නැවත උප්පත්තිය ලබාදෙමින් සත්ත්වයා සසර බඳිනා තෘෂ්ණාව දුරුකොට නිවනින් සැනසුණු ලෝකනාථයාණන් වහන්සේගේ උත්තරීතර වූ ගමන් මඟට පිළිපන් නික්ලේෂී සිතකට උරුමකම් කියූ පිය උරුමය ලැබ සැනසුනු අභයමාතා මහරහත් තෙරණින් වහන්සේගෙ විරාගි සිත, විරාගි සුවය පිළිබඳව සිත පහදා ගනිමු.
අභයමාතාවෝ පෙර අනන්ත අප්‍රමාණ පින් රැස්කොට තිස්ස බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි එක් කුල ගෙයක උපත ලැබූවාය. දිනක් බුදුරජාණන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන කල්හි බුදුරජාණන් වහන්සේට හැන්දක් පමණ ආහාර පූජා කළා ය. ලෝකනාථ තිස්ස තෙරුන් වහන්සේ වීථියෙහි සිට අනුමෙවෙනි ධර්ම දේශනාවක් වදාළ සේක.එයින් පැහැදුනු සිත් ඇති ඕතොමෝ කළුරිය කොට තව්තිසා දිව්‍යලෝකයෙහි උපත ලැබුවාය. දෙවිවරුන් තිස්හයදෙනෙකුගේ අගමෙහෙසිය බවට පත්ව අනන්ත දිව්‍ය සැප වින්දාය.
සක්විති රජුන් පනස් දෙනෙකුගේ අගමෙහෙසි බවට පත් වූ අතර අනන්ත අප්‍රමාණ සිතූ පැතූ සියල්ල ලැබීමට පුණ්‍යවන්තියක වූවා ය. කල්ප අනූදෙකකට පෙරාතුව කරන ලද පින්කම් දුගතියෙහි නොඉපදි සැප ඵලම ලබන්නට විය.
මෙසේ කරන ලද පින් බලයෙන් කුසල් හේතු කොටගෙන දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරා උදේනි නුවර අප ගෞතම සම්බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයෙහි පදුමවතී නමින් නගරශෝභනියක වූවාය. බිම්බිසාර රජතුමා ඇයගේ රූසපුව පිළිබඳ ගුණ ගැන අසා පුරෝහිතයාට ඒ බැව් ප්‍රකාශ කළේ ය.
උදේනි නුවර පදුමවතී නම් ගණිකාවක් වෙයි, මම ඇය දකිනු කැමැත්තෙමි. මැනවැයි පිළිගත් පුරෝහිතයා මන්ත්‍ර බලයෙන් කුම්භිර නම් යක්ෂයා රජුට වස්වා ඔහුගේ අනුහසින් රජු එකෙණෙහිම උදේනි නගරයට පැමිණවිය. සසරගත බැඳීම් මත රජතෙම එක් රැයක් ඇය සමඟ කාමයට වසඟව කම්සැප වින්දේය. එයින් ඕ තොමෝ ගැබ්ගත්තේ ය.
රජසැප රාජ්‍ය බලය මත නගරශෝභනියක වූ ඇය දරුගැබක් දරන ලද බව රජුට දන්වා යැවීය. ‘මා කුසෙහි ගැබක් පිහිටියේය’ එය ඇසූ රජු “ගැබ පිරිමි දරුවකුගේ නම් හදාවඩා මා වෙතට එව” යි කියා රජුගේ නම කෙටු මුද්දක් දී යැවීය. “ඕ තොමෝ දසමස් ඇවෑමෙන් පුතෙකු බිහිකොට ‘අභය’ යන නාමය එම පිරිමි දරුවාට තැබුවාය. අවුරුදු හතක් ගිය කළ ඕතොමෝ තම දරුවා බිම්බිසාර රජතුමාගේ දරුවායැයි හඳුන්වා දී රජු වෙත පුතු යැව්වාය.
ඉන්දීය කාන්තාව මහත් වූ සමාජ පීඩාවන්ට අසාධාරණයන්ට ලක්වූ තැනැත්තියක. කාන්තාවක ලෙස ඉපිද පුරුෂාධිපත්‍යය සමාජය තුළ ඇයගේ කාර්යය සිතන මොහොතකුදු මහත් ඛේදවාචකයකි. ශාරීරික සැකැස්මට අනුව ඇයගේ ආරක්ෂිත බව වඩාත් වටිනා අතර කාන්තාව වූ කළ පහළ පෙළ දුක්ඛිත ස්වභාවය නිති පත්වන තැනැත්තියකි. සාමාන්‍ය කාන්තාවට මෙබඳු අනන්‍යතාවයක් ලැබුණද, යම්තාක් හෝ සමාජ පිළිගැනීමක් ලැබුණද, නගරශෝභනියක ලෙස පුරුෂයන්ගේ රාගාදි කෙලෙස් අවුස්සන ඈ හට ලැබෙනුයේ පිළිකුල් සහගත වූ ප්‍රතිඵලය. ඇය දෙස යමෙකු බලනුයේ පිළිකුල් සිතකිනි. අශීලාචාර තැනැත්තියකය යන චේතනාවෙනි. මෙසේ සමාජයේ අපවාද, නින්දාවට ලක් වූ කාන්තාවක වාසය කරනුයේ මහත් වූ චිත්තපීඩාවකිනි. එසේ වුවද දරුවා කෙරෙහි අප්‍රමාණ පුත්‍ර සෙනෙහසක් ඇතිකොටගෙන දරුවා ඇතිදැඩි කොට රජුට බාර දුන්නාය. රජු පුතු දැක පුත්‍රසෙනෙහස උපදවාගෙන කුමරපෙරහරින් පිළිගෙන දරුවා ඇතිදැඩි කළේ ය. අභය කුමරුට සියලු සැප සම්පත් දීමට බිම්බිසාර රජතුමා සමත් වූවේ ය.
පසුකලෙක අභය කුමරු ගිහිගෙය කලකිරි සියලු සැප සම්පත් හැරදමා බිම්බිසාර රජුගෙන් අවසරගෙන නෛර්යානික වූ සම්බුද්ධ ශාසනයෙහි පැවිදි බව ලද්දේය. නොබෝ කලකින් සියලු සංස්කාර ධර්මයන්හි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ අවබෝධයෙන් විදර්ශනා වඩා සම්බුද්ධ කෘත්‍යය, ශාසනික කෘත්‍යය අවසන්කොට අභය මහරහත් තෙරුන් වහන්සේ නමක් බවට පත් වූ සේක.
අභය තෙරුන් වහන්සේගේ මව පදුමවතී නගරශෝභනිය අභයමාතා නමින් ප්‍රකට වූවා ය. ඕතොමෝ භික්ෂුණින් සමීපයට ගොස් පැවිදි වුවද පුත්‍ර සෙනෙහසින් යුක්තව වාසය කළාය. මෙසේ ඇලීමෙහි තිබෙන දුක්ඛ ස්වභාවය මනාව අවබෝධ කොටදුන් අභය තෙරණුවෝ තම මවගේ විදසුන් ප්‍රඥාව අවදි කළේ ය. ඒ අනුව අභයමාතාවෝ මේ සංසාර දුකෙහි අතමිදී මහරහත් උත්තමාවියක බවට පත්වූසේක.
නිරාමිස සිතින් යුක්ත වූ අභයමාතා මහරහත් තෙරණින් වහන්සේ අභය තෙරුන්ගේ අවවාදය උදානයක් කොට දේශනා කළේ මහරහත් සිතක මනා ප්‍රභාෂ්වර භාවය විෂද කරමිනි.
“උද්ධං පාදතලා අධො කේසමත්ථකා
පච්චචෙක්ඛස්සුමං කායං අසූචි පුතිගන්ධිකං”
“දෙපතුලෙන් උඩ කෙස්වැටියෙන් යට තිබෙන අපිරිසුදු වූ කුණුගඳ වහනය වන මේ සිරුර යථාතත්ත්වයෙන් බලන්න.”
“එවං විහරමානාය සබ්බො රාගො සමූහතො පරිළහො
සමුච්ජින්නො සිතිභූතම්හි නිබ්බුතා”
“මෙසේ වෙසෙන්නාවූ මගින් සලකවිධ රාගය නැතිවිය. දැඩි තාපය සිදිණ. නිවි සිහිල් විමි.”
තම පුතුගේ අවවාදයම මනාව සිහිනුවණින් සිහිකොට උත්තරීතර රහත් භූමියේ ස්පර්ශලාභය ලද ඕතොමෝ එම අවවාදය උදානයක් ලෙසින් පී‍්‍රති ස්වරයෙන් දේශනා කොට වදාළ සේක.
අර්හත් සිතක ඓශ්චර්ය ඉතා අපූරුය. කිසිදු තැනක, කිසිදු දෙයක නොඇලෙන සිතක් වූ අර්හත් සිත කෙලෙස් ධර්මයන්ගෙන් වියුක්ත වූවකි. දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් නිර්මිත වූ බඹයක් පමණ වූ මේ ශරීරයෙහි නියම යථා ස්වභාවය දකින ලෙසයි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ අවවාදය වූයේ එම අවවාදයෙන් අවනත වූ අභයමාතාවෝ කයෙහි පිළිකුල් ස්වභාවය එහි යථාර්ථය නුවණින් දැකුමට උත්සුක වන්නට ඇත.
මේ කයෙහි හැඩවත්භාවය අලංකාරත්වය උදෙසා තිබෙන්නාවූ කෙස්හි යථා ස්වභාවය වෙනස් වන සුළු බවයි. කෙස් ඉදෙන සුළු ස්වභාවය ගැලවී, වර්ණ අවර්ණ වී යන ආකාරය නුවණැත්තො විදර්ශනාවට ගනිති. ශරීරයෙහි තිබෙන ලොම් එකින් එක ගැළවී ගොස් අනිත්‍ය ස්වභාවයට පත්වෙති. හැඩපලුව විවිධ ස්වරූපයෙන් යුක්ත වූ නිය විවිධ වශයෙන් විවිධ හේතුකොට විකෘති වෙති. වෙනස්වන ස්වභාවයට පත්වෙති. සියලු දෙතිස් කුණපයෝ අපිරිසුදු වන්නේය. කය නිරතුරුව දුගඳ වහනය වෙමින් පවතී. එය පිරිසුදු කරන්නේ නහවන්නේ විවිධ විලාසිතාවන්ගෙන් සරසන්නේ මෙසේ දුගඳින් අසූචියෙන් පිරුණාවූ අසාර වූ කයක් බව මැනවින් අවබෝධ කරගන්නේ ය.
ගෙහසික ප්‍රේමයෙන්, පුත්‍ර ප්‍රේමයෙන් බැඳුණා වූ සිත මහත්සේ භයානක වූවකි. සංසාර සාගරයේ අනන්ත අප්‍රමාණ දුක් විඳීමට සිදුවන්නේ මෙසේ ඇතිකරගන්නා වූ ඇලීම්, බැඳීම් නිසාවෙනි. පෘථග්ජන සිත කුඹුරක හටගත් වල් පැළෑටි හා සමානය. වල් පැළෑටි උදුරා දමා කෙත ආරක්ෂා කර නොගතහොත් කෙතක සමෘද්ධිය ඇති නොවේ. අනන්ත භව සංසාරයට ඇද දමන්නා වූ සියලු කෙලෙස් හුල් සිඳ බිඳ දැමූ අභයමාතාවන් රහත් තෙරණියෝ පිරිනිවි වැඩියේ නැවත සසරේ සැරිසරන්නේ නැති උත්තමාවියක ලෙසිනි.
බුදු ඇසට පවා නොපෙනෙන අක්මුල් නැති සසරෙහි අනාදිමත් කාලයක සිට චින්ත සන්තානයෙහි මුල් බැසගත්තා වූ කෙලෙස් ධර්මයෝ මුලිනුපුටා දැමීම අතිශය දුෂ්කර වූවකි. සසරෙහි පුරන ලද පාරමී ශක්තියෙන්, වඩන ලද ප්‍රඥා මහිමයෙන් ඇසුරු කරන ලද සත්පුරුෂ ඇසුරින් අභයමාතා මහරහත් තෙරණියක ලොවට පහළ වූවෝය. තම පුතුගේ කල්‍යාණ මිත්‍රත්වය මහත් සේ පිටුවහලක් කොටගෙන පුතු සෙනෙහසම තමාගේ විමුක්තිය බවට පත්කොට ගත්තේ අපූර්ව ආකාරයෙනි. රහත් භූමියට පත් පුතෙකු, රහත් භූමියට පත් මවක බිහිවීම කෙතරම් ඓශ්චර්යමත්ද? එවන් වූ පුතුන් ලබන්නට මව්වරු කෙතරම් වාසනාවන්ත විය යුතු වන්නේද? කෙලෙස් නොමැති සිත කෙතරම් ප්‍රභාෂ්වරද? එවන් වූ සිතක ඇසුර ලබන්නට උරුමය ලබන්නට දයාබර මවක ලෙස ගිහි දිවිය ගතකළ සසරේ තියුණු බැඳීමක් වූ පුත්‍ර සෙනෙහස ප්‍රඥාවෙන් මුදාහල සියුම් වූ කෙලෙස් හුල් බිඳ දැමූ අභයමාතා මහරහත් තෙරණියගේ උත්තරීතර වූ ජීවිතය මහත් වූ පෙරගමනක්ම වේවා!
උපසමා සිල්මාතාව
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ පුර අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 11 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment