නමුත් ඇතැම් අය වරදක් කළත් අපි අමනාප නොවෙමු. ඒ කුමක් නිසාදැයි විමසූ විට ඔවුන් කළේ වරදක් නොවන බව හෝ වරදක් කළත් එය සාධාරණ හේතු ඇතිව කරන ලද්දක් බව හෝ පවසමින් අපිම ඔවුන් ආරක්‌ෂා කිරීමට උත්සාහ කරමු. අපි එරෙහි වන්නේ වරදට නම් කාගේ වරදත්, වරද ලෙසම දැකිය යුතුය. අපි උත්සාහ කරන්නේ වරදකරුවා පවා ආරක්‌ෂා කරමින් ඔහුව නිසි මගට ගැනීමට නම් ඒ කරුණාව සැමට පොදු විය යුතුය. නමුත් ගැඹුරින් විමසා බැලුවහොත් එහි ඇත්තේ වරද නිවරද පිළිබඳ ගැටලුවක් නොව අපගේ රුචි අරුචිකම් පිළිබඳ ගැටලුවක් බව ඔබට වැටහෙනු ඇත.
තමන් සිතන ක්‍රමය නිවැරදි යෑයි සැම දෙනා තුළම යම් හැඟීමක් පවතී. අන් අයත් එසේ සිතනවා නම්, එසේ ක්‍රියා කරනවා නම් අපි කැමති වන්නේත් ඊට වෙනස්‌ව සිතනවා නම්, ක්‍රියා කරනවා නම් අපි නොසතුටු වන්නේත් අපි සිතන ක්‍රමය නිවැරදියි යන මූලික සංකල්පය තුළ අපද සිරවී සිටින නිසාය.
සෑම කෙනෙකුටම ආවේණික වූ චින්තන රටාවක් හා පෞද්ගලික වූ රුචි අරුචිකම් පවතින බව සත්‍යයකි. එය කෙනෙකුගේ වරදක් යෑයි කිව නොහැක. එහෙත් ඉන් සාදාගත් රාමුවක කොටු වීමෙන් ඇතිවන මානසික ගැටුම අනුන්ගේ දෝෂයක් ලෙස දැකීම නම් වරදකි.
පුද්ගලයෙකුගේ චින්තන රටාව හා රුචි අරුචිකම් ආදිය ගොඩනැගෙන්නේ අහේතුකව නොව, විවිධ හේතු සාධක පදනම් කොටගෙනය. සාංසාරික පුරුදු හා අත්දැකීම්, මේ ජීවිතයේ අත්දැකීම් හා ඉගෙනීම්, තමන් ජීවත් වන සමාජ වටපිටාව හා සංස්‌කෘතිය, තමන්ගේ බුද්ධිය හා ප්‍රඥාව, තමන්ගේ ප්‍රාර්ථනා, බලාපොරොත්තු හා පරමාර්ථ, කල්‍යාණ මිත්‍ර හෝ පාප මිත්‍ර ඇසුර ආදී කරුණු මත ඒ ඒ පුද්ගලයාගේ චින්තනය, ආකල්ප හා රුචි අරුචිකම් සැකසෙන බව පෙනේ. එම කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා සියයට සියයක් සමාන ලෙස සිතන පතන පුද්ගලයින් දෙදෙනකු කිසි දිනක හමු නොවේ.
එනිසාම තමන්ගේ බිරිඳ, සැමියා, දරුවා, පියා, සහෝදරයා, ඥාතියා, මිත්‍රයා, අසල්වැසියා හෝ සේවකයා තමන් සිතන අයුරින්ම සිතිය යුතුය, තමන්ගේ රුචි අරුචිකම් වලට අනුවම ක්‍රියාකළයුතු යෑයි අප සිතුවත් එසේ නොවනු ඇත. ඒ පිළිබඳව නොසතුටු වී, අමනාප වී කුමක් කළ හැකිද? ඉන් සිදු වන්නේ ගැටුමක් නිර්මාණය වීම හා තමන්ගේ මානසික සහනය අහිමි කරගැනීම පමණි.
සැබැවින්ම සියලුදෙනා එකලෙසම සිතිය යුතුද? එසේ වුවහොත් ලෝකය විවිධත්වයක්, විචිත්‍රත්වයක්, දියුණුවක් නැති ඒකාකාරී තැනක් වනු ඇත.
එසේනම් අන් අයගේ සිතුම් පැතුම්, ආකල්ප වෙනස් කරන්නට වෙරදැරීම වරදක් දැයි ඔබට සිතෙනු ඇත. එහිදී වැදගත් වන්නේ අනෙකා වෙනස් කරන්න උත්සාහ කරනවාද, නැතිද යන්න නොවේ. එසේ කරන්නේ කුමක් ස`දහාද යන්නයි. අපි අනෙකා සිතන පතන රටාව හා ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන්නට උත්සුක වන්නේ ඔවුන්ටත් සමාජයටත් යහපතක් වන අයුරින් ඒවා නිවැරදි කිරීමට නම්, එය ඉතා උසස් සද් කාර්යයකි. නමුත් වරද නිවරද පිළිබඳ විචාරයකින් තොරව තමන්ගේ සිතුම් පැතුම් හා රුචි අරුචිකම්වලට අනුකූලව අන් අය වෙනස් කරන්නට වෙර දරන්නේ නම් එය සැමවිටම ගැටුමක් නිර්මාණය කරනු ඇත.
ඇතැම්විට අපි යහපත අයහපත හා අපේ රුචි අරුචිකම් පටලවා ගන්නා අවස්‌ථා ද එළඹේ. ගැරඬියෙක් ගෙම්බෙකු අල්ලා ගන්නට යන විට ගෙම්බාගේ දිවි බේරන්නට ක්‍රියා කිරීම හොඳය. නමුත් අපට ගැර`ඬියා ගැන කෝපයක් ඇතිවන්නේ කුමක් නිසාද? මාංශ අනුභවයෙන් අන් අය වළක්‌වා ගැනීම, පන්සිල් රැකීමට යොමු කිරීම හො`ද උත්සාහයකි. නමුත් ඔවුන් එසේ නොකරන විට අපට නොසතුට, කෝපය ඇතිවන්නේ කුමක් නිසාද? එය සැබැවින්ම සද්භාවයෙන් ගන්නා උත්සාහයක්‌ද? නැතහොත් අපි හිතන, අපි කැමති විදිහට අන් අය හසුරුවන්නට දරන වෑයමක්‌ද? මේවා ප්‍රවේශමෙන් සිතා බැලිය යුතුය.
ඔවුනොවුන්ටත්, ලොකයටත් යහපතක් වන අයුරින් අන්‍යයන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් කරන්නට වෑයම් කරන අතරම, අපගේ සිතුම් පැතුම්, ආකල්ප හා රුචි අරුචිකම් වල හිරවී අන් අය පිළිබ`දව නොසතුට, අමනාපය ඇතිකර ගැනීම ඔවුන්ගේ වරදක් නොව අපේම දෝෂය බවද වටහා ගැනීමට උත්සාහ කළ යුතුය.
එහෙයින් සියයට සියයක් අප සිතන ආකාරයෙන් ම සිතන අනෙකෙකු හමු නොවන බවත්, හමු වුවත් එය එතරම් වැදගත් නොවන බවත් කිව යුතුය. වඩා වැදගත් වන්නේ සිතුම් පැතුම්, ආකල්ප වල සමාන බව හෝ අසමාන බව නොව එහි ඇති වරද නිවරද වෙන්කර ගැනීමට හා තමනුත් නිවැරදි වෙමින් අන් අයත් නිවැරදි මගට යොමු කිරීමට ගන්නා උත්සාහයයි
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි
ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට
2016 ජූලි මස 19 වැනිදා අඟහරුවාදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment