේ දඹදිව පැවැති කුල ක්‍රමය හෙවත් වර්ණ භේදය අනුව ඉතා ඉහළ සැප සම්පත් වින්දෝ බ්‍රාහ්මණයෝ හා ක්ෂත්‍රීයයෝය. ක්ෂත්‍රිය කුලයට අයත්ව උපන්න සිද්ධාර්ථයනට එකී ඉහළ සැප සම්පත් විඳීමට අවස්ථාව සැලැසිණි. එහෙත් එයින් සෑහීමකට නොපත් සිද්ධාර්ථයෝ ‘කිං සච්ච ගවේෂී’ව ඇතිකරගත් අභිමතාර්ථය පසු කාලීනව භික්ෂූන් වනන්සේට හෙළිදරව් කරනුවෝ’.... මහණෙනි එවක මා හට මේ අදහස පහළ විය.මම ජාතිය ස්වභාව කොට ඇත්තෙමි. කුමක් නිසා ජාති ස්වභාවයක් ම සොයම්ද? මම ජරාව ස්වභාව කොට ඇත්තෙමි. කුමක් නිසා ජාති ස්වභාවයක්ම සොයම්ද? මම ජරාව ස්වභාව කොට ඇත්තෙමි. කුමක් නිසා ජරා ස්වභාවයක්ම සොයම්ද? මම ව්‍යාධිය ස්වභාව කොට ඇත්තෙමි. කුමක් නිසා ව්‍යාධි ස්වභාවයක්ම සොයම්ද? මම මරණය ස්වභාවකොට ඇත්තෙමි. කුමක් නිසා මරණ ස්වභාවයෙක්ම සොයම්ද?
මම ජාතිය ස්වභාවකොට වූයෙමි. ජාතියේ අහිතකර විපාක විඳ ජරාව ස්වභාව කොට වූයෙමි. ජරාවේ අහිතකර විපාක විඳ, ව්‍යාධිය ස්වභාවකොට වූයෙමි.ව්‍යාධියෙහි අහිතකර විපාක විඳ මරණය ස්වභාව කොට වූයෙමි. මරණයේ අහිතකර විපාක විඳ ජාතියක් නැති, ජරාවෙක් නැති, ව්‍යාධියෙක් නැති, මරණයෙක් නැති, යෝග ක්ෂේම වු අනුත්තර වු නිවන සොයන්නෙමි නම් මැනවි.

මහණෙනි , ඒ මම පසු කාලයේ ළදරු වූයෙමි. ඉතා කළු කෙස් ඇත්තෙමි. පළමුවන වයස වූ සොඳුරු යෞවනෙන් යුක්ත වූයෙමි. නොකැමැතිව කැඳුළු පිරුණූ මුහුණූ ඇති මව්පියන් හඬද්දී කෙස් රවුල් බහා, කසාවත් හැඳ, ගිහි ගෙයින් නික්ම පැවිද්දට ගියෙමි.

මජ්ක්‍ධිම නිකායයේ මූල පණ්ණාසකයේ අරියපරියේසන සූත්‍රයේ ආයත උක්ත ජේදයන්ගෙන් කාමසුඛල්ලිකානුයෝගී ජීවිතය හැරැපියා පැවිදිව එවක දුක නිමා කිරීමේ මාර්ගය ලෙස පිළිගැනී තුබුණූ අත්තකිලමතානු යෝගයෙන් කාලය ගතකරන්නට විය. එවක කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග තව්සෝ එතුමාණන්ගේ උපස්ථානයට පැමිණියහ.
එකී පස්වග තව්සන් දුක නිමා කිරීමේ ඒකායන මාර්ගය අත්තකිලමතානුයෝගයය යන ස්ථාවරය මත පිහිටි අයය. ඔවුන් ගේ නායකත්ත්වය දැරුවෝ සුදත්ත හෙවත් කොණ්ඩඤ්ඤ නම් තාපස වරයාණෝයැ. එතුමාණන් වනාහී බෝධිසත්ත්වයනට නාමකරණය කරන විට පැමිණි බමුණු එකසිය අට දෙනා අතරින්, තෝරාගත් කුශාග්‍ර බුද්ධිමත් අටදෙනා වු රාම, ධජ, ලක්ඛන, ජාතිමත්ත, යඤ්ඤ සුයාව, සුභෝජ, සහ සුදත්ත යන අට දෙනා අතර අන්තිමයා වු සුදත්ත ය. එවක හේ සත් හැවිරිදිය.

සුද්ධෝදන රජතුමා ඒ අටදෙනා බණවා මගේ පුතා පරීක්ෂා කැරැ ගැළැපෙන නමක් තබන ලෙස ඉල්ලා සිටියේය.ඒ නිසා ඒ බමුණු පඬිවරු අටදෙනා අතුරෙන් හත්දෙනෙක් පුඤ්චි කුමාරයාගේ ශරීර ලක්ෂණ පරීක්ෂාකර බලා ඇඟිලි දෙකක් ඔසවා මේ කුමාරයාණන් ගිහිගෙයි රැඳුණහොත් සක්විති රජවන්නේය.ඉදින් ගිහිගෙය හැරැපියා පැවිදි වූයේනම් සම්මා සම්බුදු වෙන්නේය යැයි දෙබිඩි අදහසෙක් ප්‍රකාශ කළෝය.අනතුරුව අටවැනියා සහ ළාබාලතමයා වූ සුදත්ත පඬිවරයා එක ඇඟිල්ලෙක් ඔසවා මේතෙමේ අනාගතයෙහි ඒකාන්ත වශයෙන් බුදුවෙන්නේමය. ස්ථිර අදහසෙක් ප්‍රකාශ කළේ නළලේ රැඳුණු ඌර්ණ රෝම ධාතුව දැකැය. ඒ බරණැස ඉසිපතන මිගදායේ තථාගතයන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කරන්නට පන්තිස් වසරකට පෙරය. මේ වෙද්දී සුදත්ත පඬිවරයාගේ වයස දෙසාලිසෙකි. හෙවත් පඤ්ඤා දශකයෝය. දින හතක් වු පුඤ්චි දරවෙකු දැක එවන් අනාවැකියක් ප්‍රකාශ කළා. සුදත්ත හෙවත් කොණ්ඩඤ්ඤ ඒ අනාවැකිය මුදුන් පැමිණවී තමන් වෙත. තථාගතයන් වහන්සේ වැඩම කරද්දී තම පිරිසට දුන් උපදේශය කුමක්ද? අන්න සිද්ධාර්ථ ගෞතමයන් එනවා. ඒත් ඔහුට බුදුවෙන්නට බැරි වුණා.ඒ නිසා අප ඔහුට පෙර ගමන් කරන්න,පා සිව්රු ගන්න,පා දෝවන්න වුවමනා නෑ. රාජ කුලයෙහි දිනූ අයෙකු නිසා ආසනයක් විතරක් පනවමු යන ලෙසිනි. ඒ නමුත් සිද්ධාර්ථ ගෞතමයන් තමන් සමීපයට වඩුත් වඩුත්මැ ඒ මුලින් කරගත් කතිකායෙහි පිහිටා කටයුතු කළ නොහැකිවූ අයෙක් පෙරමඟට ගොස් පා සිව්රු ගත්හ. තව අයෙක් පා දෝවනය කළාහ.අයෙක් පවන් සැලූහ. එහෙත් කතා බහේදී සමයෙකු හාවිතා කරන්නාක්සේ “ආවුසෝ “ වාදයෙන් වැ කතා කළහ. එහිදී තථාගතයන් වහන්සේ තමන් වහන්සේ අරහත් සම්මා සම්බෝධිය ක්ෂාත්සාත් කරගත් හෙයින් තථාගතයන් වහන්සේ සමඟ සමයෙකු හා කරන කතාබහ නොකරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් එබසට කන් දුන්නෝ පස්වග තව්සෝ නොවූහ.බැරිම තැන තථාගතයන් වහන්සේ “මහණෙනි,ඔබ මා සය වසරෙක් එක තැනැ සිටියා නොවේද ඒ සය වසර පුරාම සැබෑවෙක් මුත් මුසාවෙක් කී අවස්ථාවෙක් පිළිබඳව සිහි කළ හැකිද?” යයි ප්‍රශ්න කළහ. එයට පිළිතුරු දෙන කොණ්ඩඤ්ඤ තවුසා පසු ගිය සය වසර මුළුල්ලේම සැබෑවක් මුත් මුසාවෙක් කී අවස්ථාවෙක් සිහිපත් කැරැගත් නොහැකි බව“ කී එහිදී “මහණෙනි, මා දැන් කියන්නේත් සැබෑවෙක් මුත් මුසාවෙක් නොවේ. මා අනුත්තර සම්මා සම්බුද්ධත්ත්වයට පත්ව ඇත. එවිට පස්වග තව්සෝ ඒ පිළිගතු.

ඉතාම ළාබාල දරවෙකු දුටු බුද්ධිමතෙකු එයින් පැහැදිලි වුණ අදහස අනුව පළ කළ අනාවැකිය පලදරා ඔහු තමා සමීපයට එද්දී ඊට විරුද්ධ මතයෙක් දැරුවේ කුමක් නිසාද බමුණු කෙරෙහි බලපෑ බුද්ධිය මුවහ කැරෙමින් දෘෂ්ටිය නැගී සිටි නිසාවෙනි. ඒ සරලව කියතොත් කොණ්ඩඤ්ඤ තාපසයා එවක එල්බගෙන සිටි මතවාදය දුක් නිවාරණය කිරීමට නම්, ශරීරයට දැඩි දුක් දිය යුතු මය යන්නයි. එහෙත් ඒ දැඩි දුෂ්කරතා විඳීම , හැරැපියා ආහාරපාන ගැනීමට සිද්ධාර්ථ ගෞතමයන් පෙළඹුණ නිසා සිද්ධාර්ථ ගෞතමයන්ට ඒකාන්ත වශයෙන් දුක් නිවාරණයට බුදුවීමට නොහැකි වූයේම යැයි දැඩි මතයෙහි සිටි නිසාය.


“කිං සච්ච ගවේෂී” සිද්ධාර්ථ ගෞතමයෝ අභිනිෂ්ක්‍රමණය කොට ආලාර කාලාම, උද්දක රාමපුත්ත, දෙදෙනා ඇසුරේ අෂ්ඨ පල සමාපත්තීන් ලබා, භව දුක් නිවාරණය එතැන නොවන බව දැනැ එම ධ්‍යාන සුවයට පාවාසම නොවැද සය වසරෙක පුරා ශරීරයට අනේකා කාර දුක් දෙමින් කළ විමුක්තිය පිළිබඳ පර්යේෂණ ද පල රහිත වූයෙන් එද හැරැපියා එනිසාමැ පස්වග තව්සන්ගෙනුදු වියෝව අනුත්තර වු සම්මා සම්බෝධියට වෙනත් විධියෙක් ඇතැයි සිතූ. එවිට තමා ළදරු වියේදී දඹරුක් සෙවණේ සිට වැඩූ අනාපාන සතිය පිළිබැඳ සිහිපත්කැරැ නිර්වාණ සුවය පිණිස ඇති එකම මඟ එය යයි දැන ක්‍රමයෙන් ආහාරපාන ගෙන කායික දුබලතා මඟහරවා ගෙන සුජාතා සිටු දියණිය පූජාකළ ප්‍රනීත කිරිබත වළඳා සොත්ථිය බමුණා විසින් පිදූ කුසතණා අටමිට ඇසතු රුක් මුල අතුරාගෙන එහි වැඩ හිඳ සම්, මස් ඇට නහර පමණෙක් ඉතිරිව මස්ලේ වියැලී වියැකී ගියද බුදුව මිස මෙයින් නො නැඟිටිමියි විදුරාසන අරා වැඩ සිට සන්ධ්‍යා කාලයෙහිම වසවර්ති මාරයා පලවා හැර ආනාපාන සතිය වඩා චතුර්ථධ්‍යානයට පැමිණි, ඒ ඔස්සේ, අභිඥා උපදවා එදින රාත්‍රියෙහි පෙරයමෙහි සත්ත්වයින්ගේ පෙර විසූ කඳ පිළියෙල හෙවත් ස්කන්ධ පටිපාටිය දකිමින් භවගාමී තත්ත්වයට රුකුල් දෙනා මෝහය,අවිද්‍යාව පහ කර ගතු මධ්‍යම යාමයේදී සත්ත්වයන්ගේ වුතිය, පටිසන්ධිය පිරිසිඳ දැනගන්නා නුවණ ලබාගත්හ. පශ්චිම යාමයේදී පත්‍යාකාරය සම්මාර්ශනය කරන්නට වන්හ.


නාගොඩ 
කැප්පිටියාගොඩ 
කල්‍යාණවංස හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 11 වන සඳුදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment